IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


මැතිවරණ සටනට මහ රෑ සාකච්ඡා

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර නැතත් දේශපාලන කරළියේ කෙරෙන සාකච්ඡා කතාබහ අනුව නම් පෙනෙන්නේ සියලු දෙනාම මැතිවරණයකට සූදානම් වන බවකි. දේශපාලන සාකච්ඡා සංවාද සියල්ල සිදුවන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමිනි. දේශපාලන කරළියේ කෙරෙන කතාබහ අනුව ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් මාසයේදි පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයක් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. එපමණක් නොව ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවෙන දිනයක් හෝ ප්‍රකාශවී නොමැත. එසේ වුවද හැම පක්ෂයක්ම වැඩිපුර කතා කරන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැනය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වන බව ප්‍රකාශයට පත් කර හමාරය. ජවිපෙන් අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්වන බවද තහවුරුය. දැනට තිබෙන වාතාවරණය අනුව නම් ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකෙරෙනු ඇත. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න තවමත් පැහැදිලි නැත. ඒ සම්බන්ධයෙන් එජාපය තුළද ඇත්තේ මත ගැටුමකි. එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් නම් කිහිපයක් කතා බහ වෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ, පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කතානායක කරු ජයසූරිය එසේ කියවෙන නම් අතර ඉදිරියෙන්ම ඇති නම් කිහිපයකි. ඒ සම්බන්ධයෙන් විවිධ තැන්වල සාකච්ඡා රැස්වීම් පමණක් නොව සාදයන්ද පැවැත්වේ.


මේ අතර එජාපයේ උප නායක රවී කරුණානායකද බදාදා රාත්‍රියේ බත්තරමුල්ලේ පිහිටි සිය නිවසේ සාදයක් සූදානම් කර තිබිණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද රාජිත සේනාරත්න සහ විදේශීය තානාපතිවරුන් පිරිසක්ද ඊට සහභාගිවී ඇත.


මේ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද ගිය සතියේ මන්ත්‍රීවරුන් පිරිසක් වෙනුවෙන් රාත්‍රි සාදයක් සූදානම් කර තිබූ බව වාර්තා විය. එහිදීද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව දැන ගන්නට තිබේ. ෆොන්සේකා මහතාද කියන්නේ එජාපය තමන්ටද අවස්ථාවක් දෙන්නේ නම් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බවය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද ගිය සඳුදා හැන්දෑවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එම රැස්වීම පැවැත්වූයේ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේය. හැන්දෑවේ 6.00ට එය ආරම්භ වන බව දැනුම්දී තිබුණ ද එය රාත්‍රි 7.30ට පමණ ආරම්භ කරන්නට සිදුවූයේ ජනාධිපතිවරයා මාතර පැවැති රැස්වීමකට ගොස් එනවිට ප්‍රමාදවී තිබූ බැවිනි.


ශ්‍රීලනිප පාක්ෂිකයන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට අවධානය යොමුවී ඇත. රක්ෂණ සමාගමේ නියෝජිතයින් කිහිප දෙනකු පැමිණ ඒ ගැන මධ්‍යම කාරක සභිකයින් මුලින්ම දැනුවත් කළේ ඒ ගැන ඔවුන්ට අවබෝධයක් ලබාදීමේ අපේක්ෂාවෙනි. රක්ෂණ නියෝජිතයන් පිටත්ව ගිය පසුව දේශපාලන කරුණු කාරණා ගැන සාකච්ඡාවට ලක්විය. පළාත් පාලන ආයතනවල විනය කඩකළ මන්ත්‍රීවරුන් ගැන විනය පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යාමට පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර යෝජනා කළ විට පිරිසක් පවසා සිටියේ පොහොට්ටුවට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් එවැනි පියවරක් නොගන්නේ මන්දැයි කියාය. ඒ අනුව තීරණය වූයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව පොහොට්ටුවට හා වෙනත් දේශපාලන පක්ෂවලට එක්වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමටය. එය යෝජනා කළේ වයඹ ආණ්ඩුකාර පේෂල ජයරත්නය. ස්ථිර කළේ ඌව මහ ඇමැති චාමර සම්පත්ය.


