(සිංහල ජාතිය පුවත්පතේ නිර්මාතෘ කෘතහස්ත ලේඛක පියදාස සිරිසේන මහතාගේ 74 වැනි අනුස්මරණ දිනය අදට (22) යෙදී තිබේ. මේ ලිපිය ඒ වෙනුවෙනි)

මිනිසුන් මියැදෙන්නට ඉපදිය යුතුය. ඉපදුණු සියලු දෙනාම මියෙති. එලෙස මියැදුණත් සමහරු තවමත් ජීවත් වෙති. ඒ ජීවත්වන මිනිසුන්ගේ හිත්වලය. ඒ අතරට තවත් අය පොත්පත්වල ජීවත් වෙති.

මේ වසරේ මැයි මස විසි දෙවැනිදාට එසේ වැඩක් කොට මියගිය අයෙකුගේ හැත්තෑ හතරවැනි අනුස්මරණය යෙදෙයි. ඔහු නමින් පියදාස සිරිසේනය. ඔහු මෙරටට බිහිවෙන්නේ මේ රටේ බොහෝ අරගලකාරී අතීතයක අවසානයේ යටත් විජිත ලක්‍ෂණ මෙරට සිය භුක්තියට පත් කරගනිමින් සිටින අවධියේදීය.

1875 අගොස්තු 31 ඔහු ඉඳුරුව දී මෙ​ලොව එළිය දකිද්දී බ්‍රිතාන්‍යයෝ ශ්‍රී ලංකාවේ සිය වැවිලි ආර්ථිකය බොහෝ දුරට ස්ථාපිත කරවමින් සිටියහ.

ඔවුහු ඒ වනවිට මෙරට ඉඩම් අයිතිය මුදලින් අක්කර 52800 ලබාගෙන තිබූ අතර 1841 ඉඩම් පිළිබඳ හයවන සංශෝධනයට අනුව සියලුම් ඉඩම් සිය රාජ්‍යයට පවරා ගෙන තිබුණි. මේ නිසා ශ්‍රී ලාංකිකයෙකුට සිය හරකෙකු බැඳගන්නට තරම් ඉඩක් නොතිබූ තත්ත්වයට මෙරට ඉඩම් හිමිකම ඔවුහු පවරා ගෙන සිටියහ.

මේ අන්ධකාරයේම ඔවුහු තැනින් තැන එදා සිංහලයන්ට කණා මැදිරි එළි දැල්වූහ. ඒ කොළඹ නගරයට ගෑස්ලාම්පු ලබාදෙමින් උතුරුමැද පළාත වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් කරමින් දුම්රිය මාර්ගය පේරාදෙණියේ සිට නාවලපිටියට දිගු කරමින් කොළඹ වරායට අඩිතාලම දමමින් හා ටෙලිග්‍රාප් සේවය කොළඹ සිට ගාල්ලට ද දිගු කරමිනි. මේ දේවල් සමග කෙමෙන් තාරුණ්‍යයට පත් පේද්‍රිස් සිල්වා තරුණයා අනගාරික ධර්මපාල තුමන් වෙතින් එතුමන්ගේ ජන හමුවක දී කවි ගායනයක් කොට පියදාස සිරිසේන නමින් සමාජගත විය.

පියදාස සිරිසේනයන් ද මාර්ටින් වික්‍රමසිංහයන් සේම අගනුවරට සේන්දු වන්නේ ලී බඩු වෙළෙඳ සැලක ලියන මහත්තැන් කෙනෙකු ලෙසිනි. මාර්ටින් වික්‍රමසිංහයන් මොරටුවේ ලී බඩු වෙළෙඳ සැලක සිටින අතර පියදාස සිරිසේනයන් මරදානේ සේවය කළේය. පියදාස සිරිසේනගේ ජානමය ව්‍යුහයක් මෝරා නැගිටින්නේ එවක ඇතිවූ පුවත්පත් තැපැල් කෝච්චිය හරහා ගාලු බලා යාමේ අතුරු ඵලයක් වශයෙනි. මේ අවදිය වෙද්දී මීගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ පානදුරාවාදය දෙස් විදෙස් කරා පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙසින් ස්ටීවන් හෙන්රි ඔල්කොට් ඇතුළු ඇමෙරිකානු මෙන්ම බ්‍රිතාන්‍ය ආගමික ගවේෂකයෝද මෙරට පය ගසා සිටියහ. එසේම ජෝන් ද සිල්වාගේ නාට්‍ය මගින් ද ධර්මපාලයන්ගේ දෙස බස රැස අවදි කරවීමේ උත්සාහය නිසා ආගමික පුනරුදයක් ඇතිවෙමින් තිබුණි. එහිදී රත්මලානේ ධර්මාලෝක හිමි විසින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ද ශ්‍රී සුමංගල හිමි විසින් මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ද ආරම්භ කරනු ලැබ තිබීම පියදාස සිරිසේනගේ ජාතිකානුරාගය මතුවෙන්නට හේතු වූ බවක් පෙනේ. ඒ අනුව ඔහු ඉතා වාසනාවන්තයෙකු විය. ඔහුට අවශ්‍ය ඉංග්‍රීසි අධ්‍යාපනය ලංසි පල්ලියෙන් ලබා ගත්තේය.

මේ පරිසරය පියදාස සිරිසේන මෙරට තත්කාලීන සමාජයේ සාර්ථක සන්නිවේදකයකු බවට පත් කළේය. ඔහුගේ උභය භාෂා පරිචය මෙන්ම ජාතිවාදී හැඟීමෙන් තොරවු ජාති මාමක චින්තනය නිසා එදා මෙන්ම අදටත් ඔහු වලංගු චරිතයක් බවට පත්වී ඇත.

පියදාස සිරිසේන අද තරම් සමාජය පිළිගන්නා හෝ සමාජයට දනවන්නා වූ උගත්කම මනින සහතික ලාභියෙකු නොවීය. එහෙත් ඔහු ජීවිතය හොඳින් ඉගෙන රට හා සමාජය සුවපත් කරවීමේ රහස අවබෝධ කරගෙන සිටියේය. මෙය අපේ වත්මන් බොහෝ උගතුන් යැයි කියා ගන්නා සහතික ලාභීන් ළඟ නැති දෙයකි.

ඔහු මුලින්ම සිය නිර්මාණ මගින් සේම පුවත්පත මගින් කියා සිටියේ පිරිසිදු සමාජයක් නිර්මාණය විය යුතු බවයි. උභය කුල පරිශූද්ධ ඔහු නුගත් දුරාචාරයේ යෙදෙන හැගීමක් නැති දරු පරපුරක් බිහි වෙන්නේ දෙමාපියන්ගේ නොහික්මුණු හා අසංවර බව නිසා යැයි නොබියවම කියා සිටියේය.

​මේ නිසාම එදා ඔහුගේ වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස හා රොසලින් පිටපත් 35000 වඩා අළෙවි වෙයි. එසේම සිංහල නවකතා කලාවේ පොතක් ලෙස මුද්‍රණය වූ මුල්ම නවකතාව ද එය වෙයි.

 ඔහු එහිදී එදා බොහෝ කරුණු කියා ඇත්තේ පසු කාලයක දී මෙරට ඇතැම් උගතුන්ගේ විවේචනයට හා පරිභාසයටද ලක්වෙමිනි. ඇතැමෙකුට ඔහු නවකතා කරුවෙකු නොවේ. එහෙත් තත්කාලීන ජන සමාජය හැදෑරීමෙන් හා අවබෝධයෙන් යුතුව කියවූ ඔහු එදා සිදු කළේ විනාශ වෙමින් තිබූ සමාජයක අවගමනය නවතාලීමට උත්සාහ කිරීමයි.

තත්කාලීන සමාජයේ සිංහල බෞද්ධයා ප්‍රසිද්ධියේ ඉංග්‍රීසි කතා කරන සමාජයේ දී ක්‍රිස්තියානි කාරයන් වූ අතර බුද්ධාගම් කාරයන් වූයේ ගෙදර දී පමණකි. එම නිසා ඔහු එම මිනිසුන්ගේ නිරුවත එළි කිරීමටත් පන්සල්වලට වී ධර්මය නොදැන පන්සල් ධනය විනාශ කරමින් සිටි සංඝයා ද එකසේ විවෙචනය කළේය.

ඔහු සමාජය ගැන  හෙළුවේ තිනෙත් දැක්මකි. එදා ඔහු කියු බොහෝ දෑ වර්තමාන සමාජය දෙස බලා අතීතයේ දී කියූ පේනයක් මෙනි. එසේම පිටගැස්ම නොසෑදෙන්නට බීමට දුන්න ‘‘වෙනිවැල්ගැට’’ පානයක් මෙනි.

ඒ සමගම ඔහු පරිපාලනයේදීත් මිනිසුන් තෝරා ගැනීමෙදීත් නිවැරැදිව පුද්ගලයා තෝරා නොගන්නා කල බොහෝ විනාශයන්ට මුහුණ දීමට සිදුවන බව නිරතුරුව සිය පුවත්පත වන සිංහල ජාතිය මගින් ප්‍රකාශ කර සිටියේය.

ඔහු ආගම භාෂාව ජාතිය හා රට පිළිබඳව අගනා කැපවීමකින් කටයුතු කළේ සිංහල, දෙමළ, මුස්ලිම් හෝ වෙනත් බෙදීමකින් නොවේ. එහෙත් ඔහු කියා සිටියේ සිංහලුන් ලෙස සියලු දෙනාම නැගී සිටීමට නම් පිරිසිදු ඇවතුම් හා පැවතුම්වලින් යුත් ගුණගරුක නීති ගරුක පිරිසක් විය යුතු බවයි. එහිදී කුමන ජාතියකින් හෝ භාෂාවකින් වුවද යහපත් දේ ගන්නවා විනා ඔවුන් සරණ නොයා යුතු බව අවධාරණය කර සිටියේය.

