ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඉලක්ක කරගත් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය නමින් හැඳින්වෙන පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලදුව 30. 12. 2019 දින නිකුත් කරන ලද ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළකර ඇත. සංශෝධන කෙටුම්පතේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කළ යුතු සංශෝධන යෝජනා 06 ක් නිර්දේශ කර ඇත.

මෙයින් පළමුවන යෝජනාව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41C වගන්තියේ 1, 2, 3 සහ 4 යන උපවගන්ති සංශෝධනය කිරීමය. මෙම වගන්තිවල දැක්වෙන්නේ 41Cවගන්තියේ 1 උපවගන්තියේ සඳහන් උපලේඛනයේ I සහ II කොටස් දෙකේ සඳහන් තනතුරු සඳහා ජනාධිපතිවරයා පත්කිරීම් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව බවය. මෙයින් I කොටසට අයත් වන්නේ අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් යන තනතුරුය. II කොටසට අයත් වන්නේ නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා යන තනතුරුය.

ආචාර්ය විජයදාස රාජපක්‍ෂ විසින් යෝජනා කරන ලද ආකාරයට ඉහත සඳහන් උපලේඛනයේ I කොටසට අයත් තනතුරු පිරවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව යන කොටස ඉවත් කොට ඒ වෙනුවට ‘අධිකරණ සේවා කොමිෂන් සභාවේ අදහස් විමසීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පත්කිරීම් කළ යුතුය’ යන්න ආදේශ කළ යුතුය’. උපලේඛනයේ II කොටසට අයත් තනතුරු පිරවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව යන කොටස ඉවත් කොට අගමැතිවරයා විමසීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පත්කිරීම් කළ යුතුය’ යන්න ආදේශ කළ යුතුය.

දෙවන සංශෝධන යෝජනාව මගින් අවධාරණය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43.2 වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳවය. එම වගන්තියේ දැක්වෙන්නේ, “ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් අමාත්‍යවරයන් පත් කළ යුත්තේය” යන්නය (ජනාධිපතිවරයාට අමාත්‍ය තනතුරු දැරීමේ අයිතිය අහිමි වන්නේ මෙම වගන්තිය යටතේය). ආචාර්ය විජයදාස රාජපක්‍ෂ ඉදිරිපත් කරන සංශෝධන යෝජනාවට අනුව, “ජනාධිපතිවරයා ආරක්‍ෂක අමාත්‍යාංශය දැරිය යුතු අතර ඊට අමතරව තමන්ට අවශ්‍ය යැයි සිතන වෙනත් ඕනෑම අමාත්‍යාංශයක්ද දැරිය හැක” යන වගන්තිය 43.2(a) වශයෙන් නම් කොට 43.2 වගන්තියට යාකළ යුතුය.

තුන්වැනි සංශෝධන යෝජනාව අදාළ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.(1) (ආ)  වගන්තිය පිළිබඳවය. එම වගන්තියේ සඳහන් වන්නේ, “අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාවේ එකතුව හතළිහ නොඉක්මවිය යුතුය” යනුවෙන්ය. යෝජිත සංශෝධන යෝජනාවේ සඳහන් වන්නේ ‘හතළිහ’ වෙනුවට ‘තිහ’ යන පදය ආදේශ කළයුතු බවය.

හතරවැනි සංශෝධන යෝජනාව මගින් යෝජනා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වන වගන්තියේ (4) සහ (5) යන වගන්ති දෙක අහෝසි කළයුතු බවය. 46(4) වගන්තිය පහත සඳහන් පරිදි වේ. . . . . “ (4)(1) වන අනු ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වූවද, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාව ද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් සංඛ්‍යාව ද නියෝජ්‍ය අමාත්‍යවරයන් සංඛ්‍යාවද පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුත්තේය. (5) වන වගන්තිය පහත සඳහන් පරිදි වේ. . . . . “(4) වන අනු ව්‍යවස්ථාවේ කාර්යය සඳහා ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්‍ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය”.

