IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනබල උද්ඝෝෂණය ගැන කැබිනට්ටුවේදී ජනපති නිහැඬියාවක

ගෙවීගිය සතියේ දේශපාලන කරළිය ගිනියම් වී තිබිණි. එයට ප්‍රධාන හේතුව වූයේ ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයයි. ඒකාබද්ධ විපක්ෂය සති ගණනාවක් තිස්සේ විරෝධතා ව්‍යාපාරයේ සංවිධාන කටයුතු සැලසුම් කළ අතර, ආණ්ඩුවෙන්ද ඊට වරින්වර ප්‍රතිචාර දක්වමින් තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද ඇතැම් ප්‍රබලයින් විරෝධතා ව්‍යාපාරය ගැන චෝදනා මුඛයෙන් කතා කරනු දක්නට ලැබිණි. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ කිසිවක් ගණනකට නොගෙන, සුපුරුදු පරිදි සිය කටයුතු කරගෙන යන ආකාරයක් දකින්නට ලැබිණි.


ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා උද්ඝෝෂණය තිබුණේ බදාදාය. එදින පෙරවරුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගියේ රාජ්‍ය ගිණුම් කාරක සභාව රාජ්‍ය ආයතන කිහිපයක් ඇගයීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වන්නටය. ඒ අතරේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයට ද හදිසියේ ගිය ජනාධිපතිවරයා පත්තර මේසයට ගොස් පත්තර කියවමින් සිටියේ බොහොම සැහැල්ලුවෙනි.


රාජ්‍ය ගිණුම් කාරක සභා ඇගයීම් උත්සවයේදී ජනාධිපතිවරයා ආන්දෝලනාත්මක කතාවක් ද කළේය. ඔහු කීවේ මිනිමැරුම්, මත්කුඩු ජාවාරම්වලට මරණ දඬුවම දෙනවා සේම රාජ්‍ය මුදල් හොරකම් කරන අයට ද මරණ දඬුවම දීම නීති පොතට ඇතුළත් කළ යුතු බවය. ඊට අදාළ නීති සම්පාදනය කළහොත්, තමා ජනාධිපති ධුරයෙන් යාමට පෙර, දෙතුන් දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකි වන බවද ජනාධිපතිවරයා කීවේ ජනාධිපති කොමිෂන් වාර්තා ගැන ද සඳහන් කරමිනි.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර ආන්දෝලනාත්මක කැබිනට් පත්‍රිකා කිසිවක් නොවූ බැවින් වැඩි අවධානය යොමුවුණේ ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට උද්ඝෝෂණය ගැනය. ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයට එරෙහිව මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු, චම්පික රණවක, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ඇමැතිවරු කිහිපදෙනෙක්ම අදහස් දක්වන්නට වූහ. ඒ අතරින්ද දැඩිව අදහස් පළකළේ මංගල සමරවීර ඇමැතිවරයාය. ‘ඒකාබද්ධ විපක්ෂය හදන්නෙ කොළඹ අක්‍රිය කරන්න, අපි ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ. මේ කරන්නෙ නාමල් රාජපක්ෂ ඉස්සරහට ගේන්න හදන වැඩක්. මේකට ඉඩ දෙන්න බැහැ, මේ අය හිංසාකාරී විදියට හැසිරුණොත් පොලිසිය අවශ්‍ය බලය පාවිච්චි කළ යුතුයි’’ යැයි මංගල කීවේ, දීර්ඝ විස්තරයක් ද කරමිනි.


මංගලගෙන් පසුව කතා කළේ හරීන් ප්‍රනාන්දුය. ‘‘මේ නාමල් බේබි ඉස්සරහට ගේන්න හදන වැඩ පිළිවෙළක්. මේ වැඩේට සම්පූර්ණයෙන්ම ප්‍රචාරය දෙන්නෙ පුද්ගලික රූපවාහිනි නාලිකා, මෙයාලගේ ප්‍රවෘත්ති සාධාරණ නැහැ, මේවා ගැන යම් නියාමනයක් අවශ්‍යයි’’ හරීන් ප්‍රනාන්දු කීවේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවලට ද චෝදනා එල්ල කරමිනි. ‘‘මේක මේ කොළඹ නගරය අඩපණ කරන්න හදන වැඩපිළිවෙළක්, මේවට ඉඩ දෙන්න හොඳ නැහැ. කඩාකප්පල්කාරී විදියට මේ අය වැඩ කරනවා නම්, නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕන’’ චම්පික රණවක කීවේය.


අනතුරුව රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයා කතා කළේය. ‘‘කාටවත් නීතිය අතට ගන්න දෙන්නෙ නැහැ. ඕනෑ කෙනෙකුට සාමකාමී විදියට විරෝධතා දක්වන්න පුළුවන්. ඒත් කවුරු හරි හිංසාකාරී විදියට කටයුතු කරනවා නම්, රාජ්‍ය දේපළවලට හානි කරනවා නම්, පොලිසිය අවම බලය පාවිච්චි කරල කටයුතු කරනවා යැයි මද්දුමබණ්ඩාර කීවේය. මංගල කීවේ අවම බලය නොව පොලිසිය අවශ්‍ය බලය පාවිච්චි කළ යුතු බවය.
ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව ගැන ඇමැතිවරුන් විවිධ අදහස්, චෝදනා ආදිය ඉදිරිපත් කළද, ජනාධිපතිවරයා කිසිවක් කියන්නට ගියේ ද නැත.


