(ඉන්දිකා රාමනායක)

 

ඉන්දියාවේ මධුරේ ප්‍රදේශයේ දී මියගිය බව කියන  සංවිධානාත්මක අපරාධකරුවකු වන  ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා සම්බන්ධ ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සිදුකිරීම සදහා එම පරීක්ෂණයට අවශ්‍ය ඇගිලි සළකුණු ඇතුළු ඩීඑන්ඒ  සාම්පල්  මෙරට  ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට බාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ජාලිය සේනාරත්න මහතා පැවසීය.

අංගොඩ ලොක්කා මියගිය බවට වාර්තා පළවුන ද ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින්    තහවුරු කරගෙන නොමැති  බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම  සිද්ධිය සම්බන්ධයෙන්  ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ  පරීක්ෂණ පැවැත්වෙන බවත්,  ඩී එන් ඒ  සාම්පල් තහවුරු වීමෙන් පසුව   ඔහු මියගිය බවට නිළ වශයෙන් තහවුරු කරගත හැකි  බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එම  ඩී එන් ඒ වාර්තා ලංකාවට  කඩිනමින් ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් සිටින  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා මේ බව පැවසුවේ අද (14) පොලිස් මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

ආර් ප්‍රදීප් සිං නැමැති ව්‍යාජ නමකින්  ඉන්දියාවේ  ජීවත්ව සිටින අංගොඩ ලොක්කා නැමැත්තා  හදිසි  අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් ජුලි මස 3 දින  කොලොම්තූර් රෝහලට ඇතුළත් කර සිටියදී  මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඔහුගේ සිරුර ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර  රෝහලින් මුදාගෙන ගොස් ආදාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු තිදෙනකු  ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවට   ඉන්දීය  මාධ්‍ය පසුගියදා  වාර්තා කර තිබිණි.