පස්වැනි සංශෝධන යෝජනාව අදාළ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳවය. එම වගන්තිය පහත සඳහන් පරිදි වේ. . . . .


“අග්‍රවිනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක්ද ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත්‍රයක් මගින් පත්කරනු ලබන්නා හ”. යෝජිත සංශෝධනය මගින් කියවෙන්නේ  “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව” යන වචන ඉවත් කළ යුතු බවය.

හයවැනි සංශෝධනය අදාළ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111E වගන්තිය පිළිබඳවය. එහි සඳහන් වන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් තනතුරුවලින් ඉවත් කිරීම පිළිබඳවය. එහි සඳහන් වන ආකාරයට . . . . . “ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය සහිතව කොමිෂන් සභාවේ කවර වූ හෝ සාමාජිකයකු හේතු දක්වා ධුරයෙන් ඉවත් කරනු ලැබිය හැක්කේය”. යෝජිත සංශෝධනයෙන් කියා සිටින්නේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය සහිතව” යන කොටස ඉවත් කළයුතු බවය.

ඉහත දැක්වූයේ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියේ අන්තර්ගත සංශෝධන යෝජනා. මෙම යෝජනා අතුරින් 3 සහ 4 වැනි යෝජනා දෙක හැරුණ විට අනෙක් සෑම යෝජනාවක්ම සෘජුවම සම්බන්ධ වන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කප්පාදු කළ ජනාධිපතිවරයාගේ බලතල ආපසු බලාත්මක කරමින් 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව සංස්ථාපනය කිරීමේදී ජේ.ආර්. ජයවර්ධන විසින් ආරම්භක අවස්ථාවේදී ස්ථාපිත කළ ආඥාදායක විධායක ජනාධිපති තනතුර යළි සක්‍රීය කිරීම පිළිබඳවය. මේ අනුව බලන විට ආචාර්ය විජයදාස රාජපක්‍ෂ උත්සාහ ගෙන තිබෙන්නේ ආපස්සට යාමට මිස ඉදිරියට යාමට නොවන බව පැහැදිලිවම පෙනේ. මෙය දේශපාලන විද්‍යාවේ හඳුන්වන්නේ ‘ආපසු කුඹුරට යාමේ න්‍යාය’ ලෙසය. 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කළ දිනයේ සිටම අද දක්වාම අඛණ්ඩවම ඉතාම දැඩිලෙස විවේචනයට භාජන වන්නේ මෙම තනතුරය. එම විවේචන මගින් කියවුනේ විධායක ජනාධිපති ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට, ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතියට, මානව නිදහසට, නීතියේ ආධිපත්‍යයට, අධිකරණයේ ස්වාධීනත්වයට, නිදහස් හා ස්වාධීන පොලිස් සේවාවක් සහ රාජ්‍ය සේවාවක් පවත්වා ගෙන යාමට බෙහෙවින්ම අහිතකර වන බවය. මේ තත්ත්වය අනෙක් අය හා සමානවම ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පවා අවබෝධ කරගෙන තිබුණ බව ඔහු විසින් ලියන ලද 'Democracy Under the Executive Presidency' (2014) යන කෘතිය තුළ දක්වා ඇති කරුණු දෙස බැලීමේදී පෙනේ. පහත දැක්වෙන්නේ එම කෘතියේ ‘පෙරවදන’ හා ‘පසුවදන’ තුළ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ගොඩනඟන ලද විධායක ජනාධිපති තනතුර පිළිබඳව ඔහු ඉදිරිපත් කර තිබෙන අදහස්ය.

“1977 දී බලයට පත් වූ ආණ්ඩුව විසින් සංස්ථාපනය කරන ලද දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දෙන විධායක ජනාධිපති ක්‍රමය සහ පිහිටුවීමට අදහස් කරන ලද ස්ථාවර ආණ්ඩුව මගින් බලාපොරොත්තු වූයේ රට මුහුණ දී තිබෙන මුල්බැස ගත් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමය.”

