ප‍්‍රවීණ මාධ්‍යවේදිනියක මෙන්ම ප‍්‍රවීණ පරිවර්තිකාවක ද වන මාලිනි ගෝවින්නගේ වැදගත් කෘති රැසක් සිංහල සාහිත්‍යයට දායාද කළ අයෙකි. ඇගේ ‘‘රළ’’ කෘතියට 2015 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි විය.

ෆොන්ටමාරා, හඬනු පෙම්බර දේශය, මගේ පිකාසෝ, මාදුටු බීතෝවන්, බොලිවියානු දිනපොත, දිවි අරුත, පුංචි කුමාරයා, චේ වැනි කෘති ඇගේ කෘති අතර කැපී පෙනේ. ඇගේ නවතම පරිවර්තන කෘති දෙකක් පසුගියදා එළි දැක්වුණි. එකක් ‘‘දූවිලි දේදුන්න’’ කෘතියයි. එය  ඕස්ටේ‍්‍රලියානු ආදිවාසීන්ගේ ඛේදවාචකය මතු කරන කෘතියකි. අනෙක ‘‘පා සටහන් නැති දෙවියෝ’’ කෘතියයි. එය අරුන්දතී රෝයි ගේ The God of Small Things කෘතියේ සිංහල පරිවර්තනයයි. මතු දැක්වෙන්නේ එය පදනම් කොටගනිමින් කළ සංවාදයක සටහනකි.

අරුන්දතී රෝයිගේ The God of Small Things කෘතිය ‘‘පා සටහන් නැති දෙවියෝ’’ නමින් ඔබ පරිවර්තනය කර තිබෙනවා. මීට පෙරත් මේ පොත ‘‘සිල්ලර දෙවියෝ’’ නමින් පරිවර්තනය වුණා අපට මතකයි. වරක් පරිවර්තනය කරන ලද කෘතියක් නැවත සිංහලට පෙරළන්න ඔබ කල්පනා කළේ ඇයි?

මගෙන් කරන ලද ඉල්ලීම මත එය මම නැවත පරිවර්තනය කළා. කලින් පරිවර්තනය අසම්පූර්ණ බවයි ප‍්‍රකාශකයන්ගේ අදහස වුණේ. එමෙන්ම මුල් කෘතියේ ජීවගුණ අතුරුදන් වී තිබුණේ මුල් කෘතියේ ඉතාමත්ම වැදගත් කොටස් මුල් පරිවර්තකයා විසින් අතහැර දමා තිබීම නිසයි. තව කෙනෙකු පරිවර්තනය කළ කෘතියක් වඩා ගුණාත්මක ලෙස පාඨකයා වෙත ගෙනයෑමට මට බාරවෙලා තිබුණා. එම අභියෝගය ජයගෙන ඇති බවක් මට හැඟෙනවා. කෙසේ වෙතත් මෙය අලුත් දෙයක් නොවෙයි. එකම කෘතිය නොයෙක් වකවානුවල දී කිහිපදෙනෙකු විසින් පරිවර්තනය කොට තිබෙනවා. මුල් කෘතියක පරිවර්තන කිහිපයක් පාඨකයා අතරට පැමිණියත් ඔහු අත රැඳෙන්නේ වඩාත්ම ප‍්‍රශස්ත පරිවර්තනයයි.

අරුන්දතීගේ මේ කෘතිය පරිවර්තනයට අසීරු සංකීර්ණ කෘතියක් හැටියටයි බොහෝ දෙනා සැලකුවේ. ඒ අභියෝගය ඔබ කොහොමද ජය ගත්තේ?

මා හිතන්නේ පරිවර්තකයකු සතු විය යුතු ‘‘ඉව’’ හෙවත් අන්තර්ඥානය තමයි වැදගත් වෙන්නෙ. යම් පරිවර්තකයෙකු කරන්නේ කතුවරයාගේ මුල් බස පරිවර්තකයාගේ බසින් යළි නිර්මාණය කිරීමයි. සිංහල බසින් ලිවීමයි. මේ සඳහා භාෂාන්තර ඥානය තිබීම පමණක් ප‍්‍රමාණවත් වන්නේ නෑ. එය සිදුවන්නේ අන්තර්ඥානයෙන්. මෙම අන්තර්ඥානය නමින් මා හඳුන්වන තත්ත්වය පරිවර්තකයාගේ භාෂා ඥානය හෝ දැන උගත්කම නොවෙයි. අන්තර්ඥානය කියන තත්ත්වය ප‍්‍රබන්ධකරණයේ දී අවශ්‍ය මූලික දෙයක්. විශේෂ ඉගෙනීමක් හෝ විද්‍යාත්මක ඥානයකින් තොරව කෘතියෙන් ප‍්‍රකාශිත මූලික සංසිද්ධීන් අනුමාන කිරීමේ හැකියාවයි.