මේ අතර, නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු සවිකිරීමට අදාළවය. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිණි. ඒ සමගම නිමල් සිරිපාල කීවේ කටුනායක ගුවන් තොටුපො​ෙළ් ධාවන පථය අවුරුදු 15කට පමණ පසුව නවීකරණය කළේ තමා විසින් බවය. ගුවන් තොටුපොළේ තීරු බදු කඩසාප්පු එක් එක් අයගේ හිතවතුන්ට දීලා තිබුණා. එ්ක නැති කරලා මම ඒවා ටෙන්ඩර් කරල දුන්නා. ඒකෙන් රුපියල් බිලියන 4ක විතර ආදායමක් රජයට ලබාගන්න හැකි වුණා කියාය.


කටුනායක ගුවන් තොටුපොළේ තාවකාලික මගි පර්යන්තයක් ඉදිකිරීමේ යෝජනාවක් ද නිමල් සිරිපාල ඇමැතිවරයා ඉදිරිපත් කර තිබිණි. ගුවන් තොටුපො​ෙළ් මගී පර්යන්තය ඉදිකරන්න ජපානය මුදල් දෙනවා. ජපන් රජය දුන් සැලැස්ම හා අැස්තමේන්තුවට වඩා, මුදලක් ජපන් සමාගම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එ් නිසා මේ දෙකටම මේක දෙන්න අමාරුයි. අපි තාවකාලික මගි පර්යන්තයක් එතකන් හදනවා’’ යැයි නිමල් කීය.


කටුනායක අලුතින් මගී පර්යන්තයක් විතරක් හදල වැඩක් නැහැ. අපි කටුනායකට දෙවැනි ගුවන් පථයකුත් හැදිය යුතුයි. එහෙම නැතිව අපට ගුවන් තොටුපොළේ පහසුකම් නංවන්න බැහැ. මොකද මත්තල ගුවන් තොටුපොළේනුත් අපට ප්‍රයෝජනයක් ගන්න බැහැනේ චම්පික කීවේ එහි සැලැස්ම ගැනද පැහැදිලි කරමිනි.


නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වූ ජනපති මෛත්‍රී ගිය ඉරිදා යළි දිවයිනට පැමිණියේය. මෙවර බිම්ස්ටෙක් සමුළුවේ සභාපතිත්වය හිමිවූයේ ද ජනපති මෛත්‍රීටය. ඉන්දියාවේ නවදිල්ලි නුවර හරහා දිවයිනට පැමිණෙන අතර ජනාධිපතිවරයාට රාජිත සේනාරත්න ඇමැතිවරයා ද නවදිල්ලි නුවර දී හමුවිය. ඒ නවදිල්ලි නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදීය. රාජිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල 71 වන සැසිවාරයට සහභාගිවීමට ගුවන් යානයෙන් නවදිල්ලි නුවරට යද්දී, ජනාධිපතිවරයා ජයන්ති සිරිසේන මහත්මිය ද සමග නවදිල්ලි නුවර ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තයේ රැඳී සිටියේ රාජිත ගිය ගුවන් යානයෙන් ලංකාවට පැමිණිමටය. ගුවන් යානය පිටත්වන තෙක්ම ජනාධිපතිවරයා රාජිත සමග කතාබහක යෙදී සිටියේ බිම්ස්ටෙක් සමුළුවේ ආගිය තොරතුරුද සිහිපත් කරමිනි.


මේ අතර, නේපාලයට ගිය ජනාධිපතිවරයා ඉරිදා රාත්‍රියේ යළි දිවයිනට පැමිණෙද්දී ජනාධිපතිවරයා පිළිගන්නට මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළට රැස්ව සිටියෝය. බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපතිත්වය ද හිමි වූ ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපොළේදී මැති ඇමැතිවරුන් විසින් පිළිගනු ලැබූවේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේය.


නිමල් සිරිපාල, දුමින්ද, අමරවීර යන මැති ඇමැතිවරුන් මෙන්ම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද ජනාධිපතිවරයා පිළිගන්නට පැමිණි පිරිස අතර වූහ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය හා ජනපති මෛත්‍රීගේ උපන් දිනය ද ගිය සතියේ යෙදී තිබිණි. පක්ෂයේ සංවත්සරය ගිය ඉරිදාට යෙදී තිබූ නමුත්, එදින කැලණිය ඇතුළු තැන් කිහිපයක ආගමික වතාවත් පමණක් පවත්වන්නට පක්ෂය තීන්දු කර තිබුණේ පක්ෂ සංවත්සරය පසුව මහ ඉහළින් සමරණ බව සඳහන් කරමිනි. පක්ෂයේ 67 වන සංවත්සරයත්, මෛත්‍රීගේ උපන් දිනයත් අතර ඇත්තේ හරියටම දවසක පරතරයකි. ගිය සඳුදාට ජනාධිපතිවරයාගේ උපන් දිනය යෙදී තිබුණත් වෙනදා මෙන්, විශේෂත්වයකින් තොරව එදින ද කටයුතු කරන්නට මෛත්‍රී වගබලා ගත්තේය.



අදහස් (0)

ජනබල උද්ඝෝෂණය ගැන කැබිනට්ටුවේදී ජනපති නිහැඬියාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31179 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site