IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රීලනිප ආණ්ඩුවකට දිගින් දිගටම සාකච්ඡා

පළාත් පාලන මැතිවරණය ගිය සතියේ අවසන් වූයේ මහා වැස්සකින් පසුව ඇතිවන දෙගොඩතලා යන මහා ගංවතුරක් වැනි තත්ත්වයක් රට තුළ ඇති කරමිනි. ආණ්ඩුව කරවන ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් පුංචි ඡන්දයෙන් දරුණු පරාජයකට ලක්වූයේ ආණ්ඩුවේ නායකයින් ද මවිතයට පත් කරමිනි.  


මැතිවරණය පරාජයත් සමග රට තුළ නිර්මාණය වී ඇත්තේ අර්බුදකාරි සහ ආන්දෝලනාත්මක දේශපාලන වටපිටාවකි. ගෙවී ගිය සතිය පුරාම එම තත්ත්වය පැවැති අතර මේ සති අන්තය වනවිටත් එම අසහනකාරී තත්ත්වය පහව යන ස්වරූපයක් පෙනෙන්නට නැත.
මේ තත්ත්වය හමුවේ දේශපාලන කරළිය දවසින් දවස උණුසුම්වෙමින් තිබෙන බව හොඳින්ම පැහැදිලිය.  


ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමග ආණ්‍ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරු පිරිසක් ඉකුත් සඳුදා ජනාධිපති නිල නිවසට ගොස් ජනපති මෛත්‍රී හමුවූහ. ඔවුන් ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ මැතිවරණයෙන් ශ්‍රීලනිපය මෙන්ම, එජාපය ද දරුණු පරාජයකට ලක්වීමට තදින්ම බලපෑවේ ආණ්ඩුවේ ගෙවී ගිය තෙවසරක ක්‍රියාකලාපය බවය. එහිදී ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ දැඩි චෝදනාව එල්ල වූයේ එක්සත් ජාතික පක්ෂයටය. මේ සාකච්ඡාවට සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, ජෝන් සෙනෙවිරත්න, නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර, ඩිලාන්, ලක්ෂ්මන් යාපා, අමරවීර ඇතුළු ඇමැතිවරු පිරිසක් එක්ව සිටියහ.  


ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් කීවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තවදුරටත් කටයුතු කරන්නේ නම්, ඔවුන්ට ආණ්ඩුව තුළ රැඳී සිටිය නොහැකි බවය. එබැවින් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර, වෙනත් කෙනෙකු අගමැති ධුරයට පත් කරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. ජනාධිපතිවරයා කීවේ තමා ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡා කරන බවය.  


ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ සාකච්ඡාවෙන් අනතුරුව ජනපති මෛත්‍රී හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර තවත් සාකච්ඡාවක් ජනපති නිල නිවසේදී පැවැත්විණි. ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ ඉල්ලීම ගැන ජනාධිපතිවරයා එහිදී අගමැතිවරයාට දන්වා ඇති බව ද වාර්තා විය.  


අගමැති ධුරයේ වෙනසක් විය යුතු බවට වන ස්ථාවරයේ ශ්‍රීලනිප ඇමැතිවරුන් සිටින බව ජනාධිපතිවරයා අගමැතිවරයාට කීවේය. අගමැතිවරයාගේ පිළිතුර වී තිබුණේ එජාප මන්ත්‍රී කණ්ඩායම තුළ එවැනි ඉල්ලීමක් නොමැති බවය. එජාප මන්ත්‍රීවරුන් අගමැති ධුරයේ වෙනසක් අපේක්ෂා නොකරන බව අගමැතිවරයා කියා තිබිණි.  