‘‘ව්‍යවස්ථාදායකයේ බහුතර මතය නොසලකා හරිමින් තම අභිමතය අනුව තීන්දු ගැනීමට හැකිවන අයුරින් විශාල බලතල ප්‍රමාණයක් අලුතින් නිර්මාණය කර ඇති විධායක ජනාධිපති ධුරය වටා ඒකරාශී කර ඇත. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ දශක තුනක කාලය දෙස බලන විට පෙනීයන්නේ ඒ කෙරෙහි ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු කිරීමට එය අපොහොසත් වී තිබෙන බවය. සැබෑ ප්‍රායෝගික තත්ත්වය වන්නේ එහි ක්‍රියාකාරිත්වය මගින් ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ බල ක්ෂේත්‍රය අතික්‍රමණය කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය, නීතියේ ආධිපතිත්වය, අධිකරණයේ ස්වාධීනත්වය, යහපාලනය, මිනිසුන්ගේ නිදහස යනාදිය අබල දුබල වී තිබෙන බවය.”

‘‘මෙම අධ්‍යයනයෙන් පෙනීයන එක් කරුණක් වන්නේ මහ මැතිවරණයකින් පසුව අවුරුද්දක් ගත වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය ඇතුළුව පාර්ලිමේන්තුව පාලනය කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය සහ අමාත්‍ය තනතුරු දැරීමට ඔහුට ඇති බලය හේතුවෙන් පාර්ලිමේන්තු ස්වාධිපතිත්වයට අහිතකර බලපෑම් ඇතිවී එය දුර්වල තත්ත්වයකට පත්ව තිබෙන බවය. මූල්‍ය පාලනය පිළිබඳ අනන්‍ය බල හිමිකාරිත්වය පාර්ලිමේන්තුව සතුව තිබියදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු නොවන ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය තනතුර දැරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ බලය සෑහෙන ප්‍රමාණයකින් පහළ වැටී තිබේ. ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල සංවරණය කිරීම සඳහා දෝෂාභියෝගී යෝජනාවක් ගෙන ඒමේ බලය තිබුණද ප්‍රායෝගික වශයෙන් එය කිසිසේත්ම ක්‍රියාවට නැංවිය නොහැකි දෙයක් බවට පත්ව තිබේ.”

‘‘පවතින ක්‍රමය යටතේ ජනාධිපති තනතුරට පත්වන්නේ ව්‍යවස්ථාදායකයේ බහුතර බලය හිමි පක්‍ෂයේ නායකයාය. මෙහි ප්‍රතිඵලය වන්නේ ජනතා ආශාවන් යටපත් කරමින් තමන්ගේ බල අධිකාරිය වර්ධනය කර ගැනීම උදෙසා ආණ්ඩු බලය මෙහෙයවීමට ජනාධිපතිවරයාට හැකි වීමය. 17 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට ඇති තත්ත්වය යටතේ ජනාධිපතිවරයාගේ බලතල කිසිදු ආකාර සංවරණය කිරීමකට ලක් කිරීමේ හැකියාව ගිලිහී ගොස් ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට හිමිකර දී ඇති මුක්තිය අනෙක් රාජ්‍ය ආයතනවලද යහපත් ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපා ඇත.”

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය ඇණහිට ඇත. එහි ප්‍රතිඵලය ලෙස ජනාධිපතිවරයා තම අභිමතානුසාරී බලය භාවිතා කරමින් ඉහළ උසාවිවල විනිශ්චයකාරවරුන් පත් කරනු ලැබේ. ජනාධිපතිවරයා විසින් විනිශ්චයකරුවන් පත් කරන විට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සහතික විය නොහැක. (පෙරවදන)

