IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නැගෙනහිර ජැටිය අපේ සම්පතක්

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල

රටේ අලුත් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සමඟ කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය: ආණ්ඩුව කොරෝනා වසංගතය වසන්තයක් කරගෙන කියලා විපක්ෂය කියනව.  


පිළිතුර: පසුගිය ආණ්ඩුවේ පළමු මාස දෙක තුළදීම කළ මහ බැංකු වංචාව පිළිබඳව අපි ඒ ආණ්ඩුවට චෝදනා එල්ල කළා ඔබට මතක ඇති. අපි නම් චෝදනා එල්ල කරලා නිකම් හිටියෙ නැහැ. කතාවට පමණක් සීමා වුණොත් නෑ. පාර්ලිමේන්තුව තුළ කමිටුවක් පත් කර ගත්තා කතානායකවරයාට ලිඛිත දැනුම් දීලා. ඒ වගේම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අල්ලස් කොමිසමට පැමිණිලි කරලා විමර්ශනය කෙරෙව්වා. එහි ප්‍රතිඵලයක් විදියට ඔවුන්ගේ ආණ්ඩුව කාලය තුළම මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවූ බවට ඔවුන්ටම පිළිගන්න සිදුවුණා. විපක්ෂය කොරෝනා සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කරනවානම් වංචා දූෂණ සිද්ධවෙන බවට ඔවුන්ට දඬුවම් ලබාදීම වෙනුවෙන් පෙනී හිටින්න අප ලෑස්තියි. කිසිවකුට හෝ දූෂණයක යෙදෙන්න ඉඩ දිය යුතු නෑ කියන ස්ථාවරයෙ අපි ඉන්නවා. ඒ නිසා විපක්ෂයට සාක්ෂි තියෙනවානම් කතා සාප්පු පවත්වන්නේ නැතුව කළ යුත්තේ අද‌ාළ තැන්වලට පැමිණිලි කරලා ඒ පිළිබඳ විමර්ශනයට බලකිරීමයි.  


ප්‍රශ්නය:සංචාරක කර්මාන්තය නගා සිටුවන්න කියලා ආණ්ඩුවේ ගජ මිතුරන්ට යහමින් ගරන්න අවස්ථාව උද‌ා කරලා?  


පිළිතුර: මට ඒ ගැන කිව හැක්කේ පෙර පිළිතුරමයි. ශ්‍රී ලංකාවේ අපනයන ආද‌ායම හා ආනයන වියදම අතර බරපතළ පරතරයක් තියෙනවා. ඒ පරතරය අපි පියව ගත්තේ සංචාරක ව්‍යාපාරයෙන්, විදේශීය ආයෝජනයන් හා විදෙස්ගත ශ්‍රමිකයන් එවන මුදල්වලින් ලැබෙන විදේශ විනිමය හරහා. මේ වෙනකොට සංචාරක ව්‍යාපාරය බිංදුවට වැටිලා. විදේශ ආයෝජන බිංදුවට වැටිලා. විදේශගත ශ්‍රමිකයන් එවන මුදලුත් බොහොම පහත වැටිලා තියෙන්නේ. ඒ නිසා තමයි අද අපට අත්‍යවශ්‍ය භාණ්ඩ පවා විදේශයෙන් ගෙන්වීම දුෂ්කර වී තිබෙන්නේ. ඒ වගේම ඩොලරය ඉහළ ගොස් ජීවන වියදම ඉහළ ගොස් තිබෙන්නේ. ඒ නිසා අපට සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක්.  


ප්‍රශ්නය: නමුත් ඒ හරහා රට අනතුරට හෙළීම?  


