ලබන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේ දී නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කරන බවට ප්‍රතිඥා දී තිබෙන ජනපති සිරිසේන, ගෙවුණු සතියේ තමන් වෙනුවෙන් ආකර්ෂණීය සේවා පැකේජයක් දිනාගැනීමට සමත් විය. ඉරිදා (20) රාත්‍රියේ ජනපතිවරයා ජපානය බලා පිටත්ව යාමට සිටියේ ය.

ජනපතිවරයා සහ ඔහුගේ බිරිඳ වන ජයන්ති පුෂ්පකුමාරි මහත්මිය ජපානයේ දී, අධිරජ නරුහිතෝගේ කිරුළු පැළැන්දවීමේ උත්සවයට සහභාගී වනු ඇත. නරුහිතෝ, ජපාන රජ පවුලේ ඉතිහාසය සැලකීමේ දී, සියවස් 2කට පසුව ප්‍රථම වතාවට සිය කිරුළ අත්හළ පළමු ජපාන අධිරාජ්‍යයා වන අකිතෝගේ පුතණුවන් වේ. ජපානයේ ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙන ලබන අඟහරුවාදා (ඔක්තෝබර් 22), සාම්ප්‍රදායික ඇඳුමින් සහ ඔටුන්නෙන් සැරැසෙනු ඇති නරුහිතෝ, එදින ජපාන රජ මාළිගාවේ පැවැත්වෙන සියවස් ගණනාවක සිට පැවැත එන සාම්ප්‍රදායන්ගෙන් පොහොසත් කිරුළු පැළැන්දවීමේ උත්සවයට සහභාගී වනු ඇත. ජනපතිවරයා සහ ඔහුගේ බිරිඳගේ උත්සව සගයන් වනු ඇත්තේ බි්‍රතාන්‍යයේ චාල්ස් කුමරු, සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු වැනි සම්භාවනීය අමුත්තන්ය. අඩුම තරමින් දින 4ක කාලයකට හෝ, ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන අර්බුදයන්ගෙන් ඔහු සිත කරදර කරනොගනු ඇත.

කිරුළු පැළැන්දවීම නිමිත්තෙන් අඟහරුවාදා දින අධිරාජ්‍යය නරුහිතෝ සංවිධානය කර තිබෙන භෝජන සංග්‍රහයකට සහභාගී වනු ඇති සිරිසේන දෙපළ, අනතුරුව පසු දින- එනම් බදාදා ජපාන අගමැති ෂින්සෝ අබේ පවත්වන තවත් භෝජන සංග්‍රහයකට ද සහභාගී වනු ඇත. ලබන බ්‍රහස්පතින්දා දෙපළ නැවතත් කොළඹ බලා පැමිණීමට නියමිතය. 2015 වසරේ ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසුව ජනපති සිරිසේන මාධ්‍ය නියෝජනයක් නොමැතිව විදෙස් සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි. ඔහුගේ සංචාරයට මෙවර ජනපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ජනපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන් හැර අන් කිසිවෙක් සහභාගී නොවෙති.

තවත් දින 27කින් ජනපතිවරයා ලෙස ගෙවමින් සිටින ධුර කාලය අවසන් කරන ජනපති සිරිසේන පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී, ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස ඔහුගේ සේවය වෙනුවෙන් දීමනා පැකේජයක් දිනාගැනීමට සමත් විය. ජනපති සිරිසේන වෙනුවෙන් දීමනා පැකේජයක් යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අවස්ථාව බොහෝ දෙනාගේ නළල රැලි ගැන්වීමට සමත් විය. ජනපතිවරයාට හිමිවීමට යන පැකේජයේ සම්පූර්ණ අන්තර්ගතය තවමත් රහසකි. අදාළ කැබිනට් පත්‍රිකාව පරිශීලනය කිරීම සඳහා කල්තියාම අමාත්‍යවරුන් අතර බෙදාහැර නොතිබීම ද රැස්වීමේ දී පවා එහි පිටපතක් හෝ ඔවුන් අතට ලබා නොදීම ද පුදුමයට කාරණා විය. එහෙත් කැබිනට් මණ්ඩලය එම යෝජනාවලිය අනුමත කළේ ය.

මාධ්‍ය වෙත නිදහස් වූ තොරතුරු අනුව එම යෝජනාවලිය ප්‍රකාරව ජනපතිවරයා දැනට පදිංචිව සිටින මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවස්නය ඔහුටම හිමිවීමට යන්නේ යැයි ද ඔහු වෙනුවෙන් වෙනම කාර්යාලයක් සහ කාර්යමණ්ඩලයක්, වාහන සහ ආරක්ෂාව පිණිස පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හිටපු ජනපතිවරයා වෙනුවෙන් අනුයුක්ත කිරීමට යන්නේ යැයි ද සඳහන් විය. නිවාස දෙකක් එකට එක්කර තනා තිබෙන මහගමසේකර මාවතේ ජනපති නිල නිවසේ, ආසන පනවා ඇති සම්මන්ත්‍රණ ශාලාවක් ද පවතී. මෙම නවීකරණ කටයුතු සඳහා පමණක් රුපියල් ලක්ෂ 1800කට ආසන්න මුදලක් වැය කර තිබේ. මෙම නිවස සහ අනෙකුත් දීමනා ජනපතිවරයා වෙනුවෙන් ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය, පසුව පත්වන කැබිනට් මණ්ඩලයක් යටතේ වෙනස් කිරීමට නොහැකිය. ඒ හැරෙන්නට ගැටලු මතුවන යම් ස්ථානයක් තිබෙන්නේ ජනපතිවරයාට විශේෂ කාර්ය බළකායෙන් ආරක්ෂාව ලබාදීම අරබයා ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධයෙනි. ජනපති සිරිසේනට ආරක්ෂාව සපයා දිය යුතු බව අවිවාදාත්මකය. එහෙත් එම ආරක්ෂාව සැපැයිය යුත්තේ කවර අංශය යටතේ ද යන්න, කොටින්ම ජනපතිවරයාට එරෙහිව පවතින තර්ජන සම්බන්ධයෙන් කර තිබෙන ඇගයීමක් පිළිබඳව වාර්තාවක් හමුවේ පවා, තීරණය කිරීමට කැබිනට් මණ්ඩලයට හැකියාවක් නොමැත. එම කාර්යය සිදුකිරීමට බලය තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයටය. ජනපතිවරයාට පවතින තර්ජන සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකර ඔහු වෙනුවෙන් සැපැයිය යුතුව තිබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට වඩාත්ම සුදුසු වන්නේ ඔවුන්ය. දැනට රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජනපති සිරිසේන බව ද සඳහන් කළ යුතුය.

