IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බන්ධනාගාර ලොක්කන් ජනපතිගේ දෝෂදර්ශනයට

මනාප අංක නිකුත් කිරීම හෙට

 

කොරෝනාවලට හසුවූ මහ මැතිවරණය දින නියමයක් ද නැතිව කල්ගියේ කිසිවකුත් අපේක්ෂා නොකළ පරිද්දෙනි. මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම්ද ඒ සඳහා බලපෑවේය. මහ මැතිවරණය සඳහා ජනාධිපතිවරයා විසින් දින නියම කරනු ලැබුවේ අප්‍රේල් 25 වැනිදාටය. එහෙත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය දින නියමයක් නැතිව කල් දැමුණු නමුත්, ජූනි 20 වැනිදා මැතිවරණය පවත්වන්නට මැතිවරණ කොමිසම යළි තීරණය කළේය. එහෙත් ජූනි 20 ඡන්දය තියන්නට බැරි බව මැතිවරණ කොමිසම කීවේය. ඔවුන් කීවේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ද ලැබීමෙන් පසුව දිනයක් නියම කරන බවය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සහ මැතිවරණය ජූනි 20 පැවැත්වීමට නිකුත් කරන ලද ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගිය සතියේ ඉවත දමනු ලැබුවේ විභාගයට නොගෙනමය. එය විභාගයට ගන්නේද නැද්ද යන්න සලකා බැලීමට දින දහයක් ගතවිය. කෙසේ වෙතත් අවසානයේ සිදුවූයේ පෙත්සම් කරුවන්ගේ ඉල්ලීම ඉවත දැමීමය. මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කිරීමට තිබූ බාධාව ඉන් ඉවත් විය.


මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තනි තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට ද නොහැකි වී ඇත්තේ කොරෝනා වයිරසය හේතුවෙනි. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාව ද මේ දිනවල සෞඛ්‍ය උපදෙස් ගන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගෙනි. මැතිවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් තිබේද එසේ නම් ඒ සඳහා පිළිපැදිය යුතු උපදෙස් මොනවාද යන්න තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් විසිනි. ඒ පිළිබඳ නිසි බලධරයා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාය. තමා අහන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන දේ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ගිය සතියේ කීවේ එහෙයිනි.


සෞඛ්‍ය නිර්දේශ රැගෙන ජාසිංහ මැකෝ හමුවෙයි.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගිය බදාදා දහවල් රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය හමුවිය. ඒ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් ද සමගිනි. අනිල් ජාසිංහ ලොකු වාර්තාවක්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට බාර දුන්නේය. ඒ කොරෝනා වයිරසය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සැකසුණු නිර්දේශ මාලාවකි. එය ඡන්ද රැස්වීම් පැවැත්වීම, ඡන්ද පත්‍රිකා බෙදීම, ඡන්දය පැවැත්වීම හා මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම වෙනුවෙනි. මනාප අංක ද හෙට නිකුත් කෙරේ. ඒ අනුව අනිද්දා සිට මනාප සටන ආරම්භ වනු ඇත. කොරෝනාවලට යටවී තිබූ දේශපාලන කරළිය අනිද්දා සිට යළිත් ගිනියම් වනු ඇත.


බන්ධනාගාර ක්‍රියාකලාපය ජනපතිගේ දෝෂදර්ශනයට


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය සඳුදා (01) බන්ධනාගාර නිලධාරීන් හමුවිය. ජනාධිපති කාර්යාලයේ පැවැති මේ හමුවට විෂය භාර ඇමැති ලෙස නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් යන අය ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු එහි ඉහළ නිලධාරීහු ද සහභාගි වූහ. එහිදී ජනාධිපතිවරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ එහි ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක්කළේය. බන්ධනාගාර නිලධාරීන්ට බන්ධනාගාරයේ කටයුතු හදාගැනීමට නොහැකි නම් තමා එම කටයුත්ත කරන බව ජනාධිපතිවරයා කීවේය.