මේ සාකච්ඡා යන අතරේ ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර ද සාකච්ඡාවකට පසුබිම සකස් වූයේ දෙපාර්ශ්වයේම නායකයින්ගේ අනුදැනුම ඇතිවය. ඒ සඳහා ශ්‍රීලනිපයේත්, ඒකාබද්ධ විපක්ෂයේත් මන්ත්‍රීවරු වරින්වර මුණ ගැසී ශ්‍රීලනිප ආණ්‍ඩුවක් පිහිටුවීමේ පසුබිම සකස් කරන්නට කතිකා කර ගත්හ. ශ්‍රීලනිපයෙන්, සුසිල්, මහින්දානන්ද, ලක්ෂ්මන් යාපා, ඩිලාන්, එස්.බී., ජෝන් සෙනෙවිරත්න ඇතුළු ඇමැති පිරිසක් ද බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද මේ කපුකමට මුල් වී සිටියහ.  


අඟහරුවාදා රාත්‍රියේ අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවූයේ අර්බුදය විසඳා ගන්නටය. එහිදී ඔවුන්ගේ ඉල්ලීම වූයේ ජාතික ආණ්ඩුව ඉදිරියට ද පවත්වා ගෙනයාමය. ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු එජාප මන්ත්‍රී කණ්ඩායම රාත්‍රියේ හමුවීමෙන් පසුව මැදියම් රැය ආසන්නයේ තවත් විශේෂ පුද්ගලයින් කිහිප දෙනකු හමුවූ බව වාර්තා විය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්‍ඩායම් දෙකකි. උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු තවත් කණ්ඩායමක් ද එදින රාත්‍රියේ අවස්ථා දෙකකදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බව වාර්තා විය. එහිදී ඒකාබද්ධ විපක්ෂ​ෙය් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ, අගමැතිවරයා ඉවත් කර ශ්‍රීලනිපයෙන් අගමැතිවරයකු පත්කර ආණ්‍ඩුවක් පිහිටුවන්නේ නම්, ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ වගකීම් බාර නොගෙන, ශ්‍රීලනිපයට සහාය දෙන බවය.  


කලින් දිනයේ ජනාධිපතිවරයාත්, ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුණුත් අතර ඇති වූ කතාබහ එකඟතා අනුව ශ්‍රීලනිපයේ ඇමැතිවරු ද ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමේ මෙහෙයුමකට මුලපිරූහ.  


ඒ අනුව දෙපාර්ශ්වයේම අදහස අනුව යෝජනාව වූයේ ශ්‍රීලනිප ආණ්‍ඩුවක් පිහිටුවන්නේ නම් අගමැති ධුරයට නිමල් සිරිපාල ඇමැතිවරයා පත් කළ යුතු බවය. ඒ අතරම ශ්‍රීලනිප ඇමැතිවරුන් තවත් අදහසක සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර කරු ජයසූරිය මහතා වැනි අයකු අගමැති ධුරයට පත් කරන්නේ නම් ඒ සඳහා ඔවුන්ගේ ගැටලුවක් නොමැති බවය. ඒ අතර තවත් යෝජනාවක් වූයේ ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එජාපය හා සුළු පක්ෂවල සහාය ලබාගෙන කරු ජයසූරිය මහතා අගමැතිධුරයට පත් කිරීමය.  


