මෙවර ජනාධිපතිවරණයේ නාමයෝජනාවලින් ඒ ඒ අපේක්ෂකයන් තමන්ගේ ප්‍රචාරක වැඩ කටයුතු ආරම්භ කර ඇති බව කාටත් පැහැදිලිය. ඇල්පිටියේ පළාත් පාලන ඡන්දය පැවතුණේ පසුගිය සතියේය. ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව පැවැති පළමු තරගයෙන් විශිෂ්ට ජයක් සහතික කර ගැනීමට පොදුජන පෙරමුණට හැකි වූ අතර ඒ ජයග්‍රහණය ශ්‍රී ලනිපයත් සමඟ සම්බන්ධ කර බැලූ විට අතිවිශිෂ්ට එකක් බව ඉතාමත් පැහැදිලිය.

ඇල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල මගින් පෙනී යන්නේ සිංහල දිස්ත්‍රික්කවල ඡන්දදායකයන් අතරින් සියයට හැත්තෑවකට ආසන්න ගණනක් සිටින්නේ පොදුජන පෙරමුණ සහ  ශ්‍රී ලනිපය ඇතුළු  සන්ධානයට බවය. අනෙකුත් ප්‍රදේශවල තත්ත්වයත් මේ ප්‍රතිඵලයට සමානකමක් දැක්වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජයගැනීමට විශාල ඉඩක් තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව පැවසීම නිවැරැදි යයි මම සිතමි. ජනාධිපතිවරණයකට ආණ්ඩුව පැත්තේ අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත්වීමේදී ඇත්තේ වාසියකට වඩා අවාසියක් බව ඇල්පිටියේ මැතිවරණයෙන් පෙන්නුම් කෙරෙන එක් විශේෂ කාරණයක්ය.

ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරක වැඩසටහන් දෙතුන් පැත්තෙන්ම මෝදුවෙමින් පැවතුණත් ඒ සමහර ප්‍රචාරක වැඩසටහන් තනිකරම පදනම් වන්නේ හුදු අපහාස හා මඩ ප්‍රචාර මත බව මාධ්‍ය දෙස බැලූ විට පෙනී යන ප්‍රධාන දෙයක්ය. සමහර කථිකයෝ උත්සාහ ගන්නේ 2015 ජනවාරිවාරිවරුන්ගේ නිර්මාණයන් වූ ‘අතේ රෝල්’ ලෙසින් ගොඩනඟා ගත් දේශපාලන අලංකාරික නැවත නැවතත් සමාජයට විසි කිරීමට මිස කිසිම ආකාරයක කරුණක් ඉදිරිපත් කිරීමට නොවේ. බොරු කියන සහ අපහාස කරන දේශපාලනයට මාධ්‍ය අවකාශයේ යම් තැනක් ලැබුණේ 2015 ජනාධිපතිවරණයේදී බව පැහැදිලි කාරණයක් වුවත් ඒ ආකාරයෙන්ම තවදුරටත් සමාජය රැවටීමේ ඉඩක් දැන් නැති බව මේ බොහෝ අය තවම දන්නේ නැත. එකම ආකාරයකට දෙපාරක් ගුවන් යානයක් ‘හයි ජැක්’ (පැහැර ගැනීම) කළ නොහැකිවාක් මෙන් එකම බොරුවෙන් දෙතුන් පාරක් ජනතාව රැවටිය නොහැකි බව මගේ අදහසය.

මේ සටහනින් මා බලාපොරොත්තු වන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී සාකච්ඡා අවකාශයේ අවධානයට ගත යුතුයැයි මට සිතෙන කාරණා කීපයක් මතු කිරීමය. විශේෂයෙන්ම අපහාස හා මඩ ගැසීම්වලින් තොර දේශපාලන සාකච්ඡාවක් සඳහා කරුණුමය වශයෙන් සවිමත්වීම ඉතාමත් අවශ්‍ය කාරණයක් බව මගේ යෝජනාවය.

මේ  ජනාධිපතිවරණයේ  අවධානයට  ගත යුතු පළමු වැදගත් කාරණය ලෙසින් මා දකින්නේ ප්‍රධාන දේශපාලන ධාරාවේ සිටින අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන දේශපාලන බලවේග නිශ්චිතව තේරුම් ගැනීමය. මේ ජනාධිපතිවරණයේ සජිත් මහතා තරග කරන්නේ පවතින ආණ්ඩුවේ අපේක්ෂකයා වශයෙන් වන අතර ගෝඨාභය මහතා තරග කරන්නේ මේ ආණ්ඩුවට විරුද්ධ ජන බලවේගයේ අපේක්ෂකයා ලෙසින්ය. මේ බෙදීම නිවැරැදිව ස්ථාන ගත කර ගැනීමෙන් විසඳාගත හැකි ප්‍රශ්න රාශියක් ඇති බව මගේ මතයය.

මුලින්ම මේ බෙදීම මගින් පෙන්නා දෙනු ලබන ප්‍රධාන කාරණයක් වන්නේ 2015 සිට මේ දක්වා පවතින ආණ්ඩුවේ වගකීම භාර ගන්නා අපේක්ෂකයකු මේ තරගය තුළ නිසි ආකාරයෙන් ස්ථානගත කර ගැනීමය. ඒ කියන්නේ පසුගිය වසර 5 පමණ කාලය පුරාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කරගෙන ගිය මේ ආණ්ඩුවේ ශේෂ පත්‍රයට (Balance Sheet) මේ ජනාධිපතිවරණයේදී වග කියන්නේ කවුරුන්ද යන කාරණය පැහැදිලි කර ගැනීමයි.

ආණ්ඩුවේ අපේක්ෂකයා ලෙසින් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළේම අනෙක් අයගේ පව්වලට කර ගහන තැනකට ඒ මහතා පත් කිරීමට බව සමහරුන් කියා තිබුණේ ඒ දවස්වලමය. ඒ කෙසේ වෙතත් දැන් තරග බිමේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන්නේ සජිත් ප්‍රේමදාස මහතා වන අතර ඒ මහතාට ඡන්දය පාවිච්චි කිරීම මගින් මේ ආණ්ඩුවම ඉදිරියට ගෙන යා හැකි බව       අගමැතිතුමා කීප විටක් ප්‍රකාශ කර තිබූ බවත් අපගේ අවධානයට ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය. අගමැතිතුමාගේ පැත්තෙන් ප්‍රකාශ නිකුත් කරන සමහරුන් කියන්නේ ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දුන්නේම වත්මන් අගමැතිතුමාම ඒ තනතුරේම තබා ගැනීම සඳහා එකඟතාවද ලබා ගනිමින් බවයි. ඒ එකඟතාව පිළිබඳව වූ ප්‍රකාශය එජාපයේ පක්ෂ සම්මේලනයටද ඉදිරිපත් කළ බව අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ප්‍රකාශ කරනු ලැබුවේ මීට සති කීපයකට කලින්ය. අනෙක් අතට මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සභිකයන් බොහෝ විට සංවාදවලට හෝ පුවත්පත් සාකච්ඡාවලට පැමිණ කියන්නේ ඒ අයගේ ආණ්ඩුවේ ‘ඉතිරි ටික’ හොඳින් කරගෙන යාම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවිය යුතු බවයි. ඒ අර්ථයෙන් බලන විට ආණ්ඩුවේ වසර පහක කෙරුවාව පිළිබඳව ජනතාවගේ කැමැත්ත උරගා බැලීමේ පළමු අවස්ථාව මේ ජනාධිපතිවරණය යැයි සිතීමේ වැරැද්දක් නැත.

මේ කාරණය නිවැරැදිව ස්ථානගත කරගත්විට අපට හමුවෙන ඊළඟ වැදගත් කාරණය වන්නේ එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මේ දවස්වල කියන දේවල්වල තිබෙන අපැහැදිලි සහගත තත්ත්ව කීපයක් පිළිබඳවය.
ජනාධිපතිවරණයේ ආණ්ඩුවේ අපේක්ෂකත්වය දරන ගමන්ම තමන් ආණ්ඩුවට පත්වුවහොත් මෙසේ කරන්නේ යැයි සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවලින් කියවෙන විට එය තේරුම් ගන්නේ කෙසේදැයි කාටවත් වැටහෙන්නේ නැති බව මගේ අදහසය. මෑත දිනක ඒ මහතා කතාවකදී කීවේ ‘නොවැම්බර් 16 වැනිදායින් පසුව පොදුජන ආණ්ඩුවක්’ හදන බවය. මේ දවස්වල එතුමා ඇමැතිවරයකු ලෙසින් සිටින වර්තමාන ආණ්ඩුව ‘පොදුජන’ ආණ්ඩුවක් නොවන්නේ ඇයිදැයි කියා හෝ එසේ නොවන ආණ්ඩුවක එතුමා සිටින්නේ ඇයිදැයි කියා හෝ ඔහු කොහේදිවත් පැහැදිලි කරන්නේ නැත. මේ කතා තුළින් පෙන්නුම් කරන්නේ එතුමා එකවිටම ආණ්ඩුවේ අපේක්ෂකයා වෙන්නට උත්සාහ දරන ගමන් ආණ්ඩුවට විරුද්ධ පිලක සිටිනවා වැනි අදහසක්ද සමාජගත කරන්නට උත්සාහ ගන්නා බවයි. මේ වැනි දෙගිඩියාවකට කියන්නේ දේශපාලන අවස්ථාවාදය කියා දැයි මා දන්නේ නැත. එහෙත් රටට පෙනී යන්නේ තමන්ගේ දේශපාලන ස්ථාවරය හරියටම ස්ථානගත කරගැනීමට නොහැකියාව හෝ එසේ ස්ථානගතවී ඇති තැන වසා පෙන්නීමේ වුවමනාව විසින් මේ අවුල ගොඩනඟන බවයි.

මේ සාකච්ඡාවට සම්බන්ධව මීළඟට වැදගත් වන කාරණය ලෙසින් මා දකින්නේ ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා ලෙසින් මේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථානගත වන්නේ (ස්ථාන ගත විය යුත්තේ) කුමන ස්ථානයකද යන කාරණයය. ගෝඨාභය මහතාගේ දේශපාලන ආගමනය අලුත්ම පක්ෂයකින් සිදුවුණත්, ඒ මහතා මීට පෙර කිසිම ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයක නොසිටි නමුත් ඒ මහතාගේ දේශපාලනය සමඟ 2005 සිට 2015 දක්වා ආණ්ඩුවේ දේශපාලනය සම්බන්ධ වන බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය. එම කාලය තුළ සිදුවූ ප්‍රධානතම දේශපාලන සිදුවීම වූ යුද්ධය ජයග්‍රහණය කිරීම සහ රටේ සංවර්ධන ක්‍රියාමාර්ගවලට ඍජුව සම්බන්ධවීම යන කාරණා මෙහිදී ඉතාමත් කේන්ද්‍රීය බව මගේ අදහසයි. ඒ අර්ථයෙන් ගත්විට 2015 සිට විපක්ෂයේ දේශපාලනය කරන ප්‍රධාන බලවේගයේ අපේක්ෂකයා වශයෙන් ආණ්ඩුවේ දේශපාලනයට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක ඍජුවම තමන්ගේ දේශපාලනය පිහිටුවීම ඉතාමත් වැදගත් කාරණයක්ය. වෙනත් ලෙසකින් පැවසුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන පදනම නියෝජනය කළ යුත්තේ 2015 ආණ්ඩුවේ දේශපාලනයට සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්තේ බවයි. ඒ කියන්නේ ඒ මහතා මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ එජාපයේ දේශපාලනයට සහ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාදාමයට එරෙහිව බවයි. එජාපයේ දේශපාලනය පසුගිය වසර පහකට ආසන්න කාලයක් පුරාවට ගෙන ආ දේශපාලන ගමන් මාර්ගය හා දේශපාලන උපාය මාර්ගවලට සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් ගැනීම ගෝඨාභය මහතාගේ පැත්තෙන් අනිවාර්ය කාරණයක් වන්නේ ඒ නිසාය. එජාපයේ ආර්ථික වැඩපිළිවෙළ - එජාපයේ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ එජාපයේ විදේශ පිළිවෙත වැනි අංශ කීපයකින්ම ගෝඨාභය මහතා ආණ්ඩුවේ අපේක්ෂකයා වෙතින් වෙනස් විය යුතු බව මගේ මතයය.

දැන් මේ ප්‍රධාන ස්ථානගතවීම් දෙක මත පිහිටමින් සිදුකරන පළල් දේශපාලන සංවාදයක් හරහා සිදු කරන ප්‍රතිපත්ති සංවාදයක් මේ ජනාධිපතිවරණ  දේශපාලනයේ පදනම බවට පත්විය යුතු බව මගේ අදහසයි. එසේ නොවෙමින් හුදු පැරණි කතාවලින් වැසී ගිය මඩ ගොහොරුවක් බවට මේ දේශපාලන තත්ත්වය හරවා ගැනීම මගින් සිදුවන්නේ මීළඟ දේශපාලන වෙනස පිළිබඳව සමාජයේ සිදුවිය යුතු සාකච්ඡාව අප තුළින් ගිලිහී යාමය. එසේම රටේ ජනතාවගේ ඡන්ද බලය උරගා බැලීම ඒ අයගේ අවධානයට යොමු කළ යුතු බොහෝ මාතෘකා මගහැරී යාමය.

මඩින් නොව ගොඩින් දේශපාලනය කළ යුතු යැයි කියන්නේ මේ තත්ත්වය පරාජයට පත්කරමින් කරුණුමය වූ දේශපාලනයක් ගොඩනැගීම සඳහාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්