IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විපක්ෂය කරන්නේ කබරගොයා තලගොයා කරන දේශපාලනයක් එජාපයෙන් චෝදනා

ත්‍රස්ත ප්‍රහාරයෙන් රටත්-අරලියගහ මන්දිරයත් කම්පනයට සහ ශෝකයට පත්ව තිබුණ ද පසුගිය බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරේ ප්‍රධාන ශාලාවෙන් කොටසක් ක්ෂණික මංගලශ්‍රීයකින් බැබළෙන්න විය. ඒ විජිත් විජිතමුණි සොයිසාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය එහි පැවැත්වීමට ක්ෂණික තීන්දුව ගෙන තිබූ බැවිනි.


අගමැතිවරයා එදින උදයෙන්ම එහි පැමිණියේ ජනාධිපතිවරයා ඇතුළු මැති-ඇමැතිවරුන් පිරිසක් ද උත්සවයට එක්වීමට සිටි නිසාය.


‘බෝම්බ අස්සේ මඟුලුත් වෙනවා. දැන් බයවෙලා හිටිය ඇති. සියල්ල සාමාන්‍ය පරිදි පටන් ගන්න රටේ සියලු දෙනා කටයුතු කරන්න ඕනෑ. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිවරයා හමුවට පැමිණ සිටි මැති ඇමැතිවරුන් අතරින් කතාව ආරම්භ කරමිනි.


‘මේ මංගල්‍යය ෂැංග්‍රිලා එකෙයි තියන්න තිබුණේ. ඒත් එතන තාම ප්‍රතිසංස්කරණ කෙරෙන නිසා විජිතමුණි මේ හෝල් එක ඉල්ලුවා. ජනාධිපතිතුමා ඇතුළු මැති-ඇමැතිවරුන් එන උත්සවය නිසා ආරක්ෂාව ගැන හිතලා මා මේකට අවසර දුන්නා.


විවාහයේ නැකත එද‌ාම කරන්න ඕනෑ කියලත් විජිතමුණි කිව්ව නිසා හෝල් එකෙන් කොටසක් දෙන්න එකඟ වුණා. මියුසික් හෝ වෙන අනං මනං හෝ බැහැ කියලත් මා කිව්වා. අවශ්‍ය මුදල ගෙවන්න ඕනෑ කිව්වාමත් ඒ සියල්ලටම එකඟ වුණා.’ අගමැතිවරයා කීවේය.


‘බුර්කාවට අගමැතිතුමයි, ඇමැති මංගලයි විරුද්ධ වුණා, කියා සමහර මාධ්‍ය රට නොමඟ යැව්වා. ඒත් බුර්කාවට යළිත් අවසර ගෙන දෙන්න මා සටන් කරනවා කියා මහින්ද රාජපක්ෂ කියපු කතාවට ඒ ජනමාධ්‍ය කිසිම ප්‍රසිද්ධියක් දෙන්නේ නැහැ. ඒත් ෆේස්බුක් ඇතුළු සමාජ මධ්‍යවල නම් මහින්ද මහත්තයා හොඳට නානවා.’ චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.


‘මා කිව්වේ බුර්කාව තහනම් කරන්න කලින් මුස්ලිම් පූජක ප්‍රජාව දැනුවත් කරන්න කියා විතරයි. දෙමළ කාන්තාවන් සාරිය ඔළුව උඩින් ද‌ාලා කන වහනවා. නුවරඑළියේ හරි, සිරීපාදේ හරි යන කොට, අපේ කාන්තාවොත් කන් වහගෙන යනවා මා දැක තිබෙන්නේ.


අසනීප තත්ත්වයක් තිබෙන අය හා කනෙහි-මූණෙයි කැළැල් තියන කට්ටියත් මූණ වහන් යනවා ඇති.’ අගමැතිවරයා කී විට ද පිරිස සිනාසුනහ.


‘සරත් ෆොන්සේකට නීතිය හා සාමය ඇමැතිකම දෙනව ද?’ හේෂා විතානගේ විමසුවේ අගමැතිගෙනි.


‘අපි ඒ ගැන ජනාධිපතිත් එක්ක කතා කළා. කිරිඇල්ල ඇමැතිතුමාගෙන්ම විස්තරය අහන්නකෝ, යයි’ කී අගමැතිවරයා කිරිඇල්ල දෙස බැලීය.


‘පෙරේද‌ා අප පස් දෙනෙකු ගිහින් ෆොන්සේකාට ඇමැතිකම දෙන්න ඕනෑ කියා ඉල්ලුවා. මේක රටේත් මතයයි. ඔහුට ඒ තනතුර දුන්නොත් ජනතාව අතර ආරක්ෂාව ගැන ලොකු විශ්වාසය ඇති වෙනවා කියලත් මා කිව්වා.


සුළු වශයෙන් මලික් එතෙනදී කතා කළා. වෙන කවුරුවත් කතා කළෙත් නැහැ. ඒකට බෙල්ල දුන්නෙත් මමයි. ඒත් ඒක කරන්න බැහැ කියන එකයි ඒ පැත්තෙන් කියැවුණේ’ ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළේය.


‘ෆොන්සේකාට මේක දෙන්න බැරි නම් ඒකට හේතුව හැටියට මොකක්ද ජනාධිපතිතුමා කිව්වේ?’ නවීන් දිසානායක විමසුවේ කිරිඇල්ලගෙනි.


‘එයා හොඳ උත්තරයක් දුන්නා. හැබැයි ඒක නම් මා මෙතන තියා ඒක අපේ ගෙදර මැණිකෙටවත් කියන්නේ නැහැ යැයි’ කී කිරිඇල්ල කොක් හඬලා සිනාසුණේය.


‘ත්‍රස්තවාදය මඩින්න විදෙස් හමුද‌ා ගේනවා, මේක ඇමරිකන් ගැති බිමක් කරන්න හදනවා, කියන වීරවංශ ඇමෙරිකන් පුරවැසියෙකු රටේ ජනාධිපති කරන්න දිවා රෑ දඟලනවා. කන්න ඕනෑ වුණාම කබරගොයා-තලගොයා කරන පහත් දේශපාලනයක් එයා කරන්නේ.’ රංජිත් මද්දුම බණ්ඩාර කීවේ එවැන්නකි.


‘ජාත්‍යන්තර හමුද‌ාව ලංකාවට ගේනවා කියා මා කිසි තැනක කියා නැහැ. වීරවංශ හමුද‌ාවයි, බුද්ධි අංශයි අතර තිබෙන වෙනසවත් අඳුරන්නේ නැතුව කතා කරන හැඩයි.’ රටේ බුද්ධි අංශ මෙතෙක් පුහුණු වෙලා තිබුණේ විශේෂයෙන් එල්ටීටීඊ ගැන තොරතුරු හොයන්නයි. ඒත් අයිඑස්අයිඑස් කියන්නේ ගෝලීය ත්‍රස්තවාදයයි. ඒකට ඇමෙරිකා​ෙව් එෆ්බීඅයි, බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් යාඩ් ද, ඉන්දියාවේ රෝ ද අපිත් එක්ක වැඩ කරන්න කැමැති නම් ඒ සහාය ගන්න ඕනෑ. අප ඒක පටන් ගත්තා.’


කොටි මර්දනය කරන්න අපේ හමුද‌ා ක්‍රියා කළාට අපේ බුද්ධි අංශවලට එද‌ාත් ජාත්‍යන්තර බුද්ධි අංශවලින් විශාල සහාය ලැබුණු බව වීරවංශගේ ළදරු දේශපාලනයට තේරෙන්නේ නැතුව ඇති. ඒකයි එයා ළිඳ ඇතුළේ ඉදන් කෑ ගහන්නේ.’ සාමාන්‍යයෙන් විපක්ෂය ප්‍රතිපක්ෂවල අයට සෘජුව පහර නොදෙන අගමැතිවරයා එය කීවේ මද ආවේගයක් ද සමගිනි.
‘ජනාධිපති රටට එන්නත් කලින් ප්‍රහාරය එල්ල වෙලා පැය කිහිපයක් ඇතුළත ත්‍රස්තවාදීන්ගේ කරටියම කොටු කරගන්න අපේ ආරක්ෂක අංශ සමත් වුණා. සතියෙන් සියල්ල පාලනය කළා. ඉතිරි වෙලා ඉන්න ටික දෙනාත් අල්ලන තෙක් අප ආරක්ෂාව පොඩ්ඩක්වත් බුරුල් කරන්නේ නැහැ.’ නවීන් දිසානායක කී දේ සියලු දෙනා අනුමත කළහ.
‘ජූලි මාසේ තමයි ලංකාවේ සංචාරක සීසන් එක පටන් ගන්නේ. ප්‍රහාරය නිසාම නොවේ මේ කාලෙට කොහොමත් සංචාරකයෝ අඩුයි. සියයට 50 ක විතර හෝටල් ගාස්තු මේ කාලෙට අඩු ඒකයි.


ජූලි වෙන විට සංචාරකයන්ගෙන් රට පුරවනවා විතරක් නොවේ කෙටි කාලයකදී විදෙස් ආයෝජනවලට පදනම ද‌ාන්නත් අප සූද‌ානම් වෙන්න ඕනෑ. අනුමැතිය ලැබෙන කන් අවුරුදු දෙකක් විදේශ ආයෝජකයෝ බලාගෙන ඉන්නේ නැහැ.’ අගමැතිවරයා කීය.


‘මුස්ලිම් අන්තවාදයට කිරි පොවපු පසුගිය ආණ්ඩුවේ කට්ටිය අද මැරිලා උපදිලා වගේ කතා කරනවා. ෂරියා නීතිගත කළේ, මුස්ලිම් අන්තවාදීනට පඩි ගෙව්වේ, හමුද‌ා මූලස්ථාන ඉඩම ෂැංග්‍රිලා එකට විකුණලා මුස්ලිම් අන්තවාදීන​ෙග් මූලස්ථාන හදන්න කොළඹින් ඉඩම් දී අරාබි පාසල් ඇර ඔක්කොම කළේ රාජපක්ෂ යුගයේයි.’


