සැප්තැම්බර් මස 23 වැනිදා පැවැති මාලදිවයිනේ ජනාධිපතිවරණයේ පළමු වටයෙන්ම ජනාධිපති අබ්දුල්ලා යමීන් පරාජයට පත් කරන ලද විපක්ෂ සන්ධානය ගොඩනගැනීමේ දී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළාය.

කුමාරතුංග මහත්මිය එම සන්ධානය ගොඩනැගීමේ ප්‍රධාන නිර්මාණකාරිනියක් වූවාය.

සැප්තැම්බර් 23 වැනිදා පැවැති මැතිවරණයෙන් අබ්දුල්ලා යමීන් පරාජයට පත්වීම කිසිවකු අපේක්ෂා නොකළ සිදුවීමක් විය. 

වසර 2015 දී කිසිසේත්ම විය නොහැකිව තිබූ එහෙත් ඇත්ත වශයෙන්ම සිදු වූ, මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කළ සන්ධානය ගොඩනැගීමේ ප්‍රධාන භූමිකාව රඟ දැක්වූයේද කුමාරතුංග මහත්මියයි.

වසර 2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූ අතර විපක්ෂ සන්ධානය ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා ජයගත්තේය. විපක්ෂ සන්ධානය ගොඩනැගීමේදී විපක්ෂ දේශපාලන පක්ෂවල නායකයන්ට කතා කරමින් කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළාය.

මාලදිවයිනේ තත්ත්වය ද ඉන් වෙනස් වන්නේ නැත. මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන විටත් වඩාත් බලවත් පාර්ශවය වූයේ අබ්දුල්ලා යමීන් මහතාගේ පාර්ශ්වයයි. 

ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී පවා අබ්දුල්ලා යමීන් ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන් අත්අඩංගුවට ගනිමින්, ඔවුන් සිරභාරයට පත් කළ අතර ඇතැම් දේශපාලකයන්ට රට අත්හැර යන්නැයි බලපෑම් කළේය. එපමණක් නොව ඔහු මැතිවරණ කොමිසම, ශ්‍රේෂ්ඨාධිකරණය සහ පොලිසිය ඇතුළු රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනනලට තමන්ට හිතැති පිරිස් පත් කළ අතර පාර්ලිමේන්තුවේ තමන්ට විරුද්ධ වූ පිරිස් නුසුදුස්සන් බවට පත් කළේය. 

ජාත්‍යන්තර පීඩනය හමුවේ වුවද යමීන් මැතිවරණයෙන් ජයගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ. 

අබ්දුල්ලා යමීන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සඳහා වයස් සීමාවක් ද පැනවීය. ඒ හේතුවෙන් එරට ප්‍රකට චරිත දෙකකට ජනාධිපතිවරණයට ඉදිරිපත්  වීමට නොහැකි විය. හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් සහ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ගසීම් ඊබ්‍රහීම් යනු එම දෙදෙනාය. 

මාලදිවයිනේ මධ්‍යස්ථ ආගමික මතධාරී පක්ෂයක් වූ අදාලත් පක්ෂය විපක්ෂ සන්ධානයේ තෙවැනි පාර්ශවකරු විය. කෙසේ නමුත් ඔවුනට ප්‍රමාණවත් මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හෝ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොතිබිණි. 

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වඩාත්ම සුදුස්සා වූයේ මාලිදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එම්.ඩී.පී) පක්ෂය නියෝජනය කළ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ය. නෂීඞ් ත්‍රස්ත චෝදනාවලට වරදකරුවකු කර තිබූ බැවින් ඔහුට මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි යැයි මැතිවරණ කොමිසම නිවේදනය කළේය. 

(නෂීඞ් සියලු චෝදනාවලින් නිදහස් යැයි මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 26 වැනිදා තීන්දු කළේය.)

විපක්ෂ දේශපාලන පක්ෂ මුහුණ දුන් මෙම සියලු අර්බුද හමුවේ එකිනෙකා හමු වී සාකච්ඡා කිරීමට එම කණ්ඩායම් පසුබට විය. ඔවුනොවුන් අතර විශ්වාසය හීනවීම ඊට ප්‍රධාන හේතුව විය. කෙසේ නමුත් ඔවුන් අතර පාලමක් තනන්නට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනිය සමත්වූවාය. 

විපක්ෂ කණ්ඩායම්වල දේශපාලන නායකයන් අතර විශ්වාසය හීනවීමට ප්‍රධාන හේතු වූයේ 2008 වසරේ දී මවුමූන් ගයුම්ට අවස්ථාව අහිමි කරමින් බොහෝ දෙනකු නෂීඞ් වටා එක්රොක්වී තිබීමය. කෙසේ නමුත් බලයට පත්වූ විගස තමන්ට මිත්‍ර පාර්ශව අවශ්‍ය නැතැයි නෂීඞ් තීරණය කළේය. වසර 2013 දී සියලු විපක්ෂ කණ්ඩායම් අබ්දුල්ලා යමීන්ට සහාය දුන්නේය. එහෙත් බලයට පත්වීමෙන් පසු අබ්දුල්ලා යමීන් තම පාලනය ශක්තිමත් කරගත් අතර කිසිවකුත් ඔහුට විරුද්ධ නොවීය. එසේ යමකු විරුද්ධ වූවා නම් ඔහු යමීන්ට නතුවිය. 

තමන් මාලදිවයිනේ විපක්ෂය එකතු කිරීමට සහයෝගය දුන් බව කුමාරතුංග මහත්මිය ‘ෆ්‍රන්ට්ලයින්’ වෙත තහවුරු කළාය. 

“මාලදිවයිනේ විපක්ෂයේ දේශපාලන නායකයන් එකතු කිරීමේදී ඇය සැලකිය කාර්යභාරයක් ඉටු කළා. ඇය, ඇය සතුව තිබෙන ජාත්‍යන්තර සබඳතා සහ ශ්‍රී ලංකාවේ සබඳතා යොදා ගනිමින් මාලදිවයිනේ විපක්ෂය එකතු කළා යැයි” යැයි මෙම වාර්තාකරු විශේෂයෙන් යොමු කරන ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්   කුමාරතුංග මහත්මියගේ කාර්යාලය නිකුත් කරන ලද නිවේදනයක දැක්විණි. 

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ දැන් සිදුවෙමින් තිබෙන දේවල් සම්බන්ධයෙන් නම් චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පුදුමයටත් විස්මයටත් පත්ව සිටින්නීය. 

“මම මාලදිවයිනේ වගේම කාර්යයක් ශ්‍රී ලංකාවේ කරමින් විපක්ෂය එකතු කළා. එහෙත් ආණ්ඩුවේ ඇතැම් නායකයන් සටන පාවාදීලා. ඒ පිළිබඳව කනගාටුයි. ඇතැම්විට ඔවුන්ට සහභාගීත්ව පාලනය පිළිබඳ කිසිදු දැනුමක් අවබෝධයක් නැහැ. එසේත් නැතිනම් ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. දැනුමක් නැහැ. අවබෝධයක් නැහැ. මාලදිවයිනේ එය සිදු නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”. යැයිද කුමාරතුංග මහත්මිය පවසා තිබිණි.

ෆ්‍රන්ට්ලයින් සඟරාවේ පළවූ ලිපියකි. 

සැකසුම - හර්ෂණ තුෂාර සිල්වා