ඉකුත් සතිය ද කොරෝනාවෙන්ම ගෙවී ගියේය. හැමෝම කතා කළේ කොරෝනා ගැනය. දේශපාලන කරළියේ වෙනත් මාතෘකා මතු වුව ද කොරෝනා නිසා ඒ සියල්ල ද යටපත් විය. පාර්ලිමේන්තුව ද ගිය සතියේ රැස්වූයේ දින දෙකකි.


එක් දිනයක් 2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මත කරගන්නටය. දෙවැනි දිනය කොරෝනා පිළිබඳව, සභාව කල් තබන අවස්ථාවේ විපක්‍ෂය ගෙනා යෝජනාව විවාද කරන්නටය.


ඒ දින දෙකේම සහභාගි වූයේ ද කථික මන්ත්‍රීවරුන් පමණක් වීම ද විශේෂත්වයකි. ඒ සියල්ල වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දී ඇති නිර්දේශ අනුගමනය කරමිනි.


කැබිනට් රැස්වීම


සතියේ කැබිනට් රැස්වීම ද සුපුරුදු පරිදි ගිය සඳුදා හැන්දෑවේ පැවැත්විණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කොරෝනා වසංගතය හමුවේ රට ඉදිරියට ගෙන යන ආකාරය ගැන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කළේය. ඒ අතර දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ඉකුත් දා මෙරටට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පෙයෝගේ නිල සංචාරය ගැන වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.


පිටු තුනකින් යුත් එම වාර්තාවට පොම්පෙයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමගත්, විදේශ ඇමැතිවරයා සමගත් කළ සාකච්ඡාවල කරුණු කාරණා ඇතුළත් වී තිබිණි.


යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට පනවා ඇති ගමන් තහනම අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ගැන ද දිනේෂ්ගේ වාර්තාවේ සඳහන් විය.


මේ අතර කොරෝනාවලින් මිය යන මුස්ලිම්වරුන්ගේ මෘතදේහ වළ දැමීමට මුස්ලිම් ප්‍රජාවෙන් ඉදිරිපත්ව ඇති අදහසක් ගැන අධිකරණ ඇමැති අලි සබ්‍රි කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තිබිණි. කැබිනට් මණ්ඩලයේ ඒ ගැන සාකච්ඡාවක් සිදු වුව ද ඒ පිළිබඳ තීරණයක් ගෙන නොතිබිණි. එසේ වුව ද සිලොන් තවුහිත් ජමාත් නමැති සංවිධානයක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ කොරෝනාවලින් මියයන මුස්ලිම්වරුන්ගේ මෘතදේහ වළ දැමීමට රජය ගත් තීරණය අගය කරන බවකි. මේ මාධ්‍ය නිවේදනය දෙබරයට ගල් ගැසීමක් වැනි සිද්ධියක් විය. අධිකරණ ඇමැති අලි සබ්‍රිටත්, ආණ්ඩුවටත් විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ලවන්නට විය.


කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට මාධ්‍ය හමුවක් පවත්වා එවැනි තීරණයක් කැබිනට් මණ්ඩලයේදී නොගත් බවට ප්‍රකාශයක් කරන තැනට වැඩේ දුර දිග ගියේය. කෙහෙළිය කීවේ එවැනි අදහසක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ නමුත් ඒ පිළිබඳ තීන්දුවක් නොගත් බවය.


ජනපතිගේ ගෙවුණු වසර


ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව හෙටට (16) වසරක් සම්පූර්ණ වේ. ගෙවුණු වසර පුරාම ඔහුට මුහුණදෙන්නට සිදුවූයේ අභියෝග රැසකටය. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ ඉකුත් මාර්තු මාසයේ සිට පැතිර යන කොවිඩ් වයිරස වසංගතයයි.


කොවිඩ් වයිරසය මෙරට ආර්ථිකයට, ජන ජීවිතයට එල්ල කර ඇති බලපෑම සුළුපටු නොවේ. ඒ නිසා ජනාධිපතිවරයාට ගෙවුණු වසරක කාලයෙන් වැඩිම කාලයක් වෙන් කරන්නට සිදුවූයේ මේ අර්බුදයෙන් මිදීමට ඇති ක්‍රමවේද සෙවීම වෙනුවෙනි.


බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි පසුපෙළින් ඉල්ලීමක්


බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමැතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයාය. පොදුජන පෙරමුණ නමැති පක්‍ෂයක් පිහිටුවා වසර හතරක් ඇතුළත විධායක ජනාධිපති ධුරයත්, ආණ්ඩු බලයත්, පළාත් පාලන ආයතනවල බලයත් එම පක්‍ෂයට හිමි කර දෙන්නට ප්‍රමුඛම කාර්යභාරය ඉටුකළේ බැසිල්ය. ඔහුට ඉක්මනින් පාර්ලිමේන්තුවට එන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ලිපියක් ද යොමු කරමිනි.


ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු 19 දෙනකුගේ අත්සනින් යුත් එම ලිපිය ඔහුට ඉකුත් බ්‍රහස්පතින්දා බාර දී ඇති බව ද වාර්තා විය.


මේ අතර ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිවරුන් පත් කිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ සඳහා එක් එක් දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් කැඳවා ඔවුන්ගේ ද කැමැත්තෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිවරුන් පත් කිරීමේ වගකීම බාරගෙන ඇත්තේ ද බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමැතිවරයාය.


ඔහු මේ දිනවල එක් එක් දිස්ත්‍රික්කවල මැති ඇමැතිවරුන් ද අරලියගහ මන්දිරයට කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා වටයක් ආරම්භ කර ඇත. පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන සතියක් නිසා පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් ඉකුත් සඳුදා රැස්වූයේ කාරණා දෙකක් වෙනුවෙනි. එකක් ගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පැවැති 2020 අයවැය පිළිබඳ විවාදයයි. දෙවැන්න මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ලබන ඉදිරි වසර සඳහා වන අයවැය පිළිබඳ විවාදයේ දින තීරණය කිරීමයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයෝ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගිය සඳුදා පාර්ලිමේන්තුවේදී රැස්වූහ. 2020 අයවැය විසර්ජන පනත් කෙටුම්පත ගිය බ්‍රහස්පතින්දා දිනය තුළ විවාද කර එදිනම ඡන්දය විමසීම කළ යුතු යැයි ආණ්ඩු පක්‍ෂය යෝජනා කළේය. විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් ඊට එකඟ වූයේ කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් අවශ්‍ය බව කියමිනි.


පක්‍ෂ නායක රැස්වීමේදී දැඩි ආන්දෝලනයට ලක් වුණ ලබන වසර සඳහා වන අයවැය විවාදය සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනා කළේ අයවැය විවාදය දින 10කට සීමා කරන ලෙසය. එහෙත් විපක්‍ෂයෙ පක්‍ෂ නායකයෝ සියලු දෙනාම පාහේ ඊට විරෝධය පළ කළහ. ඔවුන් කියා සිටියේ අයවැය විවාදයේ කතා කිරීමට බොහෝ දේ ඇති බැවින් වෙනදා මෙන් මාසයක පමණ කාලයක් ඒ සඳහා අවශ්‍ය බවය. අයවැය විවාදය විපක්‍ෂයට අයත් එකක් බැවින් එහි දින ගණන තීරණය කළ යුත්තේ විපක්‍ෂය බව ඔවුහු කියා සිටියහ. එහෙත් ආණ්ඩුවේ පක්‍ෂ නායකයන් මතු කළේ වෙනත් තර්කයකි. ඔවුන් කීවේ කොරෝනා වයිරසය හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු සීමා කරන්නට සිදුව ඇති බවය. එබැවින් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය දින හතරකුත්, කාරක සභා අවස්ථා විවාදය දින 6කුත් පැවැත්වීම පහසු බවය. විපක්‍ෂයේ පක්‍ෂ නායකයෝ ඊට දැඩි විරෝධය පළ කළහ. ඔවුන් කියා සිටියේ ඊට කිසිසේත් ඉඩ දිය නොහැකි බවය. ඇඳිරිය ඉවත්කර රට සාමාන්‍ය තත්ත්වයට ගෙනැවිත් තිබියදී ජනතාවට ඇති නීතිම මන්ත්‍රීවරුන්ටත් ලබාදෙන්නැයි මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මෙහිදී ඉල්ලා සිටියේය. දිගින් දිගටම ඒ ගැන සාකච්ඡා කළ ද අවසන් තීරණයකට ඒමට නොහැකි විය. මේ නිසා කතානායකවරයා කීවේ බදාදා දිනයේ පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා මේ සම්බන්ධයෙන් යළි සාකච්ඡා කර තීරණයක් ගත හැකි බවය. ඊට පක්‍ෂ නායකයෝ ද එකඟතාව පළ කළහ.
දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ජී.එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්.ඒ. සුමන්තිරන්, ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, රාවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එම රැස්වීමට සහභාගි වූහ.


