විසිවැනි සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ජනාධිපතිවරයාටත් කතානායකවරයාටත් දැනුම් දී තිබේ. කතානායකවරයා එම තීන්දුව ලබන විසිවැනිදා පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම්දීමට නියමිතය. විසිවැනි සංශෝධනයේ යම් වගන්තියක් සම්මත කිරීමට තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය ද යන්න තීරණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට පැවැරී තිබුණි. යම් යම් වගන්ති සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ නම් එවන් තත්ත්වයක් උද්ගත නොවන පරිදි එම වගන්ති සංශෝධනය කළ යුතු ආකාරය ද යෝජනා කරනු ඇත. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ පරිදි කමිටු අදියරේදී සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට අවස්ථාව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුගත වෙමින් විසිවැනි සංශෝධන කෙටුම්පත වෙනස් කළ විට ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැත.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව කුමක් වුවත් විසිවැනි සංශෝධනයට එල්ල වන චෝදනා රැසකි. මේවා සියල්ල පදනම් විරහිත චෝදනාය. කුමන චෝදනා නැගුණ ද විසිවැනි සංශෝධනයෙන් අලුත් යමක් නීතියට එකතු වන්නේ නැත. සිදුවන්නේ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමය. ඒ අනුව ගමන් කරන්නේ 19ට පෙර දශක තුනකට වැඩි කාලයක් පැවැති නීතිමය තත්ත්වයටය. එකී නීතිය මේ රටේ පවතින්නේ 1978 පටන්ය. 2015 දක්වාම එය පැවැතියේය. එතැනින් එහා කිසිදු අලුත් තත්ත්වයක් විසිවැනි සංශෝධනයෙන් නිර්මාණය වන්නේ නැත. විස්සෙන් භයානක තත්ත්වයක් ඇතිවන බව කවුරුන් හෝ ප්‍රකාශ කරන්නේ නම් වසර තිස් ගණනක් එම චෝදනා ඉදිරිපත් නොවුණේ ඇයි?

විගණනය සම්බන්ධව ඇති විවේචනවල අඩුවක් නැත. මේ රටේ විගණනය ඇතිවූයේ 1915 දීය. එසේ නැතිව 19 වැනි සංශෝධනයේ ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. 2015 දී 19 වැනි සංශෝධනය ගෙන ඒමට පෙර මේ රටේ විගණන ක්‍රියාවලිය තිබුණි.

විගණකාධිපතිවරයකු සිටියේය. විගණන පනතක් තිබුණි. විගණනයට ලක්වන ආයතන එහි සඳහන්ය. අගමැති කාර්යාලය, ජනාධිපති කාර්යාලය විගණනයට ලක්වුණි. මේ විගණන පනතේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස්ව නැත. රජය සතු ව්‍යාපාර පවා විගණනය කිරීමේ හැකියාව මේ විගණන පනත අනුව තිබේ. එනිසා සමාජයට වැරැදි අවබෝධයක් ලැබෙන අර්ථ ගැන්වීම් නොකළ යුතුය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්මත කර ඇති මෙම විගණන පනත විසිවැනි සංශෝධනයෙන් වෙනසකට ලක්ව නැත. එය එලෙසම තිබේ. තොරතුරු දැනගැනීමේ පනතට විසිවැනි සංශෝධනයෙන් කිසිදු බලපෑමක් නැත. ඒ පනත එලෙසම තිබේ. විගණන පනත ද එලෙස නොවෙනස්ව පවතින බව කිව යුතුමය. විස්ස සම්මත වූ පමණින් විගණකාධිපතිවරයාට තිබෙන බලය අහෝසි වන්නේ නැත.