මේ සාකච්ඡා සම්මන්ත්‍රණ යන අතර වාරයේ ජනපති මෛත්‍රී බදාදා උදේ කැබිනට් රැස්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිස ජනාධිපති කාර්යාලයේදී හමුවිය. මැතිවරණ ප්‍රතිඵලය විග්‍රහ කරමින් ජනාධිපතිවරයා කීවේ එජාපයේ ක්‍රියාකාරීත්වය මැතිවරණයේ ප්‍රතිඵලයට බලපෑ බවය. මම අවුරුදු තුනක් එජාපයට ආණ්ඩුව කරගෙන යන්න දුන්නා. රවීට මුදල් ඇමැතිකම දෙන්න එපා කිව්වා, අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට පත්කරන්න එපා කිව්වා. නමුත් අැහුවේ නෑ. මම අගමැතිතුමා කැඳවල කිව්වා ඔබතුමා දැන් අයින් වෙන්න කියලා. ඒකටත් කැමැති නෑ ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීම අවසන් කරමින් කීවේ ඔයාලගේ අදහස මොනවද කියන්නෙ කියාය. අනතුරුව කතා කළේ ලක්ෂ්මන් යාපාය ‘‘ඔබතුමා කියපු කාරණා සියල්ල නිවැරදියි. අපි ඔබතුමාත් එක්ක දිගටම හිටියා. අපි මේ වෙලාවෙත් කණ්ඩායමක් විදියට වැඩ කරන්න ඕන. අපට රනිල් වික්‍රමසිංහ මහතා නැති ආණ්‍ඩුවක් ඕන. එතුමත් එක්ක අපට පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. එතුමා හැම තිස්සේම හදන්නෙ කමිටු දාලා ප්‍රශ්න විසඳන එක. ඒ කමිටු ගැන අපට කිසි විශ්වාසයක් නැහැ. මෙතන ඉන්න කාටවත් වෙන වෙනම තීන්දු ගන්න බැහැ. වෙන තැන්වල යන අයට ඔබතුමා තනතුරු දෙන්න එපා ලක්ෂ්මන් යාපා කීවේ දීර්ඝ විග්‍රහයක් කරමිනි. අනතුරුව කතා කළේ සුසිල් ප්‍රේමජයන්තය. ලක්ෂ්මන් යාපා ඇමැතිතුමා කිව්ව කාරණා හරි. තවත් මෙයාලා හදන්න බැහැ. යූඑන්පී නායකයා ඉන්නෙ වෙනම ලෝකෙක. එයාලට සාමාන්‍ය මිනිහ ගැන ගැටලුවක් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා නැතිව වෙන කෙනෙක් දාලා ආණ්‍ඩුවක් අපි හදන්න ඕන සුසිල් කීවේය. දයාසිරි ජයසේකර, අනුර යාපා, තිලංග සුමතිපාල, ලසන්ත අලගියවන්න යන ඇමැතිවරු ද ඒ ගැන අදහස් දැක්වූහ.  


පැය දෙකක පමණ සාකච්ඡාවකින් අනතුරුව හමුව නිමාවට පත්වූයේ ජනාධිපතිවරයා නැවත ඒ ගැන සාකච්ඡා කරමු යැයි කීමෙන් අනතුරුවය.  


මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් ද එම පක්ෂයේ නියෝජිතයින් සමග ජනාධිපති කාර්යාලයට පැමිණ කීවේ තම පක්ෂය ජනාධිපතිවරයාට දිගටම සහාය දෙන බවය. කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු ශිවලිංගම් පසු දිනයේ නියෝජ්‍ය ඇමැති ධුරයක දිවුරුම් දුන්නේ එම හමුවේ ප්‍රතිඵලයක් වශයෙනි.  