මේ හැකියාව පරිවර්තකයා ලබාගන්නේ ජීවිතය කියන මූලාශ‍්‍රයෙන්. එය ලැබෙන්නේ අසවල් කාරණය නිසා යැයි පරිවර්තකයාට පැහැදිලි කිරීම අපහසුයි. මෙය අපේ සාහිත්‍ය ලෝකයේ ‘‘වාසනා ගුණය’’ නමින් හඳුන්වන සුවිශේෂී තත්ත්වයේම එක් අංගයක් විය හැකියි. මෙම ගුණයෙහි උල්පත අප තුළ අනෙකා කෙරෙහි ඇතිවන සහකම්පනය කියලයි මා විශ්වාස කරන්නෙ. පුද්ගල වේදියතයන් පිළිබඳව දැන ගැනීමේ ඉවක් පරිවර්තකයාට තිබිය යුතුයි. මන්ද, ප‍්‍රබන්ධ කතාවක නිරූපිත චරිතත් අප ජීවත් වන මේ සැබෑ ලෝකයේම චරිත වන බැවින්. එක් උදාහරණයක් පමණක් මම දක්වන්නම්. රහෙල් හා එස්නා යන දරුවන් දෙදෙනාගේ හැසිරීම් විලාසය, ඔවුන්ගේ හැඟීම්,  ඕනෑම රටක  ඕනෑම සංස්කෘතියක හැදෙන වැඩෙන දරු දෙදෙනකුගේ වාගෙයි.

අරුන්දතී මෑත කාලීනව ලෝක සාහිත්‍යය තුළ නමක් දිනා ගැනීමට ඇගේ ලිවීම බලපෑවේ කුමන ආකාරයට ද?

The God of Small Things අරුන්දතී රෝයිගේ මුල්ම නවකතාවයි. මේරූ සමාජ - දේශපාලන දැක්මක් සහිත ලේඛිකාවක් ලෙසයි ඇය මේ කතාව ලියන්නේ. සමස්ත ඉන්දියානු සමාජ, දේශපාලන ආගමික පරිසරයම සිය කෘතිය තුළට හකුළුවා ගන්නට ඇය සමත් වෙනවා. ඒ නිසාම ඇය ලෝකය පුරා ඉන්දියාව නියෝජනය කරන තානාපතිනියක් ලෙස බටහිර ලෝකය හඳුනා ගන්නවා. මෙය අරුන්දතීගේ ආකල්පය නොවුණත් බටහිර ලෝකය පුරා ඇගේ කෘතිය ප‍්‍රසිද්ධියට පත්වෙන්න මේ කාරණය බලපානවා.

ඒ වගේම ඇගේ සොඳුරු රුවත් මේ සඳහා බලනොපෑවා කියන්නට බැහැ. ඒ වගේම ලෝකයේ මහ බලවතෙකු වීමට උත්සාහ කරන ඉන්දියාවේ සමාජ, දේශපාලනික වාතාවරණයේ දොස් රෝයි විවේචනය කිරීම, බටහිර ලෝකය විසින් ඇය ඔසවා තැබීමට හේතු වෙනවා. වඩ වඩා ඇගේ කෘතිය ලෝක ප‍්‍රකට වීමට මේ හේතුවත් බලපානවා ඇති.

මේ කෘතිය ලියා වසර 20කට පසු ඇය The Ministry of Utmost Happiness නම් ප‍්‍රබන්ධ කතාවක් පළ කරනවා. ඉන්දියාවේ, පරණ දිල්ලියේ විශාල නුග ගසක් යට, සම්මත සමාජ රටාවෙන් බැහැරව ජීවත් වන නපුංසක ස්ත‍්‍රීන් දෙදෙනෙකු හා ඔවුන්ගේ මිතුරු මිතුරියන් කැලක් පිළිබඳ කතාවක්. ඔවුන් ශිෂ්ට යැයි සම්මත සමාජය විසින් කොන්කර දමනු ලැබූ, ඒ නිසාම අධ්‍යාත්මයන් කඩා වැටුණු පිරිසක්.