 

  • මහින්දානන්දගේ කතාවකට බන්දුලගේ විරෝධය


කැබිනට් රැස්වීම


සතියේ කැබිනට් රැස්වීම ඉකුත් බදාදා දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එදින නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණෙ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඉවත් කර අලුතින් කොමසාරිස් ජනරාල්වරයකු පත්කිරීම සඳහාය. ඊට පාදක වූයේද ඊට දෙදිනකට පෙර ජනාධිපතිවරයා සහ බන්ධනාගාර නිලධාරීන් අතර පැවැති හමුව බව ද පැවසේ. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් ඉවත් කර, තුෂාර උපුල්දෙණිය එම තනතුරට පත්කරන්නට ඇමැතිවරයා යෝජනා කර තිබිණි. ඒ අනුව කැබිනට් මණ්ඩලය යෝජනාව අනුමත කළේය.

 

  • මනාප අංක නිකුත් කිරීම හෙට


මේ අතර බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ, මැදපෙරදිගින් එන කො​රෝනා ආසාදිතයන් සම්බන්ධයෙනි. මැදපෙරදිගින් ඔවුන් මෙරටට එවා ඇත්තේ මිනිස් බෝම්බ ලෙස බවට මහින්දානන්ද අලුත්ගමගේ හිටපු මන්ත්‍රීවරයා රූපවාහිනී වැඩසටහනකදී කළැයි කියන ප්‍රකාශය සත්‍යයක් නොවන බව බන්දුල කීවේය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගිය සති අන්තයේ මහනුවර බලා පිටත්ව ගියේය. එහිදී අගමැතිවරයා උදෙන්ම ගොස් දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබාගත්තේය. එම අවස්ථාවට කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්තේ සහ දිලුම් අමුණුගම යන හිටපු මන්ත්‍රීවරු ද සහභාගි වී සිටියහ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ නිල නිවසට ගිය අගමැති මහින්ද, කෙහෙළියගෙන් විමසීමක් කළේ කලින්දා රාත්‍රියේ රූපවාහිනියේ ප්‍රවෘත්ති බැලුවාදැයි අසමිනි. ඔහු කීවේ චිකාගෝවල වගේ සිද්ධියක් ඇතිවී තිබෙන බවය.


ඒ කලින්දා අලුයම රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට එල්ල වූ ප්‍රහාරයක් පිළිබඳ සිද්ධියකි. අගමැතිවරයා කීවේ මෙවැනි සිදුවීම් ඉදිරියට සිදුනොවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය. කෙහෙළිය ද කීවේ ‘‘ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් ඉන්නකොට කොහොමටත් මේ වගේ දේවල් වෙයි කියල ජනතාව බලාපොරොත්තු වෙන්නෙ නෑ.’’ යනුවෙනි. අගමැතිවරයා එවලේම පොලිස්පතිවරයාට ඇමතුමක් ගෙන සිද්ධිය ගැන විමසුවේය. මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් අගමැතිවරයා, පාතාලය නැතිවෙන්න ඕනෑ යැයි කීවේය.


සෞඛ්‍ය බලධාරින්ටත් උඩින් යන්න හැදූ කම්කරු කොංග්‍රස් ප්‍රබලයා කවුද?