අනතුරුව පක්ෂයේ නිලතල කිහිපයක වෙනසක් කිරීමට යෝජනා විය. භාණ්ඩාගාරික ධුරය දැරූ එස්.බී. ඉවත්කර ලසන්ත අලගියවන්න එම ධුරයට පත් කරන්නටත් මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ ඉවත්කර වීරකුමාර දිසානායක එම ධුරයට පත් කරන්නටත් තීරණය විය. ශ්‍රීලනිපයේ හිටපු මහලේකම්වරයකුවන රෝහණ ලක්ෂ්මන් පියදාස පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු ලෙසත් උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙසත් පත් කරන්නට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිවිය. තවත් කිහිප දෙනකු මධ්‍යම කාරක සභාවට අලුතින් පත් කරන්නටද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබිණි.


පක්ෂයේ 68 වැනි සංවත්සරය සැමරීම හා පහුවදා පැවැත්වෙන ශ්‍රීලනිප පොදු පෙරමුණු සාකච්ඡා ගැන දයාසිරි දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. සාකච්ඡා ඵලදායීව ඉදිරියට ගෙනයාම සඳහා පොදුජන පෙරමුණේ සාකච්ඡා කමිටුවද වෙනස් කර ඇති බව දයාසිරි කීවේය.


මධ්‍යම කාරක සභාව අවසන්වී පිරිස පිටත්ව ගිය පසුව මහින්ද අමරවීර, නිමල් සිරිපාල, දයාසිරි, දුමින්ද දිසානායක, ලසන්ත, වීරකුමාර, ශ්‍රියාණි විජේවික්‍රම හා ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිස ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළේ පහුවදා පැවැත්වෙන පොදුජන පෙරමුණ සමග සාකච්ඡා ගැනය. සාකච්ඡාවලට ගැනීමට අවශ්‍ය කරුණු කාරණා ඇතුළත් ලියවිල්ලක්ද නිමල් සිරිපාල මන්ත්‍රීවරයා විසින් සකස් කරගෙන විත් තිබිණි. එය ඉතා විධිමත් ලියවිල්ලක් ලෙස සකස් කර තිබූ අතර නිමල් ඒ ගැන ජනාධිපතිවරයාටද පැහැදිලි කළේය. ජනපති මෛත්‍රීද ඒ ගැන අදහස් දක්වමින් කීවේ එම කෙටුම්පතේ ඇති කාරණා පොහොට්ටුවේ අය සමඟ පැවැත්වෙන සාකච්ඡා වටයේදී අවධානයට ගන්නා ලෙසයි. නිමල්ගේ ලියවිල්ලට අමරවීර සංශෝධන කිහිපයක් එක් කළේ එයද කාලීන වශයෙන් වැදගත් බව කියමිනි. ඉදිරි ආණ්ඩුවකදී ඇමැති මණ්ඩලය 30 කට සීමා කිරීම හා එය විද්‍යාත්මක පදනමක් මත වෙන් කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ සෑම විෂයක් සඳහාම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අමරවීර ගෙනා සංශෝධනය. එය අදාළ කෙටුම්පතට ඇතුළත් කරන්නටද තීරණය විය.


ජනාධිපති නිල නිවසේ සාකච්ඡාවෙන් අනතුරුව නිමල් සිරිපාල ඇතුළු පිරිස මහින්ද අමරවීරගේ නිවසටද ගොස් ඒ ගැන සාකච්ඡා කළෝය. ඔවුන්ගේ අදහස වූයේ ජනාධිපතිවරණයේදී සහාය දීමට නම් එම යෝජනාවලියේ සඳහන් කරුණු කාරණාවලට පොදුජන පෙරමුණේ එකඟතාව ලබා ගැනීමය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්ද ගිය සඳුදා රාත්‍රියේ පැවැත්විණි. එය ජනාධිපති නිල නිවසේදී පැවැති බව වාර්තා විය. අගමැතිවරයා සමඟ රවි කරුණානායක ඇමැතිවරයාද සහභාගි විය. සාකච්ඡාවට පදනම වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් එජාපයෙන් ඉදිරිපත්වූ යෝජනාවක් බව පැවැසේ. ජනාධිපතිවරයාගේ අදහස වූයේ එවැන්නක් කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල එකඟතාව අවශ්‍ය වනු ඇති බවය. අනෙක් අතට එය පාර්ලිමේන්තුවෙන් කළ යුතු කටයුත්තක් බව ජනධිපතිවරයාගේ අදහස වී ඇත.



අදහස් (0)

මැතිවරණ සටනට මහ රෑ සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1041 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site