අන්තර්ජාතික තලය සැළකීමේ දී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාරයන් හදුනාගත හැකි වුවත් ඉහළ මට්ටමේ ප්‍රසාදයක් සහ පිළිගැනීමක් දිනාගෙන තිබෙන ආකාරයක් ද හඳුනාගත හැකිය.  

පසුගිය මාසයේ නවදිල්ලිය බලා යාමට ප්‍රථම ජනපති ගෝඨභය මහතා ඉන්දියානු වෙබ් අඩවියක් සමග ඔහුගේ පළමු සම්මුඛ සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී ඔහු කියා සිටියේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම නැවත සාකච්ඡාවට බදුන් කළ යුතුව තිබෙන බවය.

එම ගිවිසුම ඔහු හඳුන්වාදුන්නේ වරදක් ලෙසය. නමුත් දින කිහිපයකට පෙර විදෙස් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සමග පැවැති දිවා භෝජන සංග්‍රහ රැස්වීමක දී, එම ගිවිසුම පිළිබදව නැවත සාකච්ඡා කිරීමක් අවශ්‍ය නොවන බව, ජනපති ගෝඨාභය මහතාම පැවසුවේය. ආරක්ෂාව සම්බන්ධයෙන් එහි සදහන්ව තිබෙන කාරණා පමණක් අවධානයට යොමුකළ යුතුව තිබෙන බව ඔහු කීවේ ය.

ජනපතිවරයාගේ මෙම අදහස් දැක්වීම හමුවේ කොළඹ චීන තානාපති කාර්යාලය පහත නිවේදනය නිකුත් කළේය.

දෙසැම්බර් 19 වැනිදා කොළඹ සිටින විදෙස් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් හමුවූ අතිගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හම්බන්තොට වරාය සම්බන්ධයෙන් පවතින ගිවිසුම පිළිබඳ ශ්‍රී ලංකා රජය නැවත සාකච්ඡා කිරීමක් සිදු නොකරන බව සහ එවක අත්සන් තැබුණු වානිජ්‍යමය කොන්ත්‍රාත්තුව නව රජයක් බලයට පත්වීම හමුවේ වෙනස් නොවන බව, පැහැදිලි ලෙසම පවසා ඇත.

ජනපතිවරයාගේ මෙම අදහස් දැක්වීම චීන රජය ඉතාම ඉහළින් අගය කරන අතරම, ඇතිකරගෙන තිබෙන එකඟතාවය ක්‍රියාත්මක කිරීමේ කටයුතු තවදුරටත් කඩිනම් කිරීමට සහ හම්බන්තොට වරායේ සෞභාග්‍යය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අදාළ කර්මාන්තයන්ට ශ්‍රී ලංකාවේ පාර්ශවයන් සමග කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මගපෙන්වීමටත් කැමැත්තෙන් සිටී. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය චීන රජය සළකන්නේ ඉහළම ගරුත්වයකිනි. හම්බන්තොට වරායේ ආරක්ෂාව සහ පාලනය ඇත්තේ ශ්‍රී ලංකා රජය සහ නාවික හමුදාව අතය. එය කිසිදු ලෙසකින්වත් ශ්‍රී ලංකාවේ අනෙක් වරායන් හා වෙනස් නොවේ.

චීන තානාපති කාර්යාල වෙබ් අඩවියේද පළව තිබූ මෙම නිවේදනය යටින් හම්බන්තොට වරායෙන් නික්ම යන නැවක රූපයක්ද විය. ජනපති ගෝඨාභයගේ පෙර සහ පසු ප්‍රකාශයන් කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව අතර මෙන්ම නවදිල්ලියේද, යම් කසුකුසුවක් ඇතිකිරීමට සමත් විය.

කෙසේවුවත් රජය ස්විස් නාටකය ඉදිරියේ කටයුතු කළ ආකාරය අනපේක්ෂිත කණ්ඩායමක, විපක්ෂයේ, ප්‍රසාදයට ලක්විය. නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ නව ප්‍රජානත්ත්‍රවාදී පෙරමුණේ ඉහළම පෙලේ නායකයෝ දෙදෙනෙක් ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගත වූ ගැටලුකාරී තත්ත්වයට රජය මනා ලෙස මුහුණදුන් බව පැවසූහ.

ස්විස් රජයෙන් එල්ල වූ බලපෑම්වලට නතු නොවූ ශ්‍රී ලංකා රජය, සෑම ශ්‍රී ලංකා පුරවැසියෙක්ම රටේ නීතියට අවනත විය යුතු බවට දැඩි ස්ථාවරයක සිට කටයුතු කිරීම ඔවුහු අගය කළහ.