මේ අතර නිමල් සිරිපාල ද සිල්වා අගමැති ධුරයට පත්කිරීමේ මෙහෙයුම ද ශ්‍රීලනිප ඇමැතිවරු ආරම්භ කළහ. ඔවුන් බදාදා හැන්දෑවේ දයාසිරි ජයසේකර ඇමැතිවරයාගේ නිවසේ රැස්වී ඊට අදාළ සැලසුම් ද සකස් කළේය. දයාසිරි, ලක්ෂ්මන් යාපා, අමරවීර, සුසිල් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. ජනාධිපතිවරයා ද ශ්‍රීලනිපයට දන්වා තිබුණේ ඔයාලා බහුතරය පෙන්වන්න එතකොට මම තීරණයක් ගන්නම් කියාය. ශ්‍රීලනිප ඇමැතිවරු ජනාධිපතිවරයාගේ ද අනුමැතිය මත නිමල්ට සහාය පළකිරීමේ ලිපියකට අත්සන් ගැනීම බ්‍රහස්පතින්දා දිනයේම ආරම්භ කළේ, අගමැතිවරයා ඉවත් නොවන්නේ නම් ඊට ඇති එකම විකල්පය එය බව කියමිනි. අත්සන් ගැනීම කොටස් තුනක් යටතේ ආරම්භ වූයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් තුනකට වගකීම් පවරමිනි. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේ අත්සන් ගැනීම බාර වූයේ ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසකටය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52 දෙනාගේ අත්සන් ලබා ගැනීමේ වගකීම සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, ජෝන් සෙනෙවිරත්න ඇතුළු කණ්‍ඩායමට පැවරිණි. ආණ්‍ඩුවේ සිටින සුළු පක්ෂවල හා එජාපයෙත් මන්ත්‍රීවරුන් එක්වන්නේ නම් ඔවුන්ගේ අත්සන් ගැනීම ලක්ෂ්මන් යාපා, තිලංග සුමතිපාල යන අය බාර ගත්හ. බ්‍රහස්පතින්දා රාත්‍රියේ ද දයාසිරි ජයසේකර ඇමැතිවරයාගේ නිවසේ මේ පිළිබඳ තවත් තීරණාත්මක සාකච්ඡාවක් පැවැති අතර ඊට නිමල් සිරිපාල, ලක්ෂ්මන් යාපා, ඩිලාන්, ලක්ෂ්මන්, වසන්ත පෙරේරා වීරකුමාර දිසානායක, ජෝන් සෙනෙවිරත්න, තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ. මේ අතර නිමල් සිරිපාල ඇමැතිවරයා අගමැති ධුරයට පත්කරමින්, ශ්‍රීලනිප සුළුතර ආණ්ඩුවකට සහාය දෙන බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සිකුරාදා දිනයේ ශ්‍රීලනිපය වෙත ලිපියක් බාරදීමට නියමිතව සිටියේය. ශ්‍රීලනිප ආණ්‍ඩුවක් හදන්නේ නම් මුලින් 104ක් සූදානම් කර ගන්නා ලෙස පවසා ඇති සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ ඉන්පසුව ශ්‍රීලනිපය සමග එක්ව ආණ්‍ඩුවක් පිහිටුවීමට තමන්ගේ සහාය ලබාදෙන බවය.  


​ෙම් අතර එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් 12 දෙනෙකු පමණ ගිය සතියේ බදාදා කතානායක නිල නිවසේදී කතානායක කරු ජයසූරිය මහතා හමුවී අගමැති ධුරය බාරගන්නා ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. එම සාකච්ඡාවට චම්පික රණවක, රංජිත් මද්දුම බණ්‍ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා විය.  

 

කැබිනට් රැස්වීම

සතියේ කැබිනට් රැස්වීම ගිය බදාදා උදේ පැවැත්වුණේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. මෙවර කැබිනට් රැස්වීම පැවැත්වුණේ‍ ඡන්දය අවසන් වී පළමු වරටය. ඒ නිසා කැබිනට් රැස්වීම දෙස රටේම අවධානය යොමු වී තිබිණි. අලුතින් ගෙන එන්නට යන ත්‍රස්තවාදය වැළැක්වී​ෙම් පනතේ සඳහන් සැකකරුවකු පාපෝච්චාරණයක් කිරීමට අදාළ වගන්තියක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග ගියේ මේ පනත සම්බන්ධයෙන් ඇතැම් ඇමැතිවරුන් විරෝධය දක්වන්නට වූ බැවිනි. මේ වගන්තිය අවශ්‍යයි කියල නීතිපති දෙපාර්තමේන්තුවේ අය කියනවා නම්, ඇයි අයින් කරන්නේ යැයි චම්පික රණවක ඇමැතිවරයා ඇසුවේය. තිලක් මාරපන ද ඒ ගැන අදහස් දැක්වීය. මංගල සමරවීර ඇමැතිවරයා කීවේ මේ වාර්තාවලට කලින් ජීඑස්පී ගන්න සම්මත කරගන්න ඕනෑ කියාය. රට පාලනයේ කතාවට සජිත් ප්‍රේමදාස හා නවීන් දිසානායක ඇමැතිවරුන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. ආණ්‍ඩුව ලංකාව ගැන නොවෙයි හිතන්නෙ යුරෝපය ගැනයි. ඒක තමයි අපට වෙලා තියෙන්නෙ. යුරෝපයට ඕන විදියට වැඩ කරන්න යෑමේ ප්‍රතිඵල පේනවානේ දැයි සජිත් විමසීය. නවින් ද සජිත්ගේ අදහස අනුමත කරමින් කතා කළේය. සුසිල් කීවේ අපි ජීඑස්පී පස්සේ යන්න නෙමෙයි තීන්දු ගන්න ඕනෑ කියාය. 

 

ඒකාබද්ධ විපක්ෂය ජනපති සමග සාකච්ඡාවේ


ඉරිදා හවස වනවිටත් සමස්ත ප්‍රතිඵලය නිකුත් නොවුණත් පොහොට්ටුව ඉහළින්ම දිනා ඇති බව රටම දැනගෙන සිටියේය. ඒකාබද්ධ විපක්ෂයෙ මන්ත්‍රීවරුන් ද මහින්ද හමුවීමට විජේරාම මාවතේ නිල නිවස වෙත පැමිණෙමින් සිටියේ ජයග්‍රහණය ගැන මහින්දට සුභ පතන්නටත් එක්කය. එක් මන්ත්‍රීවරයකු පැමිණ තිබුණේ ජයග්‍රහණය සමරන්නට කේක් ගෙඩියකුත් රැ​ෙගනය. මහින්ද කේක් කපන්නට සූදානම් වෙද්දී ප්‍රසන්න රණතුංග ද හදිසියේම ආවේය. ‘මේ ජයග්‍රහණයෙ ලොකුම කොටස්කාරයෙක්නෙ ප්‍රසන්න’ කියමින් මහින්ද ප්‍රසන්න ද එක්කරගෙන කේක් ගෙඩිය කැපුවේ පොහොට්ටුවේ ජයග්‍රහණය සමරමිනි. 


පොහොට්ටුවේ ජයග්‍රහණයත් සමඟ ඉදිරි දේශපාලන සැලසුම් ගැන කතාබහ කරන්නට ඒකාබද්ධ විපක්ෂයෙ මන්ත්‍රීවරුන් මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවතේ නිල නිවසේදී රැස්වූයේ සඳුදා හවස්වරුවේය. ‘මේ ජයග්‍රහණයෙන් ආණ්ඩුව හෙල්ලිලා ඉන්නෙ’ යැයි ප්‍රසන්න රණතුංග කීවේ ප්‍රතිඵල ගැන විග්‍රහයක් ද කරමිනි. ලැබූ ජයග්‍රහණය ගැන මහින්ද හැමෝටම සුබ පැතුවේ සියලුම දෙනාගේ කැපවීම අගය කරන බව පවසමිනි. 


‘අාණ්ඩුව කිව්වෙ පොහොට්ටුව පිපෙන්නෙ නැහැ කියලයි. හැබැයි ඒ කතා සියල්ල බොරුවුණා’ යැයි මහින්දානන්ද කියද්දි මහින්ද කීවේ ‘ඒකනිසා තමයි මම කියන්නෙ කොයි බලයත් ජනතා බලයට යටයි කියලා’ කියාය. මේ ජයග්‍රහණයෙන් පස්සෙ අපට දැන් විවිධ පණිවිඩ එනවා. අපි මේ ආණ්ඩුව වහාම ගෙදර යවන්න ඕන. රනිල් වික්‍රමසිංහට තවදුරටත් බලයේ ඉන්න ඉඩ දුන්නොත් රටක් ඉතුරු වෙන්නෙ නැහැ’’ මහින්ද කීවේය. මේ පාර පත්වෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාට පඩි ගෙවන්නෙ නොරොච්චෝලෙ විකුණලා කියලා රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියල තියෙනවා යැයි සනත් නිශාන්ත කියද්දි ඩලස් කීවේ එ්ක නම් ඇත්ත වෙන්න ඇති මොකද රනිල් වික්‍රමසිංහ උදේට නැගිටින්නෙ අද මොනවද විකුණන්නෙ කියල කල්පනා කරගෙන නේ කියාය. ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලයද මහින්දට පැවරීමට මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය.   


