IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මෛත්‍රීගේ ​දේශපාලන බෝම්බය

දේශපාලන කරළිය දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ. ගත වූ සතිය ද ගෙවී ගියේ දේශපාලන හැල හැප්පීම් මැද බව පැහැදිලිය. අතුරලියේ රතන හිමියන්ගේ උපවාසය මුස්ලිම් ඇමැතිවරුන් 9 දෙනෙකු හා ආණ්ඩුකාරවරුන් දෙදෙනකු සිය ධුරවලින් ඉවත්වීම, ජනපති මෛත්‍රී කැබිනට් රැස්වීමේ දී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ආදිය සතියේ දේශපාලන කරළිය ගිනියම් කළ සිදුවීම් අතරින් කීපයකි.


පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරවලින් පසුව ඒ පිළිබඳ චෝදනා එල්ලවී ඇති රිෂාද් බදියුදීන් ඇමැතිවරයාත් බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාත් තනතුරුවලින් ඉවත් කළ යුතු බව කියමින් අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී අඛණ්ඩ උපවාසයක් ඉකුත් සතියේ සිකුරාදා ආරම්භ කළේ රටේම අවධානය ඒ දෙස යොමු කරවමිනි. ඒ සඳහා මහා සංඝරත්නයෙත් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයින් පිරිසකගේත් සහාය උන්වහන්සේට හිමිවූයේ අසාද් සාලි, හිස්බුල්ලා සහ රිෂාද්ට සිය තනතුරුවලින් ඉවත්ව යන තැනට වැඩ සලස්වමිනි. මෑත දී ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ නිදහස ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද රතන හිමියන්ගේ සහයට පැමිණියේ රිෂාද්ට අසාද් සාලි හා හිස්බුල්ලාට තනතුරුවලින් ඉවත්ව යාමට නියමිත කාල වකවානුව පවා නියම කරමිනි.


මේ අතර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් ද අසාද් සාලිට හා හිස්බුල්ලාට තනතුරුවලින් ඉවත්වන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වූයේ ඔවුන් තවදුරටත් එම තනතුරුවල රැඳී සිටීම විශාල ප්‍රශ්නයකට මුල පිරීමක් බව කියමිනි. සති අන්තයේ හම්බන්තොට ගොස් සිටි සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා ද ඉරිදා රාත්‍රි 2.00ට පමණ කොළඹට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලැබුණ දැනුම් දීමකට අනුවය. ඔහු පහුවදා උදේ පාන්දරම හිස්බුල්ලාට කතා කර සිය නිවෙසට ගෙන්වා ගත්තේ ඔහු ඉල්ලා අස්වීම මග හරිමින් සිටි බැවිනි. අනතුරුව සිය නිවෙසට ආ හිස්බුල්ලාට අමරවීර කීවේ මේ වෙලාවේ ජනාධිපතිතුමාත් අපහසුතාවට පත් නොකර ඉල්ලා අස්වීම සුදුසු බවය. ඒ අනුව ඔහු ඉල්ලා අස්වීමට එකඟ විය.


අනතුරුව අමරවීර කතා කළේ අසාද් සාලි ආණ්ඩුකාරවරයාටය. ඔහුට කීවේ ද ජනාධිපතිවරයා අපහසුතාවට පත් නොකර අස්වන ලෙසය. එහෙත් ඔහු ඊට එකඟ නොවීය. හිස්බුල්ලාත් අසාද් සාලිත් කැඳවාගෙන අමරවීර ජනාධිපති කාර්යාලයට ගියේ ජනාධිපතිවරයා හමුවී ප්‍රශ්නය අවසන් කර ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ අනුව තනතුරුවලින් ඉවත්වෙමින් අසාද් සාලිත්, හිස්බුල්ලාත් සිය ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපතිවරයා අතට භාරදුන්හ.


ඔවුන්ගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගත් බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා වහා නිවේදනයක් නිකුත් කළේය. එම ලිපියේ පිටපතක් එවෙලේම මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නට යැවූ අතර ඔහු එම ලිපියත් රැගෙන වහාම රතන හිමියන් බැහැ දැකීමට ගියේය. ලිපිය රතන හිමියන් ඉදිරියේ කියවූ මෛත්‍රී ගුණරත්න ඉල්ලා සිටියේ උපවාසය නතර කරන ලෙසය. ඒ අනුව උපවාසය නතර කරන්නට රතන හිමියෝ එකඟතාව පළ කළහ.


