ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතුයැයි ප්‍රකාශයට පත්කළ යුත්තේ කවද‌ාද යන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බද‌ාද‌ා රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටියේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ බව විමසා සිටි අතර, එය අලුත් අවුරුද්දට පෙර ඉක්මන් මැතිවරණයක් පැවැත්විය යුතුව තිබේදැයි යන්න දැනගැනීමට විය.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා ලැබෙන පළමු අවස්ථාවේදීම, එනම් ලබන මාර්තු මස 2 වැනිදා මධ්‍යම රාත්‍රියට පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත්, ව්‍යවස්ථානුකූලව මැතිවරණය පැවැත්විය හැක්කේ අප්‍රේල් මස 25 වැනිදා හෝ ඊට පසු දිනයක බව අගමැති රාජපක්ෂ පැවසුවේය. ඉහත කාරණා, ඉහත සඳහන් කළ දිනයන්වලම සිදුවනු ඇති නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට කුමන නම් ප්‍රතිචාරයක් දක්වනු ඇතිදැයි යන්න ඔහුට පිළිතුරු සොයාගැනීමට අවශ්‍ය තිබුණු ගැටලුව විය.

දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණ. අප්‍රේල් මස 10 සිට 20 දක්වා වන කාලයේ ජනතාව අලුත් අවුරුද්ද හා බැඳුණු කටයුතුවල නිරත වන බැවින් එම කාලයේ දේශපාලන කටයුතු කෙරේ ඔවුන්ගේ තිබෙන උනන්දුව ඉතා හීන හෝ ඇතැම් විට බින්දුවේම පැවැතිය හැකි බව බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. එම සමයේ මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීම අරබයා ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකි බව ඔවුන්ගේ අදහස විය. ඉහත දිනයන් මඟහැරිය හැකිනම් කඩිනම් මැතිවරණයක් පැවැත්වීම කෙරේ කැමැත්ත පළකළ පිරිසක් ද, වූහ. එහෙත් ඒ සඳහා මාර්ගය සකස් කරනු පිණිස නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහාය - එනම් විපක්ෂයේ දේශපාලන පක්ෂවල ද, සහාය ඇවැසිය. කෙසේවුවත් මෙම අදහස බැහැර කර තිබෙන අතර, විපක්ෂය ඔවුන්ගේම අර්බුදයක පැටලී සිටීම එයට හේතුව වී ඇත.

පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සඳහන් වන්නේ මෙසේය.

තේරීම් භාර නිලධාරියාගේ කාර්යාලයේදී, සාමාන්‍ය කාර්යාල වේලාවන් ඇතුළත, නාමයෝජනා පත්‍ර ඔහු විසින් භාරගනු ලබන (මින් මතු නාමයෝජනා කාලසීමාව යනුවෙන් සඳහන් කරනු ලබන) කාලසීමාව සහ ඡන්දය පවත්වන දිනය ජනපතිවරයා විසින් සඳහන් කරනු ලැබිය යුතුය.

නාමයෝජනා කාලසීමාව 1 වන උපවගන්තියේ සඳහන් ප්‍රකාශනය හෝ නියමය ගැසට් පත්‍රයෙහි පළකරනු ලැබූ දිනයෙන් පසුව එළඹෙන දහ හතරවන දිනයෙන් ආරම්භව, ඒ ප්‍රකාශනය හෝ නියමය පළ කරනු ලැබූ දිනයෙන් පසුව එළැඹෙන විසි එක්වන දිනයේ මධ්‍යාහ්න දොළහට අවසන් විය යුතුය.

නියම කරනු ලබන දිනය නාමයෝජනා කාලසීමාව අවසන් වන දිනයේ සිට සති තුනකට නොඅඩු වූ ද, සති අටකට නොවැඩි වූ ද, කාලයක් ඇතුළත දිනයක් විය යුතුය. පසළොස්වක පෝය දිනයක් හෝ යම් රජයේ නිවාඩු දියක් හෝ නොවන දිනයක් විය යුතුය. තව ද, ප්‍රකාශනය හෝ නියමය පළකරනු ලැබීමෙන් පසුව ඒ ප්‍රකාශනයෙහි හෝ නියමයෙහි සඳහන් දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවහොත්, ඡන්ද විමසීමේ කාර්යය සඳහා ඒ දිනයේදී කරන ලද යම් දෙයක වලංගුභාවය කෙරෙහි එය බලනොපෑ යුතුය.