පිළිතුර: මේක අපි පටන් ගත්තේ නියමු ව්‍යාපෘතියක් හැටියටයි. ඒ අනුව යුක්රේන් ජාතිකයන් 1004 ක් ආවා. අද විපක්ෂය කොරෝනා රෝගීන් ගෙනාවා කියලා ආණ්ඩුවට පදනම් විරහිත චෝදනාවක් එල්ල කරනවා. යුක්රේනයෙන් ගෙනාපු 1004 ක් වූ සංචාරකයන්ගෙන් කොරෝනා වයිරසයට ගොදුරු වී තිබෙන්නේ තුන් දෙනයි. නමුත් අපි දන්නවා පාර්ලිමේන්තු නියෝජිතයන් තුන් දෙනෙකුත් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා කියලා. යුක්රේන සංචාරකයන්ගෙන් සියයට බිංදුවයි දශම තුනක් තමයි රෝගීන් බවට වාර්තා වුණේ. ඒ නිසා සංචාරක ව්‍යාපාරය යළිත් පණගන්වා රැකියා අහිමිව සිටින ලක්ෂ ගණනක් ජනයාට රැකියා ලබාදීමටත් අත්‍යවශ්‍ය භාණ්ඩ අානයනයට අවශ්‍ය විදේශ විනිමය සොයා ගැනීමට ආණ්ඩුව දරන උත්සාහ කිරීමේ ද්වේශ සහගත චේතනාවෙන් තමයි විපක්ෂය ඔය පදනම් විරහිත චෝදනාව නගන්නේ.  


ප්‍රශ්නය:සංචාරකයන් ගෙන්වන්න තියෙන තදබල උවමනාව විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වන්න ආණ්ඩුවට නැහැ.  


පිළිතුර: මේ වනවිට මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණීමට ලියාපදිංචිවෙලා හිටියේ පුද්ගලයන් හතළිස් නව දහසක් පමණයි. ඔවුන් සියලුම දෙනා මේ වනවිට ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන හමාරයි. නමුත් අසනීපවීම, රැකියා අහිමිවීම, ශ්‍රී ලංකාවේ පවුල්වල ප්‍රශ්න මතුවීම වැනි කාරණා මත තව තවත් අය ශ්‍රී ලංකාවට පැමිණීමට ලියාපදිංචිවීම නිසා පොරොත්තු ලේඛනය ඉහළයාමේ තත්ත්වයක් පේන්න තියෙනවා. නමුත් මේ වනවිටත් හැට නව දහසක් ලංකාවට ගෙන්වාගෙන අවසන්. ඔවුන්ගෙන් 1800 ක් කොරෝනා රෝගයට ගොදුරුවීම නිසා ප්‍රතිකාර කරමින් ඉන්නවා. හැබැයි ඔවුන්ව ගෙන්වා ගැනීමටත් විදේශ විනිමය වැයවෙනවා. ඔවුන්ට ප්‍රතිකාර කිරීමට, පරික්ෂණ කිරීමට අපට විදේශ විනිමය වැයවෙනවා. ඉතින් ඔවුන්ට ගෙන්වා ගැනීම ඇතුළු සමස්ත ජනතාවගේ සුබසාධනය සඳහා සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම අතිශයින්ම වැදගත්.  


ප්‍රශ්නය: දැන් දියවන්නා පොකුරක් බිහිවෙමින් තිබෙනවා. සෞඛ්‍ය නීති පිළිපදින්න කියලා ජනතාවට කිව්වට මහජන නියෝජිතයන්ට ඒවා වගේ වගක් නෑ වගෙයි?  