මේ කෘති දෙක අතර ගෙවී යන කාලයේ දී ඇය දේශපාලන රචනා මාලාවක් ලියා පළ කරනවා. පාඨකයා සිතා සිටියේ ඇය දේශපාලන ක‍්‍රියාකාරිත්වයක් වී ඇති කියායි. The Ministry of Utmost Happiness එම රචනා සමුච්ඡයන් අතරින් තුනක්. මේ පොත්වලට ප‍්‍රසිද්ධිය ගලා ආවේ The God of Small Things කෘතියෙන් ඇය විවර කරගත් කවුළුව ඔස්සේයි.

ආසියානු රටවල් හැටියට ගත්විට ලංකාව ඉන්දියාව වැනි රටවල ජාත්‍යන්තරයට යා හැකි දක්ෂ ලේඛකයන් හිටියත් ඔවුන්ට ඒ තැන ලැබුණේ නෑ. රෝයි එබඳු ඇගයීමකට ලක්වුණේ ඇගේ භාෂා මාධ්‍යය ඉංග‍්‍රීසිය වූ නිසා ද?

ඇගේ භාෂා මාධ්‍යය ඉංග‍්‍රීසි වීම ඇය ජාත්‍යන්තර කීර්තියට පත්වීමේ එක් සාධකයක් පමණයි. ඇයට භාෂාව හැම පැත්තම කැපෙන ආයුධයක් වාගෙයි. නිර්මාණ ප‍්‍රතිභාව පෙන්වන්නට, කෘතියේ ප‍්‍රස්තුත කරුණු වඩාත් මුවහත් ලෙස ඉදිරිපත් කරන්නට ඇය බස ඉතාමත් සුහුරු ලෙස යොදා ගන්නවා. ඇතැම්විට ඔක්ස්ෆර්ඩ් ඉංග‍්‍රීසි ශබ්දකෝෂයේ වචන පවා කෘතියේ නිශ්චිත තැනට අවශ්‍ය පරිදි වෙනස් කරනවා. පශ්චාත් නිදහස් ඉන්දියාව තුළ ඇති නේකවිධ ප‍්‍රශ්න ඇය ඍජුව ප‍්‍රශ්න කරනවා තරම්ම එඩිතර බවකින් ඇය ප‍්‍රශ්න හසුරුවනවා.

ඉන්දියාව, විශේෂයෙන්ම කේරළ සමාජය රෝයි ඉන්දියාව පිළිබඳව නඟන චෝදනා දෙස බලන්නේ අවඥාවෙන්. එහෙත් සෙසු ජගත් ප‍්‍රජාව ඇය ප‍්‍රශංසාවට ලක් කරන්නේත් මේ හේතුව නිසාමයි.

හුදු ප‍්‍රබන්ධ කතාවකට එහා යමින් මේ කෘතිය ඉන්දියාවේ එක්තරා යුගයක් නිරූපණය කරනවා. මෑත කාලීන සැබෑ ඓතිහාසික සිදුවීම් ද රෝයි තම පොත තුළට වැද්ද ගන්නවා. උදාහරණ ලෙස කේරළ තුළ කොමියුනිස්ට්වාදයේ නැගීම හා බැසීම, නැක්සලයිට් ව්‍යාපාරය වැනි සිද්ධීන්. හරිජනයෙකු වූ වෙලූකා (අම්මුගේ පෙම්වතා) නැක්සලයිට් ව්‍යාපාරයට සම්බන්ධ බව කුලීන පවුලේ සාමාජිකයන් දැන ගන්නේ, විමතියෙන් හා බියෙන් යුතුවයි.

ඉංග‍්‍රීසිය හසුරුවීමට ඇය දැක්වූ දක්ෂ බව වගේම ඇය ලෝක සාහිත්‍යය තුළ අගැයීමට ලක්වීමට හේතුවූ තවත් සාධක තිබෙනවා.