විසිවැනි සංශෝධනයෙන් විගණන කොමිසම සම්බන්ධ යම් වෙනස්කම් සිදුව තිබේ. එම කොමිසම අහෝසි වන්නේ නැත. එහි කාර්යභාරය රාජ්‍ය සේවා කොමිසමට බාරදී තිබේ. එනිසා එම ක්‍රියාවලිය එලෙසම තිබේ. 19 වැනි සංශෝධනය මේ රටේ පරමාදර්ශය ලෙස සැලකුවේය. එහෙත් මේ රටේ ලොකුම මූල්‍ය වංචාව සිදුවූයේ 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක වූ කාලයේය. එපමණක් නොව තවත් මහා පරිමාණ වංචා, දූෂණ, හොරකම් රාශියක් ද එම කාලයේ සිදුවූවේය. එනිසා 19 වැනි සංශෝධනයේ වගන්ති හේතුවෙන් මේ රටේ මූල්‍ය පාරිශුද්ධභාවයක් ඇතිවුණා යැයි කිසිවකුට හෝ තර්ක කළ හැකි ද? ඇත්ත කතාව මෙයට ප්‍රතිවිරුද්ධ පැත්තය.

ඇමැති මණ්ඩලයේ තිහේ සීමාව විසිවැනි සංශෝධනයෙන් ඉවත් වන බව තවත් කතාවකි. 19 වැනි සංශෝධනයෙන් පනවා තිබූ ඇමැති සීමාව ඉතා හොඳ ආදර්ශයක් බව ඇතැම්හු කියති. එහෙත් එය අසත්‍යයකි. 19 මිරිඟුවකි. විජ්ජාවකි. මුළාවකි. මතුපිටින් යම් යම් සීමා පෙන්වා තිබුණ ද එයටම ව්‍යතිරේඛ සපයා තිබේ. තවත් දේශපාලන පක්ෂයක් සමග ගිවිසුම්ගත වී එම සීමාවෙන් සම්පූර්ණයෙන් මිදෙන්නට පුළුවන. නිදහසෙන් පසු විශාලතම ඇමැති මණ්ඩලය පැවැතුණේ 19 වැනි සංශෝධනය යටතේය. එනිසා විස්සට එරෙහි විවේචන පදනම් විරහිතය. දහනවයෙන් මේ රටේ වංචා දූෂණ වැඩිවුණා මිස එයින් ජනතාවට ලැබුණු ප්‍රායෝගික වාසියක් නැත. එවන් පසුබිමක 19 දේවත්වයෙන් සැලකීමට වර්ණනා කිරීමට ඇති අවශ්‍යතාව කුමක් ද?

ආණ්ඩුවක් පත්කරන්නේ ජනතාවට මූලික වශයෙන් ආරක්ෂාව සපයාදීමටය. මේ කතා කරන මොහොතේත් මේ රටේ පොලිස්පතිවරයකු නැත. එසේ වී තිබෙන්නේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති ඉවත් කිරීමට ජනපතිට හෝ වෙනත් කිසිවකුටත් බලයක් නොමැති නිසාය. මෙවන් පසුබිමක ආණ්ඩුවක ප්‍රමුඛ යුතුකම ඉටුකළ හැකි ද? වගකීමක් ඉටුකිරීම ජනාධිපතිට පැවරුව ද එම වගකීම ඉටුකිරීමට අවශ්‍ය බලය ලැබෙන්නේ නැත. එයින් ලැබෙන ප්‍රතිඵලය කුමක් ද? අරාජික තත්ත්වයක් නිර්මාණය වීමය. පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් දෙසීය ගණනකට ජීවිත අහිමි කළේ එම අරාජිකත්වයයි. මේවා වර්ණනා කළ යුතු කාරණා ද? මේවා ධනාත්මක ද? ඍණාත්මක ද? මේ සියල්ල වූයේ 19න් නිර්මාණය කළ බල කේන්ද්‍ර දෙක හේතුවෙනි. බල කේන්ද්‍ර දෙකකින් රටක් පාලනය කළ නොහැක. රටක් පාලනය කළ නොහැකි පරිසරයක් බිහි කළ වගන්ති තවදුරටත් තබා ගනිමින් ජන ජීවිතය යහපත් කරන්නේ කෙසේදැයි උභතෝකෝටිකයකි. ආණ්ඩු දෙකකින් රටක් පාලනය කිරීමට කිසිදු හැකියාවක් නැත.

