තේ කුඩුවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කරන උඩුනුවර වෙළම්බඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් වටලා තේ කුඩු, කසළ තේ සමග විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය කිලෝ 75ක්, සීනි පැණි බෝතල් 138ක් සහ හඳුනා නොගත් අමුද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්වීමේ පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.

ඉන්දියන් සාගරේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් නමුදු ලෝක සිතියමේ අබැටක් තරම් වන පුංචි දූපතක් වන ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන ඒමට සමත් සම්පත් තොග වශයෙන් නැත. තේ, පොල්, රබර් ඒ අතරින් ප්‍රධාන විය. එහෙත් මකන කෑල්ලත් චීනයෙන් ආනයනය කිරීමට සිදුවන තරමට රබර් කර්මාන්තය නැත්තටම නැති වී ගියේය. පොල් කර්මාන්තයේ ඉරණම කොතෙක් බිහිසුණු ද යත් පොල් ගෙඩියක මිල විමසූ විට එලොව පොල් පෙනෙන තරම්ය. බරපතළ උවදුරු සහිතව වූවද තේ කර්මාන්තය අතීත ශ්‍රී විභූතිය යම් පමණකින් හෝ රැක ගැනීමට සමත්ව සිටී. ඒ ‘සිලෝන් ටී’ යන සන්නාමයේ ආනුභාවයෙනි.

ශ්‍රී ලංකාව හැඳින්වීමට පිටරැටියන් ‘සිලෝන් ටී’ යන සන්නාමය යොදා ගන්නා බව රහසක් නොවේ. සුද්දා ඉතිරි කර තබා ගිය වගාවක් වූව ද ‘සිලෝන් ටී’ දුගී අප රට සතු පරම ධනයක් විය. එහෙයින් මෙම කර්මාන්තය ආරක්ෂා කර ගත යුතුය. ‘සිලෝන් ටී’ සතු කීර්ති නාමය ගලග්‍රහණයට ගන්නා ජාවාරම්කාර පාපකරයන්ගෙන් බේරා ගත යුතුය.

අප පුවත්පතට ප්‍රකාශයක් කරමින් සහකාර තේ කොමසාරිස් එම්.කේ. සමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ තේ වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන කර්මාන්ත ශාලා 15ක් පමණ මේ වනවිට වසා දමා ඇති බවත් එහෙත් අධික ලාභයක් ලැබෙන නිසා දිගින් දිගටම එවැනි ක්‍රියා සිදුවන බවත්ය. තේ වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීම එක් ජාවාරමක් බවත් තේ වලට කසළ තේ මිශ්‍ර කිරීම තවත් ජාවාරමක් බවත් මෙහිදී අවධාරණය විය යුතුය.

ජාවාරම්කාර පාපතරයෝ මේ වස විස සහිත තේ දේශීය වෙළෙඳ පොළටත් විදේශීය වෙළෙඳපොළටත් මුදාහරිති. සහකාර තේ කොමසාරිස්වරයා පවසන්නේ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ තේ පානය කිරීමෙන් මිනිසුන් දිගු කාලීන රෝගාබාධවලට ලක්වන බවය. මෙහි ඇත්තම තත්ත්වය නම් හඳුනා නොගත් රෝගවලින් මිනිසුන් මිය යාමේ ප්‍රවණතාව ඉහළ යාමය. අප රටේ මිනිසුන්ට අත්වී ඇති ඉරණම නම්, තමන් මිය යන්නේ කවර රෝගයක් හේතුවෙන් දැයි දැන ගැනීමට ද නොහැකි වීමය. මනුෂ්‍යත්වයේ අසරණකම සම්බන්ධයෙන් මෙයටත් වඩා නිදසුන් අවශ්‍ය නැත. උඩුනුවර වෙළම්බඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාව සම්බන්ධ ප්‍රවෘත්තිය එයට හිමි නිසි බරින් හඳුනා ගත යුතු වන්නේ එහෙයිනි.

‘සංවිධානාත්මක අපරාධ කල්ලි’ යන යෙදුම සාමාන්‍යයෙන් යෙදෙන්නේ පාතාලයන් සම්බන්ධයෙනි. තේ කර්මාන්ත ශාලාවක අධිපති, සද්ගුණවත් ධන කුවේරක ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් එම යෙදුම නොයෙදවෙයි. එහෙත් සුදු කරපටි ජාවාරම්කරුවෝ ඒ අතර සිටිති. උඩුනුවර වෙළම්බඩ තේ කර්මාන්ත ශාලාව යනු එවන් සංවිධානාත්මක සුදු කරපටි අපරාධකරුවකුගේ රාජධානියකි.

අප ප්‍රවෘත්තියට අනුව මෙම කර්මාන්ත ශාලාව ප්‍රධාන මාර්ගයෙන් දුරස්ව ඇති බවත් පොලිසිය හෝ කිසිවකු එයට ඇතුළු වූවහොත් ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ප්‍රධාන මුර කුටිය හරහා විදුලි සංඥා මගින් ඒ බව කර්මාන්ත ශාලාවට ‘දැනුම් දෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී ඇති බවත් කියැවෙයි. ඔවුන්ගේ ඔත්තුකරුවන් දිවා රෑ දෙකෙහි නගරයේ සැරිසරන බවද සඳහන්ය. එම තත්ත්වය තුළ වෙස් වළාගෙන ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මුරකුටියේ සිටි ආරක්ෂක නිලධාරියා සිය භාරයට ගෙන හොර රහසේම මෙම කර්මාන්ත ශාලාවට ඇතුළු වී මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

මෙම කර්මාන්ත ශාලාවේ කසළ තේ කිලෝ ලක්ෂ ගණනින් ගබඩා කර ඇති බවත් ඒවාට රසායනික ද්‍රව්‍ය යොදා නිමි තේ ලෙස සකස් කරන්නට ඇතැයි සැක කරන බවත් වැටලීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පවසන බවත්, ඒ හරහා ඔවුන් අධික ලාභ ලබන බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

රටේ නම ලොවේ කැත කරන, මිනිසුන් රෝගීන් බවට පත් කරන පාපතර ජාවාරමක් කූඩු කිරීමට ඉදිරිපත් වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රණාමය හිමි විය යුතුය. එමෙන්ම මෙම ජාවාරම්කරුවන්ට දිය හැකි ඉහළම දඬුවම් ලබාදිය යුතුය. එසේ නොවුණහොත් මෙරට ජනයාට මිය යාමට සිදුවන්නේ තමා මිය යන හේතුවවත් නොදැනය.

(***)