නමුත් ඇත්ත වශයෙන්ම, පැහැරගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ සහකාර සංක්‍රමණික නිලධාරිනිය වන ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට වැඩි සැළකිල්ලක් දැක්වීමට - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් අවස්ථාවේ ඒ අසළ ඇයගේ නීතිඥවරයාට රැදී සිටීමට සහ ඊට මදක් දුරින් ඇයගෙන් ප්‍රශ්න කෙරෙන බව පෙනෙන නමුත් ඇය පවසන්නේ කුමක් ද යන්න නොඇසෙන මානයේ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙක්ට අසුන් පැනවීමට - ශ්‍රී ලංකා රජය පියවර ගත්තේය. මෙසේ පියවර ගැනුනේ සිදුවීම සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව විමර්ශන පැවැත්වෙන බව සහ රජයේ අවංකභාවය පිළිබද ගැටලුවක් ඇතිකරගත නොයුතු බව පෙන්වාදීමටය.

ගාර්නියර් ෆ්‍රැන්සිස් මේ වන විට බන්ධනාගාරයේ වයි වාට්ටුවේ රදවා සිටින අතර, ඇයට අමතරව එහි තවත් කාන්තා සිරකාරිනියෝ 20 දෙනෙක් සිටිති. කාන්තා ජේලර්වරියක් එම වාට්ටුවේ රාජකාරි සදහා යොදවා තිබේ. බැනිස්ටර් වෙනුවෙන් අමතර ආරක්ෂාව සැළසීම සදහා රාජකාරි සදහා යොදවා තිබෙන නිලධාරිනියන් දිනය පුරාම කාලසටහනකට අනුව මාරු කිරීමටද, පියවර ගෙන ඇත.

කොළඹ පදනම් කරගෙන ක්‍රියාත්මක වන, පැවැත්මට දානපතියන් එවන මුදල් හැරෙන්නට වෙනත් ක්‍රමයක් නොමැති, රාජ්‍ය නොවන සංවිධාන ස්විස් නාටකය අරභයා පිහිටුවාගෙන තිබෙන ඔවුන්ගේම ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරමින් සිටී. ඒ ගැන පුදුමවීමට කාරණයක් ද, නැත. ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ නම අනාවරණය කළේ යැයි එම එක් සංවිධානයක් මෙරට මාධ්‍ය වෙත චෝදනා කළේය. යතාර්ථය නොදැක අන්ධයින් සේ සිටීම ගැන ඔවුන්ට චෝදනා කළ නොහැකිය.

කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටි නිලධාරිනියක් පැහැරගැනීමකට ලක්ව ඇති බවට ඉහළින්ම වාර්තා කරමින් සිටින රටවල් බොහෝමයක ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතනයන්වලටද, එවන් ගැටලු සම්බන්ධයෙන් පොල්ගෙඩි අකුරින් යුතු සිරස්තල දක්වා වාර්තා කිරීමේ නිදහස ඇත. රටක වාසය කරන පුරවැසියෙක්ට බලපැවැත්වෙන නීති අනුව කටයුතු කරන්නට යාම සම්බන්ධයෙන් බර්න් නුවර පළමුව විරෝධය පළකළේය. අනතුරුව ඔවුන්ගේ රාජ්‍ය නොවන සංවිධාන නඩය එකාවන්ව හඩනගමින් පවසන්නට ගත්තේ තානාපති කාර්යාලයක සේවය කරන ශ්‍රී ලංකා පුරවැසියකුගේ නම මාධ්‍ය ඔස්සේ හෙළි නොකළ යුතුව තිබුණු බවය.

ස්විස් නාටකය සම්බන්ධයෙන් අවධානයට ලක්ව තිබෙන තවත් කාරණයක් වන්නේ මෙරට ඇතැම් කණ්ඩායම් එය හා සම්බන්ධව සිට ඇති බවට ලකුණු පහළව තිබීමයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා මෙරටින් බැහැරව යාමට පෙර සහ බැහැරව ගිය වහාම ග්‍රානියර් බැනිස්ටර්ගේ දුරකතනයට ලැබී තිබෙන ඇමතුම් 40 කට වැඩි සංඛ්‍යාවකි. ඒවා මුල්කරගෙන විමර්ෂණයක් පැවැත්වෙමින් තිබෙන අතර, මෙම සිදුවීම රජයට එරෙහි කුමන්ත්‍රණයක් බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිදුකර තිබෙන ප්‍රකාශය සැබෑවක් ද, යන්න සොයාගැනීම එහි අරමුණයි. තමන් භාවිතා කළ දුරකතනය ස්විස් තානාපති කාර්යාලයේ තිබෙන බව බැනිස්ටර් පවසා ඇත. එය ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගයක් ඉල්ලා තිබේ.

ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු
ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද, වෙනස්කම් සිදුකෙරෙමින් පවතී. සැළසුම් කැරෙමින් පවතින එම එක් වෙනස්කමක් වන්නේ මහින්ද රාජපක්ෂ ජනපති සමයේ හඳුන්වාදුන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සම්බන්ධයෙන් වන නෛතික සම්පාදනය සංශෝධනය කිරීමය.