පිළිතුර: ඇත්තෙන්ම මීට කලින් තිබුණ චෝදනාව තමයි අනෙක් රටවල ජනාධිපතිලට අගමැතිලට කොරෝනා හැදුණත් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටත් හැදෙන්නේ නැත්තේ ඔවුන් ජනතාව අතරට නොගොස් කොරෝනා මර්දන මෙහෙයුම් නොකරන නිසා කියලයි. ඔන්න දැන් මන්ත්‍රීවරු තුන් දෙනෙක්ම කොරෝනා වයිරසයට ගොදුරු වුණාම එහෙම කියනවා. මන්ත්‍රීවරු කියන්නෙත් මේ සමාජයේම කොටසක්. පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් තුන් දෙනයි ආසාදිත වෙලා තියෙන්නේ. ඒ හරහා පොකුරක් අපි දකින්නේ නැහැ. මහජන නියෝජිතයන් කියන්නේ පහුගිය කාලේ මහජනයා සමග නිතර ගැටුණ ජනතාවට සහන සැපයීමට ජනතාව අතරට ගිය පිරිසක්. සෞඛ්‍ය අංශය, පොලීසිය හමුද‌ාව වගේම මහජන නියෝජිතයොත් දැඩි අවදානම් කලාපයක ඉන්නේ. රෝගය පැතිරීමේ වේගය නිසා ජනතාව අතර සිටින මහජන නියෝජිතයොත් අද ආසාදිත තත්ත්වයට පත්වෙලා.  


ප්‍රශ්නය: මැති ඇමැතිවරුන් ආසාදිතයන් වෙලා ඉන්න නිසා ආණ්ඩුව එන්නත ඉක්මණින් ගෙන්වයි කියලා ජනතාව හිතනවා?  


පිළිතුර: ඒක පදනම් විරහිත ද්වේෂ සහගත විපක්ෂයේ කතාවක් මිස ජනතාවගේ කතාවක් නම් නොවෙයි. කිසිම මහජන නියෝජිතයෙක් ආසාදිතයකුවීමට පෙර තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සෞඛ්‍ය ඇමැතිවරිය සාකච්ඡා කරලා කොරෝනා ප්‍රතිශක්ති කරන එන්නත ලබාගැනීමට කටයුතු ආරම්භ කළේ. ඒ වගේම මෙයට සති තුනකට කලින් තමයි ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කුමන ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත යුතුදැයි නිගමනය කරන්න කමිටුවක් පත් කළේ. ඒ කමිටුව මේ වෙනවිටත් ඉන්දියාවේ ප්‍රතිශක්තිකරණ එන්නත ගෙන ඒමට ඇනවුම් කළාටත් පසුවයි දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිතුමා මුල්ම කෝවිඩ් ආසාදිතයා ලෙස වාර්තා වුණේ. ඒ නිසා ඒක පදනම් විරහිත ද්වේෂ සහගත චෝදනාවක්.  


ප්‍රශ්නය: කොහොම වුණත් ඔය කටයුතුවලදී ආණ්ඩුව බොහෝ මන්දගාමියි කියලා මම කිව්වොත්?  


පිළිතුර: මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. මොකද ලෝකයේ වේගයෙන් කෝවිඩ් වයිරසය පැතිරෙමින් දස දහස් ගණනින් මියගිය එංගලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් කිහිපයක් පමණක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතිශක්තිකරණ එන්නත් අනුමත කිරීමටත් කලින් තමන්ගේ රටේ ජනතාවට ලබාදීමට පියවර ගත්තේ. මොකද ලක්ෂ ගණනින් ජනයා ආසාදිතයන් වී දහස් ගණනින් මියයන ඉතාම අවද‌ානම් තැනක තමයි ඒ රටවල් හිටියෙ. නමුත් අපේ ආණ්ඩුව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිශක්තිකරණ එන්නතක් අනුමත කරනතුරු ඉවසීමෙන් බලාගෙන හිටියා. අපට කලබල වෙලා අවද‌ානමක් බාර ගැනීමට හේතුවක් තිබුණේ නෑ. මොකද ප්‍රතිශක්තිකරණ එන්නත් කියන්නේ අවද‌ානම් සහගත දෙයක්. ලෝකයෙ ප්‍රතිශක්තිකරණ එන්නතක් බිහි කරගන්න වසර 5 ක් 7 ක් වැනි කාලයක් පර්යේෂණ කළ යුතුයි. නමුත් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත බිහිකර ඇත්තේ වසරක පමණ පර්යේෂණවලින්. ඒ නිසා මෙම එන්නත් ලබාගත් සමහර පිරිස් මියගියා. තවත් සමහර පිරිස් විවිධ සංකූලතාවන්ට ලක්වුණා. තවමත් ඇමෙරිකා එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය බ්‍රසීලයෙ සිදු වෙමින් පවතිනවා.   


