IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ජූලි වර්ජකයකුට ගේ හදාගන්න කපුගේ ‘මාවතේ ගීතය’ කැසට් එකේ සල්ලි ටික දුන්නා

 rth

 

මෙවර සුසංයෝගයක මතක සැමරුමට එක්වන්නේ ප‍්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහයි. ඒ ඔහුගේ ප‍්‍රාණ සම මිත‍්‍ර විශාරද ගුණදාස කපුගේ පිළිබඳ මතක රැසක් සමගිනි. අග මුල නිසි පරිදි ගැළැපීමක් නැති මේ මතකයන් ඔවුන්ගේ මිත‍්‍රත්වය සේම සංස්කරණයෙන් තොරය.

 

tet

මම උසස් පෙළ පංතියේ ඉගෙන ගන්න කාලේ ගුවන් විදුලියේ ‘‘යෞවන සමාජය’’ කියලා වැඩසටහනක් තිබුණා. ඒකට මම ලියනවා ඒ දවස්වල. ඒක එතකොට නිෂ්පාදනය කළේ ලූෂන් බුලත්සිංහල. මම ඒකට යවපු ගීතයක් කපුගේ ගායනා කළා සජීවීව සර්පිනාවත් වාදනය කරමින්. මම මේ කියන්නේ 1975 අවුරුද්දේ. ඒක තමයි මම මගේ ජීවිතේ ලියපු පළමුවෙනි ගීතය. එතකොට මම කපුගේවත් ලූෂන්වත් අඳුරන්නේ නෑ. ඒ කාලේ ඉරිදා ? ලූෂන්ම ඉදිරිපත් කරපු තවත් වැඩසටහනක් තිබුණා ‘‘සඳැල්ල’’ කියලා. ඒකෙත් දවසක් කපුගේ මම ලියපු කවියක් කියෙව්වා. ඔය සිද්ධි දෙක තමයි කපුගේගෙයි මගෙයි සම්බන්ධයේ මුල.


ඔහොම කාලය ගෙවිලා ගිහින් මම දුෂ්කර පළාතකට ගුරු සේවයට යනවා. ඒ යන්නේ මොනරාගලට. කපුගේත් රජරට සේවයට මාරුවෙලා යනවා. ඔය අතරේ රජරට සේවයට සම්බන්ධවෙලා ඉඳපු අය එකතුවෙලා ‘‘කාලයේ රාවය’’ කියලා ප‍්‍රසංගයක් කරන්න සූදානම් වුණා. ඒ 1981 අවුරුද්දේ. ඒකට මුල්වුණේ කපුගේ, නන්දන මාරසිංහ, සුනිල් විජේසිරිවර්ධන, වින්සන්ට් කුරුඹාපිටිය විජයානන්ද ජයවීර වගේ අය. මාත් ඒකට ගීත කීපයක් යැව්වා. ඒකට ගීත එවන්න කියලා ඉල්ලලා තිබුණා. ඒකෙ ගීත තෝරාගන්න විශේෂ වැඩමුළුවක් තිබිලා මමත් ඒකට සහභාගි වුණා. අනුරාධපුර ලංකා බැංකු ශ‍්‍රවණාගාරයේ තමයි වැඩමුළුව තිබුණේ. නම් නැතුව ගීත ටික විතරක් තෝරන්න සූදානම් කරලා තිබුණේ. බිම පැදුරු දාලා ගීත ගොඩගහලා තිබුණෙ. ඒකට ගීත ගැන කතා කරන්න මහාචාර්ය සුචරිත ගම්ලත් එක්ක තිලක් ජයරත්නත් ඇවිත් හිටියා. මෙතනදි තමයි මට පළමුවෙනි වතාවට කපුගේ මුණගැහෙන්නේ. ‘‘කාලයේ රාවය’’ ප‍්‍රසංගය එකක් දෙකක් කරලා නැවතුණා. ඒක දිගට ගියේ නෑ. මම ලියපු සිංදු කීපයකුත් ඒකට තේරුණා. ‘‘නින්ද නැති රැුයේ’’, ‘‘මගෙ බිසවුණේ අසාපන්’’ ‘‘වීදියේ බුදුහිමි’’ කියන ගීත තමයි ඒකට තේරුණේ. පස්සේ කපුගේ කරපු ‘‘මාවතේ ගීතය’’ කැසට් එකටත් ඔය සිංදු ටික ඇතුළත් වුණා. ඒ කැසට් එක නිෂ්පාදනය කළේ සිංග්ලංකා ආයතනය. එතකොට සිංග් ලංකා එක තිබුණෙ නුගේගොඩ පාගොඩ පාරේ. කැසට් එකේ සල්ලි ගන්න කපුගේයි මමයි ගියා සිංග් ලංකා එකට. මට සිංදු තුනට හම්බවුණේ රුපියල් හත්සිය පනහයි. කපුගේට කැසට් එකටම රුපියල් තිස්දාහක් විතර හම්බවුණා. ඒකත් අරගෙන කපුගේ මාවත් අඬගහගෙන ඉස්සෙල්ලාම ගියේ රාජගිරියේ කපුගේ දන්න කෙනෙකුගෙ ගෙදර. එයා 80 වැඩ වර්ජනේට අහුවෙලා රස්සාව නැති වෙච්ච කපුගේගෙ මිත‍්‍රයෙක්. එයාගෙ නම් දැන් මට මතකෙට එන්නේ නෑ. එයාගෙ ගේ කැඩිලා බිත්තිත් ගරා වැටිලා ඉටි රෙදි වහලෙට දාලා තිබුණෙ. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. අර කැසට් එකට හම්බවෙච්ච රුපියල් තිස්දාහෙන් රුපියල් විසිදාහක් අර මිත‍්‍රයට දුන්නා ගේ හදාගනින් කියලා. ඒ කාලේ රුපියල් විසිදාහක් කියන්නේ ලොකු ගාණක්. මගේ පඩියත් එතකොට රුපියල් තුන්සිය පනහක් විතර ඇති. ඊට පස්සෙ අපි නුගේගොඩට ඇවිත් රෙස්ටුරන්ට් එකක පොඩි බිලකුත් ගෙවලා තමයි ගියේ. කපුගේ ඒ වගේ යාළුවන්ට උදවු කරපු මනුස්සයෙක්.

