(කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර විසිනි)

මුදල් ඇමතිවරයා විසින් නොවැම්බර් 9 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ වත්මන් රජයේ හතරවන වර්ෂය තුළ ක‍්‍රියාත්මක කිරීමට නියමිත රජයේ වැඩපිළිවෙළට ඇතුළත් අයවැය ලේඛනයයි.

පසුගිය වසර තුන තුළ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප‍්‍රතිඵල පිළිබඳව බොහෝ දෙනකු තුළ ගොඩනැඟී පවත්නා අපේක්ෂා භංගත්වය දුරු කෙරෙන ආකාරයේ අයවැය ලේඛනයක් මෙවර ඉදිරිපත් වනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ බලාපොරොත්තුව විය. නීල හරිත ව්‍යවසාය අයවැය ලේඛනයක් ලෙස මෙම අයවැය ලේඛනය මුදල් ඇමැතිවරයා විසින් හඳුන්වා තිබුණි.

පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන බවට ලකුණු පහළවීම, ජීවන බර උසුලා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටීම, උද්ධමනය දිනෙන් දින ඉහළ යාම වැනි හේතූන් නිසා  මහජනතාවට, රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවකයන්ට, ගොවීන්ට සහ විශ‍්‍රාමිකයන්ට සහන සැලසෙන අයවැයක් ඉදිරිපත් වේ යැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූහ.

ඉන්ධන මිල අඩුවන බවට ඇතැම් ඇමැතිවරුන් විසින් ඉඟිකර තිබුණි. එහෙත් අයවැයට පෙර භාණ්ඩ කිහිපයකම බදු අඩුකරන බවට කළ දැනුම්දීම අයවැය කථාවේදී ද නැවත ප‍්‍රකාශ කිරීම හැර ජීවන බර අඩුකෙරන හෝ රාජ්‍ය, පුද්ගලික අංශ වැටුප් වැඩි කෙරෙන හෝ ප‍්‍රශ්නවලට මුහුණදී සිටින ගොවීන්, කිරි ගොවීන්, ධීවරයන් සහ විශ‍්‍රාමිකයන් වැනි කොටස්වල ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කෙරෙන හෝ කිසිදු වැඩපිළිවෙළක් අයවැය ලේඛනය මගින් ඉදිරිපත් වූයේ නැත.

අයවැය කථාව අවසන්වීමෙන් පසු රජයේ ඇතැම් මැති ඇමතිවරු විසින් ප‍්‍රකාශ කළ පරිදි මෙය සීනිබෝල සහ ටොෆි ලබාදීමකින් තොර වුවද රටේ ඉදිරිගමන පිළිබඳව මැනවින් සිතාබලා ඉදිරිපත් කළ අයවැය ලේඛනයක් නම් අපට සතුටුවීමට හැකියාව ලැබේ. 2015 වසර සඳහා ඉදිරිපත් කළ දින සියයේ වැඩසටහන ඇතුළත් කෙටි අයවැය ලේඛනයට අමතරව 2016, 2017 සහ 2018 වසර සඳහා මෙම රජය විසින් අයවැය ලේඛන තුනක් ඉදිරිපත් කර තිබේ.

මුල් අයවැය ලේඛන මගින් ඉදිරිපත් කර ඇති අරමුණු සහ ඉලක්ක සපුරාගෙන ඇති ආකාරය අනුව 2018 වසර සඳහා ඉදිරිපත් වී ඇති අරමුණු සහ ඉලක්ක පසුරා ගැනීමට රජයට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කිරීමට ඉඩ ලැබෙනු ඇත.