මේ අතර එදිනම දහවල් ජනාධිපතිවරයා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේ දී හමුවිය. හිස්බුල්ලාට සහ අසාද් සාලිට ඉල්ලා අස්වන ලෙස බල කරමින් රතන හිමියන් ආරම්භ කර තිබූ උපවාසය ගැන ද එහිදී කතාබහට ලක්විය. ජනාධිපතිවරයා කීවේ මේක පොඩියට පෙනුණට මෙමගින් ලොකු විනාශයක් සිදුවන බවය.


ඊළඟ ප්‍රශ්නය වූයේ ඉල්ලා අස්වූ ආණ්ඩුකාරවරුන් වෙනුවට බස්නාහිරට හා නැගෙනහිරට අලුතින් ආණ්ඩුකාරවරුන් පත් කිරීම ගැනය. එහිදී ශ්‍රීලනිපයෙ පිරිසක් යෝජනා කළේ බස්නාහිර ආණ්ඩුකාර ධුරයට මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා පත්කර ඔහුගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරයට ජගත් පුෂ්පකුමාර පත් කිරීමටය. එහෙත් ජනාධිපතිවරයා කීවේ බස්නාහිරට මුස්ලිම් අයකුම පත් කිරීම සුදුසු නිසා පරිසර අධිකාරියෙ සභාපති මුසම්මිල් පත් කළ හැකි බවය. නැගෙනහිර ආණ්ඩුකාර ධුරයට නම් දෙකක් යෝජනා විය. එකක් දකු​ෙණ් හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් පත් කිරීමය. අනෙක් යෝජනාව ශ්‍රීලනිපයෙ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කිරීමය. දයාසිරිත්, මහින්ද අමරවීරත් කීවේ නැගෙනහිරට ෂාන් පත් කිරීම සුදුසු බවය. බස්නාහිරට මුසම්මිල් පත් කරන්නට තීරණය වූ අතර නැගෙනහිරට පත් කරන්නේ කවුරුන්ද යන්න ගැන එහිදී අවසන් තීරණයක් නොගැනුණි.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කෙටි සංචාරයක් සඳහා අද (09) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද විශේෂ ආරාධනයක් පිළිගනිමිනි. ඉන්දීය අගමැතිවරයාගේ හදිසි සංචාරයට මඟ පෑදෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ කළ ඉන්දීය සංචාරයෙනි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමෙන් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයින් දෙපළ අතර නිල හමුව සිදුවූයේ ඉකුත් සතියේ සිකුරාදා පෙරවරුවේය. මේ හමුව ඉන්දීය අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්විණි. දෙරටේ ආර්ථික දේශපාලන ආරක්ෂක ආදී තොරතුරු ගැන සාකච්ඡා කරන අතරේ ඉකුත් පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය. ඔහු කීවේ එම ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් සංචාරක ව්‍යාපාරයටත් විශාල හානියක් සිදුවූ බවය. ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීම් අතරේ ඉන්දීය අගමැතිවරයා විමසා සිටියේ මගෙන් මොනවද මේ වෙලාවේ කෙරෙන්න ඕනෑ’ යනුවෙනි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝකයේ රටවල සංචාරකයින්ට තිබෙන බිය තුරන් කර ගැනීම මෛත්‍රීට තිබූ ලොකු අභියෝගයකි. ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි නම් එය සංචාරක ව්‍යාපාරයට වගේම රට සුරක්ෂිත බව ලෝකයට පෙන්වීමට හොඳ අවස්ථාවක් බව මෛත්‍රී කල්පනා කළේය.


ඒ අනුව ඔහු ඉල්ලීමක් කළේ ඔබතුමාට පුළුවන් නම් ලංකාවේ සංචාරයකට එන ලෙසය. එවලේම සිය පෞද්ගලික ලේකම්වරයා ලවා දිනපොත ගෙන්වාගත් නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා මම 8 වැනිදා මාලදිවයිනට යනවා. ඒ එන ගමන් 9 වැනිදා ලංකාවට ඇවිත් යන්න එන්නම්’ යැයි කීවේ මෛත්‍රීගේ ආරාධනය ඉහළින්ම පිළිගනිමිනි. එය මෛත්‍රීටද ලැබුණ හොඳ අවස්ථාවකි.