එල්ලව තිබෙන තර්ජන පිළිබඳව ඇගයීමක් සිදුනොකර සිතෙන පරිදි ආරක්ෂාව සැපැයීම සඳහා අදාළ නිලධාරීන් අනුයුක්ත කෙරෙන රටවල් අතලොස්ස අතරට ශ්‍රී ලංකාව ද අයත්වනවා වන්නට පිළිවන. එල්ලව තිබෙන තර්ජන කුමන මට්ටමේ පවතින්නේ ද යන්න, එනම් බරපතළ මට්ටමේ ද නැතහොත් එසේ නොවන මට්ටමේ ද යන්න පවා ශ්‍රී ලංකාවේ දී අවධානය නොගැනේ. මෙනිසාම තමන්ට ලැබෙන ආරක්ෂාව මෙරට දේශපාලනඥයින් තකන්නේ වරප්‍රසාදයක් ලෙසය. එනිසාවෙන්ම ඔවුහු නගර සහ ගම් සිසාරා යමින් ජනතාවගේ එදිනෙදා වැඩකටයුතුවලට බාධා කරනා තරම, සිය ආරක්ෂාව සඳහා සපයා තිබෙන නිලධාරීන් දේශපාලන කටයුතුවලට ද යොදවා ගනී. උදාහරණයක් ලෙස අපගේ අසල්වැසි ඉන්දියාව ගතහොත්, එරට දේශපාලනඥයින්ට ආරක්ෂාව සඳහා නිලධාරීන් අනුයුක්ත කෙරෙන්නේ එම දේශපාලනඥයින්ට එල්ලව තිබෙන තර්ජන ස්වාධීනව ඇගයීමකට ලක් කර සහ එම තර්ජන එක් එක් මට්ටම්හි ලයිස්තුගත කර තිබෙන කාණ්ඩවලට ඇතුළත් කර සිදුකරන අධ්‍යයනයකින් පසුවය. දේශපාලනඥයින් සඳහා කිසිදු භූමිකාවක් එම ක්‍රියාවලියේ නොමැත.

විශ්‍රාමික ජනපතිවරුන් සඳහා වන දීමනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුව
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ මෙම යෝජනාව අලුතින් ඇතිව තිබෙන හවුලක ප්‍රතිඵලයකි. මුදල් අමාත්‍ය මංගල සමරවීර යනු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රබල ආධාරකරුවෙකි. මෙවර ජනපතිවරණයේ දී නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කරන තැනට ජනපතිවරයාව තල්ලු කළේ ඔහුගේ පවුලේ ඇතැම් සාමාජිකයන් හැරෙන්නට, ප්‍රේමදාස කඳවුරේ සාමාජිකයන්ය. මෙනිසාම සමරවීර හරහා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම ජනපතිවරයාට පහසු විය.

එසේ කිරීමෙන් මුදල් ඇමැතිවරයාට 2007 මැයි මස 3 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් අමතකව තිබෙන සෙයක් පෙනේ. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබාදුන්නේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට දීමනා පැකේජයක් ලබාදීමට එවක කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් සම්බන්ධයෙන්ය. පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්නව අක්කර භාගයක භූමියක් ඇය වෙත පිරිනැමීමට එම පැකේජයෙන් නිර්දේශ කර තිබූ අතර, අඩක් නිමකරන ලද ජනපති මන්දිරයක් ද එම භූමියේ විය. මෙම කාරණය අරබයා උද්ගත වූ ආන්දෝලනය හමුවේ එම භූමිය නැවත භාරදීමට හිටපු ජනපතිනිය කටයුතු කළාය. ජනපතිනියට මෙම දීමනා පැකේජය පිරිනැමීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩුවක තීන්දුව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, 1986 අංක 4 දරන හිමිකම් කීමේ පනත යටතේ විශ්‍රාමික ජනපතිවරයකුට හිමිවන දීමනා ප්‍රකාශයට පත් කළේය.

අ. වාසය කිරීම සඳහා සුදුසු නිවසක් (කුලී ගෙවීමක් නොමැතිව). නිවසක් ප්‍රදානය නොකෙරන අවස්ථාවක ජනපතිවරයෙක් ඔහුගේ මාසික වේතනයෙන් අඩකට සමාන ගෙවීමක් සිදුකෙරෙන දීමනාවකට හිමිකම් කියයි.
ආ. ලේකම්වරයෙකු සඳහා ජනපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට ගෙවෙන වේතනය හා සමාන දීමනාවක්.
ඇ. කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙනවා හා සමාන රථවාහන සහ ගමනාගමන පහසුකම්.

1. නිල වාහන 2ක්.
2. ආරක්ෂක නිලධාරීන් සඳහා අතිරේක වාහන 1ක්.
3. රියැදුරන් 3ක් (ආරක්ෂක නිලධාරීන් සඳහා වන අතිරේක වාහනයට අනුයුක්ත කෙරෙන රියැදුරාට අමතරව).
4. මාසික ඉන්ධන දීමනාවක්.
(නිල වාහන දෙක ඩීසල් වාහන වේ නම් රු. 20,000ක් ද පෙට්‍රල් වාහන වේ නම් රු. 50,000ක් ද ලබා දේ.)
අතිරේක වාහනයට රු. 20,000ක ඩීසල් දීමනාවක්.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුවට අනුව, මෙම සම්පාදනයන්ට ඔබ්බෙන් කාර්යමණ්ඩලයක් හෝ කාර්යාලයක් පවත්වාගෙන යාමට විශ්‍රාමික ජනපතිවරයෙකුට හැකියාවක් නැත. පෞද්ගලික ආරක්ෂාව සපයා දිය යුත්තේ කුමන මට්ටමේ පුද්ගලයන්ට දැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහනක් කර නැතත්, මෙම තීන්දුව අනුව ආරක්ෂාවට එක් අතිරේක රථයක් අනුයුක්ත කෙරෙන බව සඳහන් වන බැවින්, එම රථයේ රියැදුරා නොසලකා හැරියහොත් විශ්‍රාමික ජනපතිවරයෙකුට අනුයුක්ත කෙරෙන මුලු ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය උපරිම වශයෙන් 5ක් හෝ 6ක් විය හැකිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය
ජනපතිවරයා ජපානයේ ටෝකියෝ නුවර බලා පිටත්ව යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව අර්බුදයක් ඇතිව තිබෙන වාතාවරණයකය. නිර්පාක්ෂිකව සිටීමට ගත් තීරණයත් සමග ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කිරීමට පියවර ගත්තේය. ඔහු යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට නිල වශයෙන් තීරණය කර තිබීම කෙරේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩිව විරෝධය දක්වා තිබේ. ඇයගේ පියා, එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මීට වසර 68කට පෙර එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීය. කුමාරතුංග ද වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳී ගිය බව සඳහන් කළ යුතුය.

කුමාරතුංගගේ සහාය ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් දැන් පක්ෂයේ පාලනය සියතට ගැනීමට මාන බලමින් සිටී. එය අතිශය දුෂ්කර කාර්යයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා කලින්ම එකතු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ව දැන් පොදු ජන පෙරමුණු ජන හමුවල දී පිළිගැනෙමින් තිබෙන්නේ හූ සංග්‍රහයන්ගෙන් සහ නොසරුප් වදන්වලින්ය. මුලින්ම එවන් සංග්‍රහයක් එල්ල වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයකු ද වන දුමින්ද දිසානායක මහතාටය. අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මංගල රැලියේ වේදිකාව මත ගොඩවුණු ඔහු පිළිගැනුණේ හූ සංග්‍රහයකිනි. දිසානායක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ රාජපක්ෂවරුන්ව මීට ඉහත ඉතාම දැඩි ලෙස විවේචනය කිරීමේ යෙදුණු බව රහසක් නොවේ.

අනුරාධපුර රැලියේ දී තමන්ව පිළිගැනුණු ආකාරය හමුවේ දිසානායක දැඩි අපහසුතාවකට ලක් වූ බව පැහැදිලිව පෙනුණු අතර, ඔහු අස්වැසීමට දෝ රැලියෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ දිසානායකගේ නිවසට ද ගියේය. පොදු ජන පෙරමුණේ වේදිකාවලට ගොඩවුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයන්ට හූ සංග්‍රහයන් හිමිවනු පසුගිය සතිය පුරාම දැකගත හැකිවිය. ඇහැලියගොඩ පැවැති ජන හමුවක දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජෝන් සෙනෙවිරත්න මහතාට හූ සංග්‍රහයක් හිමිවිය. පසුගිය 14 වැනිදා ගල්ගමුවේ පැවැති පොදු ජන පෙරමුණු ජන හමුවකට එක්වූ තාරනාත් බස්නායක සහ ටී.බී. ඒකනායක යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අත්වූයේ එම ඉරණමමය.

මේ හමුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අඩුම තරමින් 4 දෙනකුටවත් නැවත ඔවුන්ගේ පැරැණි නිවස වෙත පැමිණීමට වුවමනා වී තිබේ. ජනපතිවරයා සමග පැවැති හමුවක දී ඔවුන් මේ බව සඳහන් කර ඇත. නමුත් ඔවුන් පක්ෂය හැර ගිය බව පෙන්වා දී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් එයට දැඩි ලෙසම විරෝධය දක්වා තිබේ. ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක, ජෝන් සෙනෙවිරත්න සහ චන්දිම වීරක්කොඩි ඔවුන් සිව්දෙනාය.

ගෝඨාභය රාජපක්ෂ රටේ ජනපතිවරයා ලෙස පත්වුවහොත් නව රජයේ මුල් පෙළ තනතුරු තමන්ට නොලැබෙන බව මේ සිව්දෙනා හොඳින්ම දනී. ගෝඨාභය යටතේ වන නව රජයක ප්‍රමුඛත්වය නිසැකයෙන්ම හිමිවන්නේ පක්ෂය සමග ආරම්භයේ සිටම සිටි සාමාජිකයන්ටය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැනට අදහස් කරගෙන සිටින්නේ ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් එළැඹෙන මැයි මාසයේ වෙසක් නිවාඩුවෙන් පසුව මහ මැතිවරණයක් කැඳවීමටය.