“රටේ මූලික නීතිය ලෙස පිළිගැනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූ කලී ජනතා බලයේ නිල සිතියම, දේශපාලන ආයතන පද්ධතිය සංස්ථාගත කර තිබෙන ආකාරය සහ ආණ්ඩුකරණයේ සුජාතභාවය හා සම්බන්ධ මූලධර්ම පද්ධතිය විදහා දක්වන ලියවිල්ල ලෙස අර්ථකතනය කළ හැක. වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට ආයුබෝවන් කියමින් ශක්තිමත් විධායක ජනාධිපති ක්‍රමය සමග ඒකාබද්ධ කරන ලැබූ සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දෙමින් 1978 වර්ෂයේදී සංස්ථාපනය කරන ලද දෙවන ජනරජ ආණුඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අරමුණු කරනු ලැබූයේ රට වෙළාගෙන ඇති බරපතළ ප්‍රශ්න ඉක්මනින් විසඳීමය. එහෙත් ගත වූ අවුරුදු 36 කාලය තුළ ජනාධිපති ආණ්ඩුක්‍රමයේ ක්‍රියාකාරිත්වය තුළින් පෙනීයන්නේ ජනාධිපති විධායකය විසින් ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ බල ක්‍ෂේත්‍ර ආක්‍රමණය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී හරයන් සහ මූලධර්ම හකුළුවා තිබෙන ආකාරයයි.”

‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කාර්යයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ ඒ.ජේ. විල්සන් කියා සිටියේ මූලික හැඩරුව අනුව දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වූ කලී යටත් විජිතයක් පාලනය කරන ප්‍රතිරාජයකුගේ ස්වභාවයට සමාන වන බවය. කැබිනට් අමාත්‍යවරුන් වූ කලී විධායක ජනාධිපතිගේ ලුතිනන්වරුන් මිස ජනාධිපතිගේ සමානයන් නෙවේ. අමාත්‍ය මණ්ඩලය වූ කලී ව්‍යාජ නියෝජන උපායමාර්ග භාවිතයට ගනිමින් කරන ලද නව්‍ය අත්හදා බැලීමක් වේ.”

‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමස්ත ව්‍යුහයම රඳා පවතින්නේ ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා තනි පුද්ගලයකුගේ එනම් විධායක ජනාධිපතිවරයාගේ කුසලතා හා හැකියාව මතය. ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් න්‍යෂ්ටික බොත්තම තද කිරීම මගින් බියකරු ආඥාදායකත්වයක් ගොඩනැඟිය හැක. මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයා යම් ප්‍රමාණයකට හෝ කොටුකර තැබිය හැක්කේ නිදහස නමැති ක්ෂේමභූමිය තුළ ක්‍රියාත්මක වන සමාජ-දේශපාලන බලවේගවලට පමණි. ශ්‍රී ලංකාව ආසියානු ගෝලිස්ට් ක්‍රමයේ නරකයන්ට හසුවී ඇත. අද සමහරු මතුකර තිබෙන ප්‍රශ්නයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යමින් ජනාධිපතිවරයා උත්තරීතර තත්ත්වයකට පත්ව තිබෙනවාද යන්නය.”  (පසුවදන)

මේ මෙයට අවුරදු හයකට පෙරදී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ විධායක ජනාධිපති තනතුර දුටු හැටිය. 22 වන සංශෝධන යෝජනා මෙම දැක්මට බෙහෙවින්ම පටහැනි වේ. අද ඔහු උත්සාහ ගන්නේ ඔහු විසින් න්‍යෂ්ටික බෝම්බයක් ලෙස හැඳින්වූ, එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් නිශ්ක්‍රීය කරන ලද විධායක ජනාධිපති තනතුර යළි සක්‍රිය කිරීමටය. ඔහුට එය කළ හැකිද යන්න පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ඇත. හේතුව න්‍යෂ්ටික බෝම්බය සක්‍රීය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර බලයක් අවශ්‍ය වීමය. න්‍යෂ්ටික ප්‍රහාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය හා ජනතාවගේ නිදහස ආරක්‍ෂා කර ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද මුහුණ දී ඇති ප්‍රධානම අභියෝගය වන බව අවසාන වශයෙන් කිව යුතුය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය
එම්.ඕ.ඒ. ද සොයිසා