[බන්දු තඹවිට]
තම ආධාර කරුවෙකුට පහර දීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ සන්ධානයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පුතුණුවන්ද සමඟ පසුගිය 09 වැනිදා බුලත්සිංහල පොලිසිය හන්දියේදී ආරම්භ කළ විරෝධතාවයේ තුන්වන දිනටත් අද (11) නියැලි සිටි.
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට මෙවර එක්සත් ජනතා සන්ධාන ලැයිස්තුවෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙක් තම එජාප ආධාර කරුවෙකුට පහර දී නිවෙස් වලට ගොස් ඡන්ද දායකයන්ට බල කරමින් මැතිවරණ නීති උල්ලංගනය වන ආකාරයට කටයුතු කිරීම පිළිබඳව බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් එයට විරෝධය දක්වා තම ආධාර කරුවන් සමඟ මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය වරයා කැබ් රථයක් උඩ නැග මෙම විරෝධතාවයේ යෙදී සිටින අතර ඔහු අසල ඔහුගේ පුතුණුවන්ද සිටියි . පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් ඉන්ධන ද්‍රව්‍යයක් ද තබාගෙන සිටිමින් පොලිසිය මෙම සිද්ධියට අදාල පුද්ගලයා ව අත් අඩංගුවට නොගත හොත් හෝ තමාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළහොත් තමා ගිනි තබා ගන්නා බව ප්‍රකාශ කරමින් සිටී.
කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා විරෝධතාව නවත්වා එම ස්ථානයෙන් ඉවත්වන ලෙස ඉල්ලා සිටියත් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා තෙක් තමා ඉවත්ව නොයන බව පාලිත තෙවරප්පෙරුම මහතා පවසා තිබේ.
මේ පිළිබඳව කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා පැවසුවේ මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සිටින බවත් ,ඔවුන්ගෙන් එක අයෙක් (10) වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර ඉතා ඉක්මනින් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවත්ය.
නියෝජ්‍ය අමාත්‍ය වරයා අසල සුළු පිරිසක් රැදී සිටියත් සවස් වන විට විශාල පිරිසක් බුලත්සිංහල ප්‍රධාන මාර්ගයේ රැස්වී පාලිත තෙවරප්පෙරුම මහතාට සහයෝගය දැක්වූ අතර බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන් මාරු කර යවන ලෙසද එම පිරිස ඉල්ලමින් උද්ඝෝෂණය කළේය.




COMMENTS
විකාර රූපි මන්ද මානසිකත්වයෙන් පෙලෙන, මෙවැනි ක්‍රියා නිසා ද පවතින රජය අපහසුතාවයට පත් වේ.
මේපාර ඡන්දෙන් යූ.එන්.පී පරාදවුණු එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
මේවට කියන්නේ බොරු ෂෝ කියලා.. මෙයත් එක්ක ඉන්න ගැලරියටම හොඳයි මේවා !!!
මැටි හරක් රැල ...අන්ත පරාජයේ වගකීම දරන්නන්ද ඕවායින්
මේ වගේ පොරවල් ඡන්දවලින් පරාජය කල යුතුයි. නැතිනම් මොවුන්ව ආදර්ශයට ගන්න. තරුණ පරපුර අමාරුවේ වැටීම වැළක්විය නොහැක. අනික මේ පුද්ගලයා පාර්ලිමේන්තුවේ නේද ඉන්නේ? ඔය තුට්ටු දෙකට කන 5 ස්ටාර් කෑම දිරවගන්න ටිකක් ඔහොම බඩගින්නේ හිටියට කමක් නැහැ.
බයවෙන් එපා කීයටවත් මෙතුමා ගිනි තියාගන් නෑ ඔයාල ගෙදර ගිහින් නිදාගන්න ඕවට බය වෙන්න එපා.
ගැලරියට වීරයෙක් වෙන මොනවා කියන්නද.?
මේ ගොන් පාට් දැක්කම පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ. UNP එක පරදින එක අහන්න දෙයක් ද.?
බැරිවෙලාවත් වාහනේ ගිනිගත්තොත් මෙයා සුනේ සුන්
මේ වගේ අයට පක්ෂයේ අපේක්ෂකකම දෙන ඔවුන්ට හෙනගහනවා. පස්තුන්කෝරලයේ නිසා පුදුමවෙන්න දෙයක් නැහැ. පුතාව එදිරියට එන ඡන්දයට ප්‍රසිද්ධ කරගන්නට කරන වැඩක් බව ඕනේ කෙනෙකුට තේරෙනවා..
නීති සම්පාදනය කරන අය නීතිය නොදනී. ප්‍රශ්නය ව්‍යවස්ථාදායකයට සෙවිය යුත්තේ නීති සම්පාදන ක්‍රියාවලියකට දායක විය හැකි අය පමණි. පොලිසිය නිසි ලෙස ක්‍රියා නොකරයි නම් ඒ ගැන එතැනින් ඉහළට දන්වන්න ක්‍රමවේදයක් තියෙද්දී ඔතන ඉන්න බෑ. දිවිනසා ගැනීමට තෙත් කිරීමත් කලින් නම් වරදක් කෙසේ වෙතත් මහජන පීඩාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල හැකියි. ඒ වගේම කථානායකතුමාට මේ සම්බන්ධව විනය ක්‍රියා මාර්ග ගත හැකි මේකේ නරකම ආදර්ශය රටක් විදියට ජාත්‍යන්තරය ඉදිරියේ අපි විහිළුවට හා හාස්‍යයට ලක්වීමයි. මේවා බලාගෙන අදාල දේශපාලන පක්ෂ නායකයින් නිහඬව ඉන්නේ ඇයි? මොනවා වුණත් මෙතුමා මේ කරන වැඩෙන් ඡන්ද ටිකක් වැඩිවෙයි. අඩුම තරමේ මන්ත්‍රීතුමෙකුට සුදුසු ඇඳුමක් ඇඳන් ඇවිත් ඕක කරන්න... අපි තාම ගෝත්‍රික සමාජයක්, ම්ලේච්ඡ රටක් කියලා ලෝකේ මිනිස්සු හිතන එක ඇත්ත නොවුණත් සාධාරණයි මේ වගේ ක්‍රියාවලින්...
මෙය මාකටින්වලට හොඳ අවස්ථාවක් නම් නොවේ. ප්‍රාදේශීය සභා පැරදුණු ආණ්ඩුවේ පිච්චෙන රැවුලෙන් සුරුට්ටු පත්තු කරන්න එපා.
මේ වගේ ඇමති කෙනෙක් ඉන්න එක රටට අහිසංක ජනතාවට ලොකු සහනයක් නැත්තම් පොලිසිය අදුරන එකා හැමදාම රජ වෙනවා
මෙය ඉන්න පක්ෂයේ අයට මොලයක් නැත්ද ගෙනත් ටිකක් අවවාද කරන්න.
බාල වැඩ