තවදුරටත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා නොවූව ද මෙම සිදුවීම් කෙරේ ජනපතිවරයාගේ දැඩි අවධානය යොමු විය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හා දුරකතනය ඔස්සේ සම්බන්ධ වූ ඔහු මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා කුමන හෝ පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටියේය. ඒ වනවිටත් පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් තමන්ට සලකමින් සිටින ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනපතිවරයාට පැමිණිලි කර තිබිණ. ජනපතිවරයාගේ ඉල්ලීමට වහාම ප්‍රතිචාර දැක්වූ බැසිල් රාජපක්ෂ, ජන හමුවල වේදිකා මතට ගොඩවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ව අපහසුතාවයට පත්වන ආකාරයෙන් හැසිරීමෙන් පොදු ජන පෙරමුණේ ආධාකරුවන්ව වළක්වාගන්නා ලෙසට සංවිධායකවරුන්ට උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පොදු ජන පෙරමුණේ වේදිකා මතට ගොඩවන්නේ පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය සහතික කිරීමට බව රාජපක්ෂ, සංවිධායකයන්ට පෙන්වා දුන්නේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පවතින ගැටලු
ජනපතිවරණ ව්‍යාපාරය ආරම්භ කර තිබෙන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ද ගැටලුවලින් තොර නැත. එම සන්ධානයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වයෙන් කොළඹ ගාලුමුවදොර පිටියේ දී පැවැති පළමු ජන රැලියේ දී, එම එක් ගැටලුවක් කරළියට පැමිණියේය. ශ්‍රී ලංකා ජනතා කොංග්‍රසයේ නායකයා වන රිෂාඞ් බදුර්දීන් මහතා එදින වේදිකාවට ගොඩවනු වැළැක්වීමට නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ බලවත් කණ්ඩායමක් උත්සාහ කළේය. බදුර්දීන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්වීමට උත්සාහ කර ඇතැයි ද එහෙත් රාජපක්ෂ කඳවුරේ දැඩි විරෝධය හමුවේ එම උත්සාහය ව්‍යර්ථව ගොස් ඇතැයි ද ඔවුන් දැනගෙන තිබිණ. ඔහු කෙරේ නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ විරෝධයක් ජනිත වීමට හේතු වී තිබෙන එකම කාරණය මෙය ද එසේ නැති නම් වෙනත් කාරණා තිබේ ද යන්න පැහැදිලි නැත. පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා සංහාරයට තමන් කිසිදු අයුරකින් සම්බන්ධ වී නැති බව ද එම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් සමග තමාගේ කිසිදු ගනුදෙනුවක් තිබී නොමැති බව ද පැහැදිලිව අනාවරණයව ඇතැයි පවසා තිබෙන බදුර්දීන්, වැඩිදුරටත් කියා තිබෙන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කැරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් පවා තමාට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බවය. එවැනි තත්ත්වයක ප්‍රේමදාස කඳවුර තමන්ව තවදුරටත් අවිශ්වාස කරන්නේ ද? යැයි ඔහු තර්ක කළේය.මේ කාරණය නිසා අපි ඇත්තටම කරදර වෙමින් ඉන්නේ අපිට ලැබෙන ඡන්ද ගැන.

බදුර්දීන් සම්බන්ධයෙන් සිය කණ්ඩායම අනුගමනය කරමින් සිටින ස්ථාවරය දැඩි ලෙස ආරක්ෂා කරමින් අදහස් දැක්වූ ප්‍රේමදාස හිතවතෙක් සන්ඬේ ටයිම්ස් හා පැවැසුවේය. ගාලුමුවදොර පිටියේ පැවැති රැලියේ දී ජනතාව ඇමතීමට බදුර්දීන් හට අවස්ථාවක් ලබා නොදුන්නේ මෙම කාරණය නිසාම බව ඔහු අනාවරණය කළේය. කෙසේ නමුදු, ඔහු ප්‍රේමදාසගේ වේදිකාවට ගොඩවීමෙන් වළක්වා ගැනීමට ඔවුන් අපොහොසත් වී තිබිණ. වරක් සියලුම දේශපාලන පක්ෂ තම තමන් වෙත ආකර්ෂණය කරගැනීමට උත්සාහ කළ බදුර්දීන්ගේ ඡන්ද බැංකුව වර්තමානයේ දේශපාලන ලාදුරු රෝගියකු හා සමාන තත්ත්වයකට පත්ව තිබෙන සෙයකි.

ජනතාව ඇමතීමට බදුර්දීන්ට අවස්ථාවක් ලබා නොදීම හමුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන් ජනතාව ඇමතීමට ඔවුන් වෙත ලබාදුන් අවස්ථා ප්‍රතික්ෂේප කළේය. තමන් බදුර්දීන් වෙනුවෙන් පෙනී සිටින බව ඔවුහු පෙන්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ගාලුමුවදොර රැලියේ දී එකදු මුස්ලිම් හෝ දෙමළ නායකයෙක්වත් ජනතාව ඇමතූයේ නැත. සියලුම දේශකයෝ එක්සත් ජාතික පක්ෂයේ වූහ. මෙම තත්ත්වය දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඔවුන්ගේ වාසියට යොදාගනිමින් සිටින අතර, ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීම සඳහා මුස්ලිම් ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් තෙල්දෙණියේ පසුගියදා පැවැති ජනහමුවක් ඇමතූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා, සුලු ජාතීන්ට තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ තැනක් හිමි නොමැති බව පැවැසුවේය. මුසම්මිල් කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙක් ද වේ. එවක ඔහුට ගෝඨාභය රාජපක්ෂ යටතේ කොළඹ නගරය අලංකරණය කිරීමේ කටයුතුවලට දායකත්වය ලබාදීමට ද සිදුවිය. කෙසේ වුවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය නියෝජනය කරන දේශපාලන සංවිධාන කිසිවක් මේ දක්වාම ප්‍රතිචාර දක්වා නොමැත.

මීට දින කිහිපයකට ඉහත එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමග පැවැති හමුවක දී, එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් සහ රිෂාඞ් බදුර්දීන් අතර වාද විවාදවලින් පටන්ගෙන ගුටිබැට හුවමාරුවක් දක්වාම දුරදිග යාමට ගිය ගැටුමක් සමථයකට පත්කිරීම සඳහා මැදිහත්වන්නට එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවිය. එක්සත් ජාතික පක්ෂයේ නැගෙනහිර පළාත් ජනපතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස සාමාජික අලි සහීර් මවුලානා මහතාට පැවැරිය යුතු බව හෂීම් යෝජනා කළ අතර, ඒ හමුවේ කෝපයට පත්වූ බදුර්දීන්, හෂීම් තමාව හෑල්ලු කිරීමට උත්සාහ කරන්නේ යැයි ඔහුට චෝදනා කළේය. මවුලානා බදුර්දීන්ගේ පක්ෂයේ සාමාජිකයෙක් නොවන අතර, ඔහුට එම වගකීම පැවැරීමට යෝජනා කිරීම බදුර්දීන්ව කෝපයට පත්කිරීමට සමත්ව තිබිණ. අවසන කෙසේ හෝ එකඟතාවයක් ඇති කර ගැනිණ. ඒ අනුව නැගෙනහිර පළාතේ නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ජනපතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම භාර කෙරුණේ හිටපු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස සාමාජිකයකු වන සහ වර්තමානයේ බදුර්දීන්ගේ ජනතා කොංග්‍රසය නියෝජනය කරන අමීර් අලි මහතාටය.

