ගාල්ල, අක්මීමන ජාතික පාසලකදී හමුදා නිලධාරියකු විසින් තබන ලදැයි කියන වෙඩි පහරකින් තිදරු පියකු මියයාමේ සිද්ධිය රටම කම්පනයකට හසුකර තිබේ. වරද කා අත වුවද මේ සිද්ධියෙන් සුරතල් දරුවන් තිදෙනකුට තම පියා අහිමි විය. තමන් ඉගෙනුම ලබන පාසල් ගේට්ටුවේදීම ඔහු වෙඩි පහරකින් මිය යාම මේ දරුවන්ට කෙසේවත් දරාගත නොහැකි වේදනාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ දරුවන්ගේ මවට තම සැමියා අහිමි වීම ඒ හා සමානම විශාල වේදනාවකි. මේ සියලු දෙනාටම අපගේ කනගාටුව පළකරමු.

අදාළ සිද්ධියට සම්බන්ධ අක්මීමන මානවිල උපනන්ද ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරියකු විසින් තබන ලදැයි කියන වෙඩි පහරකින් මේ මරණය සිදු වී තිබේ. ඔහු එම වෙඩි පහර තබා ඇත්තේ සැලසුම් සහගත අපරාධයකට අනුව නොවේ. එම පියා බලෙන් පාසලට ඇතුළු වීමට යාමේදී පාසලේ ගේට්ටුව අසලදී ඇතිකරගත් ක්ෂණික ගැටුමක් හේතුවෙනි. මෙතෙක් දැනගන්නට තිබෙන තොරතුරු ආශ්‍රයෙන් සිද්ධිය එසේ වූ බවට සරල චිත්‍රයක් මවාගත හැකිය. එහෙත් සිද්ධිය සරල වූවක් නොවේ. එය බරපතළ සිද්ධියකි. පාසලේ සියලු_ දරුවනුත් දෙගුරුනුත් භීතියට පත්කළ සිදුවීමකි. යළි කිසිදා කිසිදු පාසලක හෝ නොසිදුවිය යුතු සිද්ධියකි.

මුලින්ම පැවසිය යුත්තේ පාසල් ගේට්ටු අසල අවිගත් සෙබළුන් රඳවා සිටින්නේ එම පාසල්වල ආරක්ෂාව පිණිස බවය. පාසල්වල ආරක්ෂාව යනු එහි ගොඩනැගිලි පමණක් නොවේ. වඩාත්ම ආරක්ෂා කළ යුත්තේ පාසල් භූමිය ඇතුළේ සිටින දරුවන් සහ ගුරුවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයයි. තම අත රැඳි ගිනි අවියෙන් කළයුතු වන්නේ එම ජීවිත සහ දේපොළ රැකගැනීමයි. 

පසුගිය අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරය එල්ල වීමට පෙර රටේ සියලුම පාසල්වල ආරක්ෂාව සිදුවූයේ ගේට්ටුවේ රඳවා සිටින පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශය මගින් හෝ අමාත්‍යංශයට අයත් නොවන පාසල් නම් ඒවායේ පාලක මණ්ඩල විසින් හෝ පත්කරනු ලබන සුළු සේවකයන් විසිනි. එහෙත් ඈත පළාත්වල පාසල්වල ආරක්ෂාවට බොහෝ විට මේ කිසිවකුත් නැත. පාසලේ කාර්ය මණ්ඩලය මගින්ම ඒ ආරක්ෂක කටයුතු ද හැකි පමණින් ඉටුකරගනු ලැබේ. එහෙත් අප්‍රේල් 21 වැනිදායින් පසුව උද්ගත වූ තත්ත්වය හේතුවෙන් සියලුම පාසල්වලට අවිගත් සෙබළුන් විසින් ආරක්ෂාව දිය යුතු විය. ඒ සඳහා මවුපියන්ගේ සහයෝගය ද ලබාගත් අතර රටේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් ආරක්ෂක තත්ත්වය ද යහපත් වනවිට මවුපියන්ගේ සහාය අනවශ්‍ය විය. ඉන්පසුව එම කාර්යයේ වගකීම සම්පූර්ණයෙන් පැවරුණේ අවිගත් නිලධාරීන්ටය. එහෙත් එම පැවරීම සිදුවන විට ඊට අදාළව නිසි ලෙස උපදෙස් ලබාදීමක් සිදු වී නැති බව මේ අවාසනාවන්ත සිද්ධියෙන් පෙනී යයි.

