ශ්‍රී ලංකාවේ දේශපාලනය පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ පා තිබේ. විධායකයේ තීරණ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්ව ඇත. උත්තරීතර පාර්ලිමේන්තුවේ කටයුතු අධිකරණයේ අභියෝගයට ලක්ව තිබේ. අධිකරණයේ තීන්දු තීරණ දෙස ජනතාව පුදුමයෙන් බලා සිටී. මෙය පෙර නොවූ විරූ තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය හිමි පුරවැසියන් විශාල අවුල් ජාලයක බව සඳහන් කළ යුතුය.

ජන සමාජයේ පවතින බෙදීම් ඉතාම බරපතළ බව මෙම ස්වභාවය අඟවයි. මූලික වශයෙන් ජාති, ආගම්, කුල හා දේශපාලන වශයෙන් රට බෙදී තිබුණි. එම ස්ථරවලට යටින් රදල පැලැන්ති ගැටලුවක් පැවැතිණ. එය එපමණ දරුණු සේ මතු වූයේ නැත. අදෘෂ්‍යමානව පැවැති අතර එළිපිට කතා කළේ නැත. එය බලවත් වූයේ කෙසේද? ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනය, රට තුළ තීන්දු ගැනීමේ ව්‍යුහයට එයින් පසු ඇතිවූ බලපෑම, ජන පදනම තේරුම් නොගැනීම හා සාම්ප්‍රදායික සංස්කෘතික අනන්‍යතාවලට එල්ල වූ ප්‍රහාර ඇතුළු අංශ පැලැන්ති ප්‍රශ්නය මතු පිටට කැඳවා තිබේ. අද වනවිට සමාජයේ ප්‍රධාන බෙදුම් රේඛාවක තැනට පමුණුවන්නට සමත්ව ඇත.
රදල පාලනය බිහිවූයේ කොහොමද?

පැලැන්ති ප්‍රශ්නයේ පසුබිම අවබෝධ කරගැනීම වැදගත්ය. 1931 සිට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය සම්බන්ධයෙන් අත්දැකීම් තිබේ. ක්‍රමය නිර්මාණය කළෝ බ්‍රිතාන්‍ය  ජාතිකයෝය. ව්‍යවස්ථාවක් සකස් කර සර්වජන ඡන්ද බලය පැවරිණ. තෝරාගත් ජන කොටසකට ඡන්ද අයිතිය දුන් යටත් විජිත පාලකයෝ රටේ පාලනය තෝරාගත් පැලැන්තියකට භාර කළහ. එම පැලැන්තිය යටත් විජිත කාලයේ කටයුතු කර, ඔවුන්ගේ අධ්‍යාපනය හා දර්ශනය අනුව බිහිවූ පරම්පරාවකි. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ සෑම රටකම සිදුවූයේ එයයි. සමහර රටවල නායකයෝ දක්ෂ ලෙස ව්‍යුහය වෙනස් කළහ. අප්‍රිකානු ඇතුළු සමහර රටවල් විනාශ විය. පාලනය භාරගත් ලංකාවේ නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන යුතුකම අමතක කළෝය. පැතිරුණ විහිදී ගිය ජන සහභාගීත්වයෙන් යුතු පුළුල් පාලන යුගයක් වෙනුවට ඉංග්‍රීසියෙන් හිතන, ඉංග්‍රීසියෙන් කතා කරන කුඩා සමාජ කණ්ඩායමක් බලය අතට ගත්තේය. සමාජයේ වරප්‍රසාද නොලත් පැලැන්තිය යටපත් කිරීම හිතාමතා නොකළ බව හිතන්නට බැරිකමක් නැත.

එහෙත් දශක අටකට පමණ කලින් පාලනය භාර ගත් රදල පැලැන්තිය අද වනවිට සිය අවසාන සංග්‍රාමයට මුහුණ දී ඇති බව පෙනේ. ඩී.එස්, ඩඞ්ලි, කොතලාවල, ජේ.ආර්. සහ බණ්ඩාරනායක රදල පැලැන්තියේ නායකයෝය. පනස් හයේ විප්ලවය බණ්ඩාරනායකගේ නමුත් ඔහු නියෝජනය කළේ ද රදල පැලැන්තියේ අපේක්ෂාය. අලුත් දර්ශනයක් එනම් පංච මහා බලවේගය ගොඩනඟන බව මතුපිටින් පෙන්වන ලද නමුත් අභ්‍යන්තරය එකම පන්තියේ නියෝජනයකි. ක්‍රමය වෙනස් වූයේ නැත. සාමාන්‍ය පන්තියේ අපේක්ෂා භංගත්වය නරක පැත්තට හැරිණි. දේශපාලන ඝාතනයකින් කෙළවර විය. එවකට පැවැති වාමාංශික, නිර්ධනවාදී දේශපාලනය ද එක්තරා ආකාරයකට රදල එකකි. ඇන්.ඇම්., කේනමන්, කොල්වින් ඇතුළු වාමාංශික නායකයන් අදහස් අතින් වම නියෝජනය කළ ද මුල් විහිදී තිබුණේ රදල පැත්තටය. මෙම නායකයෝ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන වකවානුවේ එකල එහි පැවැති කම්කරු අරගලවලින් පෝෂණය වී මවුබිමට පැමිණි අතර ඔවුන් බිහිකළ වාමංශික හෝ කොමියුනිස්ට් දේශපාලන පක්ෂ මෙරට අනන්‍යතාවට විශාල මෙහෙවරක් කරන්නට අසමත් විය. ජනතා විමුක්ති පෙරමුණ බිහිවන තෙක් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ එකම පැලැන්තියේ, එකම රදල කඳවුරේ ඒවා බව සඳහන් කළ යුතුය.

පන්ති ගැටුම කැරැලිවලින් එළියට

සමාජයේ පහළ ස්ථරයේ ජන කොටස්වල හැඟීම් තේරුම් ගැනීමට රදල පාලකයෝ සමත් නොවූහ. ධනපතියන් භංගවේවා කියන ජනයාගේ හැබෑ පීඩනය තේරුම් නොගත්හ. ඉහළ පැලැන්තියේ පාලකයන් හා වාමාංශික බලවේග ක්‍රියා කළේ එකම රදල පසුබිමක් සහිතවය. එයට එරෙහිව ගිය කුලය, දුප්පත්කම, සමාජයේ පිළිගැනීම ගැන තිබුණ ප්‍රශ්න පුපුරන්නේ දරුණු භීෂණයක් සහිත කැරලිවලින්ය. 1971 කැරැල්ල එයින් ප්‍රමුඛය. ආණ්ඩුව පෙරළා දමා ජනතාවාදී ව්‍යුහයක් ගොඩනගන්නට කැරලිකරුවන්ට වුවමනා වූ අතර, පනස් හයේ විප්ලවය හෝ වාමාංශික ක්‍රමය රදල ව්‍යුහයට විකල්පය නොවන බව සමාජයේ එක්තරා කොටසකට සාක්ෂාත් වී තිබුණි. හැත්තෑ එකේ කැරැල්ල මර්දනය කරන ලද අතර එය හට ගැනීමට හේතු වූ පසුබිම මැනැවින් ගවේෂණය කළේ නැත. නැවත වතාවක් 1987 දී දෙවන කැරැල්ලකට එය පදනම වූ අතර දකුණේ පීඩනයට සමාන හෝ එයට වඩා වෙනස් මුහුණුවරක් ගත් උතුරේ පහළ ස්ථරයේ ජන කොටස මුහුණ දුන් පීඩනය පුපුරාගියේ භයානක ත්‍රස්තවාදයක ආකාරයෙනි. තත්ත්වය තේරුම් ගෙන දකුණ හා උතුර ඉල්ලන සමාජ විසඳුම ගැන සාකච්ඡා කර පොදු විසඳුමක් නිර්මාණය කළ යුතුව තිබුණ නමුත් අවසානයේ දී මෙම කැරලි මර්දනය කරනු හැර වෙනත් උත්තරයක් නොතිබිණ.

