සහල්, පිටි, සීනි, පරිප්පු, සැමන් පමණක් නොව බිත්තර ද ඇතුළත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක් ස්ථාවර මිලක් යටතේ නිශ්චිත කාලසීමාවක් පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තීන්දු කර ඇතැයි පසුගියදා මාධ්‍යවල සඳහන් විය. එම වැඩපිළිවෙළ යනු ගැසට් පත්‍රයක් නිකුත් කිරීම නොවන බවද ප්‍රකාශ වී තිබේ. එසේ නොකිව්වද බඩු මිල පිළිබඳව පසුගිය මාස කිහිපයේම පළ කෙරුණු ගැසට් පත්‍ර එම කඩදාසියට පමණක් සීමා වූ බව මෙරට පාරිභෝගිකයන් පමණක් නොව වෙළෙන්දෝ ද දැන සිටිති. ගැසට් ගැසීමෙන් පලක් නැති නිසා අලු‍ත් ක්‍රමයකට හෝ බඩු මිල අඩු කිරීමට වෙළෙඳ ඇමැතිවරයා ගන්නා උත්සාහය අපි අගය කරමු.

බඩු මිල යනු විපක්ෂයේ සිටියදී ඕනෑ අතකට පෙරළ පෙරළා පහර දිය හැකි අපූරු වස්තුවකි. විපක්ෂයේ සිටියදී එහි අගය බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ද නොදැන සිටියා නොවේ. එහෙත් ආණ්ඩු පක්ෂයට පැමිණි පසුව බඩු මිල යනු වස්තුවක් නොව පරාල ඇණයකි. ඇත්ත කිව්වත් බොරු කිව්වත් ආණ්ඩුවට අහන්න වෙන්නේම බැණුම්ය. බඩු මිල ගැන කතා කිරීම විපක්ෂයේ උරුමයක් බවටත් ආණ්ඩුවේ කරුමයක් බවටත් නිතැතින්ම පත්ව ඇති බැවිනි. ඒ අතින් බන්දුල ගුණවර්ධන මහතාගේ මේ උත්සාහය ලත් තැනම ලොප් නොකර යථාර්ථයක් බවට පත්කර ගැනීමට අදාළ සියලු‍ පාර්ශ්වවල ද සහාය ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

රටේ ජනතාව බඩු මිල ඉහළ යාම හේතුවෙන් වැටී ඇත්තේ නරකාදියකටය. ඇතැම් බඩුවල මිල ගණන් වරින් වර පහළ යන බව සැබෑවකි. එහෙත් භාණ්ඩ මිල ගණන් ගැන කතා කරන විට එයින් අදහස් වන්නේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් නොවේ. එදිනෙදා වෙනත් අවශ්‍යතා සඳහා යොදවා ගනු ලබන භාණ්ඩ මිලද දිනෙන් දින ඉහළ නගිමින් තිබේ.

වෙළෙඳ ඇමැතිවරයා බඩු මිල අඩු කිරීම සඳහා ගැසට්වලින් තොර කිසියම් සැලැස්මක් හැදීමට සූදානම් වන බව අපි මාධ්‍ය ඔස්සේ දැන ගතිමු. ඒ අනුව තෝරාගත් භාණ්ඩ 10ක් නිශ්චිත මිලකට ස්ථාවරව අලෙවි කිරීම අමාත්‍යවරයාගේ යෝජනාව බව ද සඳහන් වෙයි. එසේ නම් වෙළෙඳාම සිදු කරන පාර්ශ්ව ද මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත්වීම අවශ්‍යය. නිශ්චිත මිලකට මාස කිහිපයක් භාණ්ඩ අලෙවි කිරීමට ඇමැතිවරයා අදහස් කරන්නේ නම් ඒ පිළිබඳව වෙළෙඳ සමාගම්ද ආහාර තොග ආනයනකරුවන් සහ සිල්ලර ව්‍යාපාරිකයන්ද, පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පමණක් නොව පාරිභෝගික සේවා අධිකාරියද මේ ගැන දැනුවත් විය යුතුය. අදාළ පාර්ශ්ව සම්බන්ධ කර නොගෙන බඩු මිල බැස්සීමේ මොන මන්තරය ජප කළත් එය හරි යන්නේ නැත. පසුගිය කාලයේ පොල් ගෙඩියේ සිට සහල් කිලෝව දක්වා මිල පාලනය කරමින් නිකුත් කළ ගැසට් නිවේදන පුස්සක් බවට පත් වුණේද මේ හේතුවෙනි. අමාත්‍යවරයාගේ අලු‍ත් වැඩපිළිවෙළට ද එකී ගැසට්වලට අයිති වූ ඉරණම අත්විය යුතු නැති නිසා මේ බව ඇමැතිවරයාට මතක් කර දීමට කැමැත්තෙමු.