පියදාස සිරිසේන ගැඹුරින් හදාරන්නෙකුට ඔහු ශූර ව්‍යාපාරිකයකු ලෙස අලෙවි උපක්‍රම භාවිත කළ බව පෙනේ. එසේම එය උපක්‍රමශීලි ජනමත ප්‍රධානියකුගේ භූමිකාව ප්‍රකට කරන්නෙකි. ඔහු එදා සිංහල කතා කරන පිරිසට කතා කළා සේම බහුතරයක් පාලනය කරන සුළුතරයක් වූ  ඉංග්‍රීසීන්ට ද සිය හැඟීම් පවසා සිටියේය. ඒ සඳහා ඔහු ‘‘සිංහල ජාතිය’’ පුවත්පත් පිටු දෙකක් ඉංග්‍රීසි බසින් මුද්‍රණය කොට බෙඳා හැරියේය. එයින් ඔහු කළේ තමාගේ රටේ මිනිසුන්ට බ්‍රිතාන්‍යයන්ට කීමට තිබු දේ කීමත් ඔවුන් ගැන මිනිසුන් සිතන දෙය දන්වා සිටීමත්ය. එපමණකින් නොනැවතුණු ඔහු සිය පුවත්පත පවත්වාගෙන යාමේ කොටස්කරුවන් රටේ අස්සක් මුල්ලක් නෑර ගොස් සොයා ගත්තේය. ඒ අනුව තම පුවත්පතට බොහෝ පිරිසක් ඇති කරගැනීම නිසා ‘‘පියදාස සිරිසේන’’ තත්කාලීන සමාජයේ ජනමත සකසන්නෙකු බවට පත්විය.

ගමින් ගමට ගොස් මිනිසුන් දැනුම්වත් කිරීම උදෙසා ඔහු විසින් පවත්වනු ලැබූ බොහෝ දේශනා ඇසීමට එදා බොහෝ පිරිස් පැමිණි බව පෙනේ. එසේම මේ සියල්ල කිරීමෙ දී ඔහු සිය  ගුරුවරයා ලෙස අනගාරික ධර්මපාලයන්ගේ ක්‍රමවේදය භාවිත කළ බව පෙනේ. එහෙත් මෙහි දී කැපීපෙනෙන වෙනස්කම් දක්නට ලැබුණි. ධර්මපාලයන්ගේ රැස්වීම්වලට පැමිණි මිනිසුන්ට බොහෝ විට ඇසීමට ලැබුණේ කර්ණ කඨොර වදන් මාලාවකි. එහෙත් සිරිසේන බණ කතාවක් කියන්නාක් මෙන් සිය කතා පැවැත් වූ බව අදටත් සත් කෝරළයේ වැසියෝ පවසති.

දේශනා, පුවත්පත හා නවකතා හා වෙනත් නිර්මාණ කෘති මගින් පියදාස මෙරට ගම් නියම් ගම් පුරා විහිද ගිය චරිතයක් බවට පත්විය එසේම ඔහු සිංහලයන් අතර පමණක් නොව දෙමළ හා ඉංග්‍රීසි ජාතිකයන් අතර ද ‘‘සැලකුම් ලබන’’ චරිතයක්ව සිටියේය.

එය එසේ නොවන්නට ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිංහල අසුනක් වෙනුවෙන් රාමනාදන් මහතාගේ නාමය යෝජනා නොකරනු ඇත. තවත් වරෙක ඩී.එස්. සේනානායක මහතාගේ කෘෂිකාර්මික යෝජනාවක් පැරදීමට යාමේ දී එය එක් වැඩි ජන්දයකින් ජයග්‍රහණ කළේ සිරිසේනයන් විසින් හැටන් වතුයායේ අධිකාරිවරයාගේ කැමැත්ත ලබා දීමෙනි. ඒ අනුව ඔහු බහුතරයකගේ සිත දිනාගත් අයෙකු බවට කැපී පෙනුණි.

එහෙත් කිසිදු විටෙක ඔහු දේශපාලකයාගෙන් ප්‍රයෝජන ලැබීමට නොගියේය. එහෙත් දේශය පාලනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමේ දී කළ හැකි දෙය කළේය. මේ අනුව පියදාස සිරිසේනයන්ගේ නිර්මාණ චරිතය මෙන්ම පෞද්ගලික චරිතය ද ගැඹුරින් හදාරණ අයෙකු පෙනී යන්නේ ඔහු තුන්කල දුටු නිර්මාණශීලි ජනසන්නිවේදනයෙකු වශයෙනි. එය ඔහු එදා ජනමත ප්‍රධානියකු ද කළේය.

(*** චමින්ද වෙලගෙදර)