කලින් යොදාගත් පරිදි බදාදා දිනයක පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයෝ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූහ. ඒ ලබන අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කෙරෙන ලබන වසර සඳහා වන අයවැය පිළිබඳ විවාදය සම්බන්ධයෙනි. ආණ්ඩුවේ පක්‍ෂ නායකයන් එහිදී කියා සිටියේ කොරෝනා වයිරසයත් සමග ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන අයවැය විවාදය කෙටි කළ යුතු බවය. ඔවුන් කීවේ විවාදය දින 10කින් අවසන් කිරීම ප්‍රමාණවත් බවය. එහෙත් විපක්‍ෂ පක්‍ෂ නායකයෝ ඊට එකහෙලා විරෝධය පළ කළහ. ඔවුන් කීවේ දින 10ක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බවය. විවාදයට මාසයක කාලයක් අවශ්‍ය බව ඔවුහු දිගින් දිගටම කියා සිටියහ. එහෙත් ආණ්ඩු පක්‍ෂ ඊට එකඟ නොවීය. ඔවුන් කීවේ රටේ පවතින තත්ත්වය අනුව විවාදයට එතරම් දින ගණනක් දිය නොහැකි බවය. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය දින 5ක් ද කාරක සභා අවස්ථා විවාදය දින 15ක් ද වශයෙන් පවත්වන්නට අවසානයේ තීරණය වූයේ දෙපාර්ශ්වයේම එකඟතාවෙනි. 


ග්‍රාමීය ආර්ථිකය නංවන්න ආණ්ඩුවෙන් අනුකමිටු 4ක්


කොවිඩ් අර්බුදය හමුවේ ග්‍රාමීය ආර්ථිකය නංවාලීම වෙනුවෙන් අාණ්ඩුව වැඩි අවධානයක් යොමු කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේත් උපදෙස් මත එම වැඩපිළිවෙළට නායකත්වය දී ඇත්තේ ආර්ථික පුනර්ජීවන කමිටුවේ ද සභාපතිවරයා වන බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමැතිවරයාය. ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ වැඩපිළිවෙළ සඳහා අනුකමිටු 4ක් ද පත් කර ඇත. කැබිනට් ඇමැතිවරු හා රාජ්‍ය ඇමැතිවරු 32 දෙනෙක් එම කමිටුවලට පත්ව සිටිති. සමාජීය, යටිතල පහසුකම් සංවර්ධන, ජීවනෝපාය සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම් එම කමිටු හතර වේ. ජීවනෝපාය සංවර්ධන කමිටුව ගිය සති අන්තයේදී මුල් වරට මාතලේදී රැස්විය. මාතලේ දිස්ත්‍රික් හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ පැවැති එම රැස්වීමට ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, මහින්දානන්ද අලු‍ත්ගමගේ, ප්‍රමිත බණ්ඩාර තෙත්නකෝන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහභාගි වූහ. දිස්ත්‍රික්කයේ පවතින කෘෂිකාර්මික ගැටලු‍ ආදිය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ එම රැස්වීමේ දී දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය නැංවීම සඳහා ලබන වසරට රුපියල් කෝටි 40ක පමණ මුදලක් ලබාදෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද කීවේය. ඔහු කීවේ ජනක තෙන්නකෝන් ඇමැතිවරයා ඔහුගේ හොඳ මිත්‍රයකු ද බවය


මීටරයේ දුර නැතැයි ඇමැති සී.බී. ගෙන් දෝස්මුරයක්


රැස්වීමේ කටයුතු ආරම්භයේදීම සී.බී. රත්නායක ඇමැතිවරයා දෝස්මුරයක් දැමුවේ රැස්වීමේ ආසන අතර මීටරයේ පරතරය නැති බව කියමිනි. “සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා අපි මුළු රටටම කියනවා. කෝ මෙතන මීටරයේ දුර නැහැනේ” යැයි සී.බී. මහින්දානන්දට කීවේය. එය අනුමත කළ මහින්දානන්ද එහි නිලධාරියකුට කතා කර දැනුම් දුන්නේ ආසන අතර මීටරයේ දුර තබා සකසන ලෙසය. සාකච්ඡාව අතරවාරයේ ද සී.බී. රත්නායක ඇමැතිවරයා අසුන් පැනවීමේදී මීටරයේ දුර නැති බව කීවේය. “කොවිඩ් පාලනය කරන්න සෞඛ්‍ය අංශ උපදෙස් මාලාවක් දීලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒක නරක පූර්වාදර්ශයක් වෙනවා. දැන් මෙහෙත් මීටරේ දුර නැහැ. මේවා දැක්කාම මිනිස්සු බණින්නේ අපටයි” සී.බී. කීවේ ඒ ගැන නිලධාරීන්ට ද දොස් කියමිනි.