මෙවන් සංවාදයක් ගොඩනැගී තිබෙන්නේ පාලක සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ලහිලහියේම සූදානම් වෙමින් සිටින බැවින්ය. ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර සිට මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා සහ ජාතික සංවිධායකවරයා වන බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු දැන් ක්‍රියාත්මකය. ඔහු පක්ෂයේ මහලේකම්වරයා ලෙස පත්කැරෙන බවට ඉගි පළව තිබෙන අතර, එම තනතුර ප්‍රකාරව පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා අත්සන් කර අනුමත කිරීමේ බලය ද, ඔහුට හිමිවනු ඇත.

ගෙවුණු සතියේ බත්තරමුල්ල
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී, බැසිල් රාජපක්ෂ පක්ෂයේ එක් කොටසකට අයත් සාමාජික පිරිසක් ඇමතුවේය. එහිදී ඔහු ප්‍රධාන වශයෙන්ම ආමන්ත්‍රණය කළේ රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීම අරබයා මතුව තිබෙන බිය හා සැක සංකාවලටය. ජනපති ගෝඨාභය රාජපක්ෂ එම තනතුරු සඳහා පත්කරන්නේ වෘත්තිකයන් පමණක් යැයි මතයක් ගොඩනැගී තිබෙන අතර, එම පදනමේ සිට ඇතැමුන් චෝදනා කරන්නේ පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධානපෙලේ ආධාරකරුවන් ඇතැමෙක් පසෙකට කර දමා ඇති බවටය.

ජනපතිවරයාගේ ක්‍රියාකලාපය වෙනුවෙන් පෙනී සිටි බැසිල් රාජපක්ෂ අදහස් දක්වමින්, එයින් කිසිදු ලෙසකින්වත් පක්ෂය වෙනුවෙන් වෙහෙසවූ සහ සුදුසුකම් ඇති පුද්ගලයින් නොසලකා හැරීමක් අදහස් නොවන බව අවධාරණය කළේය. පක්ෂයේ කාන්තා සමිතිවල සාමාජිකාවන් 6 දෙනෙක්ම රාජ්‍ය ආයතනවල සභාපතිනියන් ලෙස පත්කර තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

තවත් ගොඩක් කාලය තිබෙනවා. එක් අයෙකුට තනතුරක් ලැබුණු විට, එවන් තනතුරක් තමන්ටත් ලැබෙන්නට වුවමනාය කියලා තවත් කිහිපදෙනෙක්ම හිතෙනවා, යැයි පැවසූ බැසිල් රාජපක්ෂ, තනතුරු සඳහා පුද්ගලයින් පත්කිරීම ඉතාම දීර්ඝ කාලයක් වැයකළ යුතු කටයුත්තක් බවත්, එනිසාම තනතුරු සදහා පුද්ගලයින් පත්කිරීම අරබයා අනුගමනය කෙරෙන ක්‍රියාවලිය පිළිගන්නා ලෙසත් පැමිණ සිටියවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව කවයන්ගේ අවධානය යොමුව තිබෙන්නේ පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අනෙක් දේශපාලන පක්ෂවලට අමතරව, තම පක්ෂයට කොපමණ ආසන සංඛ්‍යාවක් දිනාගත හැකිවනු ඇතිදැයි අරබයාය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තහවුරු කරගැනීම සඳහා හඹා යා යුතුව තිබෙන ඉලක්කයක් තබාගැනීම පවත්නා සමානුපාතික ක්‍රමය යටතේ නොවැදගත් බව ඔවුන්ගේ අදහසයි. එසේ හෙයින්, අඩුම තරමින් ආසන 120ක් හෝ දිනාගැනීමේ ඉලක්කයක් තබාගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පවසයි. එය පාර්ලිමේන්තුවේ බහුතරය වන ආසන 113ට වඩා මඳක් ඉහළ අගයක් බව ඔවුහු පෙන්වා දෙති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ අනෙක් දේශපාලන පක්ෂවලට, ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ට වුවමනා ආකාරයට හැසිරවිය නොහැකි තැනක පවත්වාගැනීමට අවැසි සරල බහුතරයක් දිනාගැනීම මෙයින් අදහස් කෙරේ. මෙයින් තවදුරටත් අදහස් කෙරෙන්නේ, ව්‍යවස්ථා වෙනසක් සිදුකිරීමට අවශ්‍ය වන අවස්ථාවක ඔවුන්ට අනෙක් දේශපාලන පක්ෂවල සහාය ද, අවශ්‍ය වන බවය.