පුංචි ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකු ගිය සතියේ හමුවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමේ සූදානම වෙනුවෙනි. ශ්‍රීලනිපයෙන් සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න, එස්.බී. දිසානායක යන ඇමැතිවරුද ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් බන්දුල ගුණවර්ධන හා බැසිල් රාජපක්ෂ දෙදෙනාද මේ හමුවට එක්ව සිටියහ. එහිදී ශ්‍රීලනිපයෙන් ඉදිරිපත්වූ යෝජනාව වූයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමය.   


මේ යෝජනාව ගැන සාකච්ඡා කරන්නට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම බදාදා හැන්දෑවේ මහින්දගේ ප්‍රධානත්වයෙන් යළි රැස්විය. රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් ඉවත් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කෙනෙක් අගමැති කරලා ආණ්ඩුවක් හදන්න සහාය දෙන්න කියලා අපට යෝජනාවක් ඇවිත් තියෙනවා යැයි මහින්ද මන්ත්‍රී කණ්ඩායමට දන්වා සිටියේය. අපි ඒ ගැන මොකද කියන්නේ යැයි මහින්ද විමසුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිචාරය කෙබඳුදැයි දැන ගැනීමේ බලාපොරොත්තුවෙනි.   


අපි නැවත ශ්‍රීලනිපය එක්ක එකතු වුණොත් එන ඡන්දෙදි අපට ඇපත් නැති වෙයිද දන්නෙ නෑ යැයි සනත් නිශාන්ත කීවේ යෝජනාව ගැන එතරම් පැහැදීමක් නොමැතිවය. ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියල එයාලට කොන්දේසි දැම්මේ අපිම තමයි දැන් එයාලා අයින් වෙන්න හදන නිසා අපි ​ෙමානව හරි කරන්න ඕන. ඒ අයගෙ යෝජනාව නිමල් සිරිපාල අගමැති කරමු කියලයි.   


මේ පිළිබඳ මූලික සාකච්ඡාවලට එක්වූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැහැදිලි කරමින් කීවේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කීවේ ඒ ගැන ගැටලුවක් නැති බවය. රනිල් අයින් කරගන්න තමයි අපට ඕන වුණේ. අපි රනිල් අයින් කරන වැඩේට උදව් කරමු. ඒකාබද්ධ විපක්ෂය විදියට අපි කිසිම තනතුරක් බාර නොගෙන ආණ්ඩුවේ හොඳ වැඩවලට විතරක් සහාය දෙමු කියාය. මහින්දගේ අදහසට මන්ත්‍රීවරු එකඟතාව පළ කළහ. ‘‘නිමල් එනව නම් එක කොන්දේසියක් තියෙනවා පහුගිය අවුරුදු තුනේම එයා මගේ ​ෙෆා්න් එකටවත් ආවේ නැහැ. අපි කතා කරනකොට උත්තර දෙන්න කියල දැන්වත් එයාට කියන්න’’ යැයි මහින්ද කීවේය. ‘‘සර් මටත් කොන්දේසියක් තියෙනවා,’’ යැයි සනත් නිශාන්ත කීවේය. ඒ මොකද්ද යැයි මහින්ද අහද්දි ‘‘නෑ සර් එතුමා යන යන තැන නිදා ගන්නවා. දැන්වත් එතුමට නිදාගන්න එක නතර කරන්න කියල කියන්න. අඩු ගානෙ පාර්ලිමේන්තුවෙදිවත් නැගිටලා ඉන්න කියන්න” යැයි සනත් නිශාන්ත කීවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයකු යටතේ ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ සහාය දීමට එහිදී තීරණය කෙරිණි.    



අදහස් (0)

ශ්‍රීලනිප ආණ්ඩුවකට දිගින් දිගටම සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 184 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 414 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site