එවැනි පසුබිමක එක පැත්තකින් ප්‍රමාණවත් පර්යේෂණ කර නැති නිසා මෙම එන්නතෙහි යම් අවද‌ානමක් තියෙනවා. අනික් පැත්තෙන් ශ්‍රී ලංකාවේ අධිඅවද‌ානම් තත්ත්වයක් ඇති වෙලා නෑ එන්නත පාවිච්චි කරන රටවල්වලට සාපේක්ෂව. මෙන්න මේ කාරණා ​දෙක නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නතක් නිර්දේශ කරනතුරු වගකිවයුතු ආණ්ඩුවක් හැටියට ඉවසීමෙන් බලා සිටින්නේ.  


ප්‍රශ්නය: ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා බලයට ආපු ආණ්ඩුව කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්න යනවා. මේ ආණ්ඩුවේ තවදුරටත් ඔබලාට ඉන්න පුළුවන්ද?  


පිළිතුර: ඇත්තෙන්ම නැගෙනහිර ජැටිය අපේ සම්පතක්. එය විකුණා දැමීමට ආණ්ඩුව තුළ සූද‌ානමක් නැති බව අගමැතිතුමා නිලවශයෙන් රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි වෙනද‌ා ආණ්ඩුවෙන් පිටත සිටි නිසා අපේ අරගලය තිබුණේ මහපාරේ පාර්ලිමේන්තුවේ හා මාධ්‍ය තුළ. නමුත් දැන් අපි ආණ්ඩුවේ කොටස්කරුවන්. අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙක්. ඒ නිසා අපේ අරගලය රටේ ජනතාවට පේන්නේ නැතිවෙයි. අපි කරන්නේ අභ්‍යන්තර අරගලයක් නිසා. නමුත් අපට මව්බිම ලොකුයි අපට ඇමතිකමට වඩා. ඒ නිසා රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගන්න අපි පසුබට වෙන්නේ නැහැ.  


ප්‍රශ්නය: රාජ්‍ය දේපළ විකුණන්නේ නැහැ කියලා බලයට ආපු ආණ්ඩුවක් රාජ්‍ය දේපළ විකුණන තැනට තල්ලුවීම ඔබ දකින්නේ කොහොමද?  


පිළිතුර: අපි අගමැතිතුමා​ගේ ප්‍රකාශය ගැන විශ්වාසය තබනවා. අවසන් තීන්දුව ගන්න වෙන්නේ ඇමැති මණ්ඩලයට. ඇමැති මණ්ඩලය ගන්න තීන්දුව ගැන අපි ගැඹුරින් අධ්‍යයනය කරලා තීන්දුවක් ගන්නවා. ප්‍රතිපත්තිමය වශයෙන් උපායමාර්ගික ජාතික සම්පත් විදේශකරණයට අපි විරුද්ධයි.  


ප්‍රශ්නය:ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වා ‘මට චරිත දෙකක් තියෙනවා ඕනෑම චරිතයකට මම සූදානම්’ කියලා. මේක ආඥාද‌ායකයකුගේ ප්‍රකාශයකින් වෙනස් වෙන්නේ කොහොමද?  