තරුණ අසහන කොමිසමේ නිර්දේශ

ආපසු හැරී බලන විට මෙරට රදල පැලැන්තියේ පාලකයන්ගේ තට්ටු මාරු දේශපාලනයට අභියෝග කළ නායකයෝ දෙදෙනෙකි. දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස එයින් පළමුවැන්නා විය. සමාජයේ පීඩිත පැලැන්තිය ගැන විශාල කැක්කුමක් ඔහුට තිබුණි. දෙවැන්නා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව දැක්විය යුතුය. මෙම ජන නායකයන් දෙදෙනා විධායක ජනාධිපතිවරුන් සේ බලයට පත් වූ අතර එය පහසු ගමනක් වූයේ නැත. උතුර හා දකුණ එක සේ ඇවිළී, වෙනත් තීරණයක් ගත නොහැකි අවස්ථාවක හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රේමදාස වෙත පිරිනැමීය. ජයගැනීමට අවස්ථාවක් තිබේදැයි ස්ථිරව නොසිතන අතර ජය ගැනීමෙන් පසුව පවා රට තුළ ස්ථාවරය ඇති කර ආර්ථිකය ගොඩනඟන්නේ කෙසේදැයි ගැටලුවක සිටි බව පැහැදිලිය. 

ජනතාව අතරින් පැමිණි නායකයකු වශයෙන් ප්‍රේමදාස ආණ්ඩුව රදල ව්‍යුහය හඳුනාගෙන සිටියේය. තැලුණ, පෑගුණ ජන කොටස වෙතින් නැ​ඟෙන වේදනාබර අරගලයේ අර්ථය දැන සිටියේය. කැරැල්ල මර්දනය කිරීමෙන් පසු තරුණ අසහන කොමිසම පත්කර නිර්දේශ ඉල්ලන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ක්‍රමය තුළ වෙනස්කම් ඇති කර නැවුම් ව්‍යුහයක් සූදානම් කරන්නට හොඳ අවස්ථාවක් ඔහු ඉදිරියේ විය. එක පැත්තකින් ඇදී ගෙන ගිය යුද්ධය හා අනෙක් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ අරක්ගෙන තිබුණ රදල බලවේග එල්ල කළ පීඩනය ඔහු නොසන්සුන් කළේය. දෝෂාභියෝගය එහි උච්චතම අවස්ථාවයි. පහළ තැනකින් පැමිණ ඉහළට නැඟී ක්‍රමය වෙනස් කරනු සඳහා තමන්ට අවශ්‍යතාවක් ඇතත්, රදල කණ්ඩායම එයට ඉඩ දෙන්නේ නැති බව හෙතෙම නොයෙක් අවස්ථාවල ප්‍රසිද්ධියේ කියා සිටියේය. අර්බුද ගණනාවක් තුළ ඔහු කොටු වූ අතර අවසානයේ දී මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකට ගොදුරු විය. පහළ ස්ථරයේ වුවමනාව ගැන හැඟීමක් තිබුණ හෙතෙම ජනතා විමුක්ති පෙරමුණ හා එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ මුහුණට මුහුණ කරන සාකච්ඡාවලින් ගැටලු නිරාකරණය කරගැනීමට ප්‍රයත්න දරන ලද බව දැක්විය යුතුය. 

