IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ කොංග්‍රස් රැස්වීමට කඩාවදිති

ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දෙදරායෑම අපේ ඇස්පනාපිට සිදුවිය. ඒ, පසුගිය නොවැම්බරයේ පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, සාමකාමී බලහුවමාරුවකට අකමැත්ත පළ කරන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘උසිගැන්වීම්’ මැද පෙරේදා (6) ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක්, ඇමෙරිකන් කැපිටල් ගොඩනැගිල්ල වටලමින්, ඊට කඩා වදිමින්, එහි පාලනය සියතට ගැනීමට උත්සාහ දැරීමය. ඇමෙරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාමකාමී බලහුවමාරුවකට අකමැති වීමත්, ජනතාව උසිගැන්වීමත්, ලෝක නායකයන් බොහෝ දෙනකුගේ පිළිකුලට හේතුවක් විය.

කැපිටල් හිල් ගොඩනැගිල්ලට බලෙන් ඇතුළු වී, කොංග්‍රස් මණ්ඩලයේ පාලනය සියතට ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් උත්සාහ ගැනීමත් සමඟ දරුණු ගැටුම් හටගත්තේය.  වොෂින්ටන් පොලිස් නිලධාරීන්ගෙන් ඔවුන්ට බාධා එල්ල විය. එහිදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය පියවර ගත්තේය. පොලිස් වෙඩි පහරින් කලහකාරීව හැසිරුණු සිවු දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද පැවැසෙයි. එයින් එක් අයකු කාන්තාවකි. ඇය 35 හැවිරිදි ට්‍රම්ප් හිතවාදී ඈෂ්ලි බැබිට් නමැත්තියයි. කලහකාරී ලෙස හැසුරුණු 56 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්වුණු බව වාර්තා විය.

ඇමෙරිකාවේ අගනුවර වොෂින්ටනයයි. විධායකය, ව්‍යවස්ථාදායකය, සහ අධිකරණයේ කේන්ද්‍රස්ථානය වොෂින්ටනයයි. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය, එනම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය රැස්වන ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ කැපිටල් හිල් හි ය.

ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය නොවැම්බර් 3 වැනිදාය. එය ආන්දෝලනාත්මක එකක් විය. ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයකුගේ ධුර කාලය වසර හතරකි. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින්, ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂාවෙන්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අතර, ඔහුට අභියෝගයක් එල්ල වූයේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ගෙනි. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය පැහැදිලි වූ නමුත් ට්‍රම්ප් දිගින් දිගටම පරාජය ප්‍රතික්ෂේප කරන්නට විය. ඒ ජනාධිපතිවරණය දූෂිත බවත් හොර ඡන්ද දැමීමක් සිදුවුණු බවත් පෙන්වා දෙමිනි. සාම්ප්‍රදායික රිපබ්ලිකන් පක්ෂ බළකොටු රැසක් ඩිමොක්‍රටික් පක්ෂය සතු විය. ට්‍රම්ප් අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමු විය. ජනපද මධ්‍යස්ථාන කීපයක ඡන්ද යළි අතින් ගණන් කිරීමට තීන්දු කෙරුණි. එයින් එකක් වන්නේ ජෝර්ජියා ජනපදයේ ඇට්ලැන්ටා නුවර ඡන්ද ගණන් කිරීමය. නැවත සිදුවුණු ජෝර්ජියා ඡන්ද ගණන් කිරීමෙන් ට්‍රම්ප්ට අවාසියක් වූ අතර, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජය තවත් තහවුරු විය.

ඒ අනුව, පෙරේදා (6) ඇමෙරිකානුවන්ට සුවිශේෂී දිනයක් විය. පසුගිය නොවැම්බර් 3 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ගේ ජය සනාථ කිරීමට කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) රැස්විය. ඒ ඡන්ද විමසුමකට සම්බන්ධ වෙමිනි. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය.