අතීතය සැලකිල්ලට ගතහොත් මෙරට දේශපාලන ඉතිහාසයේ එවැනි අවස්ථා ඇත්තේ දෙකකි. පළමුවැන්න ජනපති රණසිංහ ප්‍රේමද‌ාස මහතා යටතේ එක්සත් ජාතික පක්ෂය 1989 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 125ක් දිනාගත් අවස්ථාවය. 2010 පාර්ලිමේන්තු මැතිවරණයට එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 144ක් දිනාගැනීම දෙවැන්නය.

වෙනස්වෙමින් තිබෙන බිම් මට්ටමේ යථාර්ථයන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එහි මිතුරු දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිව ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමේ ඉහළ හැකියාවක් පැවතීම මේ සියල්ලට වඩා දේශපාලනමය වශයෙන් වැදගත්ය. මෙවන් තත්ත්වයක් ඇතිව තිබෙන්නේ, විශේෂයෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය - වෙනස්වෙමින් තිබෙන බිම් මට්ටමේ යථාර්ථයන් යැයි හඳුන්වා දෙන කාරණාවන් පදනම් කරගෙනය. පසුගිය වසරේ පැවැති ජනපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිණ. එම ගිවිසුම ප්‍රකාරව එවක ජනපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා දෙපාර්ශවය අතර ගිවිසුමෙන් තැනෙන සන්ධානයේ සම නායකයෙකු ලෙස නම් කැරිණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වන සහ පසුව අගමැතිවරයා ලෙස පත්වුණු, මහින්ද රාජපක්ෂ ද, එසේ සම නායකයෙකු ලෙස නම් කැරිණ. දැන් පෙන්වා දෙනු ලැබ තිබෙන්නේ එසේ සම නායකත්වයක් හඳුන්වාදීමට හේතුව වූයේ එවක මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ ජනපතිවරයා වීම බවය.

එහෙම දෙයක් දැන් නැහැ. අපට සහාය දක්වන අනෙක් අය වගේම සිරිසේනත් දැන් තවත් දේශපාලන පක්ෂයකට නායකත්වය දෙන කෙනෙක් පමණයි. ඒ නිසාම ඔහුට විශේෂ තත්ත්වයකට හිමිකම් කියන්නට තිබුණු අයිතිය දැන් තවදුරටත් එතැන නැහැ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෙක් පැවසුවේ ය.

එපමණක් නොවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුඩය යට සිටින සියලු දෙනාම තරග කළ යුත්තේ පක්ෂය යටතේ බවට එහි සාමාජිකයෝ අවධාරණය කරන්නෝය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැළකීමේදී, එම පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් බුලත් කොළය යටතේ තරග කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැති බව පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ පවසන්නෝය. නමුත් මැතිවරණය සඳහා ඔවුන්ගේ අපේක්ෂකත්වය හිමිවිය යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ බව ඔවුහු අවධාරණය කරන්නෝය.

යථාර්ථය සැලකුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වුවමනා වී තිබෙන්නේ පවත්නා මට්ටම ඉහළ දැමීම මගින් එයට අනුව කටයුතු කිරීමට හෝ එසේත් නැතිනම් ඉවත්ව තනිවම තරග බිමට එළැඹීමට හෝ සිදුවන තැනට තීරණයක් ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටම භාර කිරීමටය. මෙයට හේතු බොහෝමයකි. එහිලා ඉතාම වැදගත් හේතුව ගැටගැසී පවතින්නේ මෛත්‍රීපාල සිරිසේන, සැක කිරීමට අමතරව තවත් කරුණු කාරණා ගණනාවක් නිසා ගැටලු මතුව තිබෙන, වටාය. පසුගිය ජනපතිවරණයේදී ඔහු පළමුව ගෝඨාභය රාජපක්ෂගේ ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කළේ ය. නමුත් පසුව නිර්පාක්ෂිකව කටයුතු කිරීමට අවැසි යැයි කියා ඔහු සිය තීරණය වෙනස් කළේ ය. මෙම සමයේ දී, ඔහු සජිත් ප්‍රේමදාසගේ ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් ආධාර අනුබල දැක්වීමට කැමැත්තෙන් සිට ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෝ අනාවරණය කළහ.

