නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යතුරුපැදි දෙකකින් කොළඹ සිට කතරගමට පැමිණ කතරගම ප්‍රදේශයේ සැරිසරමින් සිටිය දී කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සිව්දෙනකු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් 3000 බැගින් රුපියල් 12000ක දඩයක් නියම කළ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය කතරගම සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය මත දින 21 ක් නිරෝධායනයේ යෙදෙන ලෙසට ද නියම කළ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

රට සෙමින් යථා තත්ත්වයට පත්වීමට පටන් ගත්තා පමණි. කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්ක දෙක හැරුණු විට අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබේ. ඇඳිරි නීතිය පැනවීමෙන් අපේක්ෂා කළේ සංචරණය සීමා කිරීමය. අතරින් පතර ගොං වස්සන් කිහිප දෙනකු හැරුණු විට රටේ පොදු මහජනතාව රට මේ විපතෙන් මුදවා ගැනීම පිණිස සිය දායකත්වය උපරිමයෙන් ලබා දුන්හ. කෙටි කලක් තුළ දී රට යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වූයේ ඒ ජනයාගේ අනගිතම දායකත්වය නිසාය. කොළඹ සිට කතරගමට යතුරුපැදි වලින් ගොස් කරක් ගසා තිබෙන්නේ පෙර කී ආකාරයේ ගොං වස්සන් සිව් දෙනෙකි.

කොරෝනා මාරාන්තික ව්‍යසනය හමුවේ කිසිදු පුරවැසියකුට තමන් අභිමත පරිදි කටයුතු කළ නොහැකිය. සෑම පුරවැසියකුටම සමාජ වගකීමක් තිබේ. එම වගකීමට යටත්ව කටයුතු කිරීමට සාමූහික විචාර බුද්ධියක් තිබිය යුතුය. විශේෂයෙන්ම එක් පුද්ගලයකුගේ වගකීම් විරහිත හැසිරීමෙන් මුළු රටටම විපාක විඳීමට සිදුවන, ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන මාරාන්තික කොරෝනා වයිරසය හමුවේ සමාජයීය වගකීම එයට හිමි නිසි අරුතෙන් හඳුනාගෙන කටයුතු කළ යුතුය. එසේ නොවන්නන්ට ජීවිතේටම මතක හිටින පාඩම් කියා දිය යුතුය.

සෞඛ්‍යමය ප්‍රතිපාදනවලට අවනත නොවී, ආරක්ෂක විධිවිධානවලට යටත් නොවී දිස්ත්‍රික් සීමා මායිම් නොකර කටයුතු කිරීමෙන් බොළඳ සතුටක් යමකුට ලැබිය හැකිය. එය මහා හපන්කමක් ලෙස තප්පුලෑමේ හැකියාව ද තිබේ. මුග්ධ බව සාඩම්බර පදක්කමක්ව පැළඳීමට රිසි මිනිස් වෙස් ගත් ගවයන් කවුදැයි හඳුනා ගැනීම ඉතා පහසුය. ඇතැම්විට මේ ඔවුන්ගේ පළමු මනුෂ්‍ය ආත්මභාවය විය හැකිය. සාමූහික විචාර බුද්ධිය අවදි කර ගැනීමට ඔවුන්ට තව මනුෂ්‍ය ආත්ම භාව ගණනාවක් ගත කිරීමට සිදුවනු ඇත.

බත් කන හරක් ස්වයං නිරෝධායනයට යොමුකළ ද ඔවුහු ස්වයං විනයකට යටත් නොවෙති. ඔවුන් මෙල්ල කිරීමට සිදුවන්නේම නීතියෙනි. එවන් පුවතක් සිංගප්පූරුවෙන්ද වාර්තා විය. අප පුවත්පත වාර්තා කළ ආකාරයට කොරෝනා වයිරසයට අදාළව පැනවූ ස්වයං නිරෝධායන නීති කඩ කළ ඇමෙරිකානු ජාතික ගුවන් නියමුවකුට සිංගප්පූරු අධිකරණයකින් මසක සිර දඬුවමක් නියම කළ බවය.

 ඕස්ට්‍රේලියාවේ සිට සිංගප්පූරුවට ඉකුත් අප්‍රේල් 3 වැනිදා පැමිණ ඇති ඇමෙරිකානු ජාතික ගුවන් නියමුවාට සති දෙකක කාලයක් යනතුරු පොදු මහජනතාව ගැවසෙන ස්ථානවලට යෑම තහනම් කරමින් සිංගප්පූරු ආගමන හා ආවේක්ෂණ අධිකාරිය නියෝගයක් පනවා තිබිය දී මෙම ගුවන් නියමුවා එම තහනම නොතකා පොදු මහජනයා ගැවසෙන ස්ථානවලට යෑම, දුම්රියෙන් ගමන් කිරීම ආදී වැරැදි සිදුකර ඇති හෙයින් මෙම දඬුවම පමුණුවා ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

තමන් ජීවත්වන පරිසරය සම්බන්ධයෙන් සංවේදී නොවන පිරිස් සමාජයට කරන හානිය වටහා ගැනීමට කොරෝනා මාරාන්තික වයිරසය උපකාර වී තිබේ. මරණ බිය සමග ජීවත්වීමට සිදුවන පරිසරයට එම පරිසරය තුරන් කිරීම සඳහා අවංකවම කැපවීම පුරවැසි වගකීම වුව ද එය නොදන්නා පිරිස් හිතුමනාපේ කටයුතු කරමින් මුළු රටම අගාධයට තල්ලු කරති.

ඇඳිරි නීතිය ලිහිල් කළ ද සංචරණය සඳහා සීමා පනවා තිබේ. එහෙත් ඒවා නොතකා ඇතැම් පිරිස් කටයුතු කරති. මෙම පිරිස මෙල්ල කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරුන් හා පොලිස් අධිකාරිවරුන් යොදවා තිබෙන බව අප පුවත්පත වාර්තා කළේය. එය මේ මොහොතේ පොලිස් දෙපාර්තමේන්තුවට පැවරුණු අතිරේක වගකීමකි. ප්‍රධාන රාජකාරිවලින් බැහැරව අතිරේක කාරණාවලට අවධානය යොමු කිරීමට සිදුවී තිබෙන්නේ ස්වයං විනයක් නැති මිනිසුන් මෙල්ල කිරීම සඳහාය. ඇඳිරි නීතිය කඩ කළ පුරවැසියන් ගණන දෙස බැලූ කල්හි අප රටෙහි කී දෙනකු නීතියට අවනත වීමට අකැමැති ද යන්න පැහැදිලි වේ. එබඳු පුරවැසියන් සිටියදීත් කොරෝනා වැනි මාරාන්තික වසංගතයක් මෙසේ කෙටි කලකින් මර්දනය කිරීමට හැකිවීම ද ජයග්‍රහණයකි.