ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ එක් පදනම් මූලධර්මයක්  වන්නේ ආණ්ඩුවේ බලතල හා කාර්යයන් ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ වශයෙන් කොටස් තුනකට බෙදා අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට සම්බන්ධතාවක් නොමැති ආයතන ත්‍රිත්වයක් විසින් ක්‍රියාවට නැංවීමය. මේ අනුව ව්‍යවස්ථාදායකයට පැවරී තිබෙන කාර්ය වන්නේ නීති පැනවීමය. විධායකයේ කාර්යය වන්නේ රාජ්‍ය සේවය හා පොලිස් සේවය හරහා ව්‍යවස්ථාදයකය පනවන නීති ක්‍රියාවට නැංවීමය.

අධිකරණයේ කාර්ය වන්නේ එම නීති අර්ථකථනය කරමින් පෞද්ගලික කරුණු සමග ගළපමින් යුක්තිය පසිඳලීමය. 1978 වර්ෂයේදී ස්ථාපිත කරනු ලැබූ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රමය ගොඩනැගී තිබෙන්නේද මෙම පදනම මතය. බලතල බෙදීමේ න්‍යායට මුළුමණින්ම අනුකූල නොවූවද එමගින්ද ආණ්ඩුවේ බලතල ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ වශයෙන් යම් ආකාරයකට කොටස් කර එම බලතල ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය වශයෙන් ආයතන ත්‍රිත්වයක් ගොඩනගා තිබේ.

මේ අනුව ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව වශයෙන්ද, විධායකය ජනාධිපති වශයෙන්ද, ශ්‍රේෂ්ඨාධිකරණය මුල්කොට ගත් යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතිය අධිකරණය වශයෙන්ද නම්කොට ඇත. ව්‍යුහාත්මක වශයෙන් බලනවිට මෙම ආයතන ත්‍රිත්වයෙන් විශාලම ආයතනය වන්නේ පාර්ලිමේන්තුවයි. එය සමන්විත වන්නේ මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන්ය. මෙයින් 196 දෙනෙකු සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ දිස්ත්‍රික්ක ක්‍රමය පදනම් කරගෙන බෙදන ලද ආසන 165 කින් ජනතා ඡන්දයෙන් තෝරා පත් කරනු ලැබේ. ඉතිරි 29 දෙනා තෝරනු ලබන්නේ ජාතික ලැයිස්තු ක්‍රමය පදනම් කර ගෙනය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහකි.

ප්‍රජාතන්තවාදී පාලන ක්‍රමයක් තුළ ව්‍යවස්ථාදාකයට පැවරී තිබෙන කාර්යභාරය අතිශයින්ම පුළුල් වේ. ඒවා අතුරින් ප්‍රථම සහ වැදගත්ම කාර්ය වන්නේ නීති පැනවීමය. මෙයට අමතරව තත්කාලීනව රට තුළ පවතින මහජන මතය නියෝජනය කිරීම, විධායකය පාලනය කිරීම, සමහර තෝරා පත් කිරීමේ කාර්යයන් කිරීම, විධායකය සමග එක්ව සමහර විධායක කාර්යන් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධ සමහර කාර්යයන් කිරීම, විමර්ශනය කිරීමේ කාර්යයන් කිරීම, තොරතුරු රැස්කිරීමේ කාර්යයන් කිරීම, සමහර අධිකරණ කාර්යයන් කිරීම, රාජ්‍ය මූල්‍ය පාලනය හා සම්බන්ධ කාර්යයන් කිරීම, ආණ්ඩුක්‍රමයට සුජාතභාවය සැපයීම, ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, ජනතාවගේ දුක් ගැනවිලි සහ ප්‍රශ්න ආණ්ඩුවට ඉදිරිපත් කිරීම, රාජ්‍ය පාලනය සඳහා අනාගත නායකයන් පුරුදු පුහුණු කිරීම ව්‍යවස්ථාදාකය මගින් කළ යුතුයැයි අපේක්‍ෂා කරන අනෙක් කාර්යයන් වේ. මීට ඉහතින්ද සඳහන් කළ පරිදි නීති පැනවීම ව්‍යවස්ථාදායකයේ ප්‍රථම සහ වැදගත්ම කාර්ය වේ. නීති සලකනු ලබන්නේ ඉහළම තාර්කික බුද්ධියේ උත්තරීතර ප්‍රතිඵලය ලෙසය. සංවිධානය වූ මිනිස් සමාජයක මිනිසුන්ගේ බාහිර සමාජ හැසිරීම පාලනය කරන්නේ ව්‍යවස්ථාදායකය පනවන මෙම නීති මගින්ය.  

