(මහාචාර්ය ඇන්ටන් මීමන)

මහාචාර්ය ඇන්ටන් මීමන, කළුතර සිරි කුරුස විදුහලේත්, කොළඹ රාජකීය විදුහලේත් අධ්‍යාපනය ලබා පිලිපීනයේ මේරිහිල් දේවධර්ම පාසල, ආසියානු සමාජ ආයතනය, ආගමික සහ ආධ්‍යාත්මික ආයතනය, සමාජ එ‍‍ඩේරික ආයතන, පිලිපීන විශ්වවිද්‍යාලයේ තුන්වන ලෝකය පිළිබඳ අධ්‍යයන ආයතනය, මාරිස්ට් ආසියානු පැසිපික් ආයතනය, අතනියෝද මැනිලා විශ්වවිද්‍යාලය සහ ශාන්ත තෝමස් විශ්වවිද්‍යාලය වැනි ආයතනවලින් දර්ශනයෙ, මනෝ විද්‍යාව සහ දේවධර්ම ශාස්ත්‍රය පිළිබඳ වැඩිදුර උපාධි ලබාගෙන ඇත.

එමෙන්ම පිලිපීනයේ ශාන්ත ලසාල් විශ්වවිද්‍යාලයේ සාමය හා සංහිඳියාව පිළිබඳව මහාචාර්යවරයා ලෙස කටයුතු කර ඇත. අවුරුදු 21 කට පසු ඔහු ලංකාවට පැමිණ භාග්‍යවත් ජූසේවාස් දේව ධර්ම නිකේතනය, ඇමරිකානු විදුහල ආදී ආයතනවල ඉගැන්වීමේ කටයුතු නිරතවී සිටියි. මෙවර සංවාදය ඔහු සමඟ පැවැත්වෙන්නේ නත්තල් උදාව ද නිමිති කරගෙනය.

රටක සාහිත්‍යයේ පෝෂණයට එම රටේ ආගමික පරිසරය කරන බලපෑම කවරාකාරද?

මානව ජීවිතය සකස් වීමේදී ගැඹුරින්ම බලපාන සාධකය නම් ආගමික දැක්මයි. අනෙකුත් සෑම ලෝක දැක්මක් ද මරණය සමඟ කෙළවර වන්නක්. ධනවාදය, සමාජවාදය, නූතන විද්‍යාත්මක ලෝක දැක්ම, ලිබරල්වාදය, ස්ත්‍රීවාදය, අරාජික වාදය, ජාතික වාදය, හේතුපලවාදය යනාදී ලෝක දෘෂ්ටීන් මරණයෙන් ඔබ්බට ගිය පැවැත්මක් පිළිබඳ කතා කරන්නේ නෑ. කිතුනු දහම, බුදු දහම, හින්දු දහම හා ඉස්ලාම් දහම යනාදිය මරණයෙන් ඔබ්බට ගිය පැවැත්මක් හා ජීවිත අර්ථයක් ගැන කතා කරනවා.

මානව ජීවිතයට වැඩියෙන්ම බලපෑමක් කරන්නේ මරණයෙන් ඔබ්බට ගිය පැවැත්මක් ගැන කතා කරන ආගමික දර්ශන. ඊට හේතුව ජීවිතය ගැන සදාකාලික දැක්මක් ඒවා මගින් සැපයීමයි. මිනිසාට පහසුවෙන් පාලනය කළ නොහැකි යථාර්ථයන්  වන මරණය, දුක්වේදනා, වියෝවීම්, සමහර ලෙඩ රෝග, කලකිරීම්, අපේක්ෂා භංගත්වයන්, අසමත්වීම්, මානසික කඩාවැටීම්, ආදර සම්බන්ධතා යනාදිය තේරුම් ගැනීමට, විග්‍රහ කර ගැනීමට ජීවිතය පිළිබඳව ඉතා පුළුල් දැක්මක්, ගැඹුරු දැක්මක්, අධ්‍යාත්මික දැක්මක් අවශ්‍යයි.

එවැනි දැක්මක්  ඓතිහාසික ලෙස සපයා ඇත්තේ ආගමික සම්ප්‍රදායන්. මෙම ආගමික ලෝක දැක්ම තුළ යම් යම් සීමා අඩුපාඩු ඇතත් ඒවාට විකල්ප අප සතුව නැහැ. ආධ්‍යාත්මික දැක්මක් නොමැතිව අර්ථවත් ජීවිතයක් ගත කිරීම දුෂ්කර කාර්යයක්. මිනිසා අවසාන විග්‍රහයේදී ආධ්‍යාත්මික හා සාහිත්‍යමය සත්ත්වයෙක්.

ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති මගින්ද විග්‍රහ කරනු ලබන්නේ මිනිසාට පහසුවෙන් පාලනය කරගත නොහැකි පහසුවෙන් තේරුම් ගත නොහැකි මානව යථාර්ථයක් වන මරණය, දුක් වේදනා, වියෝවීම්, කලකිරීම්, අපේක්ෂා භංගත්වයන්, ජීවිතයේ අසමත්වීම්, මානසික කඩා වැටීම්, ප්‍රේම සම්බන්ධතා, ඇතුළාන්ත අරගලයන් වරදකාරී හැඟීම් යනාදියයි. එනම් දේශපාලන මතවාදවලින් නූතන විද්‍යාවේ සොයාගැනීම්වලින් සම්පූර්ණයෙන්ම තේරුම් ගත නොහැකි මානව අත්දැකීම්.

අධ්‍යාත්මික සම්ප්‍රදායන් හා ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති අතර ජීවමාන සම්බන්ධතා තිබෙනවා. සමහර රටවල සාහිත්‍ය කෘති ආගමික සම්ප්‍රදායන්ගේ තැන ගෙන තිබෙනවා. එසේත් නොමැති නම් ඔවුන් අන්‍යොන්‍ය වශයෙන් පෝෂණය ලබනවා. සාහිත්‍යය එක්තරා අන්දමකට ආධ්‍යාත්මික යථාර්ථයක් ලෙස හඳුන්වන්නට පුළුවනි.

ලෝක සාහිත්‍යයේ පතාක යෝධයන් වන ලියෝ ටෝල්ස්ටෝයි, ඇන්ටන් චෙකොෆ්, නිකොලෝයි ගොගොල්, ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, ගීද මෝපසාන්ට්, විලියම් ෂේක්ස්පියර්, වික්ටර් මරි හියුගෝ, ඇලෙක්සැන්ඩර් ඩූමා, පියදෝස් ඩොස්ටොවුස්කි, ටී.එස්. එළියට්, ජේම්ස් ජොයිස්, ජෝන් මිල්ටන්, චාල්ස් ඩිකන්ස්, මිගෙල්  සර්වන්තෙස්, මර්සෙල් ප්‍රව්ස්ට්, ගුස්ටාව් ෆ්ලෝබෙයා, ඉවාන් ටර්ගනිෆ් යනාදීන්ගේ සාහිත්‍ය කෘති ඉතා සියුම් පරීක්ෂා කිරීමේදී කිතුනු දහමෙන් ලැබූ පෝෂණය හා ආභාසය ඉතාමත් පැහැදිලියි.  සාහිත්‍යකරුවන් හා ආගමික සම්ප්‍රදායන් එකම ආකාරයේ මානව අරගලයන් හා ගැටලු විග්‍රහ කරන බව පෙනී යනවා.

සාහිත්‍ය කෘති මිනිස් ජීවිතයේ ගැඹුරු අර්ථය කුමක්ද කියා මෙනෙහි කිරීමට අප දිගින් දිගටම පොළඹවනවා. මෙහෙයවනවා. අපගේ ජීවිතයේ ගුණාත්මක භාවය, අප විසින් පරිශීලනය කරන සාහිත්‍ය කෘතිවලට සමානුපාතිකයි.

ජේසුස් වහන්සේගේ ඉගැන්වීම්වල ඇති සාහිත්‍යමය කාව්‍යමය අගය කෙබඳුද?

ජේසුස් වහන්සේගේ මව්භාෂාව වූයේ ගලීලියානු අරමයික් (=Galilean Aramaic) භාෂාවයි. එය ඉතා කාව්‍යමය හා රිද්මායානු භාෂාවක්. ජේසුස් වහන්සේ තම ඉගැන්වීම් ඉතාම කාව්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කර ඇති බව ඉතා පැහැදිලියි. උන්වහන්සේ අරමයික් භාෂාවෙන් ඉදිරිපත් කරන ලද ඉගැන්වීම් ග්‍රීක භාෂාවට පරිවර්තනය වීමෙන් පසුවයි නව ගිවිසුමට ඇතුළු වන්නේ. එම නිසා එම කාව්‍යමය හා ගීතමය රිද්මයන් බොහෝමයක් අපට අහිමිවෙලයි තියෙන්නේ.