මීට අමතරව තවත් ගැටලු පැවැතිණ. බේරුවල පැවැති මැතිවරණ ජන හමුවක දී, අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා තමාව පත්කර තිබෙන බව පැවැසුවේය. පදනම් විරහිත හෝ පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකරන්නකු ලෙස සේනාරත්න ප්‍රකට අතර, එම හැසිරීම කැබිනට් ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ අවදියේ පවා ඔහුගෙන් පැහැදිලිව දැකගත හැකිවිය. කෙසේ වුවත්, ඔහුගේ මෙම ප්‍රකාශය නිවැරැදි නම්, සේනාරත්න පත්වනු ඇත්තේ කලින් ප්‍රේමදාසගේ ජනපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම භාරකර තිබුණු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා වෙනුවටය. සමරවික්‍රම, අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මාධ්‍ය කමිටුවේ සාමාජිකයකු ද වේ. ප්‍රේමදාස වෙනුවෙන් වරක් දැඩි ලෙසම අදහස් දැක්වූ සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි ප්‍රේමදාසගේ ආධාරකරුවන් මේ කාරණය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින්නේ නිහඬ පිළිවෙතකි. මුල් තනතුරුවල වෙනසක් සිදුව තිබෙන්නේ ද සම්බන්ධයෙන් ඔවුහු කිසිදු අදහසක් නොදක්වන්නෝය. නව සාමාජිකයන්ගේ පැමිණීමත් සමග ප්‍රේමදාස වෙනුවෙන් පෙරමුණ ගත් බොහෝ දෙනා දැන් පසු පුටු තෝරාගෙන සිටින්නේ ද? යැයි විමසූ විටත් ඔවුන්ගෙන් ලැබුණේ එම ප්‍රතිචාරයමය.

ප්‍රේමදාසගේ ජනපතිවරණ ව්‍යාපාරය දැන් ක්‍රියාවට නංවමින් සිටින්නේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය කණ්ඩායමයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා සහභාගී වන ජන හමුවලට අදාළ දිනයන්, වේලාවන් සහ ස්ථානයන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත දැන් තොරතුරු ලබාදෙන්නේ ඔවුන්ය. ප්‍රේමදාස වෙනුවෙන් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ද එම කණ්ඩායමයි. නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ජනපති අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරණ කාර්යාලය පිහිටා තිබෙන්නේ කොළඹ වොක්ෂොල් වීදියේය. එහි සිට ඔහුගේ ප්‍රචාරණ කටයුතු මෙහෙයවන්නේ හිටපු මාධ්‍ය අමාත්‍යවරයකු වන ඉමිතියාස් බාකීර් මාකාර් මහතාය. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වන සහ පසුගිය ජනපතිවරණය සමයේ අවසන් මොහොතේ දී රාජපක්ෂ කඳවුර හා අත්වැල් බැඳගත් තිස්ස අත්තනායක මහතා එම කටයුතු සඳහා ඔහුට සහාය ලබාදෙමින් සිටී. මෙම කාර්යාලයට සමාන්තර කාර්යාලයක් විවෘත කිරීමට වරක් ප්‍රේමදාසගේ පරම සතුරකු වූ අමාත්‍ය රවී කරුණානායක මහතා පියවර ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන එම කාර්යාලය යටතේ වෙනම ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මකය. එහෙත් වොක්ෂොල් වීදියේ තිබෙන කාර්යාලයේ බොහෝ දෙනෙක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ තිබෙන මැතිවරණ කාර්යාලය වෙත යන්නේ නැත. එයම, එක්සත් ජාතික පක්ෂයේ තවමත් පවතින ගැඹුරු බෙදීම් සහ නොමනාපයන් ගැන සපයන්නේ කදිම ඉඟියකි.

ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ පසුබෑම
ප්‍රචාරණ ව්‍යාපාර සැලකීමේ දී, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ ජනපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ යම් යම් පසුබෑම් නැතිවා නොවේ. එම සන්ධානයේ ප්‍රචාරණ කටයුතු අරබයා නැගෙන ප්‍රබලම විවේචනය වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ ජනපති අපේක්ෂකයා කැටුව ඔහු සහභාගීවන සෑම අවස්ථාවකටම පැමිණීමය. ජනපති අපේක්ෂකයා තවමත් ඔහුගේම යැයි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා නොමැත යැයි ද චෝදනා එල්ල විය. මෙම විවේචන සහ චෝදනාවලට පිළිතුරක් ලෙස පසුගියදා අනුරාධපුරයේ පැවැති සන්ධානයේ මංගල ජන රැලියට මහින්ද රාජපක්ෂ පැමිණියේ ගෝඨාභය සමග නොව වෙනම තනිවමය. දෙදෙනාගේ මෙම සම්බන්ධය උපහාසාත්මකව ගෙන හැර දක්වා විපක්ෂය ගෙතූ කියමනකට තටු ලැබී පියඹා ගිය අතර, ඒ දවස්වල මාධ්‍යවේදියෝ බය වුණේ ගෝඨාභයට, දැන් ගෝඨාභය බය වෙලා ඉන්නේ මාධ්‍යවේදීන්ට, යැයි එහි සඳහන් විය. මෙවන් තත්ත්වයක් හමුවේ සත්‍යය එයින් වෙනස් බව අඟවන්නට මෙන් ගෙවුණු සතියේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට දෙදෙනාම සහභාගී වූහ. පැමිණ සිටි මාධ්‍යවේදීහු ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ප්‍රශ්න ගණනාවක් එල්ල කළ අතර, ඒවා බොහෝමයක් ඍජු හා දැඩි ස්වභාවයක් ගත්තේය. පැමිණ සිටි මාධ්‍යවේදීන් ඒක පාර්ශ්විකව කටයුතු කළ බවක් මින් කිසිදු ලෙසකින්වත් අදහස් නොවේ. ඔවුන්ට තිබුණේ පැවැති රෙජිම සමයේ සිදුවූයේ යැයි ජන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඔවුන්ගේ දේශපාලන වේදිකාවන්ගේ සිදුකරමින් සිටින ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ගෙන්ම අදහස් විමසීමේ නොතිත් වුවමනාවක් පමණකි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එවන් තත්ත්වයක් උද්ගතවනු ඇතැයි අපේක්ෂාවෙන් ඒ සඳහා සැලසුම් කළ යුතුව තිබිණ. එහෙත් අහෝ, ප්‍රශ්න පිට ප්‍රශ්න නැගෙන විට ඒවාට පිළිතුරු දීම වෙනුවට ගෝඨාභය කළේ පිළිතුරු අපේක්ෂාවෙන් සිය සොහොයුරු මහින්ද දෙස බැලීමය. නැතිනම් මහින්දම මැදිහත්ව එම ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. මෙම ව්‍යායාමයෙන් සිදුවූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව නැගෙන විවේචන පදනම වඩාත් ශක්තිමත් වීමය. කෙසේ වුව ද මෙවන් තත්ත්වයකට මුහුණදුන් පළමුවැන්නා ගෝඨාභය රාජපක්ෂ නොවන බව ද සඳහන් කළ යුතුය. දේශපාලන ක්ෂේත්‍රය නියෝජනය කරන ලෝකයේ බොහෝ දෙනෙක් මෙවැනි දුෂ්කර අවස්ථාවලට මුහුණ දී තිබේ. ලෝක නායකයන් හා දුරකතන සංවාදයන්ගේ යෙදීමේ දී, ඔවුන් සමග හුවමාරු කරගත යුතු අදහස් සම්බන්ධයෙන් තමන් අතට දී තිබූ පත්‍රිකා පරිශීලනය කිරීමට ඇමෙරිකාවේ හිටපු ජනපති රොනල්ඞ් රේගන් හට සිදුවිය. ඇමෙරිකාවේ ජනපතිවරයා ලෙස පත්වීමට ප්‍රථම ඔහු සිනමා නළුවෙකි. ගෝඨාභය රාජපක්ෂ සැලකීමේ දී මාධ්‍ය හමුව ආරම්භ කිරීමට ප්‍රථමයෙන්, ඔහුට පවසන්නට වුවමනා දේ සම්බන්ධයෙන් කෙටි ප්‍රකාශයක් සිදුකර සිටීම වඩා සුදුසුවන්නට තිබුණා නොවේ ද?