2016 වසරට අදාළ අයවැය ලේඛනය පරීක්ෂා කිරීම මගින් එහි යෝජනා කොතෙක් දුරට ක‍්‍රියාත්මක වී තිබේ ද යන්න නිගමනය කළ හැකිය වේ. මේ වසරට (2017) අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා ප‍්‍රකාශ කළේ එමගින් හරිත සහ නව නිපයුම් මූලික කරගත් ආර්ථිකයක් බිහිකරන බවයි. සමාජ වගකීම් සහිත වේගවත් ආර්ථික වර්ධනයක් යන තේමාව යටතේ එම අයවැය ලේඛනය ඉදිරිපත් කරනු ලැබීය.

ඉහළයන උද්ධමනය සහ පොලී අනුපාතයත්, විනිමය අනුපාතය අවප‍්‍රමාණ වීමත් ආර්ථිකය මුහුණ පා ඇති ගැටලූ බව එය පෙන්වා දුන්නේය. 2016 සහ 2017 අයවැය ලේඛන දෙක මගින්ම සියයට 7 ක ආර්ථික වර්ධනයක් ඇතිකර ගන්නා බව  ප‍්‍රකාශ කළේය. 2017 ආර්ථික වර්ධන වේගය සියයට 4.5 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පොලී අනුපාතය මෙන්ම උද්ධමන අනුපාතය ද මෑත යුගයේ ඉහළම මට්ටමක් වාර්තාකර තිබේ. විනිමය අනුපාතය අවප‍්‍රමාණය වීම වැළැක්වීම සඳහා රජයට හැකියාවක් ලැබී නැත.

2016 සහ 2017 අයවැය ලේඛන මගින් සියයට 7 ක වර්ධනයක් ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන බව ප‍්‍රකාශ කලද 2018 වසරේ අයවැය ලේඛනය මගින් එය සියයට 6 ක් දක්වා අඩුකර තිබේ. එයද ළඟාකර ගැනීමට බලාපොරොත්තු වන්නේ තවත් වසර දෙකකට පසු 2020 වසරේදීය. 2018 අයවැය ලේඛනය ආරම්භ කර ඇත්තේ මේ ආකාරයට රජය විසින් මීට පෙර අයවැය ලේඛන මගින් ඉලක්ක කරන ලද ආර්ථික අරමුණු ඉටු කර ගැනීමට නොහැකි බව පිළිගනිමිනි.

2017 ආර්ථික වර්ධන වේගය සියයට 4.5 ක් වනු ඇතැයි ද 2018 දී එය සියයට 5 මට්ටමට ගෙන ඒමට හැකිවනු ඇතැයිද අයවැය ලේඛනයේ සදහන් වේ. 2010-2015 කාලපරිච්ෙඡ්දය තුළ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 7 කට ආසන්න ප‍්‍රමාණයකින් වාර්ෂිකව වර්ධනය විය. එහෙත් වත්මන් රජයට පසුගිය වර්ෂ තුනක කාලපර්ච්ෙඡ්දය තුළ ළඟාකරගත හැකිව ඇත්තේ සියයට 4 කට ආසන්න වාර්ෂික වර්ධන අනුපාතයකි.

2018 අයවැය ලේඛනය මගින් 2025 දී ශ‍්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට පරිවර්ථනයවීම සඳහා ඇති කළයුතු ප‍්‍රතිසංස්කරණ පෙන්වා දී ඇත. ඒ අනුව ඉඩම් අයිතිය නිසි පරිදි තහවුරු කළ යුතු බවද කම්කරු නීති සංශෝධනය කළ යුතු බවද ආර්ථික නිදහස්කරණය සහ ගෝලීයකරණය කළයුතු බවද පෙන්වා දෙයි. ඒ අනුව යමින් විදේශ සමාගම්වලට ශ‍්‍රී ලංකාවේ ඉඩම් මිලදී ගැනීමට මෙම අයවැය ලේඛනය මගින් අවසර ලබාදී ඇත.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය ප‍්‍රකාශ කළේ මීට වඩා වෙනස් අදහසකි. පසුගිය රජය එම ඉඩම් චීනයට අලෙවි කිරීමට කටයුතු කර තිබුණ ද මෙම රජය එය වළක්වා ඒවා බදු දීමට කටයුතු කළ බව ප‍්‍රකාශ කරන ලදී. එසේම සැංග‍්‍රිලා හෝටලය සඳහා පසුගිය රජය අක්කර 10 ක ඉඩමක් අලෙවි කර ඇතැයිද චෝදනා කළේය.

 එහෙත් මෙම අයවැය ලේඛනය මගින් සීමාවකින් තොරව ශ‍්‍රී ලංකාවේ ඉඩම් මිලදී ගැනීමට විදේශ සමාගම්වලට අවසර ලබා දී ඇත. කම්කරු නීති සංශෝධනය කළයුතු බව පවසන්නේ කම්කරු නීති දැඩි කිරීමට සහ විදේශ ශ‍්‍රමය ලබාගැනීම අරමුණු කරගෙන බව වැටහේ. අයවැය ලේඛනයේ මුලදී ආර්ථික නිදහස්කරණයේ සහ ගෝලීයකරණයේ අවශ්‍යතාව අවධාරණය කරන රජය එහි මැද දී එයට පටහැනිවන ආකාරයට ආහාර ද්‍රව්‍යවල  බදු අඩුකර ඒවායේ මිල පහළ නොදමන්නේ නම් වෙළඳුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ප‍්‍රකාශ කරයි.

2018 අයවැය ලේඛනයේ තේමාව, නීල හරිත අයවැයක් - ව්‍යවසාය ශ‍්‍රී ලංකාවේ ආරම්භය, ලෙස සදහන් කර ඇත. අයවැය ලේඛනය යනු රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයකි. එය වසරින් වසර එක් එක් ආකාරයට වෙනස් කළ යුත්තක් නොවේ. 2017 වසරේදී හරිත සහ නව නිපැයුම් ආර්ථිකයක් ගොඩනැඟීම සදහා, සමාජ වගකීම් සහිත වේගවත් වර්ධයක් යන තේමාව ඉදිරිපත් කළේය.

සමාජ වගකීම් ඉටුකිරීම සඳහා වන යෝජනා ක‍්‍රියාත්මක කර නැති විටක සහ වේගවත් වර්ධනයක් ද හිමිකරගෙන නැති බැවින් එම තේමාව යොදා ගැනීම තුළ ද 2017 අයවැය මගින් ගොඩනාගෙන ඇත්තේ කුමන ප‍්‍රතිඵලද යන්න ප‍්‍රශ්නකළ යුතුව ඇත. නව තේමාවක් බව හැඟවෙන අයුරින් මීට පෙර අයවැය ලේඛන මගින් ප‍්‍රකාශයට පත් කර ඇති දේම නැවත ඉදිරිපත් කිරීම හැඳින්විය හැක්කේ නව ගමන් මඟක් වශයෙන් නොව පුනරුක්ති දෝෂයක් ලෙසය.

මෙවර අයවැය ලේඛනය මගින් බොහෝ යෝජනා ඉදිරිපත්කර ඇත්තේ මහජනතාවට නොතේරෙන ලෙස සහ සැඟවුණු අරමුණු සහිතවය. උදාහරණයක් ලෙස එහි යෝජනා මහජනතාවට කිසිදු පීඩනයක් එල්ල නොකරන බවක් පෙන්වා තිබුණද පසුගිය වසර තුන තුළ ගාස්තු වැඩිකර නැති රජයේ ආයතනවල සේවා ගාස්තු සියයට 15 කින් වැඩි කරනු ඇත.

ඒ අනුව උප්පැන්න, මරණ, විවාහ සහතික, තැපැල්, පුරවැසි හැදුනුම්පත්, ලයිසන් සහ බලපත‍්‍ර සත්ත්ව උද්‍යාන ගාස්තු, උද්භිත උද්‍යාන ගාස්තු ආදී සියල්ලේ ගාස්තු ඉහළ යනු ඇත. රජය එමගින් ලබාගැනීමට ඇස්තමේන්තුකර ඇති ආදායම රුපියල් මිලියන 7500 කි.

එසේම වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු මෙතෙක් අය නොකළ භාණ්ඩ සහ සේවාවන් රැුසකට අය කිරීමටද යෝජනා කර ඇත. ඒ අනුව පැල සහ මල්, ප්ලාස්ටික් පබළු, නූල් සහ රෙදි, ලී සහ ලී බඩු, ඩයි වර්ග, වීදුරු පබළු, යන්ත්‍රෝපකරණ, විදුලි භාණ්ඩ, ඇස්කණ්නාඩි, කැමරා සහ ප්‍රොජෙක්ටර් සහ  ඔරලෝසු ආදිය සදහා වැට් බදු අය කරනු ඇත. වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධනය කර මෙතෙක් අය නොකළ භාණ්ඩ සහ සේවා වෙනුවෙන් අයකිරීමට කටයුතු  කිරීම නිසා රජයට ලැබෙන ආදායම රුපියල් මිලියන 25000 කි.

රජය විසින් ණය ආපසු ගෙවීමේ බද්ද ලෙස නම් කර ඇති බද්දක් මගින් බැංකු සමඟ කෙරෙන සෑම ගණුදෙනුවකදීම රුපියල් 1000 කට ශත 20 ක බද්දක් අයකිරිමට යෝජනා කර ඇත. රජය පවසන්නේ මෙය ගණුදෙනුකරුවන්ගෙන් අය නොකර බැංකු විසින් ගෙවිය යුතු බවය. රජය 2017 අයවැය ලේඛනය මගින් බැංකුවල මූලික ප‍්‍රාග්ධනය රුපියල් 20,000 දක්වා වැඩි කළේය. මෙම බද්ද මගින් රජය රුපියල් මිලියන 20,000 ක් බැංකු වලින් ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

එසේ තිබියදී බැංකුවල බදු වැඩිකිරීම මගින් ඒවා අවදානම් තත්ත්වයකට පත්කර ඇත. අනෙක් අතට මෙම බද්ද බැංකු විසින් පමණක් ගෙවිය යුත්තේ ඇයිද යන ප‍්‍රශ්නය පැන නගී. ණය ආපසු ගෙවීමේ බද්දක් අයකරනු ලබන ලොව ප‍්‍රථම රට ශ‍්‍රී ලංකාව බවට පත්වේ. මෙම බද්ද අවසානයේ මහජනතාව මත පැටවෙනු ඇතැයි අනුමාන කළ හැකිය.

රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ බැදුම්කර වංචාවෙන් රජයට සිදු වූ පාඩුව රුපියල් ටි‍්‍රලියනයක් බවය. ඊට පසු පැවති මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා එම ප‍්‍රකාශය නැවත තහවුරු කළේය. ටි‍්‍රලියනයක් යනු මිලියන ලක්ෂයකි. බිලියන 1000 කි. මෙවර අයවැය ලේඛනයේ හිඟය රුපියල් බිලියන 675 කි.

නව බදු යෝජනා ක‍්‍රම වලින් රජයට එකතු කරගත හැකි මුළු මුදල රුපියල් බිලියන 110 කි. ඉතිරි හිඟය පියවා ගැනීමට රුපියල් බිලියන 565 ක ණය ගැනීමට සිදු වේ. බැදුම්කර හොරුන්ගෙන් එම පාඩුව අයකර ගන්නේ නම් මහජනතාව වෙත බදුබර පැටවීමකින් තොරව අයවැය හිඟය පියවා රුපියල් බිලියන 325 ක් ඉතිරි කරගැනීමටද හැකියාව ලැබේ.

රාජ්‍ය අයවැය ලේඛනය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන විසින් භාවිත කරන විශ්වස්වනීය, රාජ්‍ය තාන්ත‍්‍රික ලේඛනයක් බවට පත් වේ. එයට  ඕපාදුප හෝ නර්මාලාප ඇතුළත් නොකළ යුතුවේ. මේ රටේ ඉතිහාසය තුළ ඉතා කෙටි කලක් තුළ වැඩිම පිරිවැයක් යටතේ විශාලතම ණය ප‍්‍රමාණය ලබා ගන්නා ලද්දේ මේ රජය විසිනි.

පොලී අනුපාත ඉහළ යෑම, විනිමය අනුපාත අවප‍්‍රමාණය වීම සහ බැදුම්කර වංචා නිසා එම ණය ප‍්‍රමාණය මෙන්ම, ගෙවිය යුතු පොලී ප‍්‍රමාණය ද දිනෙන් දින ඉහළ යයි. මහින්ද ණය, මැදමුලන බද්ද වැනි ගොබෙල්ස් න්‍යායේ  ඕපාදුප සහ නර්මාලාප ඇතුළත් කර එම සැබෑ තොරතුරු වසන් කළ නොහැකිය. රජය විසින් මෙම වසර දෙක තුළ ලබාගත් ණය ප‍්‍රමාණය ඒවායේ පොලී අනුපාත, පොලී අනුපාත ඉහළ යෑම සහ විනිමය අවප‍්‍රමාණය නිසා ගෙවිය යුතු මුදල් ප‍්‍රමාණය වැඩි වූ ආකාරය සහ බැදුම්කර වංචාව නිසා රටේ ණය වැඩි වූ ආකාරය පිළිබද සංඛ්‍යා ලේඛන මහජනතාවට වහාම ඉදිරිපත් කළ යුතුව ඇත.

රජය අයවැය ලේඛනය මගින් ප‍්‍රකාශයට පත්කර ඇති සමහර සහන ද සත්‍ය වශයෙන්ම මහජනතාවට නොලැබෙන බව පසුගියදා අනාවරණය විය. මොටර් රථ ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ විදුලි මෝටර් රථ සදහා රුපියල් ලක්ෂ 10 කින් බදු අඩු කිරීමට කටයුතු කළ ද රටට ගෙන්වන කිසිදු වාහනයකට එම සහනය නොලැබෙන බවයි. මොටර් රථ විශාල ප‍්‍රමාණයක බදු ප‍්‍රමාණය වැඩි කර ඇති අතර කුඩා මෝටර් රථවල බදු අඩු කර ඇත. මහජනතාවට කිසියම් ආකාරයක හෝ බදු සහනයක් සලසා ඇත්තේ එමගින් පමණි.

රජය අලූතින් හඳුන්වා දී ඇති සියලූම බදු වක‍්‍ර බදු මිස සෘජු බදු නොවේ. රජය පසුගිය අයවැය ලේඛන මගින් පුනපුනා ප‍්‍රකාශ කළේ සෘජු බදු වැඩි කර වක‍්‍රබදු අඩු කිරීමට පියවර ගන්නා බවය. පසුගියදා සම්මත කරන ලද බදු පනත මගින් සෘජු බදු වැඩිකිරීමට බලාපොරොත්තු වන බව ප‍්‍රකාශ කරන ලදී. එසේ තිබියදී තවදුරටත් වක‍්‍රබදු වැඩි කීරීමට පියවර ගැනීම මගින් වඩාත් පීඩාවට පත් වන්නේ අඩු ආදායම් ලබන පිරිස් සහ මධ්‍යම පාන්තික පිරිස්ය.

උද්ධමනය, බඩුමිල ඉහළ යාම, ඉහළ පොලී අනුපාතිකය යන සියල්ල මගින් වැඩි පීඩනයක්  එල්ල කර ඇත්තේ එම කොටස්වලටය. එසේ තිබියදී බදුබර තවදුරටත් වැඩි කිරීම මගින් පැහැදිලි වන්නේ සමාජයේ පහළ සහ මැදි ආදායම් ලබන කොටස්වල ජීවන පැවැත්මට මෙම අයවැය ලේඛන මගින් තවදුරටත් දැඩි පීඩනයක් එල්ලකර ඇති බවය.