කොටින්ම, ප්‍රධාන අතරමැදියන් දෙදෙනෙක් මැදිහත්ව සංවිධානය කර තිබෙන රැස්වීම් මාර්ගයෙන් දෙදෙනා එකිනෙකා අතර අදහස් හුවමාරු කරගනිමින් සැළකිය යුතු මට්ටමේ සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා, එක් ආරංචි මාර්ගයක් පැවසුවේය.

තවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට අනාගතයේ උද්ගත විය හැකි තත්ත්වයක්, එවැන්නකට ඉඩක් නොමැති වුවද, වළක්වා ගැනීමට අවශ්‍යය. එය නම්, එය එක්තරා ආකාරයට බියකට සමාන කළ හැකිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් ආසන ප්‍රමාණයක් දිනාගතහොත් සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ විපක්ෂය බලා පැති මාරු කිරීමට තිබෙන හැකියාවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ යුතු බව එහි නායකයන් අවධාරණය කරන්නේ මේ හේතුව නිසාවෙන්ය. සැබෑ ලෙසම, එයින් අදහස් වන්නේ මෛත්‍රීපාල සිරිසේන කෙරේ පවතින අවිශ්වාසයයි. ඔහුගේ අතීත ක්‍රියාකලාපය එයට ඌණ පූර්ණයක් සපයන්නකි. ඔහුගේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර පවතින්නේ බියකි.

පසුගිය වසරේ ජනපතිවරණ ව්‍යාපාරය අතරතුර අවසන් මොහොතේ දී, වූ එක් සිදුවීමක් හමුවේ සිරිසේන ප්‍රේමදාස වෙත දිගු කරන්නට උත්සාහ කරමින් සිටි සිය සහයෝගයේ දෑත හකුලා ගත්තේය. එම සිදුවීම වාර්තා වූයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පසුගිය වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වූ පෙරමුණේ පළමු ජන රැලියේදීමය. තමා ජනපතිවරයා ලෙස පත්වුවහොත් සිය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත්කරන බව ප්‍රේමදාස එහිදී කීවේ ය. ඒ ඇසූ සිරිසේන කෝපයට පත්විය. පොලිස් දෙපාර්තමේන්තුව ෆොන්සේකා යටතට පත්කරන ලෙසට එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කර තිබූ ඉල්ලීම් කිහිපයක්ම ඔහු ප්‍රතික්ෂේප කළේ ය. එසේවුවත්, ප්‍රේමදාස ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාසයෙන්, ජනපති සිරිසේන ඔහුට උපායමාර්ගිකව උදව් උපකාර කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෝ චෝදනා කරන්නෝය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සිතුවිලි යොමුව තිබෙන දිශානතිය පැහැදිලිය. එයට සිරිසේන එකඟ වුවහොත්, පෙරමුණේ නායකයා වන මහින්ද රාජපක්ෂ යටතේ කටයුතු කිරීමට ඔහුට සිදුවනු ඇත. එයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසක් වන බවටත්, එය යටතේම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බවටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වුවහොත් පමණකි. සිරිසේන සහ ඔහුගේ පක්ෂයට මෙම කාරණා ද්විත්වය පිළිගැනීම දුෂ්කරය.

පසුගිය සතියේ මෙම තීරුවෙන් මෙසේ වාර්තා කැරිණ.

...වැදගත් යැයි සැළකිය යුතු කාරණයක් වන්නේ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පොදුජන පෙරමුණේ රැස්වීමක් කැඳවීමට පියවර ගැනීමය. එක්සත් ජනතා නිදහස් සන්ධානය එයට පෙර පැවැති ස්වරූපය වූයේ පොදුජන පෙරමුණයි. මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින සාමාජිකයන් ඇතැමෙක් ද, පොදුජන පෙරමුණට අයත්ය.

පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය ලෙස නම් කිරීමට මෙම රැස්වීමේදී, තීරණය විය.

දේශපාලන පක්ෂ 13ක් මෙම සන්ධානය නියෝජනය කරනවා. එහි ව්‍යවස්ථාව අනුව සන්ධානයේ විධායක කමිටුවේ බලය සියයට 51ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, සියයට 31ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, ඉතිරිය අනෙක් පක්ෂවලටත්, ලැබෙන පරිදි බෙදා හැරෙනවා. සන්ධානයේ ලේකම්, භාණ්ඩාගාරික සහ උපනායක, යන තනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් වෙන් කැරෙනවා. ඒකාබද්ධ නායකයින් දෙදෙනෙක් - මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ, මේ සන්ධානයට නායකත්වය ලබාදෙනවා. පක්ෂයේ ලකුණ ගැන ප්‍රශ්නයක් නැහැ. එය විසඳා ගැනෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ය... මෙය ඔවුන් අත්සන් තැබූ ගිවිසුමේ වූ කාරණා නැවත සඳහන් කිරීමකට නොවැඩි දෙයකි.