රදල පැලැන්තියේ අවසාන සංග්‍රාමය 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද පරම්පරාවෙන් වරප්‍රසාද හිමි රදල නායකයෙක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහු නායකත්වයට පත් කරන සූදානමක සිටියේ නැත. පක්ෂ නායකත්වය හා ජනාධිපති අපේක්ෂකත්වය ගැනීමට ඔහුගේ ජවය උපයෝගී කරගත් අතර, එය එක්තරා ආකාරයක බලහත්කාරකමකි. ත්‍රස්තවාදය මර්දනය කිරීමෙන් ඔහු ජනාදරයට පත්විය. සංහිඳියාව ඇති කර සමානාත්මතාව තහවුරු කරන්නට ඔහු අසමත් වූ අතර, සමාජයේ පහළින් පැමිණි හෙතෙම පන්ති බෙදුම් රේඛාව ගැන නිසි අධ්‍යයනයක් කළේ නැත. අසල්වැසි ඉන්දියාව හා බටහිර සමාජය සමඟ ගනුදෙනු කරන්නට අසමත් විය. ඔහුගේ නායකත්වය ශක්තිමත්ය. දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔහු ආරක්ෂා කරගැනීමට විය. එය බුද්ධිමත් එකක් ද නැත්ද යන්න තර්ක කළ හැක. ජනතාව අතර සිටි මහින්ද පරාජය කිරීමට නොලැබෙන බවට තක්සේරුවක් රදල පැලැන්තියට තිබිණ. මහින්ද පරාජය කරන්නට වරප්‍රසාද නොලත් පැලැන්තිය අතරින්ම ප්‍රතිවාදියා තෝරාගැනීම රදල පිරිස පරීක්ෂාකාරී විය. සරත් ෆොන්සේකා අසාර්ථක වූ අතර මෛත්‍රීපාල සිරිසේන සාර්ථක වූ බව සඳහන් කළ යුතුය. රදල පැලැන්තිය, ජාත්‍යන්තර ප්‍රජාව හා අන්තවාදී බලවේග එයට එකතු විය. මෛත්‍රී හා ෆොන්සේකා යන දෙපළගෙන් රදල පැලැන්තිය අපේක්ෂා කළ දෙයක් තිබුණි. එනම් බලය අත්පත් කර ගැනීමෙන් පසු පන්ති වුවමනා සාක්ෂාත් කර රන් කූඩුවක තැබීමය. පාලනයේ දී මෙහෙයැවෙන ආකාරය අනුව ක්‍රමය තුළ, දරුණු පන්ති අරගලයක්  පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වටහා ගෙන ඇත. මුලින් ඔහු එය තේරුම් ගෙන සිටියේ නැත. විධායක ජනාධිපති ධුරයේ බලය අඩුකරන යෝජනා පැලැන්ති ප්‍රශ්නයක් බව අවධානයට නොගැනිණ. දහනව වැනි සංශෝධනය රාජපක්ෂ කොටුකරන යෝජනාවක්, එය පැලැන්ති ප්‍රශ්නයක් බව තේරුම්ගත්තේ නැත.

මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති වරම ප්‍රයෝජනයට ගෙන රදල පැලැන්තියේ අවසාන සංග්‍රාමය ක්‍රියාත්මක වන බව වටහා ගැනීමට සෑහෙන කාලයක් ගතවිය. ජාත්‍යන්තරය, ආර්ථිකය හා සමාජය සම්බන්ධ තීන්දු ගැනීමේ දී ක්‍රියාත්මක වන රදල විලාසය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොන් කරන තත්ත්වයක් නිර්මාණය කළේය. සිවිල් සංවිධාන හා සමාජ මාධ්‍ය හැසිරීම රදල පැලැන්තියට ලැබුණ වෙස්වළාගත් ආශිර්වාදයකි. හැබෑවටම ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු නමුත් අවසානයේ දී ඒවායෙන් නැඟී වර්ධනය වූ විරෝධය අවාසිදායක වූයේ රාජපක්ෂ කඳවුරටය. මෛත්‍රීපාල සිරිසේන එහි ග්‍රහණයට ලක්ව සිටියේය. පීඩනය පුපුරා ගිය අතර, රනිල් වික්‍රමසිංහ හැර අන් අයෙකුට එක්සත් ජාතික පක්ෂයේ අගමැති ධුරය පිරිනමන්නට ජනාධිපතිවරයා සූදානම් ස්වභාවයක් බිහිවී තිබේ. රනිල් යනු මෙම අවස්ථාවේ රදල පාලනයේ සංකේතයක් පමණකි. ඇත්ත වශයෙන්ම, සමාජයේ ඇති නොපෙනෙන බෙදුම් රේඛාව කොපමණ බලවත් ද යන්න මෙම සියලු කාරණා දක්වයි.  