ආරුමුගම් තොණ්ඩමන් ඇමැතිවරයාගේ ආදාහන කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොටගල නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී පවත්වන්නට යන බවට සැලවීමත් සමඟ සෞඛ්‍ය බලධාරීහු අමාත්‍යාංශයේ පැවැති හමුවේදී ඒ ගැන ගත යුතු පියවරද සාකච්ඡා කළහ. එහිදී තීරණය වූයේ සෙනග ගෙන්වීම වහාම නවතා මළගෙදර කටයුතු 200කට සීමා කරන ලෙස දැනුම්දීමට තීරණය වූයේද මේ සාකච්ඡාවේදීය. ඒ අනුව, සෞඛ්‍ය බලධාරියකු තොණ්ඩමන් මහතාගේ පවුලේ අයට දැනුම් දී තිබුණේ ආදාහන කටයුතු සිදුකෙරෙන අවස්ථාවට ගෙන්විය හැකි පිරිස 200කට සීමා කරන ලෙසය. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසද දැනුම් දී තිබිණි. ඉන් උරණ වූ ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රබලයකු, ඇමතුම දුන් සෞඛ්‍ය බලධාරයාට දොස් නගමින් කියා තිබුණේ සෙනඟ ගෙන්වා අවමඟුල් කටයුතු කිරීම නතර නොකරන බවය. ඊට පිළිතුරු දී ඇති සෞඛ්‍ය බලධරයාද ඔහුට දැනුම් දී තිබුණේ සෞඛ්‍ය නීති කඩන්නට ඉඩ නොදෙන බවය. කම්කරු කොංග්‍රසයේ ප්‍රබලයකු යැයි කීවද සෞඛ්‍ය බලධරයාට දොස් නගා ඇති පුද්ගලයා මෑතදී පක්‍ෂයේ වගකීම් භාරගත් අයකු බව පැවසේ. අවමඟුල් දිනට පෙර දිනයේ, නුවරඑළිය දිස්ත්‍රික්කයට පමණක් දවසපුරා ඇඳිරි නීතිය පනවන්නට හේතු වූයේද කම්කරු කොංග්‍රස් ප්‍රබලයකුගේ නොහික්මුණ ක්‍රියාකලාපය බව පැවැසේ.


අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත් ඉරිදා උදේ ප්‍රසන්න රණතුංගට හදිසියේ දුරකථනයෙන් කතා කළේය. ‘ප්‍රසන්න අද ඔයාගේ තාත්තාගෙ පින්කම නේදැ’යි මහින්ද විමසීය. ඇඳිරි නීතිය නිසා, පින්කමේ කටයුතු පවුලේ උදවියගේ සහභාගිත්වයෙන් පමණක් සිදු කරන බවත්, අගමැතිවරයාට ඒ ගැන මතක් නොකළ බවත් ප්‍රසන්න කීවේ මහින්දගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. මහින්ද කීවේ රෙජී රණතුංග ගැන මතක් වී තමා කතා කළ බවය. ඒකට කමක් නෑ. ‘මම රෙජී මතක් වෙලා කතා කළේ. රෙජීව අමතක වෙන්නෙ නෑ.’ යැයි මහින්ද කීවේය.


තොණ්ඩමන්ගේ ඇමැතිකම මහින්දට


ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් හිස්වූ ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් ඇමැති ධුරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය. අගමැතිවරයා ගිය සඳුදා ජනාධිපතිවරයා ඉදිරියේ ඇමැති ධුරයේ දිවුරුම් දුන්නේය.


තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු ගිය ඉරිදා කොටගල නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදුවිය. අවසන් කටයුතු කරන අවස්ථාවට වතු කම්කරුවන් විශාල පිරිසක් ගෙන්වීමට කලින් සැලසුම් කර තිබුණ ද එය අවලංගු වූයේ සෞඛ්‍ය බලධාරීන්ගේ මැදිහත්වීමෙනි. ඒ නිසා නිරෝධායන නීති රීතිවලට එකඟ වෙමින් අවසන් කටයුතු සිදු කරන්නට ඔවුන්ට සිදුවිය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද, රජයේ මැති ඇමැතිවරු රැසක් ද තොණ්ඩමන්ගේ අවමඟුල් උත්සවයට සහභාගි වූහ. 


එජාපය දිනවන්න කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රතිඥාවක්


හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡා අවස්ථා ගණනාවකට සහභාගි විය. වැඩි වශයෙන් කරුණු තුනක් මූලික කර ගෙන මෙම සාකච්ඡා පැවැත්විණි.


මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂය කටයුතු කළ යුතු ආකාරය පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු හා ජාතික සමගි බලවේගයට ගිය 102 ක පිරි​සේ සාමාජිකත්වය තහනම් කිරීමේ සිද්ධිය සමාලෝචනය කිරීම හා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එම සාකච්ඡාවට භාජනය වූ මූලික කරුණු තුන විය.


පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙම සාකච්ඡා සියල්ලටම පාහේ සහභාගි විය. මෙයට අමතරව රවි කරුණානායක, දයා ගමගේ, නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන, පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරට පත්වූ නීතිඥ එම්.එස්.එම්. මිස්බා යන මහත්වරු ද සහභාගි වූහ.


මෙවර මැතිවරණය වෙනුවෙන් විශාල ප්‍රමාණයේ රැස්වීම් පැවැත්වීමට නොහැකි නිසා ජනතාව දැනුවත් කිරීමේ වැඩ කටයුතු කළයුතු ආකාරය පිළිබඳව හිටපු අගමැතිවරයා සෑම අවස්ථාවකදීම තම කණ්ඩායම දැනුවත් කළේය.


මෙහිදී දිස්ත්‍රික්ක මට්ටමෙන් මෙතෙක් සිදුවී ඇති ප්‍රචාරක කටයුතු විමර්ශනය කළ රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු කිරීමේදී විශාල පිරිසක් රැගෙන නොයන ලෙස අපේක්ෂකයන් දැනුවත් කරන ලෙස ද දැනුම් දුන්නේය.


අභාවප්‍රාප්ත තොණ්ඩමන් ඇමැතිවරයාගේ දේහය පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද එහි ගොස් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් සමග ගොස් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා තොණ්ඩමන් මහතාගේ බිරිඳ හා දරුවන්ටද සිය ශෝකය පළකළේය.

 

  • කොළඹ නාගරික මන්ත්‍රීවරුන්ගේ සහාය එජාප නායක රනිල්ට


පසුගිය 1 වැනිදා කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් එජාප නායකවරයා හමුවීමට සිරිකොත මන්දිරයට පැමිණ සිටියහ. නගර සභාවේ සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 60න් 58 දෙනෙක්ම මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.


එහිදී පැමිණ සිටි සියලු නාගරික මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහතාගේ හා පක්ෂයේ ජයග්‍රහණය උදෙසා ඇප - කැප වන බව ප්‍රකාශ කළහ. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට ඡන්ද කටයුතු මෙහෙයවීම පිළිබඳ උපදෙස් ලබා දුන්නේය. මෙවර මහමැතිවරණය වෙනත් මැතිවරණවලට වඩා බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගෙන තිබෙන නිසා, සෞඛ්‍ය උපදෙස් හරියාකාරව පිළිපැදීම වැදගත් බවද හිටපු අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.


දේශපාලන පලිගැනීම් සොයන්න සජිත්ගෙන් ජන බළකායක්


සමගි ජනබලවේගය ඉකුත් දින කිහිපයේම රට පුරාම සිටින අපේක්ෂකයන් කාර්යාලයට කැඳවීය. මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සහ එහි යාන්ත්‍රනය සැකසීම මෙන්ම සංවිධායකයින්ගේ අදහස් යෝජනා ගැනීමද එහි අරමුණ විය.


සියලුම නියෝජිතයින්ට සිය අදහස් උදහස් නිදහසේ ඉදිරිපත් කිරීමට ඉඩකඩ හිමිවිය.
‘‘අපිට සිරිකොතින් පුදුම බලපෑම් කරනවා. පළාත් පාලන නියෝජිතයින්ව බය කරනවා’’ සමහර නියෝජිතයෝ කීය.


‘‘මම ඔබතුමන්ලාට එකක් සහතික වෙනවා. කිසිම මන්ත්‍රීවරයෙක්ට අසාධාරණයක් වෙන්න අපි ඉඩ​ දෙන්නේ නෑ. ඒ සියලුම දෙනා වෙනුවෙන් අපි ඉහළම හයිය ලබා දෙනවා. නීති සහය ලබා දෙනවා. ඒ විතරක් නොවේ ඔවුන් සියලු දෙනාගේ වගකීම භාර ගන්නවා’’
සජිත් කීවේය.