මෙයින් පැහැදිලි වන ඉතාම වැදගත් කරුණක් තිබේ. එනම් රටක නීති පැනවීමේ කාර්ය වියතුන් විසින් කළයුතු කාර්යයක් විනා අවියත් මෝඩයින් විසින් කළයුතු කාර්යයක් නොවන බවය.  

වෙනත් ආකාරයකට කියනවා නම් නීති පැනවීම කළ යුත්තේ දාර්ශනිකයන් විසින් පමණක් බවය. නීති පැනවීමේදී අවශ්‍යයෙන්ම තිබිය යුතුයැයි පිළිගැණෙන හොඳ-නරක අතර වෙනස තේරුම් ගැනීම, යුක්තිය-අයුක්තිය අතර වෙනස තේරුම් ගැනීම, සත්‍ය-අසත්‍ය අතර වෙනස තේරුම් ගැනීම, සදාචාරය හා නිරාචාරය අතර වෙනස තේරුම් ගැනීම යනාදී ගුණාංග සහිතව අවසාන වශයෙන් රට මුහුණ දී තිබෙන දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රශ්න නිවැරදිව තේරුම් ගෙන එම ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් සෙවීම යනාදී දහසකුත් එකක් කාර්යයන් සාර්ථකව කළමනාකරණය කරමින් ඉතාම ඉහළ මට්ටමේ නීති පැනවිය හැක්කේ දාර්ශනික මට්ටමේ බුද්ධියක් ඇති අයට පමණක් බව පිළිගත් පොදු මතය වේ.

මෙම දාර්ශනික බුද්ධිය අයත් කරගත හැක්කේ එක් අතකින් අධ්‍යාපනය මගිනි. අනෙක් අතින් අත්දැකීම් මගිනි. වඩාත් වැදගත් වන්නේ අධ්‍යාපනයයි. හේතුව අත්දැකීම් මගින් ලබා ගන්නා ව්‍යවාහරික දැනුම වුවද අධ්‍යාපනයෙන් අයත් කර ගන්නා විද්‍යාත්මක බුද්ධිය නොමැති වූ විට නිවැරදිව ග්‍රහණය කර ගැනීමට නොහැකි වීමය.

ඉහත දැක්වූ කරුණු සමග ශ්‍රී ලංකාවේ වර්තමාන පාර්ලිමේන්තුව සලකා බලන විට දැකිය හැක්කේ අතිශයින්ම ඛේදජනක තත්ත්වයක් බව එකහෙළාම පැවසිය හැක. මාධ්‍ය වාර්තා මගින් වරින් වර පෙන්වා දී තිබෙන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා පිළිබඳව සලකා බැලීමේ පෙනීයන්නේ ඔවුන් දාර්ශනිකයින් වීම කෙසේ වෙතත් ඔවුන්ගෙන් බහුතරයට අඩුම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ මට්ටමේ අධ්‍යාපන සුදුසුකමවත් නොමැති බවය. පසුගිය දිනක (03.02.2020) Manthri.lk වෙබ් අඩවියේ දක්වා තිබූ අකාරයට 2019 වසර තුළ පාර්ලිමේන්තු වාද විවාදවලට සහභාගි වූවද එක වචනයක්වත් කතා නොකළ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 04 ක් විය. එම වෙබ් අඩවිය තවදුරටත් දක්වන ආකාරයට 2019 වර්ෂය තුළ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් මන්ත්‍රීවරුන් 09 දෙනකු කතාකර තිබෙන්නේ එක් වරක් පමණි. පහත දැක්වෙන්නේ පසුගිය සතිඅන්ත පුවත්පතක ‘පාර්ලිමේන්තුව කුණු වීම’ යන මාතෘකාව යටතේ පළකරන ලද ලිපියකින් උපුටා ගත් කොටසක්ය. ‘රන්ජන්ගේ කතාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර සිටින මත්පැන් බලපත්‍ර හිමි අයගේ සංඛ්‍යාව 100 කි. එතනෝල් බලපත්‍රලාභීන්ගේ සංඛ්‍යාව 04 කි. වැලි බලපත්‍රලාභීන්ගේ සංඛ්‍යාව 75 කි. රේස් බලපත්‍රලාභීන් සංඛ්‍යාව 01 කි.  