සාකච්ඡාව අතරවාරයේ දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණ දෙන පොහොර ප්‍රශ්නය, එළවළු අලෙවි කරගැනීමේ ප්‍රශ්නය ආදිය ගැන ප්‍රමිත තෙන්නකෝන් මන්ත්‍රීවරයා ද දීර්ඝ විස්තරයක් කළේය. මහින්දානන්ද කීවේ තමා එම ගැටලු‍ විසඳීමට මැදිහත් වන බවය.


රටේ ජනතාව පරීක්ෂණාගාර මීයන් කරන්න ඉඩදෙන්නේ නෑ

 


විපක්ෂනායක සජිත්


කොරෝනා නිසා පීඩාවට පත් ජනතාවගේ ප්‍රශ්න යොමුකිරීමට සමගි ජනබලවේගය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබීය. එම අදහස මුලින්ම විපක්ෂ නායක සජිත් වෙත ගෙන ආවේ හරීන්ය. රට පුරා විසිරී සිටින කොරෝනා උවදුර හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් ඒ හරහා හරීන් සැලසුම්කොට තිබුණි.


‘හරිම වටිනා වැඩක්. ඒක හොඳට කරන්න.’


සජිත්ගේ පූර්ණ ආශිර්වාදය සහ මගපෙන්වීම ඊට ලැබුණි. මනූෂ, මරික්කාර්, නලින් ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද ඊට හවුල් වූහ. ඒ අනුව හඳුන්වා දුන් විශේෂ දුරකතන අංකවලට ඇමතුම් රැසක් ගලා ආවේය.
‘කෝල් සෙන්ටර් එකට එක දිගට කෝල්ස් එනවා. මිනිස්සු ඉන්නේ පුදුම ප්‍රශ්න ගොඩක. මේ වැඩේ පටන් ගත්ත එක ලොකු පිනක්.’ හරීන් සජිත්ට කීවේය.


‘සියලුම ඇමැතුම් සටහන් කරවන්න. ඒ අයගේ ප්‍රශ්න ගැන හරියටම බලන්න. ඒ වගේම අද‌ාළ පාර්ශ්වවල අවධානය යොමු කරවන්න. ඒ විතරක් නෙවෙයි. අපේ දන්න කියන අය හරහා ඒ අයට සහනයක් වෙන වැඩපිළිවෙළක් හදමු.’


සජිත් හරීන්ට උපදෙස් දුන්නේය.


‘කොරෝනා වෛරසයට එරෙහිව නව බෙහෙතක් නිෂ්පාදනය වෙලා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. ලංකාවේ යම් ප්‍රතිශතයකට ඒ එන්නත ලබා දීමට නියමිත බවත් කියනවා.’ නලින් බණ්ඩාර කීවේය.
‘ඒවා දෙන්න ඕන නිසි සායනික ක්‍රියාවලියකින් විතරයි. අපේ රටේ ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත් කිරීමට ඉඩ දෙන්න බෑ.’ සජිත් කීවේය.


‘අනික නිසි ප්‍රමිතියක් සහිත බෙහෙත් හෝ එන්නත් තෝරාගත් පිරිසකට නොවේ. අවශ්‍යතාව මත සියලු ආසාදිතයින්ට නොමිලේ දෙන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා.’ සජිත් තවදුරටත් කීවේය.
‘කොවිඩ් හේතුවෙන් ලංකාවේ පවුල් 64% ක ආද‌ායම්වලට ඍජු බලපෑම් එල්ල කරලා. පවුල් 7% කට මුළුමනින්ම ආද‌ායම් අහිමි වෙලා තියෙනවා.’ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.
‘ඒ විතරක් නෙවේ. රන් බඩු උගස් තියලා බිලියන හයසීයකට එහා ණය අරගෙන කියලා පත්තරේ තිබුණා.’ මනූෂ කීවේය.