රෝයිගේ කතාවේ වියමන සුමුදුයි. විශේෂයෙන්ම කුඩා දරුවන් දෙදෙනකු පාදක කරගෙන ඇය කියන කතාව ඉතාමත් නිර්ව්‍යාජයි. බටහිර පන්නයට සැදුණු හොඳින් ඉංග‍්‍රීසිය වහරන මේ දරුවන් තුළ වුණත් ඇති නොමේරූ බව අනාරක්‍ෂිත බව කදිමට නිරූපණය කරනවා. දරුවන්ට ඔවුන් මුහුණපාන අවස්ථාවල බැරෑරුම්කම ගැන අවබෝධයක් නෑ. පොලිසියේ දී වුණත් ඔවුන් සොයන්නේ පුංචි විනෝදයකට අවස්ථාවක්. අකුරු ආපස්සට කියවීම, වචනවල අරුත නොව පද සංඝටනාවෙන් නැගෙන හඬ අසන්නට වචන උසුරුවීම වැනි දේ. ස්ත‍්‍රිය සම්බන්ධයෙන් නූතන ඉන්දියාව පුරා වුවද, පවතින බමුණු මතවාද රෝයිගේ දැඩි විවේචනයට ලක්වෙනවා.

වැඩිදුර අධ්‍යාපනය ලබාදීමට පියා අකමැතිවීම නිසා, අම්මු විදුහලේ සිට නිවෙසට පැමිණෙන අතරේ ඇගේ සොහොයුරාගේ ඔක්ස්ෆර්ඩ් සරසවි අධ්‍යාපනය සඳහා මව සිය කනකර පවා විකුණා මුදල් යැවීම, පුතුගේ ‘‘පිරිමි’’ අවශ්‍යතා සුපරාලීමට රහසේ අවකාශ සලසන අතරම කුලහීන වෙලූනා හා අම්මුගේ පේ‍්‍රමය ගැන සැලවී අම්මු කාමරයක දමා වසා අගුළු දැමීම, පවුලේ ආදායම් මාර්ග වූ අච්චාරු කම්හලේ ආරම්භකයා මෙන්ම හිමිකාරිය ද වන මම්මාච්චිගේ සාර්ථකත්වය බලා සිටීමට නොහැකිව, ඉරිසියාවෙන් පෙළෙන ඇගේ සැමියා, මම්මාච්චිගේ පවුලේ ධනයෙහි හිමිකාරීත්වය ඇගේ පුතුට පමණක් ලැබීම, සන්තර්පණය කර නොගත් ලිංගික ආසාවන්වලින් පීඩිතව අම්මුට හා රනෙල්ට ඉරිසියා කරන බබා කොචම්මා තුළින් රෝයි නිරූපණය කරන්නේ ඉන්දියාව තුළ ස්ති‍්‍රයගේ සැබෑ ස්වරූපයයි.

ලිංගිකත්වය, මුදලට හෝ පවුලේ තරාතිරම අනුව හුවමාරු නොවන දෙයක් බව රෝයි පවසන්නේ ව්‍යංගයෙන්. උපතේ සිට එකිනෙකා සමග සෙනෙහසින් බැඳුණු නිවුන්නෝ, මුළු ලොවම, ඔවුන්ගෙන් ඈත් වූ කල ලෝකය තුළ අසරණව තනිවූ කල ආදරයෙන් බැඳෙනවා. ලිංගිකත්වය ඔවුනට ආගන්තුක දෙයක් නොවෙයි. ඔවුන් අවට ඇති දුෂ්ට ලෝකයෙන් ආවරණය වීමට ඔවුන්ට ඇත්තේ ඔවුන් දෙදෙනා පමණයි.

කුලවාදය හා කුලබේදය නූතන ඉන්දියානු සමාජය තුළ පවා කොතරම් අමානුෂික තැනකට ඔවුන් පත් කර ඇද්දැයි පාඨකයාට අවබෝධ වන එක් අවස්ථාවක් තමයි, නන්නාඳුනන අවන්හලක් තුළ මිය යන අම්මුගේ සිරුර සිඟන්නන් හා නගරයේ හමුවන නාඳුනන මළ සිරුරු පුළුස්සා දමන ආදාහනාගරයක දී ආදාහනය කිරීම. කුලහීනයෙකු හා අනියම් සබඳතාවක් පැවැත්වූ, වැන්දඹුවක වන ඇයට ගෞරවණීය මළගමක් හිමිවන්නේ නෑ.

මෙසේ ඉන්දියාව දෙස හෙළන අව්‍යාජ දෘෂ්ටිය, විශේෂයෙන්ම බටහිර පාඨකයාගේ අවධානයට ලක් වෙනවා.

පරිවර්තන කලාව අද වඩාත් ජනප‍්‍රියයි. එහෙත් ඇතැමුන් කියන්නේ අද වැඩිපුර දැකිය හැක්කේ ඉබාගාතේ කෙරෙන පරිවර්තන කියායි. ඉල්ලූමට සැපයුම න්‍යායෙන් පරිවර්තන කලාවක් දියුණු කළ හැකි ද?