පිළිතුර: ඒක එහෙම නෙවෙයි. දේශපාලනඥයකුගෙන් දක්නට නොලැබෙන අවංක ප්‍රකාශයක්. සමහර අයට චරිත දෙකක් නොවෙයි චරිත තුන හතරක් තියෙනවා. හැබැයි ලෝකයාට පෙන්වන්නේ එක චරිතයක් පමණයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එද‌ා ප්‍රකාශ කළේ තමන් ආරක්ෂක ලේකම් කාලේ ඉතාම තදින් තීන්දු ගත්තා දැන් මම තදින් තීන්දු ගන්නේ නෑ කියලා. චෝදනාවක් තියෙනවා මට අවශ්‍යනම් ආරක්ෂක ලේකම් කාලේ වගෙත් කටයුතු කරන්න පුළුවන්. ජනාධිපති ධුරයෙ මෙතෙක් කටයුතු කළ ආකාරයටත් කටයුතු කරන්න පුළුවන් කියලා. ඕනෑනම් මෘදු ආකාරයට වැඩ කරන්නත් පුළුවන්. තදින් තීන්දු ගන්නත් පුළුවන් කියලා. ඒ තමයි එතුමාගේ චරිත දෙක. ජනතාවට බොරු කියන දේශපාලනඥයකු නොවී ජනතාවට ඇත්ත කියන දේශපාලනඥයකු හැටියට අපි එතුමාට ගරු කළ යුතුයි.  


ප්‍රශ්නය: ‘‘ප්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේ මරලා දැම්මා’’ කියන ප්‍රකාශය විරුද්ධවාදීන්ට කළ අනතුරු ඇඟවීමක් හැටියට විපක්ෂය සලකනවා?  


පිළිතුර: ප්‍රභාකරන් කියන්නේ කවුද? රටේ සාමාන්‍ය පුරවැසියෙක්ද? නෑ මේ රටේ දහ දහස් ගණන් ජීවිත බිලිගත්ත, මේ රටේ කෝටි ප්‍රකෝටි ගණනින් දේපළ විනාශ කරපු ලොව එවකට සිටි අංක එකේ ත්‍රස්තවාදියා. ත්‍රස්තවාදියකු මරා දැමීම ආණ්ඩුවක පරම යුතුකමක්. ජනාධිපතිතුමා එද‌ා ප්‍රකාශ කළේ අසාද්සාලි වගේ මුස්ලිම් අන්තවාදී නායකයන් මුස්ලිම් අන්තවාදය නැගිටීම පිළිබඳ අනතුරු අඟවන පසුබිමක ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අන්තවාදීන් තම අරමුණ ඉටුකර ගැනීමට ත්‍රස්තවාදය උපකාර කර ගන්නා ඕනෑම අයකුට ප්‍රභාකරන්ගේ ඉරණම ලබාදීමට තමන් පැකිලෙන්නේ නැති බවයි. එය විශිෂ්ට ප්‍රකාශයක්. රාජ්‍ය නායකයා ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කළ යුත්තේ එලෙසින්මයි. අපට අතීතයෙ එවැනි නායකයන් නොසිටි නිසා තමයි මේ රට ලේ විලක් ගිනි ගොඩක් බවට පත් කිරීමට වේළුපිල්ලේ පිරිබාහරන්ට, සහරාන්ලාට හැකියාව ලැබුණේ.  


ප්‍රශ්නය:ඔබ විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන අලුත් සන්ධානයකට මන්ත්‍රී චම්පික රණවක සමග රහස් සාකච්ඡාවක ඉන්නවා කියලා ආරංචි පැතිර යනවා.  


පිළිතුර: 2015 දී රට ආලෝකයෙන් අඳුරට ගිය වෙලාවේ රටට අලුත් මගක් ගැන සංවාදය ආරම්භ කළේ විමල් වීරවංශ මැතිතුමත්, මමත්, වාසුදේව නානායක්කාර මැතිතුමත්, දිනේෂ් ගුණවර්ධන මැතිතුමත්. රටට අඳුරක් වැටෙන ඕනෑම මොහොතක ප්‍රදීප දල්වන්න අපි සූද‌ානම්. ඒ නිසා අපි දේශපාලන සංවාදයක යෙදී සිටින බව ඇත්තක්. රට ගතයුත්තේ කුමන මගදැයි දේශපාලන සංවාදයක යෙදී සිටින බව ඇත්තක්. නමුත් ඒ සඳහා හිටපු අැමති චම්පික රණවක සමග කිසිම සංවාදයක යෙදී නැති බවත් යෙදීමට බලාපොරොත්තු නොවන බවත් ඉතාම වගකීමෙන් කියනවා.  