කපුගේයි මමයි සහභාගී වෙච්ච පළමුවෙනි රූපවාහිනී සාකච්ඡුාව ‘‘රසකළස’’ කියලා සුනිල් ආරියරත්න තමයි කළේ. ඊට පස්සෙ දිගටම අපි ගොඩක් වැඩ කළා. රටේ නොයෙක් තැන්වලට ගියා. හරිම අපූරු අමතක නොවන ගනුදෙනුවක් තමයි අපි දෙන්නට තිබුණේ.


1994 මම කොළඹ රස්සාවකට ආවම ඉස්සෙල්ලාම නවතින්නේ කපුගේලගෙ ගෙදර. එතකොට කපුගේ හිටියෙ උඩහමුල්ලෙ සමගි මාවතේ. අපි අන්තිමට කළේ ‘‘ඉරබටු තරුව’’ ගීත එකතුව. ඒකෙ ඔක්කොම ගීත ලිව්වෙ මම. ඒ එක්කම ඒ නමින්ම මගේ ගීත පොතත් පළ කළා. මේ කාලේ වෙනකොට මම නැවතිලා හිටියේ නාවින්නේ ආයුර්වේදෙ ගෙදරක උඩ තට්ටුවෙ. ‘‘ඉරබටු තරුව’’ කැසට් එකේ සිංදු හදන්න අපි නිතරම එතන තමයි එකතු වෙන්නේ. සමහරදාට දිවුල්ගනේලගෙ ගෙදර හමුවෙනවා. එතකොට දිවුල්ගනේ හිටියෙ පන්නිපිටියෙ පැලැන්වත්ත පාරේ ගෙදර.


කපුගේ අපේ පවුලෙ හිතවතෙක් විදියට තමයි සමීපතාව තිබුණේ. අපි කපුගේලගෙ ගෙදර යනවා. කපුගේ අපේ ගෙදර එනවා. කපුගේ අපිට වඩා උසයිනේ. ඒක නිසා ගාල්ලෙ කොටුවෙ අපේ ගෙදර කපුගේ ආවම නිදාගන්න වෙනම ඇඳක් මම ගෙනත් තියලා තිබුණා. අපි නිදාගන්න සයිස් එකේ ඇඳක කපුගේට නිදාගන්න බෑ දිග මදිනේ.


කපුගේ යාළුවන්ට උදවු කිරීම ගැන තවත් සිද්ධියක් මට මතක් වෙනවා. කපුගේ සන්ෆලවර් එක්ක සිංදු කියලා ටිකක් වැඩිපුර සල්ලි හම්බවුණු වෙලාවෙ ඒකෙනුත් ලොකු ගාණක් ගිහින් තියෙන්නේ සුගතපාල ද සිල්වගේ ව්‍යායාම් උපකරණයක් ගන්න. කපුගේ මට ඔය කතාව කිව්වෙත් නෑ. සුගත් අයියාමයි මට ඒක කිව්වෙ. තව සුගත් අයියගෙ උසට කණ්ණාඩියකුත් අරගෙන දීලා තියෙනවා කපුගේ. ඔය වගේ සිදුවීම් හරියට තියෙනවා. අපි දන්න එකක් දෙකක් විතරයි ඔය. නොදන්න ඒවා  ඕන තරම් ඇති. තව සිද්ධියක් මට අපේ මිත‍්‍රයෙක් කිව්වා. අපි ඔය කළු රංජිත් කියලා කියන මිත‍්‍රයා තමයි මේ කතාව කිව්වෙ. පපුවෙ සිදුරක් තියෙන ළමයෙකුගේ ඔපරේෂන් එකකට සල්ලි එකතු කරපු වෙලාවක කපුගේලගෙ ගෙදරටත් ඒ කට්ටිය ගියාම කපුගේ ළඟ සල්ලි තිබිලා නැතුව කොහේ හරි තියලා තිබුණු කැටයක් කඩලා රුපියල් තුන්දාහක් විතර එකතු කරලා දීලා තියෙනවා. ඒ වගේ පුදුම චරිතයක් තමයි කපුගේ.


අපි එක එක වැඩවලට රටේ හැම තැනම වගේ ගියා. ඒ ගියපු ගමන්වලදී වෙච්ච දේවල් නම්  ඕන තරම් තියෙනවා. සමහර ඒවා හිනා යන දේවල්. එක සැරයක් ගාල්ලෙ වංචාවල පැත්තේ කට්ටියක් එකතුවෙලා සංවිධානය කළා මගේ සිංදු ගැන කතා කරන්න වැඩසටහනක් ඒක තිබුණෙ ගාල්ලෙ නගර ශාලාවෙ. ප‍්‍රධාන දේශනය කළේ සුනිල් ආරියරත්න. කපුගේට සිංදු කියන්නයි තිබුණේ. කපුගේ එදා සිංදු කියනවට වඩා කළේ කතා කරන එක. කපුගේගෙ කතාව වැඩිවෙන්න හේතුව අමුතුවෙන් කියන්න  ඕන නැහැනේ. සුනිල් ආරියරත්නගෙ කතාව ආවම සුනිල් කිව්වෙ අද මට කරන්න තිබුණු කතාව කපුගේ කරපු නිසා මම සිංදු කියන්නම් කියලා.


තවසැරයක්  ඕපාත පැත්තෙ ඉස්කෝලෙක ප‍්‍රසංගයක් තිබිලා අපි ගියා. ඒක සාම්ප‍්‍රදායික සංගීත ප‍්‍රසංගයක්ම නෙවෙයි. මම සිංදු ගැන කතා කරනවා. කපුගේ සිංදු කියනවා. ඔහොම තමයි වැඬේ ගියේ. ෂෝ දෙකක් තිබුණා. පළමුවෙනි ෂෝ එකේදී කපුගේ ගොඩක්ම සිංදු කියන්න පුළුවන් සීමාවෙ හිටියෙ නෑ. ඒක නිසා මම වැඩිපුර කතා කළා. පළමුවෙනි ෂෝ එක ඉවරවෙලා දවල්ට කන්න කලින් ඒ කිට්ටුව තිබුණු ඇළකට ගියා නාන්න. ඒක සිංහරාජ ඉඳලා එන ලොකු ඇළක්. කපුගේ තුවායකුත් ඇඳගෙන නාන්න බැස්සා. වටේම කට්ටිය කපුගේ බලන්න ඇළ ගාවට ආවා. කපුගේ සන්තෝසෙටත් එක්ක වැඩිපුර පානය කළා. මේක නවත්තගන්න  ඕන නිසා කපුගේ දාගන්න දාගන්න කෝප්පෙ මම බිව්වා.


කොහොම හරි අපි කට්ටිය නාලා ඇවිත් දවල්ට කාලා එහෙම ඊළඟ ෂෝ එක කරන්න ගියා. ෂෝ එක පටන් අරන් යද්දි මට තේරුණා උදේ ෂෝ එකේදි කපුගේට වෙච්ච දේ හවස මට වෙලා කියලා. බලනකොට කපුගේ බේරගන්න කියලා කපුගේ වක්කරපු ඒවා බීපු මම සීමාව ඉක්මවලා ගිහින්. කපුගේට ප‍්‍රශ්නයක් නෑ කපුගේ උදේට වඩා හොඳට සිංදු කියනවා. කතා කරන්න ගියාම මටම තේරුණා මම කියන්නේ එතෙන්ට ගැළපෙන ඒවා නෙවෙයි කියලා. ඒත් අවුලක් නැතුව ෂෝ එක කළා. ඔය වගේ කතන්දර තොගයක් තියෙනවා.


එක සැරයක් අපි ගියා අපේ හිතවතෙක් වන තිඹිරියාගම බණ්ඩාරලගෙ ගමේ ඉස්කෝලෙක තිබුණු උත්සවේකට. කපුගේයි මමයි සුනිල් මාධවයි තුන්දෙනා තමයි ගියේ. අපි ? නැවතුණේ තිඹිරිලගෙ මහ ගෙදර. ඒ දවස්වල කපුගේ වෛද්‍ය උපදෙස් මත මද්‍යසාර නවත්තලා තිබුණේ. ඒ වෙනුවට බෝතලේක මෝල්ටඞ් මිල්ක් එකක් අරගෙන ගියා. එදා සිද්ධවුණු ලස්සනම වැඬේ තමයි අපිට කපුගේට වගේ වෛද්‍ය උපදෙස් හම්බවෙලා තිබුණෙ නැති නිසා අපි කපුගේට සිංදු කියන්න නොදී අපි කපුගේට වඩා සිංදු කියපු එක. එදා ගායකයො වුණේ සුනිලූයි මමයි.


මම කපුගේට සිංදු හතළිස් දෙකක් ලියලා තියෙනවා. මං හිතන්නේ මං තමයි කපුගේට වැඩිම සිංදු ප‍්‍රමාණයක් ලියලා තියෙන්නේ. කපුගේ මහ ගොඩක් සිංදු කියලත් නෑනේ. මගේ තැටිගත වෙච්ච පළමුවෙනි ගීතය ‘‘නෙතුපියන් පියා’’ කියලා බණ්ඩාර අතාවුද ගායනා කරපු සිංදුව කපුගේ නිෂ්පාදනය කරපු නව පද මාලා වැඩසටහනට යවපු එකක්. ඒකත් විශේෂයක්.


කපුගේ ‘කම්පන’ ප‍්‍රසංගය කරන කොටත් ඒකෙ ගොඩක් සිංදු ලිව්වෙ මම. ‘‘බිම්බරක් සෙනඟ’’ වගේ සිංදු සමාජගත වෙන්නෙම කම්පන ප‍්‍රසංගය හරහානේ. භීෂණ කාලේ රඹුකන හාමුදුරුවො තමයි ගංගාරාමෙ පංසලේ නවත්තගෙන කපුගේගෙ කම්පන ප‍්‍රසංගය කරන්න ගොඩක් උදවු කළේ. පළමුවෙනි කම්පන ප‍්‍රසංගය කරලා ඉවරවුණාට පස්සෙ සිද්ධාර්ථ හාමුදුරුවොයි කපුගෙයි කට්ටියම කතරගම ගියා. ඒ යන අතරෙ ගාලූ කොටුවෙ අපේ ගෙදරටත් ආවා. ඒ එනකොට කපුගේ ටේබල් ෆෑන් එකක් ගෙනත් දුන්නා. මොකද අපේ ගෙදර ඇතුළෙ ටිකක් රස්නෙයි. කුස්සියෙ උයනකොට ගේ ඇතුළෙ දුම් පිරෙනවා.  ඕක මතක තිබිලා තමයි කපුගේ ෆෑන් එකක් ගෙනාවෙ.


යාළුවෙක් විදියට කපුගේ හරිම පුදුම ගතිගුණ තිබුණු කෙනෙක්. කපුගේ කොච්චර බිව්වත් අපි බොනවට කැමති නෑ. හැම තිස්සෙම කියන්නේ ‘‘බොන්න එපා රත්නෙ වැඩිය’’ කියලම තමයි එයා බිව්වට අපි බොනවට කැමැත්තක් තිබුණෙ නෑ.


යාළුවන්ගෙ දුක සැප නිතරම හොයපු කෙනෙක් කපුගේ. මොකක් හරි ප‍්‍රශ්නයක් ඇතිවුණාම සල්ලි එහෙම තියෙනවද කියලා අහලා අතේ තියෙන තරමක් දෙනවා. කපුගේ හැම කෙනාටම ඔය වගේ උදවු කරලා තියෙනවා. පුදුම මනුස්සකම් තිබිච්ච මිනිහෙක්.


හැමදේටම වඩා කපුගේ හොඳට කියවපු කෙනෙක්. බොරුවට පොතපත අතගාපු මිනිහෙක් නෙවෙයි කපුගේ. එයා ළඟ හොඳ පොත් එකතුවකුත් තිබුණා. සෝවියට් සාහිත්‍යයට එහෙම මුළු හිතින්ම ආදරය කළා. ඒ පොත්වල තිබුණු දේවල් ප‍්‍රායෝගිකව ජීවිතේට අල්ල ගත්තා. අපිට එකතුවෙලා නිර්මාණය කරන්න ඒ බැඳීමත් හේතුවුණා. මමත් සෝවියට් සාහිත්‍යයට ඇලූම් කරපු කෙනෙක්. තමන්ගෙ ගීතවලත් සාහිත්‍ය පැත්ත ගැන කපුගේ අවධානය යොමුකළා. අපි ඉරබටු තරුව කැසට් එකේ සිංදු හදද්දි මේ වගේ සංවාද ගොඩක් කළා. අපි සාකච්ඡුා කරලා තමයි ඒ සිංදු හැදුවෙ.


‘‘පුරහඳට පේන්නට පංසලේ’’ කියන සිංදුවෙ සංගීතය හදද්දි අපි ඒකට පාවිච්චි කරන සංගීත භාණ්ඩ මොනවද කියලා කතාබහ කරලා තමයි යොදා ගත්තේ. මගේ සිංදුවල තියෙන ජනශ‍්‍රැති ආශ‍්‍රිත සිදුවීම් මම කපුගේට පැහැදිලි කරලා දෙනවා. ‘‘බෝදිලිමා අඬන්නේ’’ සිංදුව එහෙම අපි කතා කරපු සිංදුවක්. ඊට පස්සේ කපුගේ ඒකට ගැළපෙන විදියට තමයි සංගීතය එකතු කරන්නේ. ‘‘බිම්බරක් සෙනඟ’’ සිංදුවෙ සංගීතය නිර්මාණය කරලත් කපුගේ මට කතා කරලා ඇහුවා ඒ ගැන. මමත් යම් යම් යෝජනා කළා. පහත රට යක් බෙරය පාවිච්චි කළොත් හොඳයි කියලා මම කිව්වෙ.


කපුගේ සමාජවාදී අදහස් දරපු කෙනෙක්. කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංගමයටත් සම්බන්ධවෙලා හිටියා. මට මතක විදියට ජේ.වී.පී. දේශපාලනයටත් සමීපව කටයුතු කළා. ඔවුන්ගේ වේදිකාවලත් නැග්ගා. කපුගේට තමන්ගෙම දැක්මක් තිබුණා. එයාගෙ නිර්මාණවලිනුත් එළියට ආවෙ එයාගෙ හිතේ තිබුණු මානව පේ‍්‍රමය තමයි. ඒක බොරුවට කරපු මවාපෑමක් වුණේ නැති නිසා තමයි අදත් කපුගේ ගැන මිනිස්සු කතා කරන්නේ.


අපි දෙන්න කරපු සිංදුවලින් අපි දෙන්නම වැඩිපුර විශේෂත්වයක් දක්වපු සිංදු විදියට ‘‘බිම්බරක් සෙනඟ’’ ‘‘නින්ද නැති රැුයේ’’ ‘‘මගෙ බිසවුණේ අසාපන්’’ වගේ සිංදු කැපී පේනවා. අනෙක් සිංදුත් ඒවගේම තමයි අන්තිමට අපි කරපු ‘‘සිංහල සිංදු කියන’’ ඒකෙ අදහස කපුගේ මට දීපු එකක්. අනූගණන්වල මුල හරියේ තමයි කපුගේ මේ ඔත්තුව මට දෙන්නේ. ‘සිව්දෙස’ කියලා සඟරාවක් දයාසේන ගුණසිංහ මහත්තයා කළා. කපුගේ මට කිව්වා ‘සිව්දෙස’ සඟරාවෙ තියෙනවා නඬේසන්ලගෙ විනිතලගෙ කතාව. ඒ එක්කම කිව්වා ඒක කියවලා සිංදුවකුත් ලියලා  ඕන කියලා. ඒ කතා කියවලා තමයි ‘සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී....’ කියන සිංදුව මගේ අතින් ලියවුණේ. කපුගේ ඒ ලිපිය ගැන ඔත්තුව නොදෙන්න ඒ සිංදුව ලියවෙන එකක් නෑ.


ඒ වගේම තමයි මම වෙන ගායක ගායිකාවන්ට ලියපු ගීත රාශියක් කපුගේ සංගීතවත් කළා. දිවුල්ගනේට ලියපු සිංදු කීපයක්ම කපුගේ හැදුවෙ. දවසක් ගුවන් විදුලියේ සිංදුවක් පටිගත කරලා යන අතරේ කොරිඩෝවෙදි මට කුළෑටි කොල්ලෙක් ඇවිත් එයා සිංදු කියනවා කියලා මගෙන් සිංදුවක් ඉල්ලූවා. මම කිව්වා දැන්නම් ළඟ නෑ කියලා. එයා කිව්වා කපුගේ අඳුරනවා කියලත්. මම කිව්වා එහෙනම් මම ලියපු සිංදුවක් කපුගේ ළඟ තියෙනවා ඉල්ලලා බලන්න කියලා. ඒක එයා ඉල්ලගෙන කිව්වා. ඒ තමයි ‘‘කිරුළ මුතුලිහී’’ කියන සිංදුව. ගායකයා තමයි ජානක වික‍්‍රමසිංහ. ඊට පස්සෙ මම ලියපු ‘‘සඳ කිඳුරා මිය ගියා’’ සිංදුවත් ජානකට මියුසික් කරලා දුන්නෙ කපුගේ.


කපුගේ මට වඩා අවුරුදු අටයි වැඩිමල්. මම ළඟින්ම ඉඳපු නිසා මම දැකලා තියෙනවා කපුගේට මිනිස්සුන්ගෙ තිබුණු ආදරය. ජෝතිපාලට තිබුණා වගේ එකක් තමයි ඒකත්. ජෝතිටත් වඩා ටිකක් සාහිත්‍ය කලාව පිළිබඳ උනන්දුවුණු විශාල පිරිසක් කපුගේ වටේ හිටියා. තාමත් කපුගේ ගැන මොකක් හරි තිබුණාම මිනිස්සු හොයාගෙන එන්නේ ඒකයි. තාම මිනිස්සු කපුගේ හොයනවා. අපිත් පිටරට එහෙම ගියාම මිනිස්සු කපුගේ ගැන අහනවා. ඒ කාලේ තොරතුරු දැනගන්නත් ඒ අය කැමතියි. ඒකෙන් පේනවා කපුගේ කොච්චර දුරට මිනිස්සු එක්ක හිටියද කියලා.


කපුගේ මට අන්තිමට හම්බවෙන්නේ 2003 මාර්තු 12 වෙනිදා මාතර මඟුල් ගෙදරක යන්න ආපු ගමනෙදි. මම එතකොට කොළඹ වැඩ කරනවා. එදා සිකුරාදා දවසක්. මම සතියේ දවස් පහ වැඩ කරලා සිකුරාදා ගාල්ලෙ ගෙදර යනවා. එදත් මම යනකොට කපුගේ අපේ ගෙදර ඇවිල්ලා හිටියා. මම යනකොට කපුගේ නිදි. හේමමාලිට කියලා කෑමත් හදාගෙන කාලා කපුගේ නිදාගෙන හිටියේ. කැකුළු බතුයි හාල්මැස්සොයි පරිප්පු පොල් සම්බලූයි තමයි අපේ ගෙදර ආවම හදවා ගන්නේ. මග එනකොටම හේමමාලිට කෝල් කරලා කියනවා උයන්න කියලා. කපුගේ ඇවිත් හිටියේ මාතර මඟුල් ගෙදරක යන්න. මානවසිංහ මහත්තයගෙ ළඟම ඥාතියෙකුගෙ මඟුල් ගෙයක් ඒක. කපුගේ මානවසිංහ පවුල එක්ක ගොඩක් සමීපයිනේ. කපුගේගෙ විවාහය සිද්ධවුණෙත් මානවසිංහ මහත්තයලගෙ බොරලැස්ගමුව ගෙදරදිනේ. උදේ අවදිවෙලා කපුගෙයි මමයි දෙන්නම ඒ මඟුල් ගෙදර ගියා. මටත් කියලා තිබුණෙ මඟුල. අපි දෙන්න එකට යමු කියලා කතාවෙලා හිටියෙ. කපුගේ මඟුල් ගෙදර සිංදු එහෙමත් කියලා කලින් ගියා. මම පහුවෙනිදා තමයි ගාල්ලෙ ආවෙ. ඒ මාසෙම 26 වෙනිදා මට මතකයි මම ගෙදර එන අතර මඟ කළුතර හරියෙදි කපුගේ මට කෝල් කළා. එදත් සිකුරාදා දවසක්. කපුගේ කතා කරලා කිව්වා ‘‘රත්නේ මම අද ?ට මැදපෙරදිග ෂෝ එකකට යනවා’’ කියලා. එනකොට මොනවද අරගෙන එන්න  ඕන කියලත් ඇහුවා. ඒක තමයි මට කපුගේ කතා කරපු අන්තිම දවස. ඊට පස්සෙ අපේ‍්‍රල් තුන්වෙනිදා අපි මාතලේ සාහිත්‍ය උත්සවේකට ගිහින් ඉන්න අතරෙ තමයි අපිට කපුගේ නැතිවෙච්ච ආරංචිය ආවෙ. මම ඒ උත්සවේ කතා කරනකොටම තමයි කෙනෙක් ඇවිල්ලා මට කිව්වෙ මේ ආරංචිය අපි ඒ වැඩෙත් ඉක්මනට ඉවර කරලා කොළඹ ආවා. අපි කෙළින්ම ආවෙ තලපත්පිටියෙ කපුගේ හදපු අලූත් ගෙදරට. සාලෙ මැද්දෙ මගෙ ප‍්‍රාණ සම මිත‍්‍රයා හිටියා. ඒක බලන්න අමාරු දර්ශනයක්. ඒක මම දකින්න හිටපු දෙයක් නෙවෙයි. මට තාම දවසකට එක සැරයක් හරි කපුගේ මතක් වෙනවා.

m



අදහස් (0)

ජූලි වර්ජකයකුට ගේ හදාගන්න කපුගේ ‘මාවතේ ගීතය’ කැසට් එකේ සල්ලි ටික දුන්නා

මහේෂ් Monday, 14 December 2015 02:09 AM

කපුගේ මහතා මගේ පුරුවේ වාසනාවකට එක සැරයක් මුණගැහිලා තිබෙනවා. ඒ එංගලන්තයේදී. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී මිනිසෙක්. මට එකදවසකදී මුණගැසුණු ඒ උතුම් මිනිසා ගැන ඔබ පැවසූ දේ ඉතා රසවත්. මටත් යම් දවසක ඔබව මුණගැසේවි යැයි ප්‍රර්ථනා කරමි. ඔබට නිදුක් නිරෝගී සුව! (නි)

:       0       0

ජනක Tuesday, 15 December 2015 05:33 AM

අපේ රටට වඩා කළාකරුවන් අගයන රටක ඔහු නැවත ඉපදීවා !(ම)

:       0       0

ජයන්ත Friday, 11 December 2015 04:28 PM

හිත හොඳ මිනිස්සු ඇසුරුකරන්න ලැබෙන එක වාසනාවක්, පිනක්. අපෙන් වෙන්වෙන එක දරාගන්න අමාරුම වේදනාවක්. (නි)

:       0       0

දුමින්ද Sunday, 13 December 2015 10:41 AM

කපුගේම වතාවක් කියපු විදිහට මුලු ලංකාවෙම එක්කෙනෙක් හැර හැමෝම කපු‍ගේට අාදෙරයි. කපුගේට අාදරේ නැති එකම කෙනා කපුගේ... (නි)

:       0       0

චතුර Saturday, 12 December 2015 11:44 AM

ඇත්තටම වටිනා මනුස්සයෙක්. මගෙත් වීරයෙක් (නි)

:       0       0

ශ්‍රීකාන්ත් Sunday, 13 December 2015 11:37 AM

කපුගේ , රත්න ශ්‍රී සිංහල ගීත සාහිත්‍යයට කළ සේවය අතිමහත්. ලාංකීය ගීත නාමාවලිය ගෙත්තම් කළ එක් පුරුකක් නැතිවීම අප ලද අභාග්‍යයකි. නොඑසේ නම් තව බොහෝ නිර්මාණ බිහිවේවි.මේ සුසංයෝගය ඉතිහාසගතවී අවසන්. (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 12 December 2015 01:08 PM

මගේ ආදරණිය, සදා අමරණිය ගායකයා. (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 13 December 2015 11:43 AM

සුන්දර හදවත් තිබෙන මිනිස්සු (නි)

:       0       0

ප්‍රසන්න ප්‍රේමරත්න Friday, 11 December 2015 06:46 PM

හදවතින්ම ආදරය කරන කෙනෙක් (නි)

:       0       0

අරුන්ගොඩ Wednesday, 16 December 2015 06:12 AM

කපුගේ...ඔබ සදා අමරණීයයි ..... (ම)

:       0       0

මහින්ද Friday, 11 December 2015 08:50 PM

කපුගේ, ඔබේ සුවඳ ඔබේ සින්දු වල රඳාපවතී (නි)

:       0       0

ඉන්දික Tuesday, 15 December 2015 03:41 PM

නියම මිනිස්සු. අපි ආදරෙයි ඔවුන්ට (නි)

:       0       0

අබරන් Monday, 14 December 2015 06:26 AM

කපුගේ නම කියවෙනකොටම මතක් වෙන තවත් නමක් තමයි රන් බණ්ඩා සෙනෙවිරත්න මහත්තයා. රත්න ශ්‍රී නම් හමුවෙන්ට වාසනාව තිබුනා. එ්ත් රන්බණ්ඩා මහත්තයව දැකල නැහැ. (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 17 December 2015 05:00 AM

ගුණදාස කපුගේ කියන්නේ තවත් එක් නිර්මාණශිලි ගායකයෙක් ඔබ අපේ සදා මතකයේ රැදේ (ම)

:       0       0

ඩයස් Saturday, 12 December 2015 04:18 AM

කෙතරම් නිහතමානී නිර්මාණශීලී මිනිසුන්ද? ඔබ කළ නිර්මාණ සදා අප සිත්වල රැඳී ඇත. (නි)

:       0       1

චන්ද්‍රසිරි Friday, 11 December 2015 10:36 AM

මම කැමතිම මිනිසුන් දෙදෙනෙකුගේ කතාවක්. (ර)

:       0       0

අමල් Friday, 11 December 2015 12:14 PM

මමත් කැමතිම මිනිසුන් දෙදෙනෙකුගේ කතාවක්.(ම)

:       0       0

චතුර Tuesday, 15 December 2015 08:19 PM

කලාකරුවාණෙනි, ඔබ ආත්ම පරිත්‍යාගයෙන් බිහිකළ උදාර කලා ලෝකය අද බිහිවෙන එස්එම්එස් ගායකයන් විසින් විනාශ කර ඇත. (නි)

:       0       3

ජනක Wednesday, 16 December 2015 12:39 AM

අබරන්, මමත් රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයා ගැන අහලා තියනවා. දකින්න වාසනාව නැහැ (නි)

:       0       0

සිරි Sunday, 13 December 2015 07:11 AM

"මං එනතුරු ඉදිකඩ ළග ඉන්නවාද අම්මේ ?"-කපුගේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ ඉදිරි ගමනේ දුෂ්කරතා
2024 අප්‍රේල් මස 29 141 1

ආර්ථිකයේ තත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, විසඳාගතයුතු කරුණු ජා.ජ.බ. සමග විවාදය යනාදී කරුණු සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හම


මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?
2024 අප්‍රේල් මස 29 236 0

උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්‍රචාරක වැඩට ක


සත්‍යය අසත්‍යයට පාවාදීම
2024 අප්‍රේල් මස 27 682 1

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 133 1

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 747 3

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 189 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1780 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1612 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site