(ඩයනා උදයංගනී)
රූපවාහිනී නාලිකා අතර අට වැනි ස්ථානයේ තිබූ ජාතික රූපවාහිනී සේවය හය වන ස්ථානය දක්වා පැමිණියේ තමන් සභාපතිධූරයට පැමිණි කාලයේදී යැයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය අද (12) පැවසුවාය.
රූපවාහිනී සංස්ථාවට පසුගිය ජනවාරි මාසයේ සිට මහා භාණ්ඩාගාරයෙන් කිසිඳු මුදලක් ලැබී නැතැයි කී සභාපතිනිය මේ වන විට එහි සේවක පඩි නඩි ගෙවීම ඇතුළු සියලූ පාලන කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ ලබන ආදායම්වලින් බවද සඳහන් කළාය.
රජයේ සංස්ථාවක් වන තම ආයතනය පවත්වාගෙනයාමට භාණ්ඩාගාරයෙන් යම් මුදලක් ලැබිය යුතු බවද ඇය ප‍්‍රකාශ කළාය.
ස්වාධීන රූපවාහිනී සේවයේ ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකු වන කැලූම් පාලිත මහීරත්න නැමති අය රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බව කියා පැමිණියත් ඔහුගේ පත්වීම පිළිගැනීමට නොහැකි නිසා තමන් සභාපතිධූරයේ දිගටම කටයුතු කළ බව ද ඇය කීවාය.
නව සභාපතිවරයා බව කියමින් කැලූම් පාලිත මහීරත්න මහතා පසුගිය දිනෙක සංස්ථාවට පැමිණි අවස්ථාවේ තමන් ජනාධිපතිවරයාගෙන්, පත්වීම අනුමත කළ යුතු ජනාධිපතිවරයාගේ කමිටුවේ සාමාජිකයකුගෙන් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වයාගෙන් ඒ ගැන විමසූ බව කී සභාපතිනිය ඔවුන් එවැනි පත්වීමක් නොකළ බව පැවසුවේ යැයි ද ප‍්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී මහත්මිය මේ බව පැවසුවේ එම සංස්ථා පරිශ‍්‍රයේදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජාතික රූපවාහිනිය කෙරෙහි ප්‍රේක්‍ෂක ආකර්ෂණය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් තමන් ඇතුළු එහි කාර්ය මණ්ඩලය වැඩසටහන් 32ක් සැලසුම් කළ බව කී සභාපතිනිය ඉන් 15ක් මේ වන විට ආරම්භ කර තිබෙන බවත්, එම වැඩසටහන් වෙත ඉහළ ප්‍රේක්‍ෂක ප‍්‍රතිචාර ලැබෙන බවත් කියා සිටියාය.
රටවල් 26ක් සමඟ තරඟ කර ආසියාවේ විශිෂ්ටතම ප‍්‍රවෘත්ති අංශයට හිමි සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන 7ක් සහ ජාතික මට්ටමේ සම්මාන 21ක් ගතවූ වසරක කාලයේදී ජාතික රූපවාහිනී සේවයට හිමිව තිබෙන බව ද ඇය ප‍්‍රකාශ කළාය.
ජාතික රූපවාහිනී සේවය යම් ප‍්‍රගතියක් ලබමින් තිබියදී නව සභාපතිවරයෙකු පත්කිරීමට ගත් උත්සාහය හේතුවෙන් මතුවීමට ගිය අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා ජනාධිපතිවරයා ගත් තීන්දුව අගය කළ යුතු බවද ඇය කීවාය.
ජනාධිපතිවරයා අභියෝගය භාර ගනිමින් රූපවාහිනී සංස්ථාව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා නොගත්තේ නම් සංස්ථාවේ පරිපාලන කටයුතු කඩාකප්පල්වීමට තිබූ බව ද ඇය කීවාය.
තමන්ට රූපවාහිනී සංස්ථාවේ සභාපතිධූරයට අවශ්‍ය සුදුසුකම් නොමැති බවට ඇතැමුන් චෝදනා කළත් තමන් මෙම තනතුරට පත්වූයේ රූපවාහිනී සංස්ථා පනතට අනුව අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර තිබූ නිසා බවත්, ඒ සඳහා අවශ්‍ය කමිටු අනුමැතිය ද තමාට හිමිවූ බවත් සභාපතිනිය පැවසුවාය.
රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජේරත්න මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.
(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක)

COMMENTS
අනේ මෙයාලාගේ බයිලා... ඕක තිබුනේ පළවැනි ස්ථානයේ කියලා කියන්නේ නැත්තේ මොකද?
ලොකුම සුදුසුකම වනාහි පන්දම් ඇල්ලීම නමින් නීතිගතව තිබේ. එය කළ නොහැකි නම් ඒ ආයතන ප්‍රධානියාට අත් වන්නේ ඔබතුමියට අත් වූ ඉරණමයි.
මෙතුමියගේ ආගමනය සමග සැලකිය යුතු ප්‍රගතියක් පෙනෙනවා. ඒක පිළිගත යුතු සත්‍යයක්. තවත් දියුණු කළ යුතු බොහෝ දේ ඇත. ජාත්‍යන්තර සම්මාන නිකන් දෙන්නේ නැහැනේ...
කවුරු මොනවා කිව්වත් මෙතුමියගේ කාලයේ රූපවාහිනියේ ප්‍රවෘති ප්‍රකාශනයන්හි බොහෝදුරට සමබරතාවය රැක්කා. දේශපාලන කතිකාවල්වලට හැම පක්ෂයකම අය සහභාගි කරවා ගත්තා. අපට මතකයි ඉස්සර ඒවගේ වැඩ සටහන්වල කතාකලේ ආණ්ඩුවේ කට්ටිය විතරයි. ඒ කාලේ මාධ්‍ය සදාචාරය තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැතුව තනිකර දේශපාලන ප්‍රචාර ගෙනගිය හැටි.. මේ අදහස් දක්වා ඇති අයට අමතකද? " තිස් අවුරුදු ශාපකාරි යුද්ධය අවසන් කළ කෙනෙකුට කළගුණ සැලකීමක් වශයෙන් ඔබේ ඡන්දය දෙන්න" කියලා කිසි ලැජ්ජාවක් නැතුව හැම වැඩසටහනකදීම කිව්වා. ඒ වගේම රජයේ මාධ්‍ය ආයතනවල සම්පත් එවකට පැවති රජයේ දේශපාලන රැස්වීම් ප්‍රචාරය කිරීමට භාවිතා කළා. රජයේ මුදල් වලින් පොල්ගස් උසට තෙල් බේරෙන පින්තුර සහිත කටවුට් සවි කළා. දැන් ඉතින් ඒවගේ කාලයක් නැවතත් උදාවෙන හැඩයි...
දිගටම උන්නා නම් බින්දුවටම ගේන්න තිබුණා.
එහෙමනම් මෙයාට ක්‍රිකට් ටීම් එක බාරදෙමු. 5වැනි තැනටවත් ගේන්නේ නැත.
'මෙම තනතුරට පත්වූයේ රූපවාහිනී සංස්ථා පනතට අනුව අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර තිබූ නිසා කියන්නේ' ඇත්තටම තිබෙන සුදුසුකම් කිව්වා නම් නේද හොඳ?
මොනවා වුණත් මම මේ කාන්තාවට ගෞරව කරනවා සත්‍ය ප්‍රකාශ කිරීම ගැන... මෙයා කියන්නේ "මම පලවෙනි තැනට නෙමෙයි, හය වෙනි තැනට ගෙනාවා" කියලා. ඕක යහපාලන අගමැතිතුමා කිව්වා නම් කියන්නේ මම දහවැනි තැන තිබුණු නාලිකාව පලවෙනි තැනට ගෙනාවා කියලා..
හුළං කිරිල්ලි නෙවෙයි හුළං බැහැපු කිරිල්ලි...!
ඉනෝකා ජාතික රූපවාහිනියට සුදුසු සහ දක්ෂ පුද්ගලයෙකි. ඒ සඳහා අපි ඇයට කාලය ලබා දෙමු.
ලස්සන වෑහෙනවා. ඇත්තටම හරිම ලස්සනයි.