ඉංග්‍රීසියෙන් හිතන පැලැන්තියේ උරුමය

මෙම රටේ නායකත්වය තමන්ට ඇති උරුමයක් සේ හිතන කණ්ඩායමක් සිටී. ඉංග්‍රීසියෙන් කතා කරන ඉංග්‍රීසියෙන් හිතන සමාජයයි. සිංහලෙන් හිතා සිංහලෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම අභිබවා ඉංග්‍රීසියෙන් හිතා ඉංග්‍රීසියට ඉඩ දෙන සමාජ කොටස බලවත් වී තිබේ. නිදහස ලබාගත් නායකයන්ගේ උරුමය සහිත පිරිස රටේ බලය හිමි විය යුතු සේ ක්‍රියාකරයි. ප්‍රජාතන්ත්‍රවාදය එය නොවේ. පක්ෂ තුළ, ජන සමාජය තුළ ජන නායකයන්ට සමාන අවස්ථා හිමිවිය යුතුය. සෑම පුරවැසියකුටම අවස්ථා තිබිය යුතුය. එම අවස්ථා හදන ව්‍යවස්ථාවක් රටට අවශ්‍යය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සෑහෙන වතාවක් වෙනස්කර තිබේ. සෑම ආණ්ඩුවක්ම අවස්ථාවාදී ලෙස ව්‍යවස්ථාව වෙනස් කරන ලද අතර ව්‍යවස්ථා හැදුණේ පාලකයන්ගේ වුවමනාවටය. එයින් ක්‍රමය සාධාරණ කරන බව ජනතාව විශ්වාස කරන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් ලක්ෂණ එයින් අත්පත් කර නොදේ. 

හදවත ලාංකික වන හා ජාත්‍යන්තර තත්ත්වය තේරුම් ගැනීමට හැකි තීක්ෂණ බුද්ධියක් සහිත නායකත්ව රටට අවශ්‍යය. ජනතාව අතර බෙදීම් තුරන් කරන ක්‍රමයක් ව්‍යවස්ථාවෙන් ඇති කළ යුතුය. පැලැන්ති ඉවත් කළ යුතුය. අද උතුර හා දකුණ බෙදී තිබේ. දේශපාලන, ආගමික, භාෂා අනුව සමාජය වෙන්කර ඇත. ලාංකිකයන් එකතු කරන්නට සමාන අවස්ථා සම්පාදනය කරන්නට, පටු ආකාරයට සංශෝධනය වූ ව්‍යවස්ථාව පදනමක් වී නැත. ජනතාව වෙන්කර තාප්ප හදනවා විනා ජනතාව එකතු කරන පාලම් හදන්නට එයින් ඉඩක් ලැබී නැත. බේද හදන, ඒ අතර බරපතළම තත්ත්වයක් සේ දැකිය හැකි පන්ති බෙදීම උත්සන්න කරන මෙම ව්‍යුහය රටට ගැළපෙන්නේ නැත. 

උගුලෙන් ගැලවෙන මග ජනතාව පාදාගත යුතුය

ශ්‍රී ලංකාව ප්‍රශ්න නොතිබුණ රටක් නොවේ. උගුල්, පාවාදීම්, ද්‍රෝහිවීම හා බලහත්කාරයෙන් අයිතිකර ගැනීම ගැන අත්දැකීම් තිබේ. රට තුළ බේද ඇති වූ අවස්ථාවල බාහිර ප්‍රජාව රටට ඇතුළු වී ඇත. කාලිංග මාඝ කාලයේ සිට පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ඇතුළු වූයේ රටේ එක්සේසත්කම බිඳී ගිය වකවානුවලදීය. බටහිර අතපෙවීම, ඉන්දියානු මැදිහත්වීම් හෝ චීනයේ බලපෑම ගැන ආන්දෝලනයට හේතුව රට තුළ පවතින දුබලතා විනා අනෙක් පාර්ශ්වයේ ශක්තිය නොවේ. බටහිර සමග ගනුදෙනු කරන රදල නායකයන්ගේ සංකල්ප රටේ ස්වභාවය සේ ජාත්‍යන්තරය තේරුම් ගෙන තිබේ. රදල නොවන නායකයෝ බටහිර ප්‍රජාව හමුවේ පුළුල් සාකච්ඡාවකට නොගියහ. කිසියම් පැකිළීමක් එහි තිබිණ. එය දුබලතාවකි. රාජ්‍යතාන්ත්‍රිකයන් රටේ දැක්ම හඳුනාගත්තේ රදල පැලැන්තියේ පිරිස සමග කරන ගනුදෙනුවෙන්ය. එය එක්තරා ආකාරයකට බටහිරට නතු බවක් අඟවනසුලු විය. ශ්‍රී ලංකාව රටක් වශයෙන් එකමුතුව එක්සත්ව ක්‍රියා කළහොත්, නායකයන් නිර්භීතව අලුත් වටයකින් යථාර්ථය පෙන්වා දීමට සමත්වුවහොත්, ජාත්‍යන්තරයෙන් එන බලපෑම්වලට සාර්ථකව මුහුණ දිය හැකිය. 