මෙතැනදී වැරැද්ද සිදුවූයේ කා අතින්ද යන්න සොයනවාට වඩා යළිත් මෙවැනි වැරැද්දක් සිදුවීමට ඉඩක් නොතැබීම සියලු_දෙනාගේම වගකීමය. එය උපනන්ද ජාතික පාසලට පමණක් නොව රටේ සියලුම පාසල්වලට වැදගත්වනු ඇති බවත් මෙහිදී සඳහන් කරමු. මේ සිද්ධියේදී රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමත් පාසලක ආරක්ෂාව සැලසීමත් අතර තිබෙන වෙනස පිළිබඳ වැටහීමක් අදාළ හමුදා නිලධාරියාට තිබී නැති බව බැලූ බැල්මට පෙනී යයි. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර තිබුණේ පාසලේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළාගේ අණ නොතකා පාසලට ඇතුළුවීමට කෙනකු උත්සාහ කර ඇති බවත් ඔහු තමාගේ ගිනිඅවිය උඳුරා ගැනීමට උත්සාහ ගත් බවට සෙබළා ප්‍රකාශ කරන බවත්ය. එහෙත් නිරායුධ පුද්ගලයකු තමා පියකු යැයි කියමින් කොතරම් ආවේගශීලීව හැසිරුණත් ඔහුට එක්වරම වෙඩි තැබීම සුදුසු ක්‍රියාවක් නොවන බව එම සෙබළාට අවබෝධයක් නොතිබීම මේ අවාසනාවන්ත මරණයට හේතු වී තිබෙන බව පැහැදිලිය. පාසල්වල ආරක්ෂාවට යොදවන අවිගත් නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය පිළිබඳ කිසියම් අවබෝධයක් ලබාදීම අත්‍යවශ්‍ය බව මේ සිද්ධිය රටටම කියා දී තිබේ.

එසේම මෙහිදී පාසලේ බලධාරීන් අතින්ද වැරැද්දක් සිදු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. පාසලේ දරුවකු අසනීප වී ඔහු රැගෙන යාමට එන්නැයි මවුපියන්ට දැන්වූයේ නම් ඒ බව ගේට්ටුවේ ආරක්ෂාවට සිටින හමුදා නිලධාරියාට ද දැනුම් දීමට ඔවුන්ට වගකීමක් තිබිණි. අඩුම තරමින් පාසලේ ගුරුවරයකු හෝ වෙනත් සේවකයකු හෝ ගේට්ටුව අසළට යැවීමේ වගකීම පාසල් බලධාරීන් අතින් ඉටුවී නැත. මේ දිනවල රටේ පවතින තත්ත්වය පිළිබඳව පාසල් බලධාරීන් තුළ මීට වඩා අවබෝධයක් තිබිය යුතුය. එවැනි අවබෝධයකින් ක්‍රියා කළා නම් මේ අවාසනාවන්ත සිද්ධිය වළක්වාගත හැකිව තිබිණි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම පියාගේ දියණියද අසළ සිටි බවත් සඳහන් වී තිබේ. එසේ දියණිය සමඟ පැමිණි පියා මෙතරම් කලබලකාරීව හැසිරුණේ මන්දැයි තේරුම් ගැනීම ද අපහසුය. ඔහු ගිනිඅවිය උඳුරා ගැනීමට තැත් කළ බවද ප්‍රකාශ වී තිබීම නිසා තත්ත්වය සංකීර්ණ වී තිබේ. කෙසේ වුවද දැඩි ලෙස ආරක්ෂක අවදානමක් තිබෙන අවස්ථාවක මෙවැනි සිද්ධියක් ඇතිවී නම් එය වෙනම කතාවකි. එහෙත් එවැනි අවදානමක් නොමැති අවස්ථාවක දරුවකුත් සමඟ පැමිණි පියකුට වෙඩිතැබීම මහත් ව්‍යසනයක් බව පැවසිය යුතුය.

පාසල්වල ආරක්ෂාවට යොදවා සිටින අවිගත් හමුදා නිලධාරීන් තමන් රාජකාරි කරන්නේ පාසලක දරුදැරියන්ගේ ආරක්ෂාව සැලසීමට බවත් එය වෙනත් ආරක්ෂක රාජකාරිවලට වඩා වෙනස් වූවක් බවත් අවබෝධ කරගැනීම අවශ්‍යය. එසේම පාසල්වල බලධාරීන්ට ද කිව යුතුවන්නේ ආරක්ෂාව පිළිබඳ වගකීම සම්පූර්ණයෙන් ගේට්ටුවේ අවිගත් සෙබළාට පමණක් පවරා එම වගකීමෙන් කරඇර සිටීම නොකළ යුතු ක්‍රියාවක් බවය.