අමාත්‍ය ද සිල්වා ගෙන හැර දැක්වූ මෙම අගයන් පවා ඉදිරියේදී වෙනස්වීමට අපේක්ෂිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් මෙවන් තත්ත්වයකට මුහුණදී සිටින්නේ එහි සාමාජිකයන් කොටසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, තවත් කොටසක් නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයටත් (හෝ නුදුරේදීම එය ගනු ඇති නව නාමය) එක්වීමේ අපේක්ෂාවෙන් සිටින වාතාවරණයකය. මෙම ප්‍රවණතාවන්ගෙන් අනාවරණය වන දේශපාලන යථාර්ථය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් සේදී යනු ඇත යන්නය. ප්‍රේමදාස යටතේ වෙනම නව සන්ධානයක් - නව නමකින් ඉදිරිපත්වීමට - ඉඩක් නැත. එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස තවදුරටත් සිටින්නේ රනිල් වික්‍රමසිංහ හෙයින් එවැන්නක් ඔවුන්ට ඉතාම අනිටු ප්‍රතිවිපාක අත්කර දෙනු ඇත යන්න නිසැකය. මේ අතරවාරයේම මෛත්‍රීපාල සිරිසේන සිටින්නේ සතර පැත්තෙන්ම කොටුවීය. තවත් අතකින්, එක්සත් ජාතික පක්ෂය ද සිටින්නේ, ඔවුන් මුහුණ දී සිටි අර්බුදය වෙනත් අතකට ගමන් කරමින් තිබීමේ තත්ත්වයක් හමුවේය.

ප්‍රේමදාසගේ පුළුල් සන්ධානය
අවසානයට පැවැති පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කළ ද, ප්‍රේමදාස සහ ඔහුගේ හිතවතුන් වික්‍රමසිංහගේ නායකත්වය පිළිගන්නා තැනට පත්ව ඇත. මැතිවරණයට අදාළ කාරණා දැනටමත් ප්‍රකාශයට පත්කර අවසන්ය. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කරනු ඇති අතර, පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ අනෙක් දේශපාලන පක්ෂ සමඟ එක්ව පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂයට අවකාශය සළසා දීමට ඔහු කටයුතු කරනු ඇත. මෙයට දැනටමත් එකඟතාවය පළව තිබේ. එයට නිල වශයෙන් හෙට (සඳුදා) පැවැත්වීමට නියමිත රැස්වීමේදී, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබාදෙනු ඇත. නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට පසුගිය සතියේ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අනුමැතිය හිමිවිය.

අවධානයට ගතයුතු කාරණයක් වන්නේ එසේ තැනෙන නව සන්ධානය කරළියට පැමිණෙනු ඇත්තේ අලුත්ම නමක් යටතේ වීමය. මේ අරබයා ලියාපදිංචි දේශපාලන පක්ෂ හිමි පුද්ගලයින් තිදෙනෙකු ප්‍රේමදාස සහ ඔහුගේ හිතවතුන්ට එසේ තැනෙන නව සන්ධානයට සිය දේශපාලන පක්ෂය හා ලකුණ සම්බන්ධ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. මේ අතුරින් එක් පක්ෂයක් ප්‍රේමදාස සහ ඔහුගේ කණ්ඩායම දැනටමත් තෝරාගෙන අවසන් අතර, එය ඔවුහු රහසක් ලෙස පවත්වාගනිමින් සිටින්නෝ ය. එසේ ලබාගන්නා දේශපාලන පක්ෂයේ නම සහ ලකුණ වෙනස් කළ යුතුව තිබෙන්නේ කෙසේදැයි සම්බන්ධයෙන් දැන් සාකච්ඡා කැරෙමින් තිබේ. තැනෙන මෙම පුළුල් සන්ධානය එළැඹෙන මැතිවරණයට ඉදිරිපත් වනු ඇත්තේ එසේ එකඟත්වය පළවන ලකුණකින් සහ නමකිනි.