මාධ්‍ය හමුව මෙහෙයවන්නට පුද්ගලයෙක් අනුයුක්ත කරන්නට හැකිව තිබුණා මෙන්ම, නිශ්චිත කාලයක් ඇතුළත එම හමුව පවත්වා අවසන් කිරීම මගින් සිදුවූ හානිය අවම කරගන්නට ද හැකිව තිබුණි. බොහෝ රටවල මෙවන් ක්‍රම භාවිතයට ගැනේ. තව ද එක් අයකුට හෝ දෙදෙනකුට සීමා නොවී සියලුදෙනාටම ප්‍රශ්න ඇසීමට අවස්ථාව සලසාදීමට එසේ වෙනම පුද්ගලයකු මාධ්‍ය හමුව මෙහෙයවීම සඳහා අනුයුක්ත කර සිටියේ නම් හැකිවන්නට තිබුණි. එහෙත් අවාසනාවකට මෙන් මෙම කාරණා නොසලකා හැරීමෙන් හිමිවන්නේ අවාසි පැත්තට වැඩි බර ඇති ප්‍රතිඵලයන්ය. එපමණක් නොව ගෝඨාභය රාජපක්ෂ යනු දේශපාලනයට ආධුනිකයෙකි. ඒ නිසාම අසන ප්‍රශ්නවලට පිළිතුරු ඔහුගේ දිවග ඇතැයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය. එමෙන්ම ජනපතිවරයා ලෙස පත්වුවහොත්, ඔහු තනිවම තීරණ ගැනීම ද උගහටය. ඒ අරබයා ගෝඨාභයගේ සොයුරු මහින්ද රාජපක්ෂට වැඩි භූමිකාවක් හිමිවනු ඇති බව රහසක් නොවේ. මාධ්‍ය සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ සිදුකරගත් මෙම වරද, එදා රාජපක්ෂ රෙජිම සමයේ ද ඔවුන් මේ අයුරින්ම සිදුකළේය. අතීතයේ සිදුවූ දෙය වර්තමානයේ දැන් නැවත සිදුවෙමින් තිබේ. දුර්වල ලෙස මාධ්‍ය හැසිරවීම සහ ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන කිසිත් නොදැන කටයුතු කිරීම, අත්දැකීම් විරහිත පුද්ගලයින් සන්නිවේදන කටයුතු මෙහෙයවීම සඳහා පත්කිරීමේ ප්‍රතිඵලයකි. එවන් තත්ත්වයක් යටතේ මාධ්‍ය වැඩි වැඩියෙන් විරෝධාකල්ප රැගත් වාර්තාකරණයක යෙදෙන විට ඝෝෂා කරන පාලකයෝ මාධ්‍යවලට එරෙහිව අවි අමෝරන්නෝය. මෙම මානසිකත්වය හැකි ඉක්මනින්ම ඉවත් කරගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට පමණක් නොව ඔවුන්ගේ සන්ධානයට ද යහපත්ය. පැවැති පාලන සමයේ මාධ්‍ය හා ගනුදෙනු කැරුණු ආකාරය මෙයට වෙනස් නොවේ.