මෙවර අයවැය ලේඛනයේ තවත් විශේෂත්වයක් වන්නේ ඉතා කුඩා ව්‍යාපෘති පවා රජයේ ව්‍යාපෘති ලේඛනයට ඇතුළත්කර තිබීමය. සමහර යෝජනා ක‍්‍රම වෙනුවෙන් වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 10 ක් වැනි ඉතා සුලූ මුදල් ප‍්‍රමාණයකි. මිලියන 10 යේ යෝජනා ද මිලියන 15 යෝජනා ද ඒ අතර වේ. ඒ අතරම රුපියල් මිලියන 25 ට අඩු යෝජනා රාශියකි. ඒ ඒ අමාතා්‍යංශවල ලේකම්වරුන්ගේ වැය ශීර්ෂවලට ඇතුළත් කළයුතු දේවල් රජයේ අයවැය යෝජනා බවට පත්කර දිගු ලේඛනයක් ඉදිරිපත් කර ඇත. මෙවැනි යෝජනා අඩංගු විය යුත්තේ ප‍්‍රාදේශීය සභා අයවැය ලේඛනයක මිස පාර්ලිමේන්තු අයවැය ලේඛනයක නොවේ.

ඉතා විශාල යෝජනා ප‍්‍රමාණයක ලැයිස්තුවක් ඉදිරිපත් කළ ද ඒ තුළින්  ලැබෙන ප‍්‍රතිඵල පිළිබදව රජයටම විශ්වාසයක් නැති බව පෙනේ. බලාපොරොත්තු වන ආර්ථික වර්ධනය සියයට 5 කි. සේවා විියුක්තිය සියයට 4 දක්වා පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයේ අගයක් වශයෙන් ගත්විට 2017 වසරේ පවතී යැයි අපේක්ෂා කරන සියයට 5.2 මට්ටමට වඩා අඩු වී සියයට 4.8 ක මට්ටමට පත්වනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.

මෑත කාලයේදී රජයේ වියදම් සම්බන්ධයෙන් භාණ්ඩාගාරය විසින් අනුගමනය කරනු ලබන පියවර වන්නේ වසර අවසන් වනතුරු අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවලට මුදල් නිකුත් නොකර වසර අවසානයේදී නිකුත් කිරීමය. එවිට ඒවා වියදම් කිරීමට නොහැකි වේ.

රජයේ වියදම්වලින් සියයට 40 කට ආසන්න ප‍්‍රමාණයක් වියදම් කිරීමට නොහැකි තත්ත්වයකට පත්වේ. ඒ අනුව අයවැය හිඟය ඉතා අඩු මට්ටමකට පත් වීම බලාපොරොත්තු විය යුත්තකි.

රජය සාර්ව ආර්ථීක කළමනාකරණය තුළින් පසුගිය වසර කිහිපය තුළ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනඟා ඇතැයි ප‍්‍රකාශ කළද විනිමය අනුපාතය අවප‍්‍රමාණවීම, පොලී අනුපාත ඉහළ යාම සහ උද්ධමනය ඉහළ යාම වළක්වා ගැනීමට නොහැකි වී තිබේ.

අයවැය ලේඛනයේ අධික බදු බර ජීවන වියදම වැඩිවීමටත් උද්ධමනය ඉහළ යාමටත් හේතුවනු ඇත. පහළ ආදායම් සහ මැදි ආදායම් ලබන කොටස්වලට කිසිදු සහනයක් නොලැබෙන මෙම අයවැය ලේඛනයේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ ආර්ථිකය තුළ දැඩි අස්ථාවරත්වයක් ගොඩ නැගීමත් මහජනතාවගේ ජීවන බර තවදුරටත් වැඩිවීමත්ය.