‘ෂරියා විශ්වවිද්‍යාලයට අත්සන් කළෙත් තමන් බව ඩලසුත් පිළිගත්තා. ඒ කාලේ වෙච්ච කලින් කියපු අනිත් දේවල් ගැනත් වීරවංශ හා ගම්මන්පිලත් තහවුරු කළා.’ චමින්ද විජේසිරි කීවේය.


‘ගැරඩියන්ට භූමිතෙල් ගෑවුණා වගේ මේ තොරතුරු එළියට ආවම පොහොට්ටුවේ කට්ටිය දැඟලුවා. සියලු තොරතුරු අප රටට කියන්නේ බුද්ධි අංශ තොරතුරු මත පදනම් වෙලයි.’ හේෂා විතානගේ කීවේය.


‘පොලිස්පති ඉවත් කළ ක්‍රමවේදය වැරදි බවයි, හුඟ දෙනෙකු කියන්නේ. ප්‍රහාරය ගැන කොමිසන් වාර්තාව පාර්ලිමේන්තුවට ආවහම විවාදය ඉල්ලීම පොහොට්ටුවේ අයගේ ස්ථාවරයයි. ඊට පසු පාර්ලිමේන්තු පරීක්ෂණය පවත්වන්න ඉඩ ලැබෙනවා. එතනදී අනුන්ගේ වැරදි තමන්ගේ පිටට ද‌ාගෙන පොලිස්පතිට හෝ ආරක්ෂක ලේකම්ට හෝ සත්‍ය යටපත් කර ගන්න බැරිවේවි.’ රංජිත් මද්දුම බණ්ඩාර කී දේ කාගේත් අවධානයට ලක් විය.


‘ජනාධිපතිතුමාගේ මාධ්‍ය අංශයේ ලොක්කෙකු අප්‍රේල් 16 වැනිද‌ා ෆේස් බුක් එකේ කියා තිබුණේ ඇඟ කිළිපොලන-මයිල් කෙළින් වෙන ත්‍රස්ත ප්‍රහාරය අත ළඟ බවයි. ඒ මාධ්‍ය අංශය දන්න දේවත් ජනාධිපතිතුමා දන්නේ නැහැ කියන එකත් පුදුමයි.


අන්තවාදය පිටුපස හිස්බුල්ලයි-අතාවුල්ලයි ඉන්නවා කියලත් බුද්ධි අංශවල මතයයි. ඒත් ඔවුන් ප්‍රශ්න කිරීම නවත්වන්නේ කවුද කියන එකයි ප්‍රශ්නය වෙන්නේ? එජාප නීති නිලධාරියෙකු කීවේ එවැන්නකි.


‘ප්‍රහාරය වුණේ ආණ්ඩුව හමුද‌ාව දුර්වල කර බුද්ධි අංශ හිරේ ද‌ාපු නිසා කියා විපක්ෂය රටට බොරු කියන එක සාමාන්‍ය දෙයයි. ඒත් ජනාධිපතිතුමා හා සමහර හාමුදුරුවරුත් ඒක කියන එකයි පුදුමේ.


දැවැන්ත චෝදනා ලබපු බුද්ධි අංශ හත්දෙනයි රිමාන්ඩ් ඉන්නේ. ඒත් බුද්ධි අංශයේ 10,000 කට වඩා හොඳින් වැඩ කරද්දී අප බුද්ධි අංශය හෑල්ලු කළා කියන එක ඉතා වැරදියි. හමුද‌ාවේ සංඛ්‍යාව වැඩි කර වැඩිම මුදල ආරක්ෂක අමාත්‍යංශයට වෙන් කළෙත් ​ෙම් ආණ්ඩුවයි.’ මුජිබර් රහුමාන් කීව​ෙව් එවැන්නකි.


‘ආරක්ෂක මණ්ඩලේට අගමැතියි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවනුයි කැඳවන්නේ නැතුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවන න්‍යාය මොකක් දැයි අප ප්‍රශ්න කළ යුතු නැද්ද? ඒ කට්ටිය රෑට කන බොන වෙලාවෙ දී ආරක්ෂක මණ්ඩලයේ තොරතුරු අනිත් මිනිස්සුන්ට කියමින් ජෝක් ද‌ානවා කියලත් ආරංචියි.’ නලින් බණ්ඩාර කීවේ එවැන්නකි.


‘ගෝඨාභය සීමාවක් නැතුව උස්සන්න ගිහිල්ලා එක් නාලිකාවකුයි, රිෂාඩ් කොටු කරන්න ගිහිල්ල තවත් නාලිකාවකුයි එකම දවසෙ ඇණ ගත්තා. ෆොන්සේකා ඉන්ටවිව් කළ TNL එක විතරයි එද‌ා ගොඩ ගියේ.’ මුජිබර් රාහුමාන් කීය.



අදහස් (0)

විපක්ෂය කරන්නේ කබරගොයා තලගොයා කරන දේශපාලනයක් එජාපයෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site