ලංකාව නිදහස ලබා අවුරුදු 71කි. එදා නොතිබුණු ප්‍රශ්න අද උද්ගතව තිබේ. එසේම එදා තිබුණු ඇතැම් ප්‍රශ්න දැන් ඔඩු දුවා ගොසිනි. මේ තත්ත්වයෙන් රට ගලවා ගැනීමට පිහිටුවිය යුතු අලුත් අමාත්‍යංශයක් ගැන පෞද්ගලික අංශයේ ප්‍රකට ව්‍යවසායකයකු වන නිල්මින් නානායක්කාර මහතා යෝජනා කරයි. නානායක්කාර මහතා අවුරුදු 40කට ආසන්න කාලයක් නිරත වන්නේ සංචාරක කර්මාන්තයට අදාළ ක්ෂේත්‍රවලය. මේ ඔහුගේ හඬයි.

අද මුළු ලෝකයම කතා කරන්නේ චිරස්ථායි හෙවත් ධරණීය සංවර්ධනයක් ගැනය. එසේ කතා කරන්නේ එහි තිබෙන වැදගත්කම හේතුවෙනි. රටක් සංවර්ධනය කළ යුත්තේ වර්තමානය ගැන පමණක් සිතා බලා නොවේ. අනාගතය සහ අනාගත පරපුර ගැන සිතීම බරපතළ අවශ්‍යතාවකි. අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට එය අලුත් දෙයක් විය හැකි වුවත් දියුණු නොදියුණු ලොව බොහෝ රටවල් ඒ ගැන සිතයි. මගේ වැටහීම නම් ඒ ගැන නොසිතන්නෝ අඳබාලයෝය. චිරස්ථායි සංවර්ධනය ගැන නොසිතන මිනිසුන්ට පිස්සු නැතිනම් ඒ ගැන සිතා මතා සිය රටවල් සංවර්ධනය කරන මිනිසුන්ට පිස්සුය.

රටක වර්තමානයට සේම අනාගතයට ද ප්‍රයෝජනවත් වන ලෙස ඒ රටේ ස්වභාවික සම්පත්වලින් ප්‍රයෝජන ගත යුතුය. ජලය, ආහාර, විදුලි බලය යනාදී සියල්ල මිනිසුන්ගේ මූලික අවශ්‍යතාය. සමස්ත ලෝකයම දැන් සිතන්නේ එලෙසය. චිරස්ථායි සංවර්ධනය ගැන කතා කිරීමට පෙර ලෝකයම උනන්දු වූයේ වගකීමකින් යුතු රාජ්‍ය පාලනය ගැනය. එහෙත් නූතන ලෝකයේ වැඩියෙන්ම කතා කරන්නේ සහ ප්‍රමුඛතාවය දෙන්නේ චිරස්ථායි සංවර්ධනය ගැනය. පුදුමයකට කරුණ වන්නේ වගකීමකින් යුතු රාජ්‍ය පාලනය ගැන ලෝක අවධානය යොමුවී තිබුණු යුගයේත් අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය ඒ වෙත යොමු නොවීමය. ඒ කෙරෙහි ඔවුනගේ අවධානය යොමු වූයේ දේශපාලන වාසි ලබා ගැනීමටය. ඒ සඳහා අහු මුලුවල ඒ ගැන කතා කළහ. එහෙත් ප්‍රායෝගිකව ක්‍රියාවට නොනගා සිටීමට පරිස්සම් වූහ. ඒ පරිස්සම් අදටත් තිබෙන බව මගේ වැටහීමයි.

චිරස්ථායි සංවර්ධනය ( Sustainable Development) ආර්ථික හා දේශපාලන දර්ශනයකි. ලංකාවේ පැවැති හා පවතින ආණ්ඩු ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ බවක් නොපෙනෙයි. එළඹෙන මැතිවරණවලින් දැනට තිබෙන ආණ්ඩුවම බලයට පැමිණියත් අලුත් ආණ්ඩුවක් බලයට පැමිණියත් අපට ප්‍රශ්නයක් නැත. සරලව කිවහොත් ආණ්ඩු කරන්නේ කව්ද යන්න අපට ප්‍රශ්නයක් නොවේ. අපට ප්‍රශ්නයක්ව ඇත්තේ බලයට එන කොයි ආණ්ඩුවත් චිරස්ථායි සංවර්ධනය නමැති ආර්ථික හා දේශපාලන දර්ශනය මත පිහිටා කටයුතු නොකිරීමය. ඒ මත පිහිටා සංවර්ධන සැලසුම් සකස් නොකිරීමය. සැලසුම් සකස් කිරීමත් ඒවා ක්‍රියාත්මක කිරීමත් පවරා ගෙන සිටින්නෝ දේශපාලකයෝයි. මැති ඇමැතිවරුය. අතීතයේ නම් අපේ රටේත් එය කළේ දෙපිරිසකි. දේශපාලකයෝ සැලසුම් සකස් කළහ. ඒවා ක්‍රියාත්මක කළෝ රජයේ නිලධරයෝය. තමන් සකස් කළ සැලසුම් නිලධරයන් නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ දැයි දේශපාලකයෝ සොයා බැලූහ. එහෙත් වර්තමානයේ සියල්ලම කරන්නෝ දේශපාලකයෝය.

උදාහරණ කීපයක් ඇසුරින් අපි මේ තත්ත්වය සලකා බලමු. එදිනෙදා නෙත ගැටෙන සුලබ කාරණයක් වන්නේ කුණු කසළ ප්‍රශ්නයයි. දැන් කුණු කසළ සම්බන්ධයෙන් පාලක පක්ෂයම රණ්ඩු කරයි. කොළඹ නගර සභාවේ පාලනයත් මධ්‍යම ආණ්ඩුවේ පාලනයත් හිමිවී තිබෙන්නේ එකම පක්ෂයකටය. එහෙත් කොළඹ නගරයේ කුණු සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව හා නගර සභාව අතර ඇත්තේ අරගලයකි. ඒ කවුරු කවුරුත් යොදන්නේ ක්ෂණික පිළියම්ය. නොමැතිනම් තාවකාලික විසඳුම්ය. නගර සභාවේ තීරණයට මධ්‍යම ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරයා කැමැති නොවෙයි. ඇමැතිගේ පිළියමට නගර සභාව අකමැති වෙයි. අවසානයේ දෙපිරිස රණ්ඩු වෙති. ඔවුනගේ රණ්ඩු බල බලා කුණු ගඳ ඉවසමින් දිවි ගෙවීමට ජනතාවට සිදුවී තිබේ. ප්‍රශ්නයට චිරස්ථායි විසඳුමක් නොලැබෙයි. ඇත්තෙන්ම නොලැබෙයි නොව පෙනෙන මානයක එවැනි විසඳුමක් නැත.

වාහනවලින් පිටවන දුම තවත් බරපතළ ප්‍රශ්නයකි. සතියේ දිනවල හවස හතරෙන් පසු බොරැල්ල හන්දියේ සිට නාරාහේන්පිටට යද්දි අහස බලන ඕනෑම කෙනෙකුට වළාකුළු සේ දුම් පිරී තිබෙන අයුරු දැකගත හැකිය. මහනුවර නගරයේත් මෙය බරපතළ ප්‍රශ්නයකි. මහනුවර නගර සීමාවේ පාසල් හා පෙරපාසල් දරුවන්ට ශ්වසන රෝග වැළඳී තිබෙන්නේ වාහනවලින් පිටවන දුම හේතුවෙනි. ඉන්දියාවේ දිල්ලි හා කල්කටා නගරවල ද මේ තත්ත්වය පවතී. ඒ විෂ දුමාරයේ අනිවාර්ය ප්‍රතිඵල ශ්වසන ආබාධය. දරුවන් ශ්වසන ආබාධවලට ගොදුරු වී සිටීම බරපතළ ඛේදවාචකයකි. ඒ දරුවන් රෝගීන් වූයේ ආණ්ඩු කළ හා කරන අයගේ වරදින් මිස වෙන කවරකුගේ වරදින් ද? චිරස්ථායි සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ නම් අපේ දරුවන්ට එවැනි ඉරණමක් අත්වන්නේ නැත.

පොදු ප්‍රවාහන සේවාවල පවතින්නේ ද බරපතළ ප්‍රශ්න නොව බරපතළ ඛේදවාචකය. හොඳම උදාහරණය දුම්රිය සේවයයි. දුම්රිය සේවය පවත්වාගෙන යන්නේ ජනතාවගේ මුදල්වලින් ගෙවන සහනාධාර මතය. එසේ වී තිබෙන්නේ දුම්රිය සේවකයන්ට නඩත්තුවට අවශ්‍ය මුදල්වත් උපයා ගත නොහැකි හෙයිනි. ඒනිසා එය පවත්වාගෙන යාමට මහා භාණ්ඩාගාරයෙන් සල්ලි පොම්ප කරයි. ඒ ලක්ෂ හෝ මිලියන ගණනින් නොව බිලියන ගණනිනි. එහෙත් දුම්රිය සේවයේ හැමදාම ප්‍රශ්නය. නිතර වැඩ වර්ජනය. ඒ නිසා දුම්රිය සේවය මහා භාණ්ඩාගාරයට සේම රටේ ජනතාවට ද මහා බරකි. මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ද පවතින්නේ එවැනිම තත්ත්වයකි. ලංගම පවත්වාගෙන යන්නේ ද මහා භාණ්ඩාගාරයෙන් දෙන සහනාධාර මතය. පෞද්ගලික බස් සේවයෙහි ද විධිමත් බවක් නැත. සේවය අන්තයට පිරිහී ගොස් තිබෙන බව පොදු පිළිගැනීමයි. බස් නමින් දුවන්නේ ලොරි චැසිවලට බොඩි ගැසූ වාහනය. ඒවායේ ගමන් යන ජනතාවගේ කොඳු කැඩීම පුදුමයක් නොව

ත්‍රීවිලර් තවත් උදාහරණයකි. දැන් රටේම ත්‍රීවිලර් ලක්ෂ 12ක් තිබෙන බව කියැවෙයි. ත්‍රීවීල් රැකියාවට පාසල් යන වයසේ දරුවන් යොමුවීම නිසා අද බොහෝ වෘත්තීන්වලට පුහුණු ශ්‍රමිකයින් නැතිව ශ්‍රම වෙළෙඳ පොළෙහි ඇතිවී තිබෙන්නේ බරපතළ ප්‍රශ්නය. ඇතැම් වෘත්තීන්වලට චීනයෙන්, ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට සිදුවී තිබෙන්නේ තරුණ පරපුර ත්‍රීවීල්වලට කොටුවී සිටීම නිසාය. අවුරුදු 40න් ඉහළ අයට පමණක් ත්‍රීවීල් රැකියාවට බලපත්‍ර දිය යුතු බවට හොඳ යෝජනාවක් ඉදිරිපත් වුව ද කිසිවකුගේ විරෝධයෙන් එය යටපත් විය. එය ක්‍රියාත්මක කළ යුතු හොඳ යෝජනාවකි. එහෙත් එය ක්‍රියාත්මක කළ යුත්තේ අනාගතයට බලපාන අයුරිනි. දැනට වෘත්තියෙහි යෙදී සිටින අවුරුදු 40ට අඩු අයට ඒ නීතිය අදාළ නොකළ යුතුය. එය අදාළ කළ යුත්තේ මින් ඉදිරියට ඒ වෘත්තියට පිවිසෙන අයමය. මගේ පෞද්ගලික අදහස නම් ත්‍රීවීල් රැකියාවට ඉඩ දිය යුත්තේ විශ්‍රාමිකයන්ටය. එනම් අවුරුදු 55න් පසු අයටය.

එසේම ජාති, භාෂා, ආගම් සහ භූමි ප්‍රදේශ මත පදනම් වූ නීති පද්ධති සමග ද චිරස්ථායි සංවර්ධනයකට යා නොහැකිය. නීතිය කොයි කාටත් සමසේ ක්‍රියාත්මක විය යුත්තා සේම කාටත් පොදු විය යුතුය. විවිධ ජනවර්ගවලට විවිධ නීති තිබීම සමානාත්මතාවයට පටහැනිය. අනුකලනයට සමගියට හා සහජීවනයට හානිකර ය. එමගින් සිදුවන්නේ නැති ප්‍රශ්න ඇතිවීමය. චිරස්ථායි සංවර්ධනයකට එය බාධාවකි. කාලයෙන් කාලයට එකිනෙකාට අවශ්‍ය ලෙස නීති වෙනස් කිරීමේ ආදීනව බරපතළය. පිරිසකට යමක් කී විට එක දොරක් වසා තවත් දොරක් විවෘත කරයි. වෙනත් පිරිසක් ඊට පටහැනිව යමක් කී විට විවෘත කළ ඒ දොර වසා ඉන් පෙර වසා දැමූ දොර අරියි. නැතහොත් අලුත් දොරක් තනා එය විවෘත කර දෙයි. ඒ සියල්ල කරන්නේ බලයේ සිටීම සඳහාය. නැතහොත් බලය රැක ගැනීම සඳහාය. ඇතැම් විට බලය ලබා ගැනීම සඳහා ද එසේ කරයි.

