මෙරට සිටි කීර්තිමත්, රටට දැනෙන වැඩක් කළ වෛද්‍යවරයකු, ව්‍යවසායකයකු සහ තම හෘද සාක්‍ෂියට අනුව කටයුතු කළ ඍජු අදහස් තිබූ දේශපාලනඥයකු වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද ජීවතුන් අතර නැත. එහෙත් ඔහුගේ නාමය මෙරට වෛද්‍ය අධ්‍යාපන ඉතිහාසය තුළ නොමැකෙන සළකුණක් සනිටුහන් වී තිබේ. අභාවප්‍රාප්ත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පිළිබඳව බොහෝ කරුණු කාරණා පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පළ විය. ඔහු ගැන බොහෝ දේ කතා කළ හැකි වුවද අප මෙහිදී ප්‍රස්තුත කර ගන්නේ ඔහු ඉතිරි කළ මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංකල්පයයි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් රචිත ලිපියක් පසුගියදා අපගේ ලංකාදීප පුවත්පත පළ කළේය. මෙරට වෛද්‍ය සිසුන් පුහුණු කිරීමේ අවස්ථා පුළුල් කිරීමට වෛද්‍ය ප්‍රනාන්දු මහතා විසින් ගනු ලැබූ නිර්භීත උත්සාහය පිළිබඳව සැමවිටම සිහිපත් කෙරෙනු ඇති බව එම ලිපියේ සඳහන්ය. එකී යහපත් පරමාදර්ශය පුළුල් සමාජයේ යහපත උදෙසා අවසානයේ ජයග්‍රහණය කරනු ඇතැයි වික්‍රමරත්න මහතා ප්‍රාර්ථනය කරයි.

එම ප්‍රාර්ථනය යහපත් වුවද මේ රටේ දේශපාලන බල අරගලය තුළට කිඳා බැස තිබෙන මහජනතාව නොමඟ යවා මැතිවරණ ජයග්‍රහණය කිරීමේ කුහක පිළිවෙතින් බැහැර වන තුරු මේ ප්‍රාර්ථනය ඉටුකර ගැනීමට ඉඩක් නැති බව පෙන්වා දිය යුතුය. මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සීමිත සිසුන් පිරිසකට සීමා වී තිබීමත් රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළුවීමට සියලු සුදුසුකම් සපුරා තිබියදීත් එක ලකුණක් හෝ දෙකක් මදිවීම හේතුවෙන් එම අවස්ථාව අහිමි වන තවත් සිසුන් විශාල පිරිසකගේ බලාපොරොත්තු බිඳීයාමත් මේ රටේ උසස් අධ්‍යාපනයේ ඛේදවාචකයක් බවට පත්ව තිබිණි. එයට එකම විසඳුම වී තිබුණේ විදෙස් වෛද්‍ය විද්‍යාලවල පිහිට පැතීම පමණි. එයද මුදල් යහමින් තිබූ මව්පියන්ගේ දරුවන්ට පමණක් සීමා විය. මේ යථාර්ථය හොඳින් තේරුම් ගත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඊට ප්‍රායෝගික විසඳුමක් ලෙස සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේය. එම ව්‍යාපෘතිය මේ රටේ කුහක දේශපාලන සන්දර්භය තුළ ඛේදවාචකයක් බවට පත් වූ ආකාරය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ලිපියේ එක ඡේදයක මෙසේ අපූරුවට සඳහන් වී තිබේ.

‘‘සයිටම් වෛද්‍ය විද්‍යාල ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය. මම එවකට විපක්ෂයේ වූ අතර රාජපක්ෂ රජයේ මෙම ව්‍යාපෘතියට එදා විපක්ෂය විරුද්ධ වූයේ නැත. 2015 දී අප බලයට පත්වන විට ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට බාධා නොකළෙමු. රාජපක්ෂ රජයේ මිත්‍ර පාර්ශ්වය ඔවුන්ම ආරම්භ කළ ව්‍යාපෘතියට එරෙහිව ජනතාව පෙළඹවීමත් සමඟ මෙම ව්‍යාපෘතියට එරෙහි විරෝධය වේගවත් විය. ජනතාව නොමඟ යවා මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් තම ප්‍රතිපත්තිය තමාම කැප කරන ශ්‍රී ලංකා දේශපාලනයේ ඛේදවාචකය මෙයයි’’.