‘‘ඔබතුමාගේ ඒ කතාව අපිට මහ ශක්තියක්. අපි දන්නවා අදටත් සමහර අය පාක්ෂිකයන් අතරමං කරපු හැටි’’


බදුල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් නැගිට කීවේය.


‘‘දේශපාලන පළිගැනීම්වලට ලක් වෙච්ච දහස් ගාණක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් වැඩ පිළිවෙළක් සකසන්න ඕනෑ’’


අපේක්ෂකයෙක් යෝජනා කළේය.


‘‘ඒ වැඩපිළිවෙළ අපි ආරම්භ කළා. ක්‍රියාකාරී බළකායක් ඒ වෙනුවෙන් සකසනවා. අපිට මතකයි ඒ දවස්වල දේශපාලන පළිගැනීම් ගැන කියනකොට සමහරු හැසිරුණු හැටි. අපි අපේ න්‍යාය පත්‍රයේ ඉහළම ප්‍රමුඛතාවය ඒ වෙනුවෙන් දෙනවා කියලා සහතික වෙනවා’’ සජිත් කීවේය.


ආණ්ඩුව නා ගන්න හැටි


ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය ප්‍රචාරක වැඩ පිළිවෙළක් අරඹා ඇත. දිනපතා ප්‍රවෘත්ති සාකච්ඡා දෙකක් පවත්වා ආණ්ඩුවට එරෙහිව තම මතය පළකරන සමගි ජනබලවේගය ඊට අමතරව ජනතාවගේ විවිධ ප්‍රශ්න වෙනුවෙන් ද ඉදිරිපත්ව සිටියි.
‘‘අපි ජනතාවගේ පැත්තේ නිසා ආණ්ඩුව අපිට ගහනවා. මොකද රිදෙන්නේ අපෙන් නිසා’’
හරීන් කීවේය.


‘‘රට විරුවන්ට බෝම්බ කීවා. සැමන් පරිප්පු අඩුවට දෙනවා කියලා මාස දෙකෙන් කන කෑමට බදු ගැහුවා’’ රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


‘‘තොණ්ඩමන් මහත්තයාගෙ මළ සිරුර දින ගානක් තියාගෙන ආණ්ඩුව එතුමට අපහාස කළා. රට අනතුරට දැම්මා’’ එහෙම කීවේ තිස්ස අත්තනායකය. මේ අතර රුපියල් මිලියන 890 ක් වැය කර ගල්කිස්ස වෙරළ තීරයේ ගොඩගැසූ වැලි නැවත මුහුදට සෝදා යාම ගැන බරපතළ විවේචනයක් ආණ්ඩුවට එල්ල විය.


‘‘බැඳුම්කර පාඩුව මිලියන හයසිය අසූවයි. වැලි මුහුදට සේදී ගිය පාඩුව මිලියන 890’’ එහෙම කීවේ හරින්ය.


‘‘දැන් හැබැයි බැඳුම්කර අයයි. වැලි ව්‍යාපෘති කාරයොයි සේරම එකට ගනුදෙනු’’ නලින් බණ්ඩාර කීවේය.


සජිත් සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.


ඡන්දේ තියනවානම් දෙමළ සන්ධානයෙන් කොන්දේසි


මැතිවරණය පවත්වන්නේ නම් දැනට ඇති නීති සංශෝධනය කර නව නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.


දැනට තිබෙන වාතාවරණය අනුව ජනතාවගේ මානසිකත්වය හොඳ මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ යුතු අතර කොරෝනා වැළඳීමේ අවදානම පහව ගොස් ඇති බව ජනතාවට අවබෝධ කළ යුතු බව එම සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ අදහසයි.


මැතිවරණය පැවැත්වෙන දවස, ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් නීති වෙනස් කළ යුතු ආකාරය පිළිබඳ තම මතය ඉදිරියේදී දැනුම් දෙන බවද ඔහු සඳහන් කරයි.


මැතිවරණ දිනයේ ඡන්දය දෙන ආකාරය, ඡන්දය ගණන් කරන ආකාරය පිළිබඳවද දැනට පවතින නීති සංශෝධනය කළ යුතු බවත් නව නීති ඇතුළත් කොට මැතිවරණය පැවැත්විය යුතු බවත් සුමන්තිරන් මහතාගේ අදහසයි.