දැනට පවත්නා නීතියට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කළ හැක්කේ යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාපතිවරුන් අතරින් ජේ්‍යෂ්ඨත්වයෙන් ඉහළම තැන පසුවන නිලධාරියා වේ. එසේ නොව ජනපතිවරයා සුදුසුයැයි සළකන දැනට සේවයේ නියුතුව සිටින හෝ විශ්‍රාමික ජේ්‍යෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙක් එම තනතුරට පත්කළ හැකි පරිදි අදාළ සංශෝධනය සිදුකිරීමට සැළසුම් කැරෙමින් ඇත.

තවත් අභියෝගයක් කිහිපයක්ම ඇත.

ඉදිරියේ තිබෙන්නේ මාර්තු මස පැවැත්වීමට නියමිත ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්ය. එම සැසිවාරයන් ඉලක්ක කැරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ කාර්යාලය නිකුත් කරන වාර්තාව 2020 පෙබරවාරි මාසයේ දී එළි දැක්වීමට නියමිතය. මාර්තු මාසයට පෙර සිටම ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන් අරබයා පෙරට වඩා වැඩි ක්‍රියාකාරීත්වයක් හදුනාගන්නට තිබෙන බව සහ ශ්‍රී ලංකාවට එරෙහි වඩා විවේචනාත්මක වාර්තාවක් සම්පාදනය කැරෙමින් පවතින බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග හරහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයට දැනගත හැකිව තිබේ.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී, ශ්‍රී ලංකා රජය ඉදිරියේ තිබෙනු ඇති ප්‍රධාන ගැටලුවක් වනු ඇත්තේ මීට පෙර ඉදිරිපත් කැරුණු යෝජනාවලියට සම අනුග්‍රහකත්වය දක්වන බවට පැවැති රජය ගත් තීරණය අනුවම ඉදිරියටත් කටයුතු කරනවා ද, යන්නය. මෙතැන දී, ගෙනහැර දැක්විය යුතුම කාරණයක් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවලියට ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වය දැක්වීමට තීරණය කළ බව පවසන්නේ එවක විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා පමණක්ම වීමය.  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ තමා මේ සම්බන්ධ කිසිවක් නොදන්නා බවය. කොටින්ම කැබිනට් මණ්ඩලය පවා මෙසේ සම අනුග්‍රහකත්වය දැක්වීම අරබයා කිසිදු යෝජනාවක් අනුමත කළේ ද නැත.

එක්සත් ජනපදය හා අත්සන් තැබූ මිලේනියම් චැලේන්ජ් කෝර්පරේෂන් (එම්සීසී) ගිවිසුමට ද, සමරවීර කැබිනට් අනුමැතිය ලබාගත්තේ මේ ආකාරයෙන්මය. ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය මෙම තීරණය ආපස්සට හරවා තිබෙන අතර කමිටුවක් යටතේ මේ සම්බන්ධයෙන් නැවත වරක් අධ්‍යනය කැරෙමින් පවතී. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පිහිටැවූ සහ පසුව ඔහුම අහෝසි කළ ජාතික ආර්ථික කවුන්සිලය සම්පාදනය කර තිබෙන වාර්තාවකින් ද, නිර්දේශ කර තිබෙන්නේ එම්සීසී ගිවිසුම ඉදිරියට ගෙන යා නොයුතු බවය. එයින් සතියකට පසුව ජාතික ආර්ථික කවුන්සිලය අහෝසි කැරෙන කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිවූ බව එහි සිටියෝ පවසති. ගිවිසුම පිළිගන්නා මෙන් බලවත් රාජ්‍ය නොවන සංවිධානයක් රජයට බලවත් පීඩනයක් එල්ල කරමින් සිටින බව ද දැනගන්නට තිබේ.
විදේශයන්ට අනුයුක්ත කරන ලද රාජ්‍ය තාන්ත්‍රික පත්වීම්වල ද, වෙනසක් සිදුකැරෙමින් තිබේ.

විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට සිදුකරන ලද දේශපාලන පත්වීම් 14 ක් මේ වන විට අහෝසි කර තිබෙන අතර, අදට (31 වැනිදාට) ප්‍රථමයෙන් නැවත දිවයිනට පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දී ඇත. එම ඇතැමෙක් දැනටමත් දිවයිනට පැමිණ ඇති තිබෙන අතර, අනෙක් අය ද එසේ පැමිණෙනු ඇතැයි අපේක්ෂිතය.

මේ අතරවාරයේ එසේ පත්කරන ලද අය අතුරින් අවම වශයෙන් දෙදෙනෙක් ඔවුන් දැනට වාසය කරමින් සිටින රටවල රැකවරණය ඉල්ලා තිබෙන බව දැනගන්නට ඇත.

සිනහව උපුදවන කාරණය වන්නේ එයට හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ ජීවිතාරක්ෂාව වීමය. ඔවුන් ඉතිහාසයේ සිය නම් සටහන් කරනු ඇත. ඒ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් රටක දූතයින් ලෙස පත්ව සිට, අවසානයේ එසේ පත්වූ රටෙහිම රැකවරණය ඉල්ලා සිටි පුද්ගලයින් ලෙසය.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය  : කෝවිද ගුණසේකර