මේ අදහස ලිපියක අකුරෙන් සටහන් නොවී කතාවකදී වචන බවට පෙරළී තිබුණා නම් එය ‘‘කටේ මසුරන් දැමිය යුතු’’ කතාවක් බවට සැකයක් නැත. මෙරට ප්‍රධාන දේශපාලන ධාරා දෙක තුළම මහජන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මේ රටේ ප්‍රතිපත්තිවලට, බලකාමයට තැනදෙන කුහක දේශපාලනයේ රඟ හොඳින්ම දැන සිටි බවත් එම දේශපාලන ධාරා දෙක සමඟම ඔහුගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කළ නොහැකිවීම එහි ප්‍රතිඵලයක් බවත් වටහා ගැනීම අසීරු නැත. ගැටලු ගැන කතා කරමින් කාලය කා දමන ප්‍රතිපත්තියෙන් බැහැරව යමින් එයට ප්‍රයෝගික විසඳුමක් වශයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඉදිකර එහි සායනික කටයුතු සඳහා වෙනම රෝහලක්ද ඉදිකළ නෙවිල් ප්‍රනාන්දු මහතා ගැන කතා කිරීමට අප යොමුවන්නේ එහි වැදගත්කම අපට දැනෙන බැවිනි. එහෙත් සියල්ල දේශපාලනයට යට කරන අපේ රටට මෙවැනි ව්‍යාපෘතිවල කිසිදු වටිනාකමක් නැත. ඒ වෙනුවට විදෙස් රටවලට කෝටි ගණනින් මුදල් ලබාදෙන ප්‍රතිපත්තියක් බදාගෙන එයින් සැනසෙමින් සිටීමට අපට බල කරනු ලැබ තිබේ.

සයිටම් ව්‍යාපෘතියේ අඩුපාඩු නැති  බව අපි නොකියමු. ඒ බව ආරම්භයේදීම හඳුනාගත හැකි වුවද මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒකාධිකාරී බලයක් ගොඩනංවාගෙන සිටි පිරිස් කළේ එයට නිර්දය ලෙස පහර දී ව්‍යාපෘතිය සමතලා කිරීමේ ප්‍රතිපත්තියකට අනුගත වීමය. ඒ හරහා සයිටම් ආයතනයේ වැරදි නිවැරදි කර ගනිමින් රජයේ අනුමත ප්‍රමිතීන්ට අනුකූලව වෛද්‍ය අධ්‍යාපනය ලබා දිය හැකි ආදර්ශවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවා ගැනීමේ අරමුණ විනාශ විය.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඔවුන්ගේ විරෝධය හඳුන්වා තිබුණේ කුහකකමක් වශයෙනි. එහි ඇත්ත නැත්ත කුමක්ද යන්න සිහි නුවණින් විමසා බැලීම මහජනතාවගේ වගකීමකි. අපේ රටේ සංවර්ධන අභියෝග ජය ගැනීමට නම් අවශ්‍ය වන්නේ පුළුල් ජාතික ප්‍රතිපත්ති මිස මැතිවරණ ජයග්‍රහණ කිරීම වෙනුවෙන් පමණක් යොදාගන්නා ජනතාව රවටන එවැනි කුහක ප්‍රතිපත්ති නොවන බව පෙන්වා දීමට කැමැත්තෙමු. ඒ අර්ථයෙන් ගත කල ඉරාන් වික්‍රමරත්න මහතා දක්වන අදහස් තුළ ඇත්තේ පුළුල් අර්ථයකි. එය වඩාත් අර්ථවත් වනු ඇත්තේ එම ප්‍රතිපත්ති තමන්ගේ දේශපාලනය තුළද ප්‍රායෝගිකව යොදා ගැනීමෙන් පමණි.

(***)