ජනතා විමුක්ති පෙරමුණට සමාජයේ නොසලකා හරින ලද ස්ථරයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට හැකියාව තිබුණි. සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව බිහි වූ ඔවුන්ට එහිලා වගකීමක් තිබුණි. ප්‍රේමදාස, මහින්ද හෝ මෛත්‍රී වැනි නායකයන්ට වඩා එහා ගිය පරිණත ව්‍යාපාරයකට යොමුවීමට බැරිකමක් නොවීය. එහෙත් මෑතකාලය තුළ ක්‍රියාත්මක වූ ආකාරය අනුව තද සම්ප්‍රදායී දේශපාලනයට ඇතුළු වී ඇති අතර එය කිසිසේත් සාමාන්‍ය පැලැන්තිය වෙනුවෙන් ඉටු කරන වගකීමක් වී නැත. වේදිකාවේ දී ජනප්‍රිය තර්ක ඉදිරිපත් කරන ජනතා විමුක්ති පෙරමුණ රදල දේශපාලනය හමුවේ අභිබවා යන්නට අසමත්ව තිබේ. 

පවතින අර්බුදයෙන් ගැලවී ප්‍රශ්න විසඳා ගැනීමට රටට හැකියාවක් ඇත. එයට අලුත් ජනවරමක් අවශ්‍යය. මහ මැතිවරණයකින් හැර පවතින දේශපාලන ගැටුම් අවසන් කරන්නට පුළුවන්කමක් නැත. සෑම දේශපාලන පක්ෂයකටම බලය හිමි, භාරකාර ආණ්ඩුවකින් මැතිවරණය මෙහෙයැවිය හැකිය. එය සාධාරණ හා යුක්තිසහගත ක්‍රමයකි.

රට තුළ පවතින බෙදීම් හා එයින් ඇති කරන පීඩනය සිවිල් සමාජ නායකයන්ට හා ඇතැම් ආගමික නායකයන්ට අවබෝධයක් නැත. සමාජ මාධ්‍ය හා සාම්ප්‍රදායික මාධ්‍ය හැසිරෙන ආකාරය ගැටලු සහගතය. දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකම් හෙයින් පුරවැසියන් ගෝත්‍රික මට්ටමට බෙදා වෙන්කරන්නට සමත්ව ඇත. මෙවැනි පැතිවලින් ඈත්වීම අවශ්‍යය. වගකීමක් සහිත රැඩිකල් අදහස් අද රටට වුවමනා කර තිබේ. ඒවායෙන් සමාජය එකතු කරන පුළුල් වැඩපිළිවෙළකට යා හැකිය. තාප්ප හදා රට බෙදනු වෙනුවට අලුත් පාලම් හදා ජනතාවට එකට එකතු විය හැකි යුගයක් ඇති කළ යුතුය. එය කළ හැකි අන්තවාදයෙන් නොවේ. මධ්‍යස්ථවය. මැදි මාවතට ප්‍රවේශවීමෙන්ය.  

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට යොමු කරන්නේ නම් මැනවි.