(අජිත්ලාල් ශාන්තඋදය)

කිලෝ විසි දෙකක් පමණ බරැති දුර්ලභ ගණයේ පළිඟු ගලක් අවිස්සාවේල, දෙහියාගල ප්‍රදේශයේ පතලකින් හමුවී ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

මෙය දුර්ලභ පාෂාණයක් බවත් ඒ තුළ දිය බුබුළක් පිහිටා ඇති බැවින් එයට ඉහළ වටිනාකමක් හිමිව ඇති බව මැණික් හා ස්වර්නාභරණ අධිකාරිය පැවසූ බව මාධ්‍ය ද වාර්තා කළේය. මැණික් කිරනු ලබන්නේ කැරට් වලින් වන අතර එහි බර කැරට් එක්ලක්‍ෂ දසදහසක් බවද පැවසිනි.

පළිගු මැණික් ආශ්‍රිතව චූඩා මාණිඛ්‍ය නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් වන පරකඩුව, නාමල්දෙනියේ පදිංචිව සිටින ටී.එම්. සේනාරත්න මහතා මහ පොළොවෙන් හමුවන රළු පළිඟු වලට ජීවය දෙමින් සුවාසු දහසක් දනන්ගේ වන්දනාමානයට පාත්‍රවන චූඩා මාණික්‍ය සකස්කරන ව්‍යාපාරිකයෙකි. ඔහුගෙන් මේ සම්බන්‍ධව විමසුවෙමි.

"පළිඟු කියන්නේ ක්වාට්ස් කියන පාෂාණ විශේෂයට. චුඩා මාණික්‍ය සඳහා යොදාගන්නේ පළිඟු කියන ගල් වර්ගය. වටනාකම අඩුයි. ලංකාවේ හැම තැනකින්ම පළිඟු හම්බවෙන්නේ නෑ. පලිඟුවල වර්ග කිහිපයක් තියනවා. සුදු, කහ, කහට, රෝස සහ තඹපාටින් පළිඟු තියනවා. චූඩා මාණික්‍ය වලට ගන්නේ සුදු සහ කහ පළිගු තමයි. නමුත් සුදු සහ කහ පළිඟු හොයාගන්න අමාරුයි. ඒ වගෙ වෙලාවට කහට පළිඟුත් ගන්නවා. කහට පළිගු ලා කෝපි පාටයි.  කහට පළිඟු චූඩා මාණික්‍යයට පළඳලා අවුරුදු කිහිපයක් අව්වට තිබුණාම එහි තියන කෝපි වර්ණය පිච්චිලා සුදු පාට වෙනවා. මේ කියන පළිඟු මොකක්ද කියලා නිරීක්‍ෂණය නොකර එය කුමන වර්ගයේ පළිඟුවක් ද කියලා කියන්න බෑ." සේනාරත්න මහතා පැහැදිලි කළේය.

"පොලොවේ අඩි හතරක් පහයක් යටින් හම්බ වෙන ගොඩ ඉල්ලම් වලිනුත් පළිඟු හම්බවෙනවා. තට්ටු තිහ හතළිහ ගැඹුර පතල් වලිනුත් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් තට්ටුවක් අඩි දෙකක් එකහමාරක් විතර ඇති." සේනාරත්න මහතා කීවේය.

"සුදු, කහ, කහට පළිගු වලිනුත් වැඩි ප්‍රමාණයක් විවිධ හැඩතල වලට කපලා ප්‍රදර්ශනාගාර වල තියන්න කපා ඔප දමනවා. ඒවගේම පෙන්ඩන් වලට අල්ලන්න ධර්ම චක්‍රය, කුරුසය, ස්වස්ථිකය පළිඟුවලින් හදනවා. චූඩා මාණික්‍ය සඳහා නිතර ඉල්ලුම් නෑ. නමුත් සමහර අවස්ථාවල කුඩා ප්‍රමාණයේ ධාතු කරඬු වලටත් චූඩා මාණික්‍ය ඉල්ලන අවස්ථා තියනවා." සේනාරත්න මහතා පැවසුවේය.