ප්‍රශ්නය:රංජන් රාමනායක බරපතළ වැඩ ඇතුව අවුරුදු හතරකට හිරේ ගියා ඔබට මොකද හිතෙන්නේ?  


පිළිතුර: රංජන් රාමනායක මන්ත්‍රීවරයා ලංකා ඉතිහාසයේ බිහිවුණු වගකීම් විරහිතම මන්ත්‍රීවරයා යැයි මම ප්‍රකාශ කළොත් එය නිවැරැදියි. වගකීම් විරහිත ලෙස අන් අයට මඩ ගසමින් තමයි ඔහු කටයුතු කළේ. වැඩ කිරීමෙන් ජනතා ප්‍රසාදය දිනා ගැනීම වෙනුවට අන් අයට පදනම් විරහිත චෝදනා නැගීමෙන් ජනප්‍රිය වෙන්නයි ඔහු උත්සාහ කළේ. පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පුද්ගලයන්ට නින්ද‌ා, උපහාස කිරීම ඔහුගේ කලාව බවට පත්වෙලා තිබුණා. එවැනි පසුබිමෙක අවසානයෙදි කොට්ටෝරුවා ඇනගෙන ඇනගෙන ගිහිල්ලා කෙසෙල් ගහට ඇන්නාවගේ අධිකරණයට අපහාස කළේ වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම වෙලා. මාස 6 ක් සිරගෙදර ගත කළොත් ඒ පුද්ගලයාට වසර හතක් මැතිවරණයට තරග කරන්න නොහැකියි. එවැනි පසුබිමක රන්ජන් රාමනායකගේ දේශපාලනය මේ සමඟ අවසන්වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම දේශපාලනයෙ හිටියත් නැතත් ‘‘සාධු වාචාය සංවරෝ’’ යන බුදු වදනින් උගන්වන වචනයේ හික්මීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නා. 

 
ප්‍රශ්නය: මරණීය දණ්ඩනය නියම වෙච්ච ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එනවා. හිර දඬුවම් නියම වෙච්ච රංජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා?  


පිළිතුර: ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඔහු දැන් අභිවාචකයෙක්. අභියාචනාවේ තීන්දුව එනතුරු ඔහුට පාර්ලිමේන්තු ඒමේ වරප්‍රසාදය අධිකරණය මගින් ලබාදුන්නා. රංජන්ගේ තීන්දුව ලබාදෙන්නේ රටේ තියෙන උත්තරීතරම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. ඒ නිසා රංජන්ට අභියාචනා කරන්න ඉඩ නෑ.  


ප්‍රශ්නය: පිල්ලෙයාන් එළියට එනවා. රංජන් ඇතුළට යනවා?  


පිළිතුර: ජාතිය ආගම කුමක් වුණත් නිවැරැදිකරුවන් නිදහස් කළ යුතුයි. වැරැදිකරුවන් දඬුවම් ලැබිය යුතුයි. පිල්ලෙයාන් කියන්නේ තමන්ගේ ජීවිතය පරදුවට තබලා මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීමට සටන් කළ පුද්ගලයෙක්. රංජන් කියන්නේ නීතියෙ ආධිපත්‍ය සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ දැමීමට සැලසුම් සහගතව කටයුතු කළ අයෙක්. එ් නිසා පිල්ලෙයාන්වයි රංජන්වයි සන්සන්දනය කිරීම පිල්ලෙයාන්ට කරන අපහාසයක්.   

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්  



අදහස් (0)

නැගෙනහිර ජැටිය අපේ සම්පතක්

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 207 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1190 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 980 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2323 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2169 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3694 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site