රන්ජන්ගේ සංඛ්‍යා පරිපූර්ණ නැත. මත්පැන් බලපත්‍ර එකකට වැඩි සංඛ්‍යාවක් තිබෙන මන්ත්‍රීවරු සිටිති. ගල් බලපත්‍ර තිබෙන සංඛ්‍යාව කොතෙක්ද, දැව බලපත්‍ර තිබෙන සංඛ්‍යාව කොතෙක්ද, මගී ප්‍රවාහන බලපත්‍ර තිබෙන සංඛ්‍යාව කොතෙක්ද, ආණ්ඩුවේ වතු ඉඩම් හිමිකරගෙන සිටින අයගේ සංඛ්‍යාව කොතෙක්ද, ප්‍රතිඅපනයන බලපත්‍ර හිමිකරගෙන සිටින සංඛ්‍යාව කොතෙක්ද, ඉන්ධන පිරවුම්හල් තිබෙන අයගේ සංඛ්‍යාව කොතෙක්ද යන්න හා විවිධ ආකාරවලින් ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරන්නන් ගේ සංඛ්‍යාව කොතෙක්ද යන්න හා ලංකාවේ ගුවන්විදුලි හා රූපවාහිනී බලපත්‍ර ඇති අයගේ සංඛ්‍යාව කොතෙක්ද යන්න සඳහන් වන්නේ නැත.

පාර්ලිමේන්තුවේ කුණුවීම පිළිබඳ අපට නියම චිත්‍රයක් ලබාගත හැක්කේ ඒ අඩුපාඩුකම් සපුරාගත් විටය. ඒ සියල්ල එකට ගත් විට ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් අතිවිශාල බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කිරීමට නීතිමය වශයෙන් හා සදාචාරමය වශයෙන් අයිතියක් නැති මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නීති විරෝධී පාර්ලිමේන්තුවක් ලෙස සැලකිය හැක’. මේ හා සමානව සමාජය තුළ කතා බහට ලක්වන තවත් කරුණක් වන්නේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හැසිරෙන ආකාරයයි. බොහෝ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිගත් පාර්ලිමේන්තු නීතිරීති, සම්ප්‍රදායන් සහ සිරිත් විරිත්වලට පටහැනි වන අතර සැබැවින්ම එම හැසිරීම සමාජයේ දැඩි පිළිකුලට මෙන්ම අවඥාවටද ලක්වී ඇත.

ඉහත දැක්වූ කරුණු සමස්තයක් ලෙස සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ අපේ රටේ පාර්ලිමේන්තුව මුහුණ දී තිබෙන අභාග්‍ය සම්පන්න තත්ත්වයයි. ‘වියතුන් විසින් රට පාලන කළ යුතුය’ යන අදහස ඉදිරියට පැමිණ තිබෙන්නේ මෙම හේතුවෙන්ය. මේ අදහස කොතරම් ජනප්‍රිය සමාජ මතයක් බවට පත්ව තිබෙනවාද යතහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වයෙන් පිහිටුවා තිබෙන ‘වියත්මග’ සංවිධානය මගින් පසුගිය දිනක කරන ලද ප්‍රකාශයකින් කියැවුණේ එම සංවිධානය විසින් වියතුන් සිය දෙනකු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවය. මේ වනවිටත් සමහර වියතුන් මැතිවරණ දේශපාලනයේ නියැලීම ආරම්භ කර තිබෙන අතර ඔවුන් ජනතාවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ දේශපාලනයේ ප්‍රධාන තේමාව වී තිබෙන්නේ වියතුන්ගෙන් සමන්විත අලුත් පාර්ලිමේන්තුවක් හරහා අලුත් දේශපාලනයක් නිර්මාණය කරමු යන්නය.

බුද්ධිමතුන් විසින් රට පාලනය කළ යුතුය යන අදහස කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක. සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේද එයයි. එසේ වුවද බුද්ධිමතුන් විසින් පමණක් රට පාලනය කිරීම ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කළ හැකිද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ. හේතුව මෙම කරුණ අතිශය සංකීර්ණ ප්‍රශ්න සහ ගැටළු කිහිපයක් සමග පැටලී තිබීමය. මෙයින් එකක් වන්නේ බුද්ධිමතුන් විශේෂීකරණය කොට හඳුනා ගැනීම සඳහා සම්මත පොදුවේ පිළිගත් නිර්ණායකයන් නොමැති වීමය. දෙවන ගැටළුව වන්නේ රාජ්‍ය පාලනය බුද්ධිමතුන්ගේ කාර්යයක් ලෙස පිළිගත්තද ඒ සඳහා පදනම සපයන දේශපාලනය බුද්ධිමතුන්ට පමණක් සීමා වූ දෙයක් නොවීමය. දේශපාලනය කිරීමේ අයිතිය සෑම මිනිසෙකුටම උත්පත්තියෙන්ම හිමිවන මූලික අයිතිවාසිකමක් වේ. එබැවින් මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය සෑම පුද්ගලයෙකුටම හිමිවන අයිතියක් වන අතර එම අයිතිය උගත් නූගත් මට්ටම් අනුව විශේෂීකරණය කළහැකි දෙයක් නොවේ.