මේ වනවිට ස්වතන්ත‍්‍ර නිර්මාණවලට වඩා ජනප‍්‍රියත්වය අතින් පරිවර්තන කෘති ඉදිරියෙන් සිටිනවා. සිංහල පාඨකයා විදෙස් නිර්මාණ ඇසුරින් ලෝකයත් එහි ජනතාවත් වඩා සුපැහැදිලිව අවබෝධ කර ගැනීමට ඔවුන් තුළ ඇති පිපාසය ඊට හේතුව විය හැකියි. ‘‘ඉබාගාතේ කෙරෙන’’ පරිවර්තන කෘතීන්ගෙන් අද වෙළෙඳපොළ පිරී තිබෙන බව ඇත්ත. එහෙත් ලේඛකයාට පරිවර්තකයාට අප දොස් නැගිය යුතු නැහැ. පාඨකයාට රිසි දෙයක් කියවීමේ නිදහස තිබෙන බව ඇත්ත. එහෙත් ගුණාත්මක නිර්මාණ පාඨකයාට හඳුන්වා දීමට අපක්ෂපාතී ක‍්‍රමවේදයක් තිබිය යුතුයි. කලකට පෙර සංස්කෘතික අමාත්‍යාංශය මගින් උසස් සාහිත්‍ය කෘති පරිවර්තනය කර පාඨකයාට හඳුන්වාදීමේ සැලසුමක් තිබුණු බව මතකයි. එහෙත් එය කවදාවත් කි‍්‍රයාවට නැංවුණේ නෑ.

අනෙක් අතට නිදහස් ආර්ථික පිළිවෙතක් තුළ එවැනි වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම දුෂ්කරයි. වඩාත්ම සාර්ථක ක‍්‍රමය විය හැකි වන්නේ ප‍්‍රකාශන ආයතනවලින්ම එවැනි වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නැංවීමයි. අක්ෂර වින්‍යාසය වැනි වියරණ දොස් නිදොස් කිරීම නොව ඔවුන්ගෙන් සිදුවිය යුත්තේ පොත්වල ගුණාත්මක භාවය, සාහිත්‍ය රසය වැනි දේ පරික්‍ෂාවට ලක් කිරීමයි.

විදෙස් රටවල සාහිත්‍ය ප‍්‍රවණතා ගැන නිරන්තර අවධානයෙන් සිටින කෙනෙක් ඔබ. ලංකාවේ වත්මන් සාහිත්‍යය දෙස ඔබ බලන්නේ කෙසේ ද?

වසරක් පුරා මොන හෙයියම්මාරුවක් හරි කරලා සාහිත්‍ය කෘතියක් ප‍්‍රකාශයට පත් කරලා ඒකට සම්මානයක් අපේක්‍ෂාවෙන් හිඳීම අපේ ලේඛක ලේඛිකාවන් බොහෝ දෙනෙකුගේ පුරුද්ද බවට පත්වෙලා තියෙනවා. ඔවුන් සෙසු ලේඛකයන්ගේ හා පොත කියවීමට මැලියි. විදේශ කෘති (ඉංග‍්‍රීසි) ඔවුන් කියවන්නේ නැති තරම්. අලෙවි කළ හැකි පොතක් පාඨකයා වෙත ගෙන යෑම හැරෙන්නට ගුණාත්මක වටිනාකමකින් යුතු පොතක් බිහිකිරීමට දරන අවංක උත්සාහයක් පෙනෙන්නට නැහැ.

ජගත් සාහිත්‍යයේ මිණි මුතු වැනි කෘතීන් අපට ළංවෙන්නේ ඉංග‍්‍රීසි බස ඇසුරෙන්. ඉතින්, එම මාහැඟි පොත් සිංහල පාඨකයාට සමීප කරවීම වගකීමක් ඇති පරිවර්තකයන්ගේ යුතුකමයි.

තවත් කාරණයක් තමයි විශ්ව සාහිත්‍යයේ කවි හා නාට්‍ය පෙළ, ඒවා කොතරම් ප‍්‍රමාණයක් සිංහලට නැගෙනවා ද? වාණිජමය වාසියක්, ප‍්‍රසිද්ධියක් නොලැබෙන තැන මෙම ප‍්‍රශස්ත සාහිත්‍ය කෘතීන් සැඟවී යනවා.

සංවාදය - ගාමිණී කන්දේපොළ