‘ඇමෙරිකාව බේරා ගන්න පෙළ ගැසෙනු’ යැයි ට්‍රම්ප් කළ ඉල්ලීමකට අනුව, තවත් පිරිසක් ද වොෂින්ටන් අගනුවරට රැස් කන්න වූහ. පසුව කලහ කරන්න පටන් ගත්තේ ට්‍රම්ප්ගේ මෙම ආධාරකරුවන්ය. දස දහස් ගණනක් දෙනා ට්‍රම්ප් වටා එක් රොක් වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනා සාම්ප්‍රදායික සුදු ඇමෙරිකානුවන්ය. දැඩි මතධාරී ඇමෙරිකානුවන්ය. ට්‍රම්ප්ගේ වචනවලින් කීවොත්, සැබෑ ඇමෙරිකානු දේශප්‍රේමීන්ය. “ඇමෙරිකන් කොංග්‍රසය දුර්වලයි. දුර්වල කොංග්‍රසයකින් ඇමෙරිකානුවන්ට සෙතක් වෙන්නේ නැහැ. ඇමෙරිකන් අප එකමුතු වෙන්න ඕනෑ. එයයි අපේ ශක්තිය. මාගේ ජය තහවුරුයි. දහස් ගණනින් ඇමෙරිකානුවන් මෙසේ අද එක් රොක් වී සිටින්නේ ඒ නිසයි. නිර්භීත සෙනෙට් සභිකයන්, කොංග්‍රස් සභිකයන් බොහෝ දෙනකු අපේ සහායට සිටිනවා. එසේ නොකරන බියගුල්ලන් පවා සිටිනවා.” යැයි ට්‍රම්ප් රැස්ව සිටි එම පිරිස හමුවේ කළ ප්‍රකාශය, ගින්නට පිදුරු දැමීමක් විය.

විරෝධතාකරුවෝ සෙමින් සෙමින් කැපිටල්හිල් දෙසට ඇදෙන්න වූහ. ඒ, අතරතුරේ, ට්‍රම්ප් දිගට හරහට ට්විටර් පණිවුඩ නිකුත් කරන්න වූයේ කොංග්‍රසය විවේචනය කරමිනි. විරෝධතාකරුවන් කොංග්‍රස් මණ්ඩලයේ පාලනය තමන් අතට ගැනීමට උත්සාහ දැරුවේ එම අවස්ථාවේදීය. කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් කුපිත වූ ට්‍රම්ප් ආධාරකරුවන් හමුවේ අසරණ වන අයුරු ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ දකින්න ලැබුණි.

විරෝධතා උත්සන්න වෙද්දී, ට්‍රම්ප් හිතවාදී විරෝධතාකරුවන් තම පොලිස් නිලධාරීන්ට රසායනික දියරවලින් පහර දෙන්න වූ බව වොෂින්ටන් පොලිස්පති රොබර්ට් කොන්තේ පැවැසීය. කෙසේ හෝ අවසානයේ වෙන විකල්පයක් නොවූ බැවින්, වොෂින්ටන් අගනුවරට ඇඳිරි නීතිය පනවා ලොක්ඩවුන් කෙරුණි. ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම තාවකාලිකව නවතා දැමුණි. විරෝධතා ආරම්භ වී, ඒවා උත්සන්න වී, පැය දෙකක් ගත වෙද්දී, ජනපති ට්‍රම්ප්ට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් පමණක් නොව, ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයෙන් ද අප්‍රසාදයක් එල්ල වන්න පටන් ගත්තේය. ට්‍රම්ප් යළිත් වරක් අවසන් වරට, සිය ආධාරකරුවන් ඇමතුවේය. ‘සාමකාමීව හැසිරෙන්න. කලහ කරන්න එපා. පොලිසියට හරස් වෙන්න එපා. පොලිස් නිලධාරීන් සතුරන් නොවේ. ඔවුන් ඉන්නේ අපේ පැත්තේ. දැන් සාමකාමීව හැමෝම ආපසු ගෙවල්වලට යන්න’ ට්‍රම්ප් අවසන් වශයෙන් පැවැසුවේ එයයි. ඒ අනුව, ලොව කාගේත් අවධානයට යොමු වුණු ඇමෙරිකාවේ එම විරෝධතාව යම්තාක් දුරකට නිමාවට පත් විය. මේ අතර ඊයේ (7) ඇමරිකන් කොංග්‍රසය රැස්වී කිසිදු බාධාවකින් තොරව ඇමෙරිකාවේ මීළඟ ජනපති ලෙස ජෝ බයිඩන් සහ උප ජනපති ලෙස කමලා හැරිස්ට අනුමැතිය ලබාදුන්නේය.

(*** ලුසිත ජයමාන්න - රොයිටර් ඇසුරිනි)

 



අදහස් (0)

ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ කොංග්‍රස් රැස්වීමට කඩාවදිති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31143 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13281 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site