මැතිවරණ දේශපාලනයේදී සමහරවිට දැකිය හැකි පොදු ලක්‍ෂණයක් වන්නේ උගතුන් පරදවා නූගතුන් ඉදිරියට ඒමය. රාජ්‍ය ඇමති ගාමිණී ලොකුගේ පසුගිය දිනක කියා තිබූ පරිදි මැතිවරණයකදී වැදගත් වන්නේ ජයග්‍රහණය කිරීමට ඇති හැකියාව මිස වියත් බව නොවේ. මෙයින් පෙනී යන්නේ ඡන්දදායකයින් තම ඡන්දය ප්‍රකාශ කිරීමේදී වියත්කම එකම නිර්ණායකය ලෙස නොසලකන බවය. තුන්වන ගැටළුව වන්නේ මැතිවරණයකදී පාර්ලිමේන්තුවට තේරී පත්වන සෑම වියතෙකුටම රාජ්‍ය පාලනයට සෘජුව සහභාගි විය හැකිද යන්නය. හේතුව රට පාලනය කිරීම විධායකයේ කාර්යක් මිස ව්‍යවස්ථාදාකයේ කාර්යක්  නොවීමය. නිදසුන් ලෙස ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යුහය ගතහොත් විධායකය සමන්විත වන්නේ ජනාධිපතිවරයෙකුගෙන් සහ අගමැති කෙනෙකු සහිත අමාත්‍ය මණ්ඩලයකිනි. අගමැති සහ අමාත්‍ය මණ්ඩලය සමන්විත වන්නේ පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කරන නියෝජිතයන්ගෙනි. එහි උපරිමය 30 ට සීමා කර ඇත. මෙයින් පෙනී යන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වන 225 දෙනාම වියතුන් විය හැකි වුවද රට පාලනයට සහභාගි විය හැක්කේ එයින් 30 දෙනෙකුට පමණක් බවය. මෙහි ප්‍රතිපලය විය හැක්කේ නූගත් සිග්නල් කනුවලින් සමන්විත පාර්ලිමේන්තුව වියත් සිග්නල් කනුවලින් සමන්විත පාර්ලිමේන්තුවක් බවට පත්ව විධායකයට පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී ආණ්ඩුක්‍රමය අර්බුදය කරා යාමය.  

ඉහත දැක්වූ කරුණුවලින් පෙනීයන්නේ වියතුන් රට පාලනයට සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් අහිතකර ලෙස බලපාන ව්‍යවස්ථාමය මෙන්ම ව්‍යවස්ථාමය නොවන ගැටළු රාශියක් පවතින බවය. මෙම ගැටළු යම් ප්‍රමාණයකට හෝ සමනය කරගත හැකි ක්‍රම දෙකක් තිබේ. මෙයින් එකක් වන්නේ දේශපාලන පක්‍ෂ විසින් මැතිවරණ සඳහා තරග කිරීමට වියතුන්ට වැඩි ඉඩකඩක් ලබා දීමය. දෙවැන්න වන්නේ ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමේදී වියතුන්ට ප්‍රමුඛස්ථානය දීමය. රාජ්‍ය පාලනය නූගතුන් කරනවාට වඩා උගතුන් කිරීම යහපත් දෙයක් වුවද උගතුන් කෙරෙහි වුවද ප්‍රමාණය ඉක්මවා ගිය විශ්වාසයක් තැබීම සුදුසු නොවේ. හේතුව උගත් පාලකයන් වුවද දේශපාලන බලය අවභාවිත කරමින් දූෂිත වුවහොත් රාජ්‍ය පාලනය අසාර්ථක විය හැකි බැවිනි. පාලකයන් දූෂිතවන්නේ දේශපාලන බලය රාජ්‍ය දේපල සොරකම් කිරීමටත්, ගැහැණුන් සමග අයථා සම්බන්ධකම් පවත්වාගෙන යාමටත් අවභාවිත කිරීම හේතුවෙන්ය. එම නිසයි ප්ලේටෝ නමැති ග්‍රීක දේශපාලන දාර්ශනිකයා රාජ්‍ය බලය මෙහෙයවන පාලකයින්ට නිදහසේ ආර්ථික බලය සහ ලිංගික බලය හැසිරවීමට ඉඩ නොතැබිය යුතු බව කියා සිටින්නේ. මෙය වියතුන්ට රට පාලනය කිරීමට ඉඩ ලබා දිය යුතු යැයි හඬනගන වියතුන්ද අවශ්‍යයෙන්ම තේරුම් ගත යුතු බව අවසාන වශයෙන් කිව යුතුය.

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය

එම්.ඕ.ඒ. ද සොයිසා