මාලදිවයිනට ඊයේ පිටත්ව යාමට නියමිතව සිටි ඉන්දීය අගමැතිවරයා හෙට උදේ වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඒ පැය තුන හමාරක් වැනි කෙටි කාලයක් වෙනුවෙනි. කොළඹට එන ඉන්දීය අගමැතිවරයා ජනපති මෛත්‍රී විසින් කොටුව ජනපති මැදුරේදී පිරිනමනු ලබන විශේෂ දිවා භෝජන සංග්‍රහයට ද හෙට දිනයේ සහභාගිවනු ඇත. මේ අතර ඉන්දීය අගමැතිවරයා ගේ ශ්‍රී ලංකා සංචාරයේ පරිවාර ඇමැති ලෙස සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බව ද වාර්තා විය.


සතියෙ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එදින කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශයක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයත් මේ වනවිට දැඩි කැලඹීමකට පත්ව සිටින බවක් පෙනෙන්නට තිබේ. එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව දවසින් දවස ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් යන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. ‘පොහොට්ටුව ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ. ඔවුන්ට කිසි වැඩපිළිවෙළක් නැහැ. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවටත් එහෙම වැඩපිළිවෙළක් මට පේන්න නැහැ. රටේ තත්ත්වය ගැන මම හොඳින් දන්නවා. එක්සත් ජාතික පක්ෂයටත් ඉදිරියට යන්න නම් ශක්තිමත් නව වැඩපිළිවෙළක් තියෙන්න ඕනැ එහෙම නැතිව ආණ්ඩුවේ පිරිහීමේ ගමන වළක්වන්න බැහැ’ ජනාධිපතිවරයා කීවේය.


ජනාධිපතිවරයාගේ මේ කතාව පසුවදා මාධ්‍යවල අඩු වැඩි වශයෙන් පළවූයේ දේශපාලන කරළිය සුළි කුණාටුවක් බවට පත් කරමිනි. සමහරුන් සිතුවේ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේම අලුත් නායකයකු යටතේ ගමනක් යාමට සූදානම් වන බවය. ඒ සමඟම තවත් පිරිසක් සිතුවේ ජනාධිපතිවරයා පොහොට්ටුව සමඟ ගෙනයන ගමනද නතර කර ඇති බවය. කලින් දින කැබිනට් රැස්වීමේ කළ ප්‍රකාශ පහුවදා මාධ්‍යවල පළවීමත් සමඟ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ප්‍රබලයෝ බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාට දුරකථන ඇමතුම් දෙන්නට වූහ. තවත් සමහරු නිල නිවසට පැමිණ හමුවූහ.


මේ අතර බදාදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති අක්තපත්‍ර ප්‍රදානෝත්සවයකට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගි වූයේ විශේෂ ආරාධිත අමුත්තන් වශයෙනි. දෙදෙනාම ශාලාව තුළට එකට පැමිණි අතර යාබද අසුණේ ඉඳ ගන්නා ගමන් මහින්ද මෛත්‍රීගෙන් ඇසුවේ ජනාධිපතිතුමා මොකද්ද අර ඊයෙ කැබිනට් එකේ කරපු කතාව කියාය. කැබිනට් එකේ කියපු ඒවාත් නොකියපු ඒවාත් දෙකම අද මාධ්‍යවල පළවෙලා තියෙනවා යැයි මෛත්‍රී ද හිනාවෙමින් කීවේය.


ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් වඩාත් අමාරුවේ වැටුණේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ය. කතාව මාධ්‍යවල පළවීමත් සමඟ ඔවුහු දැඩි සේ කලබල වූහ. සමහරුන් ජනාධිපතිවරයාට ඇමතුම් දී මේ ගැන විමසා සිටියේ සිදුවන්​නේ කුමක්දැයි නියමිත හැඟීමක් නොමැතිවය.


ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කණ්ඩායම බදාදා හැන්දෑවේ මහින්ද අමරවීරගේ නිවසේ රැස්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග ඇතිව තිබෙන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙනි. ඊට නිමල් සිරිපාල දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ එහිදී පිරිස තීරණයකට පැමිණියේ මේ ගැන ජනාධිපතිවරයාව මුණගැසී කරුණු දැන ගන්නටය. ඒ අනුව බදාදා රාත්‍රි 9.00ට පමණ ශ්‍රීලනිප මන්ත්‍රීවරු මහගමසේකර මාවතේ නිල නිවසට ගොස් ජනාධිපතිවරයා හමුවූහ. එහිදී මන්ත්‍රීවරුන් විමසා සිටියේ ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී එජාපයට සහාය දෙන බවට කර තිබූ ප්‍රකාශයක් ගැනය. ඔවුන් කියා සිටියේ තමන්ට එක්සත් ජාතික පක්ෂය සමග එකට කටයුතු කිරීමට නොහැකි බව ය. ඒ සමඟම ඉදිරියට කුමක් කරන්න යන්නේ දැයි ඔවුහු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ. ඔය මාධ්‍යවල ගියපු විදියේ දේවල් මම කිව්වෙ නැහැ. මම කිව්වෙ පොහොට්ටුව ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. ඒ වගේම යූඑන්පි ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැනත් මට පැහැදිමක් නැහැ කියලයි. ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැහැ. දවසින් දවස ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා. එයාලට වැරැදි හදාගෙන ශක්තිමත් නව වැඩ පිළිවෙළක් එක්ක යනවා නම් අනාගතයක් තියෙනවා කියලයි මම කිව්වෙ යැයි ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීමෙන් මන්ත්‍රීවරුන්ගේ සැකය දුරුවිය.


අනතුරුව මන්ත්‍රීවරුන් පිරිස නැවත ගියේ අමරවීරගේ නිවෙසටය. එහිදී පීරිස සාකච්ඡා කර තීන්දුවක් ගත්තේ ඉදිරි ජනාධිපතිවරණයට යූඑන්පී විරෝධි කඳවුරේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි ඉල්ලා ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමය. එය සකස් කිරීම බාර වූයේ නිමල් සිරිපාල ඇමැතිවරයාටය. ඒ අනුව පහුවදා උදේ ලියවිල්ල සකස්කර ඔවුන් පාර්ලිමේන්තුවට රැගෙන ආවේ ඊට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීම වෙනුවෙනි. කලින්දා රැස්වීමට නොආ එස්බී, ඩිලාන්, තිලංග හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන්ගේ අනුමැතියද ඊට ලැබිණි. ඒ අනුව අත්සන් ලේඛනය සහිත සංදේශයත් රැ​ෙගන නිමල් සිරිපාල, දයාසිරි, අමරවීර ඇතුළු පිරිස බ්‍රහස්පතින්දා දහවල් ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමුවූහ. එහිදී පිරිස ජනාධිපතිවරයාට සංදේශය බාර දෙමින් කීවේ එජාප විරෝධි කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් කරන බවය.


විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 04 වැනිද‌ා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට පැමිණෙද්දී එහි ගාමිණී ලොකුගේ, ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, ජානක වක්කුඹුර ඇතුළු මන්ත්‍රීවරු හා විපක්ෂනායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ රටේ දේශපාලන තත්ත්වය ගැන කතාබහක යෙදී සිටියහ.


‘සර් අපි මේ කීවේ ආණ්ඩුව කරන විකාරය තව කොච්චර දවස් මිනිස්සු ඉවසයි ද? කියලා. ඔබතුමා මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන සංවේදී නිසා ආණ්ඩුවේ නායකයන් එක්ක කතා කරලා හරි විසඳුමක් දෙන්න බලනවනේ. ඒකට වුණත් සමහර අය කැමැති නෑ. ඒ අය එක්ක පිංතූරයක ඉන්නවා දකින්නවත් කැමැති නෑ. ඒ තරමට ආණ්ඩු විරෝධයක් තියෙන්නේ.’ ප්‍රසන්න රණතුංග කීවේය.