ලබන නොවැම්බර් 17 වැනිදා 2021 වසරට අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය. ජන ජීවිතය ආරක්ෂා කිරීම මෙන්ම ආර්ථික සංවර්ධනය එහි ප්‍රමුඛ අරමුණය. තව තවත් ණය ගැනීම නොව රටට අවශ්‍ය වන්නේ ආයෝජනය. ආයෝජන ලබාගැනීමට අවශ්‍ය ප්‍රධාන සාධකය විශ්වාසයයි. 19 වැනි සංශෝධනය යටතේ එම විශ්වාසය තහවුරු වුණා ද? ආර්ථික කළමනාකරණයට ඇමැති කමිටුවක් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රධානත්වයෙන් ස්ථාපිත කළේය. ආයෝජන, ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධ කටයුතු කෙරුණේ එම කමිටුවෙනි. එහෙත් ජනපති මෛත්‍රී මේ කිසිවක් පිළිගත්තේ නැත. ජනාධිපතිවරයා කළේ මේ කමිටුව අහෝසි කර ඒ වෙනුවට වෙනත් කමිටුවක් ඔහුගේ වුවමනාව අනුව පත්කිරීමය. එය හැඳින්වූයේ ජාතික ආර්ථික සභාව නමිනි. එහි ප්‍රධානියා රටේ සිටියේත් නැත. එහෙත් ලක්ෂ 15ක වැටුපක් ගෙව්වේය. පසුව එය ද ඵල රහිත බව කියමින් එම කමිටුව ද අහෝසි කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙවන් ක්‍රියා ඇස් පනාපිට දකින ආයෝජකයන් ලංකාව කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්නේ නැත. එක ප්‍රතිපත්තියක්, එක වැඩපිළිවෙළක් නැති තැනකට ආයෝජන ලබාගත නොහැක.

මේ සියල්ල වූයේ 19න් නිර්මිත බල කේන්ද්‍ර දෙක හේතුවෙනි. එවන් තත්ත්වයක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආකෘතිය තුළ 19 සම්මත වීමට පෙර තිබුණේ නැත.

ව්‍යවස්ථා සභාවක් ඇති කළේ 19 වැනි සංශෝධනයෙනි. එහි නිර්දේශ නොමැතිව කොමිෂන් සභ පත්කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැත. ඒ වගේම මෙම සභාවේ අනුමැතිය නොමැතිව ඉහළ තනතුරුවලට පත්කිරීමට ද නොහැකිය. මෙය ඉතාම සාධනීය කාරණයක් වශයෙන් ඇතැම් අය හුවා දක්වති. ජනතාව ඍජුව තම ජන්දය ප්‍රකාශ කර පත් කරගන්නා ජනාධිපතිවරයකු මේ රටේ සිටී. මැතිවරණ කොමිසමේ හූල් මහතාට එවන් වරමක් කවුරුන් හෝ දී තිබේ ද? තවත් වසරක් ගතවන තුරු මැතිවරණ කොමිසමෙන් ඔහු ඉවත් කිරීමට හැකියාවක් නැත. පොදුජන පෙරමුණට ඡන්දය නොදිය යුතු බව කියූ ජාවිඩ් යූසුප් මහතා තවත් වසරක් ගතවන තුරු ව්‍යවස්ථා සභාවෙන් ඉවත් කිරීමට නොහැක. මේ පසුබිම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයක් ද? සාමාන්‍යයෙන් සිදුවන්නේ ජනතාව ලබාදෙන වරම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ද ලබාදීමය. බලය නැතිව වරමක් පමණක් ජනාධිපතිවරයකුට ලබාදීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. ඒ බලය දෙන්නේ සීමිත කාලයකටය. ඒ කාලයේදී රටට ප්‍රතිඵල ලබාදිය යුතුය. එසේ නොවුණ තැන ජනතාව කරන්නේ ප්‍රතික්ෂේප කිරීමය. එනිසා අලුත් පාලනයකට වැඩ කිරීමට අවශ්‍ය බලය තිබිය යුතුය. පැරැණි කුණු රොඩු තබාගෙන කටයුතු කළ නොහැක. ප්‍රජාතන්ත්‍රවාදයට රුකුල් දෙන වැඩ මිස එය හකුළුවාලන පසුබිම රටකට ගැළැපෙන්නේ නැත.

