IMG-LOGO

ගෝඨාභය ගිය හෙලිකොප්ටරය හදිසියේ ගොඩබස්වයි

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමට තවත් ඇත්තේ හරියටම දින අටකි. ප්‍රධාන කඳවුරු දෙකේම අපේක්ෂකයන් දෙදෙනා නම් කර කරළියට පැමිණ ඇති බැවින් දේශපාලන පිටිය ද දිනෙන් දින ගිනියම් වෙමින් තිබේ. පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිලවශයෙන් කරළියට පැමිණියේ ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදාය. එජාපයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් බ්‍රහස්පතින්දා නිල වශයෙන් කරළියට පැමිණියේය. ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු තවත් අපේක්ෂකයන් කිහිප දෙනකු ද දැනටමත් කරළියට පැමිණ හමාරය. ඉදිරි සතිය තුළ දී තවත් අපේක්ෂකයන් කිහිප දෙනකුම කරළියට එනු ඇත. එසේ වූවද සටන ඇත්තේ ගෝඨාභය හා සජිත් අතර බව පැහැදිලිය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. එසේ වූවද ඔවුන් කියන කරන දේවල් අනුව පොදුජන පෙරමුණ සමඟ එක්ව​ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනු ඇතැයි යන්න පැහැදිළිය. ගිය සතියේ ද දෙපාර්ශ්‍වයේ නියෝජිතයන් අතර නිල නොවන මට්ටමින් සාකච්ඡා පැවැත්විණි. ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක ගිය සතියේ මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ පක්ෂ දෙක අතර ප්‍රතිපත්තිමය කාරණා ගැන ගැටලුවක් නොමැති බවය. ලකුණ සම්බන්ධ ගැටලුව තවමත් විසඳී නැති බව ඔහු කීවේය. මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හෙට (30) රැස්වන බවත්, එහිදී ලකුණ සම්බන්ධ ප්‍රශ්නය සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත්, වීරකුමාර දිසානායක කීවේය.


ගිය සතියේ ඉරිදා ජාතික රූපවාහිනියේ පැවැති ‘‘සිහිනයකි රෑ’’ වැඩසටහනට සහභාගි වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. මහේෂ නිශ්ශංක මෙහෙය වූ එම වැඩසටහනට ගීත ගායනයෙන් එක්වූයේ ප්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහය. ජානක ද පොළොන්නරුවෙන් බිහි වූ ගායකයෙකි. මෛත්‍රී තේරු ගී ගයන්නට ජානක තෝරාගෙන තිබුණේ ගමේ කමටත් වඩා ඔහු සමඟ බොහෝ කාලයක් තිස්සේ පැවැති හිතවත්කම ද සැලකිල්ලට ගනිමිනි.
ජනපති මෛත්‍රී සිහිනයක රෑ වැඩසටහනකට කැඳවාගෙන එන්නට සම්බන්ධිකරණය කර තිබුණේ ද ජානකය. වැඩසටහන ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණ පටිගත කිරීමට රූපවාහිනියේ බලධාරීන් සැලසුම් කර තිබුණ ද ජනාධිපතිවරයා ඊට අකමැති විය. ජනාධිපතිවරයා කියා තිබුණේ තමා රූපවාහිනියට පැමිණ වැඩසටහනට සම්බන්ධ වන බවකි. මෛත්‍රී වැඩසටහනේ ද හැඟුම්බර ගීත ගණනාවක්ම තෝරාගෙන තිබුණේ සිය අතීත අත්දැකීම් ද පැහැදිළි කරමිනි.


සතියේ කැබිනට් රැස්වීම පසුගිය අඟහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන්ට වැටුපට සමාන විශ්‍රාම වැටුපක් දිවි ඇති තෙක් ලබාදීමට යෝජනාව ඉදිරිපත් කර තිබුණේ‍ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ඊට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබිණි.
අනතුරුව සාකච්ඡාවට ගැනුණේ වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳ යෝජනාවකි. ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු විධායක ශ්‍රේණියේ සේවා 14ක වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව කලින් සතියේ කැබිනට් මණ්‍ඩලයට ඉදිරිපත් කර තිබුණේ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර විසිනි. දුම්රිය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ යෝජනාවක් ද මීට මාස කිහිපයකට ඉහත දී ඉදිරිපත් කර තිබිණි. එම කැබිනට් පත්‍රිකා පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින්, මංගල සමරවීර ඇමැතිවරයා කියා සිටියේ, දැනට තිබෙන තත්ත්වය අනුව වැටුප් වැඩි කළ නොහැකි බවය. ඔහු ඒ සඳහා වැයවන අතිරේක වියදම් පිළිබඳ ගණන් හිලව්ද ඉදිරිපත් කළේය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට රජය වර්ෂයකට රුපියල් කෝටි 80,000ක් වැය කරනු බව මංගල කීවේය. ඉල්ලා තිබෙන වැටුප් වැඩි කිරීම දීමට නම් තවත් රුපියල් කෝටි 11,500ක අමතර වැයබරක් දරන්නට සිදුවන බව මංගල කීවේය. ඔහු කීවේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව වැටුප් වැඩිවීම දිය නොහැකි බවය.


මංගල විකල්පයක් ද යෝජනා කළේය. ඒ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ එස් රනුග්ගේ කමිටුවේ වාර්තාව ලබන ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවය. ඒ අනුව, ලබන ජනවාරි 1 වැනිදා සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවන බව මංගල කීවේය.
මේ අතර මේ දිනවල ක්‍රියාත්මක වන වැඩවර්ජන රැල්ල ගැන ද කැබිනට් මණ්ඩලයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
සංවර්ධන කමිටුවල සභාපතිධුරය දරන මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2ක මාසික දීමනාවක් ගෙවීමේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීමේ කැබිනට් පත්‍රිකා දෙක අමාත්‍ය මණ්‍ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණේ මීට සති කිහිපයකට පෙර සිටය. එය ඉදිරිපත් කරනු ලැබූවේ වජිර අබේවර්ධන ඇමැතිවරයා විසිනි. යෝජනා දෙකම මීට පෙර අවස්ථා දෙකකදීම ප්‍රතිකේෂ්ප වූයේ ජනපති මෛත්‍රීගේ විරෝධය හේතුවෙනි. ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ද එම යෝජනා දෙක තුන්වන වරට ද ප්‍රතිකේෂ්ප වූයේ ජනපති මෛත්‍රීගේ විරෝධයෙනි.


ඉකුත් සතියේ සිකුරාදා රත්නපුර මහ සමන් දේවාලයේ ආගමික උත්සවයකට පොදුජන පෙරමුණේ‍ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ සිට පිටත්ව ගියේ හෙලිකොප්ටරයෙනි. ඊට හේතුව වූයේ එදින උදේ කොළඹ උසාවියේ පැවැති නඩුකටයුත්තකට ද සහභාගි වීම නිසා රත්නපුරේ යාමට ප්‍රමාද වීමය. ගෝඨාභය ගමන්ගත් හෙලිකොප්ටරය ගොඩබෑමට සූදානම් කර තිබුණේ රත්නපුර නගර සභා ක්‍රීඩාංගනය වෙතය. එහෙත් හදිසියේ ඇති වූ අධික වර්ෂාව නිසා යානය කුරුවිට බටුහේන විද්‍යාලයේ ක්‍රීඩා පිටියට බස්සන්නට සිදුවිය.
හදිසියේ හෙලිකොප්ටරයක් ගොඩ බැස්සවීමත්, විශේෂ අමුත්තකු ඉන් බැසීමත් ගැන විදුහලේ ගුරුවරුන් මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද කලබල වූහ. යානයෙන් බැසගත් අමුත්තා වෙන කවුරුවත් නොව, පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂය. ඔහු ගුරු විවේකාගාරයට කැඳවා ගෙන ගිය ගුරුවරු ඔහුට තේපැන් සංග්‍රහයක් ද පිරිනැමූහ.
ගෝඨාභය පැමිණි හෙලිකොප්ටරය කුරුවිට පාසලකට ගොඩ බස්සවා ඇති බව රත්නපුරේ සිටි පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියටත් කංචන ජයරත්න පළාත් සභා සභාපතිවරයාටත් දැන ගන්නට ලැබුණේ ආරක්ෂකයන්ගෙනි. ඔවුන් දෙදෙනා වහාම කුරුවිට බටුහේන පාසල වෙත ඉක්මනින්ම පැමිණියේ ගෝඨාභය කැඳවාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙනි. ඔවුන් එනවිටත් ගෝඨාභය පාසලේ ගුරු විවේකාගාරයට වී ගුරුවරුන් සමඟ කතා බහක යෙදී සිටියේය.
අනතුරුව වාහනවලින් රත්නපුරේ සමන් දේවාලයට ගිය ​ෙගා්ඨාභය මුලින්ම එහි පූජාවකට එක්විය. එතනින් දිවා ආහාරය සඳහා නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයකට ගියේය. එහි දිවා ආහාරය සූදානම් කර තිබුණේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසිනි. අනතුරුව ඉස්ලාම් දේවස්ථානයකටත්, හින්දු කෝවිලකටත් ගිය ගෝඨා ව්‍යාපාරික හමුවකට ද සහභාගි විය. ඉදිරියේදී පත්වන තම රජයක් යටතේ ව්‍යාපාරිකයන් දිරිගන්වන සැලසුම් ගැන ද ගෝඨාභය එහිදී පැහැදිලි කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ලිවිණි වීරසිංහ විවාහ මංගල්‍යයේ මනාලියගේ පාර්ශ්වයේ තවත් උත්සවයක් ඉකුත් සති අන්තයේ යක්කල දී පැවැත්විණි. ඒ මනාලියගේ නිවසේය. ප්‍රසන්න රණතුංග ඇතුළු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද පළාත් සභා පළාත් පාලන නියෝජිතයෝ ද ඊට එක්ව සිටියහ. බොහෝ පිරිසක් මග දෙපස රැස්ව සිටියේ නව යුවළට සුබපැතීම වෙනුවෙනි. නිවසට මඳක් ඈතින් සිට නව යුවළ රථයෙන් බැස පා ගමනින් පැමිණියේ දෙපස රැස්වූ ජනතාවගේ සුබපැතුම් පිළිගනිමිනි. මේ අතර නාමල් - ලිවිණි දෙපල කෙටි නිවාඩුවක් ගතකිරීමට ගිය සතියේ චීනය බලා පිටත්ව ගිය බව ද වාර්තා විය.


පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටුව ගිය බදාදා බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී රැස්වූයේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ප්‍රසන්න රණතුංග, සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ ඇතුළු මන්ත්‍රීවරුද පළාත් සභා නියෝජිතයෝ කිහිප දෙනෙක් ද ඊට එක්ව සිටියහ. ජනාධිපතිවරණය හා ඉදිරි ප්‍රචාරක වැඩපිළිවෙළ ගැන එහිදී බැසිල් පැහැදිලි කිරීමක් කළේය. ලබන 7 වැනිදා නාම යෝජනා බාර දුන්නට පස්සේ කිසිම වේලාවක ආගමික සිද්ධස්ථාන දේශපාලන කටයුතුවලට යොදා නොගන්නැයි බැසිල් පිරිසට උපදෙස් දුන්නේ මැතිවරණ නීති ගැන ද සිහිපත් කරමිනි.
“අපට තියෙන්නේ දිනන සටනක්” ඒ හින්දා කා එක්කවත් අපට ගැටුමක් නෑ” යැයි කී බැසිල් කියා සිටියේ ජනතාවට පීඩාවක් නොවන ලෙස මැතිවරණය මෙහෙයවන්න කියාය. ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කමිටුවේ කැඳවුම්කරු ලෙස ප්‍රසන්න රණතුංග ද එහිදී පත්කරගනු ලැබීය.
මේ අතර ජනාධිපතිවරණය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන හතරේ ක්‍රියාකාරීන්ගේ හමු කීපයක් ගිය සතියේ ඒ ඒ ආසනවල පැවැත්විණි. ඒ සඳහා ආචාර්ය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට ද ආරාධනා කර තිබිණි. ගිය අඟහරුවාදා උදේ බන්දුල මුලින්ම තිස්සමහාරාමයට ගියේ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරාධනයෙනි. චමල් විසින් කැඳවන ලද තිස්සමහාරාම ආසනයේ ක්‍රියාකාරීන්ගේ හමුව ඇමතූ බන්දුල ඉන් පසුව, තංගල්ල කාල්ටන් නිවසේත්, මැදමුලන නිවසේත් පැවැති ක්‍රියාකාරීන්ගේ හමුවලට සහභාගි විය.


ශ්‍රීලනිපය සමඟ ඉතිරිව සිටින මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ගෙවී ගිය සතියේ පැවැති අවස්ථාවේ නිමල් සිරිපාල, රංජිත් සියඹලාපිටිය ඇතුළු බහුතරයක් පිරිස කියා සිටියේ ජනාධිපතිවරණයේ දී ගෝඨාභයට සහයෝගය දැක්විය යුතු බවය. එයට මේ සතියේ ප්‍රතිඵල ගෙන දී තිබිණි.
ඉකුත් සඳුදා දින ජනපති මෛත්‍රීගේ උපදෙසින් නිමල් සිරිපාල, රංජිත් සියඹලාපිටිය හා තිලංග සුමතිපාල පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර අත්සන් තැබීමට නියමිත ලියවිල්ලක් සැකසූ අතර එය අවසන් වූයේ එදින මධ්‍යම රාත්‍රියේය. එහි මූලික කෙටුම්පත ද සමඟ නිමල්, රංජිත් හා තිලංග ජනපති හමුවූහ. අමරවීර හා දයාසිරි ද ආහ.
ජනපති මෛත්‍රී එහි යම් යම් සංශෝධන සටහන් කළ අතර පිරිස නැවත සැකසූ ලියවිල්ල රැගෙන බදාදා ජනපති හමුවූහ. ශ්‍රීලනිපයේ මේ පිළිබඳ අවසන් තීන්දුව හෙට (30) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ගැනීමට නියමිතය.
අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ගිය සතියේ ලංකා හොස්පිටල් රෝහලට ඇතුළත් කර තිබුණේ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙනි. උන්වහන්සේගේ සුවදුක් බලන්නට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ගිය අඟහරුවාද‌ා හදිසියේම රෝහල වෙත ගියේය. එහෙත් මුරුත්තෙට්ටුවේ හිමියන් ඒ වනවිට ස්කෑන් පරීක්ෂණයක් සඳහා පරීක්ෂණාගාරයට රැගෙන ගොස් තිබිණි. මහින්ද ස්කෑන් කාමරයටම ගොස් ආනන්ද හිමියන්ගේ සුවදුක් විමසීය. ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරු දෙදෙනා ද මහින්ද සමග රෝහලට ගියේ විජේරාම නිල නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.  



අදහස් (0)

ගෝඨාභය ගිය හෙලිකොප්ටරය හදිසියේ ගොඩබස්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site