ප්‍රවේශවීමට ඉඩක් නොමැති පිළිවෙතක් අනුගමනය කරන බව පෙනෙන ගෝඨාභය රාජපක්ෂ, ප්‍රධාන මාධ්‍ය ආයතන සමග මුහුණට මුහුණ සම්මුඛ සාකච්ඡාවලට සහභාගී වීම ද ප්‍රතික්ෂේප කර තිබෙන අතර, එයත් සමග එවන් සාකච්ඡාවලින් තමන් වෙත හිමිකරගත හැකි මාධ්‍ය ආවරණය සහ ප්‍රසිද්ධිය ද අහිමි කරගෙන තිබේ. සමූහයක් සමග සිදුකරන මාධ්‍ය සාකච්ඡා මෙන් නොව මෙසේ මුහුණට මුහුණ සාකච්ඡාවක යෙදෙන විට හානි සිදුවන්නට තිබෙන ඉඩකඩ අවමය. ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ නියමුවා වන මහින්ද රාජපක්ෂ ද සන්ධානයේ ජනපති අපේක්ෂකයා වෙනුවෙන් පමණක් නොව සන්ධානය වෙනුවෙන් මැදිහත්ව, මෙසේ ගොඩනැගෙමින් තිබෙන තත්ත්වයට ප්‍රතිචාර දැක්විය යුතු වීම අවශ්‍යතාවයක් ලෙස සැලකිල්ලට ගෙන නොමැති බව පෙනේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම දේශපාලකයා ඔහු වන බව අවිවාදිතය. එහෙත් ජනපතිවරණ ව්‍යාපාරය ඔහුට මහත් වෙහෙසක් ගෙන දෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. දිනපතාම සංචාරය කිරීමට සහ ජනතාව ඇමතීමට කාලය වැය කිරීමට සිදුව තිබීම එයට හේතුව විය හැකිය. හිටපු ජනපතිවරයා දැන් කතා කරන්නේ වෙනදාට වඩා ගැඹුරු කටහඬකිනි. කොපමණ වෙහෙසක් දැනුණ ද ඔහු තවමත් ගමනේය.

ඒ හැරෙන්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගෙවුණු සතියේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා කම්කරු කොංග්‍රසය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය. ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් එහි නායක ආරුමුගම් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු කොළඹ පදනම් ආයතනයේ දී එම ගිවිසුමට අත්සන් තැබූහ. ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාට පින්සිදු වන්නට තවමත් එම පක්ෂයට වතුකරයේ සැලකිය යුතු ඡන්ද පදනමක් හිමිය. අත්සන් තැබීමේ අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ දෙසොහොයුරන් ද එක්ව සිටියහ. බලයට පත්වූ පසු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට සහතික වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ශ්වය පැවැසුවේය. වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩි කිරීම වත්මන් රජයේ එක්තරා අමාත්‍යවරයෙක් දිගින් දිගටම ප්‍රමාද කළ බව, පොදු ජන පෙරමුණේ නායකත්වය සමග පැවැති සාකච්ඡාවල දී තොණ්ඩමන් කියා සිටියේය.

මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙමළ සහ මුස්ලිම් පක්ෂ සමග අත්සන් කළ සිව්වැනි අවබෝධතා ගිවිසුම වේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු - ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රස අවබෝධතා ගිවිසුම අත්සන් තැබෙන අතරවාරයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේම වෙනම කාමරයක තවත් සිදුවීමක් සිදුවෙමින් පැවැතිණ. මාධ්‍ය හමුවක් කැඳවා තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා තමා මෙතැන් සිට ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වන බව නිවේදනය කළේය. වෘත්තියෙන් නීතිඥවරයකු වන විජයදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිට එක්සත් ජාතික පක්ෂය හා එක්ව අධිකරණ අමාත්‍යවරයා ලෙස ද පත්විය. අනතුරුව නැවත වරක් පක්ෂ මාරු කළ ඔහු අගමැති වික්‍රමසිංහගේ සමීප හිතවතකුව සිට ජනපති සිරිසේනගේ සමීපතම උපදේශකයකු බවට පත්විය. වික්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ පත්කරන ලෙස ජනපති සිරිසේනට උපදෙස් දී තිබෙන්නේ ඔහු බව සැළය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වූ මෙම සිදුවීම අරබයා තීන්දුවක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය එය ව්‍යවස්ථා විරෝධී බව නිවේදනය කළේය.

එවක විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර සහ එවක සිටි ඇමැතිවරයකු වූ ඩී.එම්. ස්වාමිනාදන් යන දෙදෙනා එක්සත් ජනපදයේ අනුග්‍රහය යටතේ ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දැක්වීම සම්බන්ධයෙන් වගකිව යුතු බව බව විජයදාස පැවැසුවේය. ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකර ඇතැයි චෝදනා නැගී තිබෙන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බව වෙනත් කාරණාවලට අමතරව මෙම යෝජනාවලියෙන් නිර්දේශ කර තිබේ. ජනපති සිරිසේන හෝ කැබිනට් මණ්ඩලය මෙසේ සම අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා අනුමැතිය ලබා නොදුන් බව විජයදාස වැඩිදුරටත් පැවැසුවේය. එහෙත්, එවක කැබිනට් මණ්ඩලය නියෝජනය කළ අමාත්‍යවරයකු වන විජයදාස රාජපක්ෂ ද හාහූවක් නොමැතිව සිය අමාත්‍ය ධුරයේ කටයුතු කළා විනා ඒ සම්බන්ධයෙන් කිසිදු හඬක් නොනැගූ බව ද කිව යුතුය.

වරක් අගමැති රනිල් වික්‍රමසිංහගේ නොනිල උපදේශකවරයකු ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ දැන් පවසන්නේ වෙනස් කතාවකි. බලයට පත්ව සති දෙකක් ඇතුළත යහපාලන රජය ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ඔහු චෝදනා කළේය. මහ බැංකු පනත යටතේ එම ආයතනය කිසිවකු යටතටවත් පත් කළ නොහැකි බව පෙන්වා දුන් ඔහු, එසේ වුවත් අගමැතිවරයා මහ බැංකුව ඔහු (අගමැතිවරයා) යටතට පත් කරන ලෙස ජනපති සිරිසේනට බල කළ බව විජයදාස රාජපක්ෂ පැවැසුවේය. දැන් ඇඟිලි දිගු කළ ද විජයදාස එදා කළේ අධිකරණ අමාත්‍යවරයා ලෙස නීතිය කැබලිවලට කඩමින් අගමැතිවරයාට උපදෙස් ලබාදීමය. දැනට අත්අඩංගුවේ පසුවන ආන්දෝලනාත්මක ඇවන්ගාඞ් සමාගමේ හිමිකරු හා ඔහු අතර පවතින සමීප මිත්‍රත්වය දැන් කිසිවකුටත් රහසක් නොවේ. එක් අතකට මෙහි පුදුමවීමට කාරණයක් ද නැත. ආධාරකරුවන් පිරිසක් හෝ අයත් වන දේශපාලන පක්ෂයක් හෝ නොමැති වුව ද විජයදාස රාජපක්ෂට සිය පිල් මාරු කිරීම සාධාරණීකරණය කිරීම සඳහා එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමට සිදුවූයේ එලෙසය.