විස්සෙන් පාර්ලිමේන්තුව, අධිකරණය ජනාධිපතිගේ බලයට යට කරන බවට චෝදනා නැගී තිබේ. එසේ වන්නේ නැත. පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලය තිබේ. අවශ්‍ය නම් ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂභියෝගයක් ඉදිරිපත් කළ හැකිය. එපමණක් නොව ව්‍යවස්ථාවට අනුව රටේ මූල්‍ය පාලන බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. එම බලය වෙන කිසිවකුට නැත. ජනාධිපතිවරයාට අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ පාර්ලිමේන්තුවෙනි. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව ජනපතිට මුදල් ලැබෙන්නේ නැත. එසේ නම් ජනාධිපති පාලනය කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබේ. පාර්ලිමේන්තුවෙන් මුදල් අනුමත නොකළොත් ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නැත. ජනාධිපති, ආණ්ඩුව සම්බන්ධව පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටය. රියැදුරු අසුනේ සිටින්නේ පාර්ලිමේන්තුව බව කරුණු කාරණා ගැඹුරින් විමසන විට තහවුරු වන්නකි. විවේචන කොතරම් තිබුණ ද මේවා එකින් එක විමසන විට ඒවායේ කිසිදු හරයක් නැති බව පැහැදිලිය.

විසිවැනි සංශෝධනයෙන් ඒකාධිපතිත්වයක් බිහිවන්නේ යැයි කියන අය ද සිටිති. මෙහි තිබෙන ප්‍රධාන කාරණය මුදල් පරිපාලනයයි. ජනතාවගෙන් බදු අය කර එම බදුවලින් ආණ්ඩුව ගෙන යාමේ හැකියාව ජනාධිපතිවරයාට නැත. එසේ කිරීමේ හැකියාවක් තිබුණා නම් ඒකාධිපති පාලන රටාවක් නිර්මාණය වන්නට ඉඩ තිබුණි. එහෙත් එවන් කිසිදු බලයක් විසිවැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ලැබෙන්නේ නැත. විධායක ජනාධිපති ක්‍රමයේ මූලික හරය සහ අරමුණ කුමක් ද? ජනාධිපතිවරයාගේ අදාළ කාලය තුළ ඔහුට බලය දීම මේ ක්‍රමයේ සිදුවන්නකි. ඒ රටට වැඩ කිරීමටය. ඒ වගේම අසීමිත බලයක් දෙන්නේ ද නැත. පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය තිබේ. බලය ලැබෙන්නේ ඒවාට ද යටත්වය. එනිසා අනියත බියක් වුවමනා නැත. ජනතාව දුන් වරම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ජනාධිපතිවරයාට තිබිය යුතු බව නැවත සිහි කටයුතුය. නැති නම් එම ක්‍රමයේ ප්‍රයෝජනයක් නැත. ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය කරන්නේ නම් එහි හානිය ජනතාවටය. යහපාලන යුගයේදී අපි එය ඇස් පනාපිට දුටුවෙමු.

මේ අනුව බලන විට විස්ස රටේ අනිවාර්ය අවශ්‍යතාවක් සපුරාලීමකි. අරාජිකත්වය වැළැක්වීමකි. ජනාධිපති කොමිෂන් සභා හමුවේ හෙළිවන සාක්‍ෂිවලින් මේ රටේ එදා පැවැති අරාජිකත්වයේ තරම පෙන්නුම් කරයි. වගකීම දරන කෙනකු නැත. එවන් තැනකට මේ රට යළි තල්ලු කිරීමේ අවශ්‍යතාවක් නැත. බල අරගලයක් සහ අරාජිකත්වයක් පවතින විට ආර්ථිකය දියුණු කිරීමට සහ ආරක්‍ෂාව තහවුරු කිරීමට හැකියාවක් නැත. විස්ස කොළේ වැසීමක් ද නොවේ. ජනතාවට දුන් පොරොන්දුවක් ඉටුකිරීමකි. නව ව්‍යවස්ථාවක් සම්පාදනයේ ආරම්භයකි.

(*** සටහන - චමින්ද මුණසිංහ)