
බ්‍රසීලයේ සිට චීනයේ දකුණු දිග නගරයක් වන ෂෙන්සෙන් වෙත ගෙනයන ලද ශීත කළ කුකුළු මස් තොගයක කොරෝනා වයිරසය හමුවී ඇතැයි චීන රජය පවසයි.
දේශීය රෝග පාලන මධ්‍යස්ථානය විසින් එම කුකුළු මස් තොගයෙන් ලබාගත් මතුපිට සාම්පල පරීක්ෂා කිරීමේදී මේ බව සොයාගෙන තිබේ.
ඉක්වදෝරයෙන් ආනයනය කළ ශීත කළ කූනිස්සන් ඇසුරුම් පරීක්ෂා කිරීමේදී ද කොවිඩ් - 19 ඇති කිරීමට හේතුවන කොරෝනා වයිරසය හමුවූ බව ඔවුහු පවසති.
මෙම තත්ත්වය යටතේ ආහාර අපනයනයේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව චීන බලධාරීහු පවසති.සියලු වරායන්හි පරීක්ෂාකිරීම් වේගවත් හා සූක්ෂම ලෙස සිදුකළ යුතු බවට ද ඔවුන් අවධාරණය කර තිබේ.
ආහාර සුරක්ෂිතතා අවදානම තක්සේරු කිරීමේ චීන ජාතික මධ්‍යස්ථානය පසුගිය ජුනි මාසයේදි කියා සිටියේ ශීතකළ ආහාර මගින් වයිරසය ආසාදනය වීමේ හැකියාව බැහැර කළ නොහැකි බවයි.
සෙල්සියස් අංශක සෘණ 20ක උෂ්ණත්වයක වසර දෙකක් පමණ වයිරස නොනැසී පැවතිය හැකි නමුත් කොරෝනා වයිරසය ශීත කළ ආහාර හරහා පැතිර යා හැකි බවට මෙතෙක් ප්‍රබල සාක්ෂි හමුවී නොමැති බව විද්‍යාඥයෝ පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
මෙය අපද විමසිල්ලට ගතයුතු කාරණයක්. මන්දයත්, අපගේ රටට ඉන්දියාවේ සිට කේරළ ගංජා, කහ, බීඩි කොළ හා කුඩු නිතර දෙවේලේ අනවසරයෙන් ගෙනෙනු ලබනවා. මේ තුළින් රටට කොරෝනා වයිරසය පැමිණීමේ අවදානමක් තිබෙනවා.