බලය ලබා ගැනීම, තහවුරු කර ගැනීම සහ ව්‍යාප්ත කරගැනීම සඳහා එසේ කිරීමට සිදුවී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රශ්න මතය. විශේෂයෙන් මැතිවරණ ක්‍රමයේ තිබෙන ප්‍රශ්න හේතුවෙනි. පවතින මැතිවරණ ක්‍රමය යටතේ යම් ඡන්ද කොට්ඨාසයකින් (දිස්ත්‍රික්කයකින්) සියයට පහක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා ඕනෑම කණ්ඩායමකට පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගත හැකිය. මේ මැතිවරණ ක්‍රමය යටතේ දුෂ්ටයන් රැළකට ද නියෝජනයක් ලබා ගත හැකිය. අපරාධකරුවන් පිරිසකට ද අවශ්‍ය නම් සංවිධානය වී පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගත හැකිය. ඒ නිසා මේ සියයට පහේ අවම කෝටාව අහෝසි කළ යුතුය. මෙය සියයට 12 සිට 15 අතර ගණනකට ඉහළ දැමුවහොත් මේ අනවශ්‍ය කේවල් කිරීම් සියල්ල නවතා දමා චිරස්ථායි සංවර්ධනයකට යාමේ මාවතට පදනම දමා ගත හැකිය. මම ව්‍යවස්ථා හෝ මැතිවරණ ක්‍රම පිළිබඳ විශාරදයෙක් නොවෙමි. එහෙත් මා කතා කරන්නේ ප්‍රායෝගිකත්වය ගැනය. රටේ දියුණුවට තිබෙන බාධක පිළිබඳවය. ආණ්ඩු බලය රැක ගැනීමට පුද්ගලයන් කණ්ඩායම් හා පක්ෂ සතුටු කිරීමට ගිය විට රට කඩා වැටෙන බව අද රටටම ප්‍රත්‍යක්ෂ සත්‍යයකි.

චිරස්ථායි සංවර්ධනයකට යාමට බලපා තිබෙන ප්‍රශ්න පළමුව හඳුනා ගත යුතුය. ඉන්පසු ප්‍රමුඛතාව මත ඒවා පෙළ ගස්වා ගත යුතුය. අනතුරුව ඒ සියලු ප්‍රශ්න පිළිබඳව සොයා බලා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා ඉතිහාසයේ මෙතෙක් නොතිබූ අමාත්‍යංශයක් ස්ථාපිත කළ යුතුය. එය චිරස්ථායි සංවර්ධන කළමනාකරණ (Ministry of Sustainable Managment) අමාත්‍යංශය ලෙස හැඳින්විය යුතු බව මගේ යෝජනාවයි. ඒ අමාත්‍යංශය මගින් ප්‍රතිපත්ති සම්පාදනය කර ඒ ඒ විෂයයන් අදාළ අමාත්‍යංශවලට පැවරිය යුතුය. එසේ පැවැරිය යුත්තේ චිරස්ථායි සංවර්ධන කළමනාකරණ අමාත්‍යංශයෙන් සකස් කළ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමේ කොන්දේසිය මතය. එහිදී ඒ ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යංශවලට දැන උගත් පුහුණු විද්වත් මානව සම්පත් ද යොමු කළ යුතුය. එසේ නොකළහොත් චිරස්ථායි සංවර්ධන කළමනාකරණ අමාත්‍යංශය පිහිටුවීමේ අරමුණු ද උපන් ගෙයිම මිය යනු නියතය.