මෙම එකඟතාවයේ ධනාත්මක මෙන්ම ඍණාත්මක කාරණා ද තිබේ. ධනාත්මක කාරණා ගතහොත් මෙම නව පුළුල් සන්ධානය ගොඩනැගීමෙන් ප්‍රේමදාසට සහ ඔහුගේ හිතවතුන්ට දිනාගැනීමට හැකිවනු ඇති දේ එක්තරා අතකට ඉමහත්ය. එක්සත් ජාතික පක්ෂයේ එකදු අපේක්ෂකයෙක් ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තුවේ නොමැති හෙයින්, එළැඹෙන මැතිවරණය ඉලක්ක කර මැතිවරණ ව්‍යාපාර කටයුතු දියත් කරනු ඇත්තේ මෙම නව පක්ෂයයි. එනම්, මෙතැන් සිට පාර්ලිමේන්තු මැතිවරණයේ අවසානය දක්වාම ජනතාව හමුවට ගෙන යාමට උත්සාහ කැරෙනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නොව මෙම නව පක්ෂයයි. එහෙයින්, මේ හමුවේ නැගෙන පැනය වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ කොපමණ නම් ශක්තියකින් යුතු ලකුණක් තැබීමට ප්‍රේමදාස සහ ඔහුගේ ආධාරකරුවන්ට හැකිවනු ඇති ද, යන්නය. මේ අරබයා නව දේශපාලන පක්ෂය සාර්ථක ඵල නෙලාගතහොත්, වැදගත් වන්නේ ඔවුන් ජයග්‍රහණය කරන ආසන ප්‍රමාණය නොවේ. වැදගත් වන්නේ එවන් සලකුණක් තැබීමට තරම් හැකියාවක් ඇති නව දේශපාලන පක්ෂයක් ලෙස නැගී ඒමට තරම් බිම් මට්ටමේ සහායක් සහ ජනතාව අතර පිළිගැනීමක් ඔවුන්ට තිබෙන බව යන්නය.

එලෙසම එවැනි ප්‍රවණතාවයක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපයට පමණක් නොව ප්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස එහි පැවැත්මට ද, බලපෑමක් එල්ල කරනු ඇත. එක්සත් ජාතික පක්ෂයේ මුල් පුටුවෙන් තමාව ඉවත් කිරීමට ගැනුණු උත්සාහයන් ව්‍යර්ථ කර එහි තවදුරටත් රැඳී සිටීමට සමත්වීමෙන් වික්‍රමසිංහ ජයග්‍රහණය වාර්තා කර ඇතත් නව දේශපාලන පක්ෂයක් සහ නව දේශපාලන සන්ධානයක් ඔහුට ඉතාම බරපතළ අභියෝගයක් වනු නිසැකය. නව දේශපාලන පක්ෂය වර්ධනය වන තරමටම එය හමුවේ නැගෙන අභියෝගය ද, වර්ධනය වනු ඇත. එක්සත් ජාතික පක්ෂයේ නාමය ඇතැම් විට තවත් වසර 5කට, ලබන පාර්ලිමේන්තු මැතිවරණය දක්වාම, වැදගත් නොවන තැනට පත්වීමට ඉඩ තිබේ. පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණවලට තරග කිරීම ද, ගැටලුකාරී වනු ඇත. මෙවන් ඉරණමක් පක්ෂය හමුවේ නිර්මාණය වනු ඇත්තේ වික්‍රමසිංහගේ හිතවතුන් ඔහු වෙත ඉතාම සමීප අයුරින් සහයෝගය දක්වමින් තිබෙන වාතාවරණයක් යටතේමය. දැනටමත් ඔවුන් අතර යම් නොසන්සුන්තාවයක් ඇතිව තිබේ. හිටපු ඉතා ආන්දෝලනාත්මක පන්නයේ අමාත්‍යවරයෙකු සහ උග්‍ර ප්‍රේමදාස විරෝධියෙකු වන එවැන්නෙක්, නව පුළුල් සන්ධානයේ උපනායකයා ලෙස තමාව නම් කරන්නැයි වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත. කෙසේවුවත් ඔහුගේ ඉල්ලීම සාර්ථකව නොමැත.

එහෙයින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ද්විත්වය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සිටින්නේ තීරණාත්මක මංසන්ධියකය. ඔවුන්ගේ අනාගතය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් නිසැකවම තීරණය කැරෙනු ඇත. එපමණක් නොව, තවදුරටත් දේශපාලන පක්ෂ මත තීරණය නොවන බෙදීමක් ජාතීන් අතර ඇතිවනු ද, දැකගත හැකිවනු ඇත.

ද සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි