IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පූජිතටත් හිටපු පොලිස්පති ආනන්දරාජාගේ ඉරණම අත්වේද

තරිඳු ජයවර්ධන

‘මට මේක ඔටුන්නක් නෙවෙයි මහත්වරුනි, කරනවා නම් කරනවා, නැතිනම් යනවා.‘ මේ ප්‍රකාශය අන් කවරකුගේවත් නොව පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ය. ඔහු ඒ ප්‍රකාශය කළේ පොලිස්පති ධුරයේ වැඩ බාරගත් දිනයේදීය.

පොලිස්පති ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසු ජයසුන්දර මහතා කතා බහට ලක්වූ අවස්ථා කිහිපයක්ම විය. ‘නිලමේ‘ කෙනෙකු අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රසිද්ධියේම දුරකතනයෙන්  ‘සර්‘ කෙනෙකුට උපදෙස් දුන්නේය.  නීතිය නමන ආකාරයද ප්‍රසිද්ධියේ කිව්වේය. දැන් යළිත් වරක් වීඩියෝවක් සාමජ ජාලා අතරේ යයි. එහි දැක්වෙන්නේ පොලිස්පතිවරයා විසින් පුද්ගලයකුගේ කොළරයෙන් අදින ආකාරයත් ඔහුට බැණ වදින ආකාරයත්ය. තවත් තැනකදී ඇඟිල්ල දිගු කර කාන්තාවකට මොනවාදෝ කියනවා දක්නට තිබේ.

පොලිස්පතිවරුන් සම්බන්ධ වඩාත් කතාබහට ලක්වන වීඩියෝ ‘ලීක්‘ වූ පළමු අවස්ථාව මෙයෙ නොවේ.

ඒ 2003 වර්ෂයයි. එවකට ජනාධිපතිනිය ලෙස සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. අගමැතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය. ආණ්ඩු කළේ එක්සත් ජාතික පක්ෂයයි. පොලිසිය භාර ඇමැතිවරයා වූයේ ජෝන් අමරතුංග මහතාය. පොලිස්පති ලෙස ටී ඉ ආනන්ද රාජා මහතා කටයුතු කරද්දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ පූජිත් ජයසුන්දර මහතාය. 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් හෙරොයින් සම්බන්ධ සැකකරුවකුගේ නිවසක් පරීක්ෂා කළේය. ඒ දිනවල මාධ්‍ය වාර්තා කළේ ඔහු කුඩු රජු බවයි. කුඩු රජුගේ නිවසේ තිබී වීඩියෝ පට කිහිපයක්ද පොලිස් භාරයට ගනු ලැබීය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාරයට ගැනුණු වීඩියෝ පට මාධ්‍යයට ‘ලීක්‘ විය. කතාව පැතිර ගියේ පොලිස්පති කුඩු රජාගේ සාදයකට ගොස් ඇති බවයි.

චෝදනා එල්ල වීමත් සමඟ එවකට පොලිසිය භාර ඇමැති ජෝන් අමරතුංග මහතා හදිසි මාධ්‍ය හමුවක් කැඳවීය. එම මාධ්‍ය හමුවට චෝදනා එල්ල වූ පොලිස්පති ආනන්ද රාජා මහතාද සහභාගීකරවා ගත්තේය. කොළඹ තරු පන්තියේ  හෝටලයක පැවැති එම සාදයට තමා ගියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුව සිටියදී හිතවතකුගේ ඇරයුමට බවත්, එය සංවිධානය කළේ කුඩු ජාවාරම්කරුවකු බව දැන නොසිටි බවත්, ඔහු සමඟ කිසිදු සම්බන්ධයක් නැති බවත් පොලිස්පති කීවේය.   කෙසේවෙතත් එම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට බාර දුන් බව ඇමැති ජෝන් කීවේය.

එම වීඩියෝව පිටවූයේ කෙසේදැයි සොයා බැලීම වෙනුවට එම වීඩියෝවෙන් කියන කාරණය ගැන සොයා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස ආනන්දරාජා මහතාට සේවා දිගුවක් ලැබීමට තිබූ අවස්ථාව ද අහිමි වී හදිසියේම විශ්‍රාම ගැනීම සිදු විය. වීඩියෝව ‘ලීක්‘ වූයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් වුවත් එහි අධ්‍යක්ෂව සිටි පූජිත් ජයසුන්දර මහතාට   ගැටලූවක් සිදුවූයේ නැත. ඒ වඩා වැදගත් වන්නේ වීඩියෝව පිටවූ ආකාරයක් සෙවීම නොව වීඩියෝවෙන් කියන කාරණය ගැන සෙවීම නිසාය.

ඒ එදා කතාවකි. එදා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පූජිත ජයසුන්දර මහතා අද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය. පොලිස්පතිවරයාය. එදා ජනාධිපතිවරයා වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වුවත් අද ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනුයේ  ලක්ෂ 62ක මහජන ඡන්දයෙන් තේරී පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාය. අද ආණ්ඩු කරන්නේ එදා ආණ්ඩු කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවයි. එකම වෙනස මේ ආණ්ඩුව ‘යහපාලන‘ මුහුණුවරක්  ගන්නා බව කීමයි.

රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මෛත්‍රී රනිල් ආණ්ඩුව යටතේ ද පොලිස්පති ලෙස කටයුතු කළ එන් කේ ඉලංගකෝන් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2016 අප්‍රේල් මාසයේ දී පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබුයේ ව්‍යවස්ථා දායක කමිටුවේ නිදේශය අනුවය. ඒ වන විට ඔහු පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වය අනුව දෙවැනියා විය. ප්‍රථමයා වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතාය. කෙසේ වෙතත් අප්‍රේල් 20 වැනි දා පූජිත් ජයසුන්දර මහතා වැඩ බාර ගත්තේය. ‘මට මේක ඔටුන්නක් නෙවෙයි මහත්වරුනි, කරනවා නම් කරනවා, නැතිනම් යනවා.‘ යනුවෙන් ඔහු ප්‍රථම මාධ්‍යහමුවේදී කීවේය.

 පොලිස්පති ලෙස වැඩ බාර ගැනීමෙන් පසු එක්තරා අවස්ථාවක ජයසුන්දර මහතා ‘ඔබට නීතිය කඩන්න බෑ, හැබැයි නීතිය නැමුවහැකියි. අපි නමාගෙන යං නීතිය.‘ යනුවෙන් ප්‍රකාශයක් කළ අතර එම ප්‍රකාශයට නීති ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි විවේචන එල්ල විය.

පසුගිය පෙබරවාරි මස 15 වැනි දා පොලිසියේ උසස් නිලධාරීන් හට විශේෂ රැස්වීමක් පැවැත්වි‚. එහි දි ප්‍රකාශයක් කර ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා ඇත්තේ වැඩ රාජකාරි අතපසුවීම වළක්වා ගැනීම සඳහා උදෑසන මිනිත්තු කිහිපයක් ආනාපානසති සහ මෛත්‍රී භාවනාව වැඩීමට උපදෙස් දෙන ලෙසයි.  ඉන් පසු උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු භාවනා කරන ලෙස පහළ නිලධාරීන්ට දැනුම් දෙන්නැයි සහකාර පොලිස් අධිකාරීවරුන් හරහා උපදෙස් දී තිබිණි. තවත් සමහරු එය තඹ සතේකට ගනන් ගත්තේ නැත.

ඉන් සතියකට පමණ පසු එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ සහභාගීත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් පැවැත්වි‚. එම අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ පොලිස්පති එවැනි නියෝගයක් දී නැති බවයි. එය සම්පූර්ණ බොරු කතාවක් බව ඔහු කීවේය.

කෙසේ වෙතත් ඉන් අනතුරව  2017 අප්‍රේල් මස 17  වැනිදා   ‘සියලූම පොලිස් ස්ථාන / පොලිස් කාර්යාලය වල දෛනික රාජකාරි කටයුතු ආරම්භ කිරීම‘ මැයෙන්  සියලූ පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් යැවීය. එහි අංක තුන යටතේ සඳහන් කර ඇත්තේ සියලූම නිලධාරීන් තමන්ගේ ආගමික ලබ්ධියන් අනුව දෛනික වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර විනාඩි 15ක කාලයක් මානසික ඒකාග්‍රතාවයක් මූලික කොටගත් මානසික ව්‍යයායාමයක නිරත වීම ගැනයි.

එම චක්‍රලේඛයේ තුන් වැනි වගන්තියේ දක්වා ඇත්තේ මිනිත්තු පහළොවක කාලයක් භාවනාවක යෙදිය යුතු බවයි. එහි රෝම  ඉලක්කම් දෙක යටතේ පොලිස්පතිවරයා යෝජනා කර ඇති ක්‍රමවේදය මෙසේය.

පළමු විනාඩි තුනේ දී අරමුණ පැහැදිලි කර ගැනීම ද, ඊළඟ විනාඩි පහේදී මෛත්‍රී භාවනාව ද, ඊළඟ විනාඩි පහේදී ආනා පානා සති භාවනාව ද අවසන් මිනිත්තු දෙකේදී පසු විපරම මෙනෙහි කිරීම ද යෝජනා කර තිබේ.  එම චක්‍රලේඛයේ රෝම ඉලක්කම් තුන යටතේ දක්වා ඇත්තේ මෙම වැඩසටහන සිදු කරනු ලබන අවස්ථාවන්හිදී සෑම තරාතිරමකම නිලධාරීන් එයට සහභාගී වි යුතු බවයි. තමන් විශ්වාස කරනු ලබන ලබ්ධියන්ට අනුව සුදුසු භාවනා ක්‍රම අනුගමනය කිරීම සුදුසු බව ද චක්‍රලේඛයේ ස`දහන්ය.

පසුගිය අප්‍රේල් මාසයේ දී චක්‍රලේඛ ප්‍රකාරව භාවනා කරනවාදැයි සොයා බැලීමට පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ සංචාරය කර ඇති අතර පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු භාවනා නොකළැයි ඔහුට තර්ජනය කළ බව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලූඩවයික් නම් බෞද්ධ නොවන නිලධාරියාට බැණ වැදුණු බව ඒ කාලයේ වෙබ් අඩවි වාර්තා කළේය. බැණ වැදීමෙන් පසු ලූඩවයිට් මහතා ක්ලාන්ත ගතිය සෑදී ඇතැයි ද කියැවිණි. 

ඉන් අනතුරුව වෙබ් අඩවියක් පසුගිය 13 වැනි දා පොලිස් මූලස්ථානයේ අප්‍රේල් මාසයේ සිදුවීමට අදාළව වීඩියෝවක් කරනු ලැබීය. එහි දැක්වෙන්නේ  විදුලි සෝපානයක සිටින පුද්ගලයකුගේ   කොළරයෙන් අල්ලමින් පොලිස්පතිවරයා ඔහු පිටුපසට තල්ලූ කරන ආකාරය සහ යළි කොළරයෙන් ඉදිරියට අදින ආකාරයයි. ඉන් පසු ඇඟිල්ල දිගු කර යමක් කියා යළි ඔහුට පහර දීමට සේ අත ඔසවන ආකාරයද වීඩියෝවේ දැක්වේ. අනතුරුව රහස් පොලිසියට පිවිසෙන ස්ථානයේ කවුන්ටරයේ සිටින පිරිසට ඇඟිල්ල දිගු කර යමක් ප්‍රකාශ කරන අයුරු දැක්වේය.

පොලිස්පති යනු ශ්‍රී ලංකා පොලිසියේ ඉහළම තනතුර වන අතර එය ගෞරවනීය තනතුරකි. භාවනාව යනු ආගමික කාණයක් වන අතර කිසිදු ආගමක් අදහන්නේ නැති පිරිස් ද පොලිසියේම සිටිති. බෞද්ධ දර්ශනය අනුවද භාවනාව අනිවර්ය කර නැත. එය අගමික කාරණයක් නිසාත්, ආගමක් ඇදහීම හෝ නොඇදහීම ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත මත සිදුවිය යුතු නිසාත් ඒ ගැන චක්‍රලේඛ නිකුත් කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බව නීති විශාරදයෝ කියති.

අනිත් කාරණය පොලිස්පති තනතුර වැනි ඉහළ තනතුරක් හොබවන  උසස් පොලිස් නිලධාරියකු ආදර්ශයවත් ලෙස හැසිරිය යුතු බව පොදු පිළිගැනීමයි. ‘මට ගැහුවේ නෑ... ඒක පොඩි දෙයක්.. මොනවා වුණත් අපේ පොලිස්පතිතුමානේ... මටත් ඒ වෙලාවේ භාවනා කරන්න අමතක වුණා...‘ යැයි ඇතැම් විට දැන් විදුලිසෝපාන ක්‍රියාකරු කියන්නට ඉඩ තිබේ. ඔහු කුමක් කීවත් පොලිස්පතිගේ හැසිරීම ප්‍රශ්නකාරී බව පොලිසියේම වැඩි දෙනෙක් පිළිගනී. 

පොලිස්පතිවරයා එදා ගියේ භාවනා කරනවාදැයි සොයා බැලීමට බවත්, එතැන යම් සිදුවීමක් සිදුවූ බවත් පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිගත්තේය. ආගමික කාරණයක් සම්බන්ධයෙන් චක්‍රලේඛ පැනවීම ප්‍රශ්නයක් බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කීවේය. භාවනාව ගැන සොයා බැලීමට යන පොලිස්පතිවරයා මෙලෙස හැසිරීම ගැන මාධ්‍යවේදීහු දිගින් දිගටම ප්‍රශ්න කළහ.

වද හිංසා කිරීම ගැන පොලිසියට චෝදනා එල්ලවන මොහොතක පොලිස්පතිගේ මේ හැසිරීම නිසා එම චෝදනා සනාථ නොවන්නේදැයි කැබිනට් මාධ්‍ය හමුවේදී නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේ පොලිස්පතිගේ හැසිරීමත් සමඟ එම චෝදනාව ගැන ගැටලූවක් පැන නගින බවයි.

 නීතිඥයන් කියනුයේ මෙය පොලිස්පතිවරයා නීතිය නැවීමක් නොව නීතිය කැඩීමක් බවයි.

2003 දී වීඩියෝ පටය ‘ලීක්‘ වූ විට ආනන්දරාජා මහතා මාධ්‍ය ඉදිරියට පැමිණ කරුණු කීවේය. පොලිසිය භාර ඇමැතිවරයා මෙන්ම නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාද මාධ්‍ය ඉදිරියට පැමිණ කරුණු කීහ. නමුත් මෙම සිදුවීමේදී වත්මන් පොලිස්පතිවරයා හෝ නීතිය හා සාමය ඇමැතිවරයා හෝ අමාත්‍යංශ ලේකම්වරයා හෝ ලිපිය ලියන මොහොත වන තෙක් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නැත.  රවී කරුණානායක මහතා මෙන්ම පූජිත් ජයසුන්දර මහතා ද ඉල්ලා අස්වේද එසේත් නැතිනම් පාර්ලිමේන්තුවෙන් හෝ ආණ්ඩුවෙන් ඔහු ගැන ක්‍රියාමාර්ගයක් ගනීද නැතහොත් කිසිවක් සිදු නොවූවා සේ සිටීවිදැයි ජනතාව බලා සිටිති.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පිළිතුරට අවස්ථාව ලබා දීම ස`දහා ඒ මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඔහුගේ රාජකාරි ජංගම දුරකතන අංකයට ඇමතුම් ගත් විට එක් අවස්ථාවකදී ඊට පුළිතුරු දුන් පුද්ගලයකු කීවේ පොලිස්පතිවරයා උත්සවයකට සහභාගී වී සිටින බවයි. ඉන් පසු අවස්ථා කිහිපයකදීම රාජකාරි ජංගම දුරකතන අංකයට ගත්තත් ප්‍රතිචාරයක් නොලැබිණි.

මේ සම්බන්ධයෙන් විමසීමට නීතිය හා සාමනය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී විෙජ්වීර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ද අසාර්ථක විය.

(සිදුවීම සම්බන්ධයෙන් පොලිසියෙන්  ප්‍රතිචාරයක් ලබා ගත නොහැකි වූ අතර පහත දැක්වෙන්නේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා දුන් පිළිතුරය)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර -  සෑම පොලිස් නිලධාරියකුටම චක්‍රලේඛයක් මගින් දැනුම් දීලා තියෙනවා ජාතික ගීය, පොලිස් ගීතය ගායනා කිරීමෙන් අනතුරුව මානසික ඒකාග්‍රතාව සඳහා යම් ව්‍යායාමයක් කළ යුතුයි කියලා. මහජනතාවට සේවය කරද්දි පොලිස් නිලදාරීන්ගේ මනස නිරවුල්ව තියෙන්න ඕනා. ආගමානුකූලව ජීවත් වෙද්දි පොලිස නිලධාරින්ගෙන් වෙන වැරදි අවම වෙනවා. මේ නිසා තමයි

මේ කාරණාව පොලිස් මූලස්ථානයේ හරියට වෙනවද බලන්න සමහර දවස්වලට පොලිස්පතිතුමාම යනවා. සමහර දවස්වලට වෙනත් නියෝජිතයෙක් යවනවා.  මේ සිද්ධියෙදි එකක් තමයි පහර දීමක් වෙලා නෑ.

මාධ්‍යවේදියෙක් - පහර දෙන්නේ නැත්නම් ඒ කොලර් එක හදනවද?

මාධ්‍ය ප්‍රකාශක - නෑ. බැණ වැදීමක් කරනවා. පහරදීමක් කරන්නේ නෑ.

මාධ්‍යවේදියෙක් - කොලර් එකෙන් අදිනවා නේද?

මාධ්‍ය ප්‍රකාශක - කොලර් එකෙන් අදින්නේ නෑ. ඒක හරියට බලන්න. ඊළඟ කාරණය දූෂණය කිරීමක් සම්බන්ධයෙන් කාරණයක් යනවා. ඒක සම්පූර්ණ අසත්‍යයක්.

මාධ්‍යවේදියෙක් - පොලිස් නිලධාරීන්ගේ මානසික ඒකාග්‍රතාව  ඇති කරන්නයි භාවනා කරන්නේ කියනවා. පොලිස්පතිතුමාගේ මානසික ඒකාග්‍රතාවය බිඳෙනවද?

මාධ්‍ය ප්‍රකාශක - ඒ විඩියෝවේ යම් අපහාසාත්මක බවක් තිබෙනවා. පොලිසියේ නීතීඥවරුන් මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය ගැන සාකච්ඡා කරනවා. නිලධාරිනියක්  අපයෝජනය කිරීමක් ගැන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක්. වීඩියෝවත් එක්ක අසත්‍යක් තමයි විකාශය වෙන්නේ.

මාධ්‍යවේදියෙක් - පොලිස්පති එහෙම ප්‍රකාශයක් කරලා නෑ කියලා ඔබ කියන්නේ පරීක්ෂණයක් කරලද?

මාධ්‍ය ප්‍රකාශක - අපේ පොලිස් නීතීඥ සංගමය පරීක්ෂා කරගෙන යනවා.නීතිපතිගේ උපදෙසුත් අරගෙන ඉදිරි සිවිල් අධිකරණ කටයුතුවලට යන්නයි අදහස් කරන්නේ.

මාධ්‍යවේදියෙක් - ඔබ කියන්නේ නිලධාරිනියගේ කතාව. එතකොට ඒ විඩියෝවේ තවත් පුද්ගලයකුගේ කොලරයෙන් අදිනවා. ඒ ගැන මොකද කියන්නේ.

මාධ්‍ය ප්‍රකාශක - ඔහු ඒ වෙලාවේ ලිෆ්ට් ඔපරේටර්. ඒ වෙලාවේ පොලිස් මූලස්ථානයේ කවුරුත් යන්නේ නෑ.

මාධයවේදියෙක් - ලිෆ්ට් ඔපරේටරුත් එය නවතා ඒ වෙලාවේ භාවනා කළ යුතුද?

මාධ්‍ය ප්‍රකාශක - ඔව් අනිවාර්යෙන්ම.

මාධ්‍යවේදියෙක් - පොලිස් ප්‍රධානියා තර්ජනය කිරීම වරදක් නෙමෙයිද?

මාධ්‍ය ප්‍රකාශක - ඒක තමයි මම කිව්වේ. අපි බලමු.

මාධ්‍යවේදියෙක් - ඒ නිලධාරියා චක්‍රලේඛය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වුවද?

මාධ්‍ය ප්‍රකාශක - විනය පරීක්ෂණ පැවැත්වීම ආයතන ප්‍රධානියාගේ අභිමතයනේ.

මාධ්‍යවේදියෙක් - ආගමක් අදහන්නේ නැති පොලිස් නිලධාරීනුත් ඉන්නවා. ආගමික කාරණයක් සම්බන්ධයෙන් චක්‍රලේඛ නිකුත් කිරීම හරිද?

මාධ්‍ය ප්‍රකාශක - (පිළිතුරක් නැත)

මාධ්‍යවේදියෙක් - අපි ප්‍රවෘත්තියක් ගන්න උදේට ඔබේ කාර්යාලයට කතා කළාමත් කියනවා භාවනා කර ගනම් කියලා. ?

මාධ්‍ය ප්‍රකාශක - වැරදි කතාවක්. පොලිසියක පැමිණිලි ලියන්න ඉන්න නිලධාරියා ඒ වෙලාවේ භාවනා කරන්නේ නෑ.  මාධ්‍ය මෙහෙයුම් ඒකකයේ දෙන්නෙක් ඉන්නවා. ඔවුන් ඒ වෙලාවේ  භාවනා කරන්නේ නෑ.

මාධ්‍යවේදියෙක් -  ආගමික කාරණයක් සම්බන්ධයෙන් චක්‍රලේඛ නිකුත් කිරීම හරිද?

මාධ්‍ය ප්‍රකාශක - (පිළිතුරක් නැත)

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා - 

‘පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ හැකියාවක් ජාතික පොලිස් කොමිෂන් සභාවට නැහැ. අපට බලය තිඛෙන්නේ පොලිස්පතිගෙන් පහළ නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් සොයා බලන්නයි. පොලිස්පති පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ පරිදි ජනාධිපති විසින්. අපේ බල සීමාවට නොවැටෙන නිසා එම වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නේ නැහැ.‘



අදහස් (17)

පූජිතටත් හිටපු පොලිස්පති ආනන්දරාජාගේ ඉරණම අත්වේද

raveendra Friday, 18 August 2017 03:55 PM

ඔව් ඉතින් මෙ හැමොටම කන්න බොන්න ගමන්බිමන් යන්න, රට සවාරි යන්න, අධි සුඛෝපබොගී වාහනය උජාරුවට එහෙ මෙහෙ යන්න එන්න සල්ලි දෙන්නේ මම, ඔබ, අපි නොවැ.

:       0       191

Arnold Friday, 18 August 2017 05:33 PM

ඉතින් ඒ වෙලාවේ පොලිස්පති තුමත් භාවනා කරලා නැ නේද ?

:       24       146

samFriday, 18 August 2017 09:54 PM

ආර්නෝල්ඩ්, මේ පොලොස්පති තුමා ""ඕවා දෙනු පරහට "" තමා සම්මතෙහි පිහිටා සිට "" කියන ආප්තෝපදේශය අහලාවත් නැති කෙනෙක් වගයි පෙනෙන්නේ .

:       0       98

bamunu Saturday, 19 August 2017 01:54 AM

පටන් ගන්න කොටම කයිය ගහන බොහෝදෙනා වැඩිකල් යන්න කලින් කෙලවා ගන්නවා.

:       0       126

nimallalitha Saturday, 19 August 2017 02:49 AM

හිතවතුන්,බලවතුන් රක ගැනීමේ විහිලු කතා.

:       0       12

rahul Saturday, 19 August 2017 04:03 AM

මෙතුමා පොලිස් සේවයේ මෙච්චර උඩට ආවේ භාවනා කරලාම වෙන්න ඇති. චම්පික රණවකත් ඔය නිර්දේශය දෙන කමිටුවේ සිටියනේ. ඒ කාලේ ඔහුගේ ප්‍රශ්නෙකුත් විමර්ශනය කරේ අපේ පොලිස්පතිතුමා යටතේ. ඔක්කොම භාවනා කරන්න ඇති.

:       0       144

Sampath Saturday, 19 August 2017 05:17 AM

"ආගමක් සහ නීතියක් නැතිනම් මිනිසා අදටත් වනචාරියෙකි". ඕනෙම රටක නීති සම්පාදනය වී ඇත්තේ එම රටේ ප්‍රධාන ආගමට අනුකුලවය. සත්‍ය වශයෙන්ම නීතිය ලෙස ක්‍රියාත්මක වන්නේද ආගමක් තුල ඇති කල යුතු සහ නොකළයුතු කරුණුමය. එසේනම් ආගමක් විශ්වාස නොකරන්නෙකු නීතිය රකී යයි විශ්වාස කල හැක්කේ කෙසේද? ආගමක් ධර්මක් නැති හා ආගම නමට පමණක් අදහන නිලධාරීන් පොලීසිය තුල සිටීමෙන් මුලු පොලීසියටම නින්දා විදීමට සිදුවන අවස්ථා අප කොතෙකුත් දැක ඇත්තෙමුද? අතීත අවස්ථාවන් වල පොලිස්පතිතුමන්ගේ යම් වැරදි දැක තිබුනද, පොලීසිය තුල යම් ධනාත්මක වෙනසක් ඇතිකිරීමට ගත් මෙම උත්සාහය අගය කරමි. (රැකියාවෙන් පහ නොකොට කොලරයෙන් අල්ලා හෝ සත් ක්‍රියාවක් කරවීමට වෙර දැරීම අගය කරමි)

:       947       847

රජින්ද Saturday, 19 August 2017 05:31 AM

මේ රට තනිකරම අවුලෙන් අවුලට යන රටක් වෙලා. රටේ සියලුම අමාත්‍යංශ සහ සේවා අයාලේ යනවා. හොයන්න කෙනෙක් නැහැ. පොලීසිය රට වටේ බන දේශනා කර කර සියලු දුසිරිත් සමග ඔවුන්ගේ ගමන යනවා. හැමෝම හිතුමතේ වැඩ කරනවා. මෙහෙම ගියොත් අපේ රට අරාජික නොවේ යයි කාට කිවහැකිද.

:       3       165

Asanka Saturday, 19 August 2017 06:11 AM

ගහල බැනල හරි මේ හදන්නේ ඉක්මනින් නිර්වාන මාර්ගයට තමන්ගේ දෙපාර්තමේන්තුවේ සේවකයන් යොමුකරන්න සම්මා සංකප්ප සම්මා සති සම්මා සමාධි මේ සේරම ඇති පොලිසියක් විශිෂ්ටයි නොවේද , හැදිච්ච පොලිසියකින් ලැබෙන සේවයත් හැදිච්ච එකක් ,මේවා තමයි වෙන්න ඕන රට හැදෙන්නනම් විශිෂ්ටයි පොලිස්පතිතුමනි

:       257       311

kumar (galf) Saturday, 19 August 2017 01:47 PM

ලස්සනට පිට පොත්ත නිල ඇඳුමෙන් සැරසුණ, නීතියේ හා ජන ආරක්ෂාවේ සොහොන් කොත් තමා අපි මේ දකින්නේ.

:       0       44

nimal rajapaksha Saturday, 19 August 2017 04:41 PM

කන්ද උඩරටින් බිහිඋන පොලිස් පතිගැන එදා අපි සතුටු උනා උඩරැටියන් හැටියට , නමුත් අද ????????

:       59       40

upasena Sunday, 20 August 2017 04:54 AM

ඔවා ඔක්කොම ශෙෆ් වෙවී .

:       8       106

Rodny Sunday, 20 August 2017 12:02 PM

ආගම මිනිසෙකු හොඳ අයෙකු කරන්නේ නැත. ගුණවත් කම් පමණකි... මිනිසකු ගුණවත් කරන්නේ...

:       1       36

aravinda Sunday, 20 August 2017 11:57 PM

අපේ මිනිසුන්ට සුදුව, බීමත්කම, හොරකම, බොරු කීම වැනි නරක දේට කිසි කෙනෙකුගේ බලපෑමකින් තොරව පහසුවෙන්ම ඇබ්බැහි විය හැකි නමුත්, භාවනාව වැනි යහපත් දෙයක් පුහුණුවීමට බල කිරීමක් අවශ්‍යයි. එම නිසා මම සිතන්නේ, මෙහිදී පොලිස්පති ක්‍රියා කල ආකාරය නිවැරදි කියයි.

:       0       52

Deepal Nirosh Monday, 21 August 2017 04:37 AM

තමා කැමති ආගමක් ඇදහීම මානව අයිතිවාසිකමක්. මෙහෙව් චක්‍ර ලේඛනයක් නිකුත් කරා නම් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. මේ භාවනාව තව දුර දිග යන්න කලින් මේ පොලිස්පති විශ්‍රාම ගැන්නුවා නම් ඒක පොලිසියටත් රටටත් රජයටත් යහපතක් වේවි.

:       35       85

B.D.S. wijewardana Wednesday, 23 August 2017 03:01 AM

පොලිසිය විනය අනුව පාලනය වන ආයතනයක්... හරිද? වැරැදිද? යන්න සොයාබැලිය යුතුයි. නායකයාට අවනත වීම පොලිස් සාමාජිකයන්ගේ යුතුකමක්...

:       0       0

rohan dayadara Friday, 15 September 2017 08:21 AM

ආනන්දරාජා ගේ කාරණාවයි.. මේ කාරණාවයි.. අහසත් .. පොළොවත් දෙකටම වඩා දුර කාරණාවක්... මේ දෙක කොහෙත්ම සමාන කරනවා තියා හිතන්නවත් බෑ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 243 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 211 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 58 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 300 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 260 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site