එහෙත් බයිබලීය විශාරදයන් විසින් ග්‍රීක බසින් ලියැවුණු නව ගිවිසුම නැවත වතාවක් ගලීලියානු අරමයික් භාෂාවට පරිවර්තනය කිරීමෙන් මෙම රිද්මයන් ගැන අවබෝධයක් ලබන්න පුළුවන්.

එයින් පෙනීයන්නේ උන්වහන්සේ තම ජනතාවගේ සිතුම් පැතුම් ජන සම්ප්‍රදායන් ඉතා මැනවින් අවබෝධ කොටගෙන තම දහම දෙසූ බවයි. ජේසුස් වහන්සේ ඉතා විශිෂ්ට ගණයේ කාව්‍යමය පරිකල්පනයක් තිබූ පුද්ගලයෙකි.

ලෝක සාහිත්‍යයේ පෝෂණයට කිතුනු දහමේ ආභාසය බලපෑවේ කොහොමද?

විශේෂයෙන් යුරෝපීය සාහිත්‍ය ඇතුළු ලෝක සාහිත්‍ය කෘති හා කිතුනු දහමින් කිසිසේත්ම වෙන් කළ නොහැකි ඓතිහාසික ක්‍රියාවලියක්. ඕනෑම සාහිත්‍යයක් ලෝකයේ මොන ප්‍රදේශයකින් බිහි වුවත් කාලයාගේ ඇවෑමෙන් එය සමස්ත මානව වර්ගයාගේම පොදු උරුමයක් බවට පත්වෙනවා. අපගේ ජාතිය, ආගම, කුලය, භාෂාව, සංස්කෘතික පසුබිම කුමක් වුවත් මිනිසුන් ලෙස අප හැමටම පොදු අත්දැකීම් සමූහයක් තියෙනවා.

සමස්ත මානව සංහතියම අවසාන විග්‍රහයේදී එක යථාර්ථයක්. ඕනෑම රටක බිහිවූ සාහිත්‍ය කෘතියක් කියවා අපට තේරුම් ගත හැක්කේ ඒ නිසායි. කිතුනු දහමේ මූලික හරය නම් විශ්වාන්තර විශ්විය හා කොන්දේසි විරහිත ප්‍රේමයයි. එනම් තම මිතුරන්ට පමණක් නොව තම සතුරන්ට ප්‍රේම කිරීමයි. සේවය කිරීමයි. ඒ ගැන ජේසුස් වහන්සේ ඉතා පැහැදිලි ලෙස උගන්වා තිබෙනවා. 

යුරෝපීය සාහිත්‍ය කෘති මගින් නිරූපණය වන්නේ අප එකිනෙකාට අවංකවම ප්‍රේම නොකරන විට පැන නගින ගැටුම් හා අර්බුද. සෑම මනුෂ්‍යයකුගේම හදවතේ ගැඹුරුතම ප්‍රාර්ථනාව නම් සැබෑ ප්‍රේමය පිළිබඳ අත්දැකීමක් ලැබීමයි. මිනිසුන් කලකිරීමට පත් වන්නේ එවැනි අත්දැකීමක් නොලැබුණු විටයි. සාහිත්‍ය කෘති නිර්මාණය වන්නේද මානව සංහතියට ඇති දයා කරුණාව නිසායි.

මිනිසුන්ට ආදරය නොකරන්නාට කලා නිර්මාණවලට උපත දිය නොහැකියි. කලා නිර්මාණ බිහි කිරීම දරුවෙකු බිහිකොට පෝෂණය කරනවා වැනි දෙයක්. ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති පරිශීලනය කරනවිට මානව සංහතිය කෙරෙහි ඇති ප්‍රේමය හා සෙනෙහස වැඩි වර්ධනය වන්නේ ඒ නිසායි. ඉහත සඳහන් කළ ලෝක සාහිත්‍යයේ පතාක යෝධයන්ගේ කෘති කියවා බලන විට මෙම කාරණය ඉතා පහසුවෙන් අවබෝධ වෙනවා.  සාහිත්‍ය කෘති නිර්මාණය කිරීමත් ඒවා ඉවසීමෙන් පරිශීලනය කිරීමත් ප්‍රේමයේ ක්‍රියාවක්.

අපේ රටේ ගීත සාහිත්‍ය ඇතුළු විවිධ සාහිත්‍යාංග සම්බන්ධයෙන් කිතුනු දහමේ බලපෑම කෙබඳුද?

කිතුනු දහමේ එන වන්දනා පිළිවෙත් ගීතිකා පදනම් කරගත් සම්ප්‍රදායන්. ආරම්භයේ සිටම විශේෂයෙන් කතෝලික දහම සාහිත්‍ය, මූර්ති කලාව, චිත්‍ර කලාව, නාට්‍ය කලාව, කැටයම් කලාව, නැටුම්, කාව්‍යය යනාදිය ජනතාව දැනුවත් කිරීම සඳහා භාවිත කර තිබෙනවා. ඉතාම අර්ථවත් හා සශ්‍රික ගීතිකා සම්ප්‍රදායක්, කතෝලික සභාව විසින් ශ්‍රී ලාංකේය ජනතාවට උරුම කරදී ඇත්තේ ඒ නිසායි.

 දේශීය කිතුණු ගීතිකා සම්ප්‍රදායක් වැඩිදියුණු කිරීමට විශේෂයෙන් දායක වූ පුද්ගලයන් අතර ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා, ගරු මර්සලින් ජයකොඩි පියතුමා, මොසැසි පෙරේරා පියතුමා, අතිගරු එඞ්මන් පීරිස් රදගුරුතුමා, ගරු මයිකල් සිල්වා පියතුමා, ගරු සිසිල් ජෝයි පෙරේරා පියතුමා, ජේ.කේ.ඇස්. පෙරේරා මහතා, සුනිල් සාන්ත මහතා, අයිවෝ ඩෙනිස් මහතා, හියුබත් දිසානායක මහතා, චන්ද්‍ර කීර්ති කුලරත්න මහතා යනාදීන්ගේ දායකත්වය ඉතාමත් තීරණාත්මකයි.

කිතුනු ගීත සම්ප්‍රදාය ගැන මා සඳහන් කළේ සිංහල ගීත සාහිත්‍යය හා සමඟ එය එක්තරා අන්දමකට සම්බන්ධවන නිසයි. ඉහත සඳහන් කලාකරුවන් සිංහල ගීත සාහිත්‍යයටද තීරණාත්මක දායකත්වයක් දුන් පුද්ගලයන් ලෙස සැලකිය හැකියි. 

වර්තමාන නව පරපුරේ කතෝලික ගීත රචකයන් අතර ඇන්ටන් ජයනන්ද පියතුමා, මහින්ද නාමල්, අජිත් හැඞ්ලි පෙරේරා යනාදීන් ද අප විසින් අගය කිරීමට ලක් කළ යුතුයි. 

කිතුනු සාහිත්‍යය පෝෂණය කිරීමට අපේ රටේ ලේඛකයන්ගේ සහ විචාරකයන්ගේ මැදිහත්වීම ගැන සතුටුද?

සාහිත්‍යකරණයේ කිතුනු දායකත්වය සදාකාලික ක්‍රියාවලියක් බවට පත්විය යුතුයි. එනම් අනාගතයේ බිහිවන සෑම පරපුරක් විසින්ම එම සාහිත්‍ය පෝෂණ ක්‍රියාවලිය දිගින් දිගටම ආරක්ෂා කරගත යුතුයි. එම ක්‍රියාවලිය එක පරපුරක් සමඟ අවසන්වන දෙයක් නොවේ.

වර්තමාන කතෝලික තරුණ පරපුර සාහිත්‍ය කෘති කෙරෙහි දක්වන ඇල්මැරුණු ස්වභාවය ඉතා ශෝචනීය කරුණක්. එමෙන්ම වත්මන් තරුණ පරපුරේ භාෂා ඥානය ද පහතට වැටී ඇති බව පැහැදිලියි. යහපත් අනාගතයකට මෙම තත්ත්වය වෙනස් විය යුතුයි.

වත්මන් සමාජ පිරිහීමත් තරුණ පරපුර සාහිත්‍ය පරිශීලනයෙන් ඈත්වීමත් අතර සෘජු සම්බන්ධතාවක් පවතින බව ද පෙනෙනවා. කිතුනු සාහිත්‍යධරයන්ට  අතීතයේ සිටි ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේවල් තිබෙන බව පෙනෙනවා.  

- සංවාදය: ගාමිණි කන්දේපොළ -