මේ අතර ඉකුත් අඟහරුවාද‌ා සජිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි විය. එහිදී කොරෝනා ව්‍යසනය මැඩලීමට පක්ෂ පාට භේදයකින් තොරව එක්වීමේ වැදගත්කම අවධාරණය කළ අතර මේ ව්‍යසනයට මුහුණ දී සිටින ජනතාව වෙනුවෙන් කළ යුතු දේ පිළිබඳව ද සජිත් සිය යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.


කළුතර මන්ත්‍රීවරු 11 ක් සජිත් හමුවෙති


කළුතර නගරාධිපති ආමීර් නසීර් මහතා ඇතුලු නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 11 දෙනෙක් විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස මහතා හමු වී සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීන්දු කළහ.


සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම සහ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ඇතුලු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ. ඊට පසුද‌ා ද විශේෂ පුද්ගලයෙක් සජිත් සමග එක්ව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූයේ එකට එක්වී ඉදිරි දේශපාලන කටයුතු කරන ආකාරය පිළිබඳවය. ඒ ජනාධිපති නීතිඥ, හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් ශ්‍රීනාත් පෙරේරාය. මේ අවස්ථාවට සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එක්ව සිටියේය.


‘සමහරු කියන්නේ සමගියේ අය යනවා කියලා. හැබැයි වෙන්නෙ ඒකේ අනික් පැත්ත. කෙළවරක් නැතිව එනවනේ.’ මනූෂ සජිත්ට කීවේය.


‘සමහර සර්පයෝ වගේ උදවිය එහෙම විස පතුරවනවා. ඒත් අප අපේ ගමන සමගියෙන් යනවා. දවසින් දවස අපි වටේ ජනතාව එකතු වෙනවා. අපිව වට්ටන්න, ආපහු හරවන්න කාටවත් බෑ. හැබැයි ඔය බොරු වපුරන සර්පයින්ට නම් වෙන්නේ කැලේ පනින්න තමයි.’ සජිත් කීවේය.


බයිඩ්න්ට ලංකාවේ පළමු සුබපැතුම සජිත්ගෙන්


ඇමෙරිකාවේ ජනාධිපතිවරණය අවසන් වී ජෝ බයිඩ්න් ජයග්‍රහණය කිරීම ඉකුත් සතියේ විශේෂ සිදුවීමක් විය.
‘සමීක්ෂණ වලින් ඉස්සරහින් ඉන්නේ බයිඩ්න්.’ මැතිවරණයට පෙර ඇතැමුන් සජිත් සමග කීවේය.
‘නෑ. ට්‍රම්ප්, හිලරි තරගෙදිත් ඉස්සරහින් හිටියේ හිලරි. නමුත් දිනුවේ ට්‍රම්ප්. මේ වතාවේ තියෙන්නේ ලොකු තරගයක්. ට්‍රම්ප් ඇමෙරිකාව හුදකලා කළා. ඒකට මිනිස්සු කැමැති නෑ. බොහෝ විට මේ වතාවේ තීරණාත්මක වෙන්නෙ තැපැල් ඡන්ද. ඇමෙරිකාවේ ඡන්ද විද්‍යාලවල බලය බයිඩ්න්ට යන්න ඉඩ තියෙනවා.’ සජිත් මුල සිටම සිය හිතවතුන් සමග කීවේය.


ඇමෙරිකාවේ මෙතෙක් පැවැති ලෝකයෙන් හුදකලා වීමේ ආණ්ඩුකරණය වෙනුවට නව ජනාධිපති බයිඩ්න් මහතා අනුගමනය කිරීමට සූද‌ානම්ව සිටින්නේ ලෝකය සමග මුහුවීමේ ආණ්ඩුකරණයක් බවත් ඔවුන් හා ප්‍රගතිශීලී සහ සුහදශීලී රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයකින් අපේ රටට බොහෝ ජයග්‍රහණ අත්පත් කරගත හැකි බවත් සජිත් කීවේය.


බයිඩ්න්ගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිපත්ති කෙරෙහි සජිත් තුළ වූයේ පැහැදීමකි. ඔහුගේ ජයග්‍රහණය තීන්දුවීමත් සමගම සජිත් ඔහුට සුබපැතුම් එක් කළේය. එය මෙරට දේශපාලන නායකයෙක් බයිඩ්න්ට කළ පළමු සුබපැතුම විය.


දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස අයුරින් ප්‍රකාශ කළැයි කියන සිද්ධියකට අද‌ාළව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට එරෙහිව එම කොමිසම මගින් අභියාචනාධිකරණයට කරුණු කීමට එම කොමිසම තීන්දු කර ඇත. මන්ත්‍රීවරුන් පස්දෙනකුට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි කර තිබූ දැනුම් දීම අනුව එම මන්ත්‍රීන් කිහිප දෙනා ද සමග පක්ෂයේ නායකයෝ ද මන්ත්‍රීවරු පිරිසක් ද නීතිඥයෝ 25 දෙනෙක් පමණ ද කොමිසම හමුවට ගියහ. ඉන්පසු මන්ත්‍රීවරුන් සමග එළියට ආ සමගි ජන බලවේගයේ මැති ඇමැතිවරුන් මාධ්‍යයට කීවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දූෂණ වංචා පිළිබඳ පැමිණිලි කිරීමේ අයිතියක් ඇති බවය. අධිකරණයට ගරු කරනවා. ඒත් වෙන වෙන ඒවට හිස නවන්න අපිට බෑ.’ සමගි ජනබලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර එහිදී කීවේය.


එජාප නියෝජ්‍ය නායකට හිටපු අගවිනිසුරුගෙන් උපදෙසක්


බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹින් පිටට ගියේ කෑගල්ලටය. සිය හිතවතෙක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතාගේ නිවසට ගිය රුවන් ඔහු සමග දීර්ඝ වේලාවක් සුහදව කතාබහ කරමින් සිටියේය. හිටපු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා හා කස්තුරි අනුරාධනායක මහතා සන්දිත් සමරසිංහ මහතාගේ නිවසට පැමිණ සිටියහ.


සන්දිත් සමරසිංහ මහතා විශේෂ තේපැන් සංග්‍රහයක් ද පිළියෙල කර තිබූ අතර පිරිස පක්ෂයේ ඉදිරි කටයුතු සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. පක්ෂයේ අඩුපාඩු හා නිවැරැදි කළ යුතු තැන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ආගිය තොරතුරු ද සාකච්ඡා කරමින් සිටි පිරිස එක්වී සිටි පැය කීපය තුළ විනෝදජනක මොහොතක් ගත කළහ.


කොළඹ වාළුකාරාම විහාරයේ ද‌ායක සභාවේ සාමාජිකයෙක් වූ රුවන් විජයවර්ධන මහතා එම විහාරයේ කඨින පූජා උත්සවයට සහභාගි විය. කඨින උත්සවයේ කරඬුව වැඩම කරවීම හා කඨින වස්ත්‍ර පූජාව රුවන් විජයවර්ධන මහතා විසින් සිදුකරනු ලැබීය.


ගිහි පාර්ශ්වය වෙනුවෙන් කඨින චීවරය පිළිගැනීමේ ආරාධනය කරනු ලැබුවේ හිටපු මන්ත්‍රී සාගල රත්නායක මහතා විසිනි.


කොරෝනා වසංගතය දුරු කිරීම හා රටට සෙත් පැතීම සඳහා කෝට්ටේ නාගවිහාරයේදී දින හතක කාලයක් රාත්‍රිය පුරා රතන සූත්‍රය සජ්ඣායනා කරනු ලැබ තිබුණි. එහි අවසන් දිනය වූ ඉකුත් බද‌ාද‌ා රුවන් විජයවර්ධන මහතා ද එහි ගියේය. වතුරුවිල ශ්‍රී සුජාත හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම පිංකම සිදුකෙරුණි. එහිදී රුවන්ට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ද හමු විය.


‘කොහොමද රුවන්’ සරත් එන්. සිල්වා මහතා විමසුවේය. ඔබට ලොකු අභියෝගයක් එල්ල වෙලා තියෙන්නේ සරත් එන්. සිල්වා මහතා කතාව ආරම්භ කළේය.


රුවන් පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ඩී.එස්. සේනානායක මහත්තයා, ඩඩ්ලි සේනානායක මහත්තයා පටන් ගත් තැන ඉඳලා පක්ෂය යළි පටන් ගන්න වෙනවා.’ යනුවෙනි.


‘රුවන්ට ඒක ගැටලුවක් වෙන්නෙ නැහැ. විජයවර්ධනලාගේ පැත්තෙන් නම් එහෙම යන්න පුළුවන්. නැත්නම් සේනානායකලාගෙ පැත්තෙන් නම් එහෙම යන්න පුළුවන්.’ සරත් එන්. සිල්වා මහතා කීවේය.

 

 

-ගජබා-