උතුරෙන් මූලික ඉල්ලීම් 7ක්
ජනපතිවරණයට තවත් දින 27ක් පමණ ගෙවෙන්නට තිබෙන තැන උතුරෙන් වාර්තා වන ඉතාම වැදගත් සිදුවීමක් කෙරේ අවධානය යොමු කිරීමට ප්‍රධාන අපේක්ෂක දෙපළ වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාටම සිදුවනු ඇත. උතුර නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂ 5ක් එක්ව ඉල්ලීම් 13ක ලයිස්තුවක් ඉදිරිපත් කර තිබෙන අතර, එම ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන්නේ මූලික යැයි දක්වා තිබෙන ඉල්ලීම් 7ක් මත පිහිටාය. සිය ඉල්ලීම් ඉෂ්ඨ කරන්නේ නම්, එසේ කරන කවර හෝ පුද්ගලයාට සහාය දක්වන බව මෙම පක්ෂ පවසන අතර, බලයට පත්ව මාස 3ක් ඇතුළත ඉටුකළ යුතු වන ඉල්ලීම් ද මෙම ලයිස්තුවේ ඇත. ප්‍රධාන ජනපති අපේක්ෂක දෙපළ සමග මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග ද මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඔවුන්ගේ අදහසයි. මෙසේ එක්ව සිටින දෙමළ පක්ෂ 5 වන්නේ, දෙමළ ජාතික සන්ධානය, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඉලන්කෙයි තමිල් අරසු පක්ෂය සහ උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ දෙමළ ජනතා පක්ෂය, යන දේශපාලන පක්ෂයන්ය.
මීට පෙර අවස්ථාවල මෙම පක්ෂ එක් කිරීමට පෞද්ගලික මට්ටමින් ක්‍රියාත්මක වූ කණ්ඩායමක් උත්සාහ කළේය. එම උත්සාහය ව්‍යර්ථ වූ තැන, යාපන විශ්වවිද්‍යාල සිසුන් යැයි තමන් හඳුන්වා ගන්නා කණ්ඩායමක් ඒ සඳහා මැදිහත් වූ අතර, අවසන මෙම ඉල්ලීම් 13 ඉදිරිපත් කිරීම අරබයා සියලු පක්ෂ අතර එකඟතාවයක් ඇති කිරීමට ඔවුහු සමත් වූහ.
ප්‍රධාන කඳවුරුවල නායකයින් මෙම ඉල්ලීම් ඉටු කිරීමට එකඟ නොවන්නේ නම්, ජනතාවට ඔවුන්ගේ හෘද සාක්ෂියට අනුව ඡන්දය භාවිත කිරීමට ඉඩ හැරිය යුතු බව මෙම දෙමළ පක්ෂවල මතයයි. නමුත් දෙමළ ජාතික සන්ධානය ඒ සම්බන්ධයෙන් නැවත සිතමින් සිටින සෙයකි. එවැනි පිළිවෙතක් අනුගමනය කිරීමට තීරණය කළහොත්, මෙවර ජනපතිවරණයේ ජයග්‍රාහකයාට, උතුරින් ඔහු වෙත හිමිවූ ඡන්ද එසේ හිමිවූයේ කිසිදු දේශපාලන පක්ෂයක සහාය නිසා නොව තමන්ට දෙමළ ජනතාව දක්වන කැමැත්ත නිසා බවට අදහසක් ඇතිකර ගැනීමට අවස්ථාව හිමිවන බව පවසන ඔවුන්, එවන් තත්ත්වයක් ඇතිවීම මගහරවා ගනු වස් ආරක්ෂාව තකා කවර හෝ පියවරක් ගත යුතුව තිබෙන බවට තර්ක කරමින් සිටී.

මෙම දෙමළ පක්ෂ 5 ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් 13ට ඉහළ මාධ්‍ය ප්‍රචාරයක්, විශේෂයෙන් දෙමළ මාධ්‍ය හරහා, හිමිවිය. ලබන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වෙන ජනපතිවරණය හමුවේ, මෙම ඉල්ලීම්වල පවතින වැදගත්කම සලකා ඒවා පහතින් දක්වා ඇත.

දකුණින් නියත වශයෙන්ම නැගෙනු ඇති විරෝධයකින් තොරව ජනපතිවරණයේ කිසිදු අපේක්ෂකයකුට මෙම ඉල්ලීම් 13 පිළිගැනීමට හැකියාවක් නොමැති බව ඉතාම පැහැදිලිය. දෙමළ නිජ භූමියක් ඉල්ලා සිටීම හෝ උතුරින් ආරක්ෂක අංශ ඉවත් කිරීම හෝ යන ඉල්ලීම්වලට එකඟ වීම යනු ඕනෑම දේශපාලන පක්ෂයක විනාශයේ ගීතිකාව ගැයීමට තුඩු දෙන්නකි. මෙම ඉල්ලීම් අරබයා දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා සජිත් ප්‍රේමදාස සමග ද සෙල්වන් අඩෙයිකලනාදන් සහ ධර්මලිංගම් සිද්ධාර්තන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සමග ද සාකච්ඡා පවත්වා ඇත. ඔවුන්ගේ ප්‍රතිචාරය කෙබඳු වනු ඇතිදැයි දැකගත හැකිවනු ඇත්තේ ඉදිරියටය. මෙසේ අත්වැල් බැඳගෙන සිටින දේශපාලන පක්ෂ 5ට ඡන්ද වර්ජනයක යෙදීමේ අවශ්‍යතාවයක් නොමැත. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජනතාව ඡන්දය ප්‍රකාශ කරනු දැකීමට ඔවුනට අවැසිය. එහෙත් එසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන පදනම මෙය යැයි ඔවුනට ජනතාව හමුවට ගොස් කියන්නට තිබෙන්නේ කුමක් ද? තිබෙන අර්බුදය මෙයයි.

පරිවර්තනය

කෝවිද ගුණසේකර