‘උදේ ඉඳන් රාත්‍රී වෙනකම් මේ ආණ්ඩුව නිසා දුක් විඳින අය ඇඬූ කඳුළින් ඇවිත් කියන කතා ඇහුවම දුක හිතෙනවා. ව්‍යාපාරිකයන්ට ගොඩ ඒමක් නෑ. රැකියා තොග ගණනින් නැති වෙන තැනට ඇවිත්. රට ඉවර වේගෙන යන්නෙ. කාට දේශපාලනය කරන්නත් රටක් ඉතිරි වෙන්න ඕනැනේ. ඒ නිසා තමයි මම අගමැතිට මුදල් ඇමැතිට ප්‍රශ්න ටික පෙන්නල විසඳුම් දෙන හැටිත් කියල දුන්නේ.’ විපක්ෂනායකවරයා කීවේ රටේ ආර්ථික දේශපාලන තත්ත්වය ගැන විග්‍රහයක් ද කරමිනි.


‘මුදල් ඇමැති මංගල සමරවීර අපේ කාදිනල්තුමාටත් බරපතළ චෝදනාවක් කරලා. කතෝලික ජනතාව ඒකටත් කිපිලා.’ නිමල් ලන්සා කියද්දී ‘එයා හැමද‌ාම කරන්නේ රට ගිනි තියන කතා. මේ වගේ මුදල් ඇමැති කෙනෙක් මම දැක්කමයි. මේ විදියට හැසිරෙන්නේ දෙවියො කෝප වුණාමලු.’ ගාමිණී ලොකුගේ කීවේය.


‘සර්, අපේ කතෝලික මිනිස්සුන්ගෙන් නම් මේ ආණ්ඩුවට සමාවක් නෑ.’ ඉන්දික අනුරුද්ධ කීවේය.


‘සර් අපේ රටේ ජනාධිපති ධුරයට මොකක්ද මේ වෙන්න යන්නේ. සමාජයෙන් එන අපහාස උපහාස කොච්චරක්ද? මුහුණු පොතේ යන ඒවා දැක්කම ඒ ධුරය දරාගෙන ඉන්න එකත් හරි පුදුමයි. ඒ අතරේ අනිවාර්ය නිවාඩු පිට ඉන්න පොලිස්පති පූජිතත් ජනාධිපතිතුමාට විරුද්ධව උසාවිත් ගිහින්. හෙට අනිද්ද‌ා තව මොනවා වෙයි ද දන්නේ නෑ.’ කුමාරසිරි හෙට්ටිගේ කියද්දී ‘19 වැනි සංශෝධනය ගේන කොට ඕව එකක්වත් හිතුවේ නෑනේ. ඒ අය හිතුවෙ මගේ දේශපාලනය නතර කරන්නෙ කොහොමද කියලා. ‘‘රාජපක්ෂල අතුගා දමනව’’ කියල තමයි එද‌ා ඕවා කළේ. දැන් කාට කාටත් වෙලා තියෙන දේ පේනවනේ. ඒකෙන් රටටම වෙච්ච හානිය කොච්චර ද?’ කියමින් විපක්ෂනායකවරයා මන්ත්‍රී පිරිස සමඟ සභා ගර්භයට යන්නට ගියේය.


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හිටපු ආණ්ඩුකාරවරුන් වූ අසාඩ් සාලි සහ හිස්බුල්ලා යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ ද ඒවා විභාග කිරීමට තරම් සාක්ෂි නැතැයි ඒ පිළිබඳ පත්කළ කමිටු ආරංචි මාර්ග පවසයි.


පැමිණිලි ඉදිරිපත් කළ බවට ඇතැම් පිරිස් තැනින් තැන සහ ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කළ ද එය විභාග කිරීමට හෝ ඔවුන් කැඳවා ප්‍රශ්න කිරීමටම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නැතැයි එම අාරංචි මාර්ග සඳහන් කරයි.


ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා අත්අඩංගුවට ගැනීමක් හෝ ඒ පිළිබඳ විමර්ශන කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද දැනගන්නට ඇත.
පැහැදිලි ලෙස ප්‍රමාණවත් සාක්ෂි සහිතව පැමිණිලි ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳ නීතිමය කටයුතු කිරීමට හැකියාවක් පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (0)

මෛත්‍රීගේ ​දේශපාලන බෝම්බය

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 184 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 414 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site