බඩු මිල ඉහළ යන අතර පහළ යන භාණ්ඩ ද තිබෙන බවද අපි සඳහන් කළෙමු. මේ දිනවල එළවළු මිල පහත බැස තිබීම එයට එක් උදාහරණයක් වශයෙන් සඳහන් කළ හැකිය. අල සහ ලූනු මිලද තරමක අඩුවීමක් පෙන්නුම් කළත් අතරමැදි වෙළෙඳුන්ගේ ගසාකෑම් හේතුවෙන් ඇතැම් ස්ථානවල ඒවා වැඩි මිලට අලෙවි වන බවද කියති. අත්‍යාවශ්‍ය ගණයට නොවැටුණත් කෙසෙල් සහ පැපොල් වැනි පලතුරුද මිල අඩු වී තිබේ. එහෙත් ලොකුම ගැටලු‍ව වන්නේ එසේ අඩුවන එළවළු සහ පලතුරු මිල ගණන් ඒ මට්ටමින් දිගටම පවත්වාගෙන යාමට නොහැකි වීමය. උඩහට වැස්සොත් ඊළඟ සතියේ කැරට්, බෝංචි මිල ගණන් නවතින්නේ අහස උසිනි. ඇමැතිවරයාගේ අලු‍ත් වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක වුණොත් එසේ නොවිය යුතුය.

ආනයනික පාරිභෝගික ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද මෙවැනි තත්ත්වයක් පවතින්නේ ඉහළ පහළ යන ඩොලරයේ මිල සහ ඒ ඒ රටවල පවතින මිල ගණන් වෙනස් වීම හේතුවෙනි. බදු ගැසීමේ කිසියම් නම්‍යශීලී පිළිවෙතක් ක්‍රියාත්මක නොවන්නේ නම් ඇමැතිවරයා කොතරම් බලාපොරොත්තු වුවත් සැමන්, අල (රටින් ගෙන්වන), ලූනු, පරිප්පු, සීනි පමණක් නොව හාල්මැස්සන්ගේ පවා මිල ස්ථාවරව පවත්වාගෙන යා හැකි ක්‍රමයක් නැත. මෙරට වගා කළ හැකි බඩඉරිඟු‍, කහ, ලූනු, අල, මිරිස් වැනි ආහාර ද්‍රව්‍යවලට ස්ථාවර මිලක් ඇතිකිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් අරඹා තිබෙන වගා සංග්‍රාමය පිළිබඳව වෙළෙඳ ඇමැතිවරයා බලාපොරොත්තු තබා ඇත. එහෙත් ඉදිරියේදී ලැබෙන අස්වැන්න පිළිබඳව ගණන් තබාගෙන අද බඩු මිල ගැන තීන්දු කිරීමට යාම සුදුසු නැත. ඒ සඳහා නිශ්චිත සැලැස්මක් ඇමැතිවරයා අතේ තිබිය යුතුය.

වත්මන් ආණ්ඩුව භාණ්ඩ ආනයනයට රුකුල් නොදෙන දේශීය නිෂ්පාදනය වර්ධනය කෙරෙන ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරමින් සිටී. වෙළෙඳ ඇමැතිවරයාගේ මිල ස්ථාවර මට්ටමක තබාගැනීමේ නව සැලැස්මද ඊට සමගාමීව ක්‍රියාත්මක වීම වඩාත් ප්‍රතිඵලදායක වනු ඇත. එසේ නොවී එහෙන් මෙහෙන් මිල බස්සන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ගොස් එයද ගැසට් ගැසීම මෙන් අල කරගත යුතු නැත.

(***)