මුස්ලිම් කොංග්‍රසය සෞඛ්‍ය උපදෙස් අනුව ඡන්ද ව්‍යාපාරයේ


මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරන්නේ සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් ඉදිරි මැතිවරණය සඳහා සිය පක්ෂයේ ප්‍රචාරක කටයුතු සැලසුම් කරන බවය.


දැනටමත් සෞඛ්‍ය අංශ විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර ඉදිරියේදී එම උපදෙස් සංශෝධනය වුවහොත් ඊට මුහුණදී ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට උපදෙස් දී ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහා ලේකම් නිසාම් කාරියප්පර් මහතා පවසයි.


එජාප වෘත්තීය සමිති නායක රැස්වීමක් හෙට


එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් හෙට (8) සිරිකොත මන්දිරයට කැඳවා ඇත.


පක්ෂයේ නායක අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වෘත්තීය සමිති හමුව පැවැත්වීමට නියමිතව ඇත්තේ සමගි ජනබලවේගයට ගිය වෘත්තිය සමිති නායකයන් පිරිසකට උසාවියෙන් තහනමක් පවරා ඇති මොහොතකය.


ඒ ඒ වෘත්තීය සමිතිවලට අදාළ අය මැතිවරණ කටයුතුවලදී ක්‍රියාකළ යුතු ආකාරය වෘත්තීය සමිති මුහුණදී ඇති ගැටළු ආදිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.


දිමු මහින්දට පණිවිඩ යැවූ හැටි


හිටපු අගමැති දි.මු. ජයරත්න මහතාගේ දියණියක වන සේනානි කලකට පසු අගමැති පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමරසිරි හෙට්ටිගේට හමුවූයේ මාර්ෂල් පෙරේරා මහතාගේ දේහය තැන්පත් කර තිබූ ජයරත්න මල් ශාලාවේදීය. එකල හෙට්ටිගේ ද නතර වී සිටියේ ශ්‍රාවස්ති මන්ත්‍රී නිල නිවාසයකය. ‘ඒ කාලේ අපේ අප්පච්චි ඔයාට හරි ආදරෙයි. වැදගත් දේවල් කතා කරන කොට හෙට්ටිටත් එන්න කියන්න කියල අපට කියනව. මහින්ද රාජපක්ෂ මහත්තයට කැපිලි එන කොට පණිවිඩේ දෙන්නයි ඔයා හොයන්නෙ’. සේනානි ඉතිහාසය සිහිපත් කරමින් කීවාය.


ඒක ඇත්ත මම ඒකාලේ ආදරෙන් ඇසුරු කරපු තුන්දෙනෙක් හිටියා. අපේ පත්තර මිත්‍රයන් ඒ නම් තුන එක පෙළට එදා කීවා. මහින්ද, දිමු, දොඩම්ගොඩ කියලා. අමරසිරි දොඩම්ගොඩ කියන්නෙත් හරි රසවත් කෙනෙක්. මේ තුන්දෙනාම හරිම ප්‍රතිපත්ති ගරුකයි. මනුස්සකමත් එහෙමයි. අපේ මහින්ද රාජපක්ෂ මහත්තය අප්පච්චි අගමැති කමේ තියා ගත්තෙත් ලොකු ආදරයක් තිබුණ නිසා. අද ඒ වගේ අය හරි අඩුයි. සමහරුන්ට හරියට මුල මතක නැති වෙනවා. හිටි ගමන් වෙනස් වෙනවා. ‘හෙට්ටිගේ කියද්දී ‘‘ඕව එහෙම තමයි. අපේ අප්පච්චිල හොඳින් හිටි නිසා මිනිස්සු අපටත් සලකනවා’. යැයි සේනානි කීවාය.

 

-ගජබා-



අදහස් (0)

බන්ධනාගාර ලොක්කන් ජනපතිගේ දෝෂදර්ශනයට

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 184 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 414 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site