එය එසේ නොවීම සඳහා කළ යුත්තේ චිරස්ථායි සංවර්ධන කළමනාකරණ අමාත්‍යංශයට ප්‍රායෝගික උගතුන් හා බුද්ධිමතුන් පිරිසක් බඳවා ගැනීමය. ඔවුහු චිරස්ථායි සංවර්ධනය කියන්නේ කුමකටදැයි මැනවින් දැන සිටිය යුත්තෝය. ඒ ගමන යා යුත්තේ පියවරෙන් පියවරය. නැති ප්‍රශ්න ඇති කරමින් නොවේ. උදාහරණයකට ත්‍රීවිල් බලපත්‍ර දෙන්නේ අවුරුදු 40න් ඉහළ අයට නම් දැනට එහි සිටින 40න් පහළ අයට ඒ රැකියාව කරගෙන යාමට ඉඩ දිය යුතුය.

දැනට සිටින 40න් පහළ අයට එය තහනම් කිරීමට ගියොත් ප්‍රශ්න ඇතිවෙයි. එහෙයින් දැනට සිටින අයට එහි රැඳී සිටීමට ඉඩ දෙමින් මින් ඉදිරියට 40න් පහළ අයට එයට ප්‍රවේශවීමට වැට බැඳිය යුතුය. එහෙත් මුඩුක්කු ඉවත් කිරීම සම්බන්ධයෙන් එසේ කටයුතු කළ නොහැකිය. එහිදී ඊට ගැළපෙන ප්‍රවේශයකට යා යුතුය. යෝජිත නව අමාත්‍යංශයට ප්‍රායෝගික උගතුන් හා බුද්ධිමතුන් බඳවා ගත යුතු බව මා සඳහන් කළේ එහෙයිනි.

ටෙන්ඩර් කිරීම යනාදිය ඒ ඒ අමාත්‍යංශවලට කර ගැනීමට ඉඩ දිය යුතුය. නව අමාත්‍යංශය හැම දෙයටම ඇඟිලි ගැසීම වැරැදිය. එසේ කළහොත් ආණ්ඩුව කරගෙන යාමට ද නොහැකි විය හැකිය. ප්‍රතිපත්තිය තීරණය කර සැලසුම සම්පාදනය කර දී ඉහළ සිට අධීක්ෂණය කිරීමේ වගකීම හා කාර්යභාරය පැවරිය යුත්තේ චිරස්ථායි සංවර්ධන කළමනාකරණ අමාත්‍යංශයටය. මෙතෙක් මේ රටේ බොහෝ විට සිදුවී තිබෙන්නේ විනාශකාරී සංවර්ධනයකි. (Haphazad Development) අප ඉහත යෝජනා කරන පිළිවෙළට චිරස්ථායි සංවර්ධන කළමනාකරණ අමාත්‍යංශයක් ස්ථාපිත කළහොත් මේ විනාශකාරී සංවර්ධනය ආපසු හැරවිය හැකිය. තමන්ට සෙතක් නැති සංවර්ධනයෙන් අද අපේ රටේ බොහෝ ගැමියන් සේම නාගරිකයෝ ද පීඩාවට පත්ව සිටිති. ඒ පීඩිතයන්ට සැනසුම් සුසුම් හෙළිය හැකි බව වැටහුණහොත් ඔවුන් යළි යළිත් ඒ රජය පත් කරගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. දැනට කෙරෙන්නේ එය නොවේ.

දැන් කෙරෙන්නේ ඡන්ද ලබා ගැනීමට අල්ලස් දීමය. ඇතැම් විට ඡන්ද දායකයන්ට සේම ඒ ජනතාවගේ නියෝජිතයන්ට ද අල්ලස් දෙයි. අනෙක් පිරිස එයට ප්‍රතිචාර දැක්වීමෙන් ආණ්ඩු කඩා වැටෙයි. ඒ ක්‍රමයට තිත තැබිය හැක්කේ චිරස්ථායි සංවර්ධන කළමනාකරණ අමාත්‍යංශය ඉහත දැක්වූ පිළිවෙළට ක්‍රියාත්මක කරවීමෙනි. අවුරුද්දක දී ප්‍රශ්න 15ක් විසඳුවොත් අවුරුදු තුනක දී ප්‍රශ්න 45ක් විසඳිය හැකිය. එහෙත් එය කළ යුත්තේ පටු අරමුණුවලින් නොව හදවතින්ම රට ගැන සිතාය. රට ගැන සිතා කටයුතු කරන ආණ්ඩුවක් ගෙදර යැවීමට ජනතාව කටයුතු නොකරන බව මගේ විශ්වාසයයි.

සාකච්ඡා සටහන
ගුණසිංහ හේරත්