ඉරණමට එරෙහිව අරගල කළ ගැහැනු

කාන්තා දින කොතරම් පසුවුවද ගැහැනු කවදත් අසරණ යැයි නැගෙන අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැනු ද නැත්තේ ම නොවේ. රටක් නොව ලොවක් පවා වෙනස් කළ සටන්කාමී කාන්තාවන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අප සිතුවේ එබැවිනි. මේ එහි සිව්වැන්නයි. 


විශිෂ්ට ගණයේ දේශපාලන ක්‍රියාකාරිනියක වන ඇමෙරිකානු ජාතික ඇන්ජලා ඩේවිස්, පන්ති ක්‍රමයට එරෙහිව අරගල කළ ලෙනින් සාම ත්‍යාගය පවා දිනාගත් දාර්ශනිකයෙකි. ඇගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයක කටයුතුද මේ වන විට ඇරැඹී ඇත්තේ මේ හේතුවෙනි. එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත්තේ ජූලි ඩෑෂ්ය. පළමු වරට වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අප්‍රිකානු - ඇමෙරිකානු අධ්‍යක්ෂවරි ද ජූලි වීම මෙම චිත්‍රපටයේ තවත් විශේෂත්වයකි.


කෙසේ වෙතත් කාන්තාවන්ගේ මනස තුළ මතවාදී වෙනසක් ඇති කළ යුතුය යන්න තරයේ විශ්වාස කළ ඇන්ජලා ඩේවිස්, දේශපාලනයට යොමු වන්නේ සිය මව වූ සැල්යේ බෙල් ඩේවිස්ගේ ආභාසයෙනි. ඒ එකල ඇගේ මව කොමියුනිස්ට් ආභාසය ලද දකුණු නීග්‍රෝ තරුණ කොංග්‍රසයේ ක්‍රියාකාරී සංවිධායකවරියක ලෙස කටයුතු කළ බැවිනි. 


ඒ අනුව කුඩා කල පටන් චින්තකයන් සමග හැදී වැඩුණු ඇන්ජලා, 1959 වසරේදී එනම් වයස අවුරුදු පහළොවේදීම දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූයේ බර්මින්හැම් නගරයේදී වර්ගවාදයට එරෙහි පා ගමනක් සහ උද්ඝෝෂණයකට එක්වෙමිනි. ඒ බාලදක්ෂිකාවක ලෙසිනි. තවත් වරක් අත්අඩංගුවට ගැනීමට පවා ඇයට වරෙන්තු නිකුත් වන්නේ ඈ තුළ පැවැති එම සටන්කාමීත්වය ​ෙහ්තුවෙනි. 


ශිෂ්‍යත්වයක් ලැබ බ්‍රැන්ඩීස් විශ්වවිද්‍යාලයට එක්වීමෙන් අනතුරුව දර්ශනය හැදෑරීමට යොමු වූ ඇයට එහිදීද අභියෝගාත්මක අධ්‍යාපනයක් ලැබීමට සිදුවූයේ මේ හේතුවෙනි. කෙසේ නමුත් කළු ජාතිකයන් තිදෙනෙක් පමණක් සිටි පන්තිය තුළ වුවද වර්ගවාදයට එරෙහි තම මතවාදී අරගලය ආරම්භ කළ ඇන්ජලා, ඒ අතරතුර 1968 වසරේදී  හම්බෝල්ට් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියද ලබා ගත්තාය.


අනතුරුව 1970 වසරේදී නැවතත් සටන් බිමට පැමිණෙන ඇන්ජලා, FBI සංවිධානය වෙත ඉක්මනින්ම අවශ්‍ය කරන දසදෙනාගෙන් එක් අයෙකු බවට පත් වන අතර ඇන්ජලාට එල්ල වූ බරපතළම චෝදනාව වූයේ ඇය වෙඩි තැබීමකට සම්බන්ධ වූවාය යන්නයි. එදා එවන් තත්ත්වයකට පත් තෙවැනි කාන්තාව සහ 309 වැනි පුද්ගලයා වූයේද ඇයයි. ඇන්ජලා අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් අනතුරුව එකල රට පාලනය කළ ජනාධිපති රිචඩ් එම්. නික්සන් විසින්  ඒ වෙනුවෙන් FBI සංවිධානයට සුබපැතුවේද මේ හේතුවෙනි. එහෙත් ඇමෙරිකානු සංවිධාන 200කට අධික සංඛ්‍යාවක් සහ විදෙස් රටවල් 67කින් යුත් ජනතා අධිකරණය ඇයව අත්හැරියේ නැත. ඇන්ජලා නිදහස් කර ගැනීම සඳහා වූ ජනතා ව්‍යාපාරය වෙනුවෙන් අතිවිශිෂ්ට ගායක ජෝන් ලෙනන් සහ යෝකෝ ඔනෝගේ (ඇන්ජලා)  නම් ප්‍රකට ගීතයද එදා නිර්මාණය වූයේ මේ හේතුවෙනි. එසේම රෝලින්ග් ස්ටෝන් නිර්මාණය කළ 'Sweet Black Angel' මෙන්ම බොබ් ඩිලන්ගේ 'George Jackson' නිර්මාණය වූයේද ඇය වෙනුවෙනි. අවසන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇන්ජලාට යුක්තිය ඉෂ්ට කරන්නේ ඇගේ අවිහිංසකත්වය සනාථ කරමිනි. 

 

බ්ලැක් පැන්තර්ස් පක්ෂය නියෝජනය කරමින් පැවැත්වූ රැළිය.

 


අනතුරුව ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක ලෙසද බ්ලැක් පැන්තර් පක්ෂය දියුණු කළ මේ හේතුවෙන් රැකියාවෙන් පවා ඉවත්වීමට සිදුවිය. ඒ ඇ.ඩො. දස දහසක දඩයක්ද සමගිනි. එහෙත් තමාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටි ඇන්ජලා, අධිකරණමය තීන්දුවක් හරහා නැවතත් තම අරගලය ජයගත්තාය. නමුත් නැවතත් ඇයට රැකියාවෙන් අස් කිරීමට බලධාරීන් තීරණය කළේ පවතින පාලන ක්‍රමය අභියෝගයට ලක් කළ ඇගේ ආන්දෝලනාත්මක දේශන හතරයි. 1972 වසරේදී ඇගේ අරගලය පදනම් කර ගනිමින් 'Angela Davis: Portrait of a Revolutionary' වාර්තා චිත්‍රපටයක්ද  නිර්මාණය වූයේ මේ හෙයිනි. 


1991දී කොමියුනිස්ට් පක්ෂයද හැර යන ඇන්ජලා, නව දේශපාලන දර්ශනයක් සමාජගත කිරීමේ අරගලය ආරම්භ කළ අතර ඒ වෙනුවෙන් මාධ්‍ය බවට පත් කර ගත්තේ ග්‍රන්ථකරණයයි. එහි ප්‍රතිඵල කොතෙක්ද යත් 2018 වසරේදී පවා ඇගේ මුහුණ ඇතුළත් ටීෂර්ට් ලොව පුරා සැරිසරන්නට විය. ඇගේ නව සංකල්පද අදටත් කතාබහට ලක්වෙමින් පවතී.

 

 

 

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි