ශ්‍රී ලංකාව මෙන්ම දියුණුවෙමින් පවතින රටවලට කුණුකසළ එකතුවීම දැවැන්ත ගැටලුවක්ව පවතින බව නොරහසකි. මේ සඳහා විවිධ ප්‍රතිකර්ම කිරීමත්, කොම්පෝස්ට් නිපදවීම ඇතුළු විවිධ දෑ සිදු කළත් සාර්ථක ලෙස කසළ කළමනාකරණය සිදු කිරීමට අසීරු වී ඇති බව  පෙනී යයි.

කසළ එක් රැස්වීමෙන්  පරිසර දූෂණය, ගෝලීය උණුසුම වැඩිවීම පමණක් නොව මිනිස් සෞඛ්‍ය කෙරෙහි ද තදබල ලෙස බලපා ඇත. එසේම ආර්ථික හා සමාජයීය ගැටලු රැසක් නිර්මාණය වීමත්, කාලගුණික  වෙනස්වීමත්, මිනිස් ජීවිත කෙරෙහි සෘජුව හා වක්‍රව විවිධ බලපෑම් එල්ලවීමත් සිදුකරන කසළ ප්‍රශ්නයට වහා වහා විසඳුම් සෙවීමත් ඒවා ක්‍රියාවට නැංවීමත් අවශ්‍යයෙන්ම කළයුතුව ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන කසළ ප්‍රශ්නයට විද්‍යාත්මක ක්‍රම ඔස්සේ පිළියම් යෙදීමටත් එය සම්පතක් ලෙස ආයෝජනය කිරීමටත් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය විද්‍යාඥයෝ පිරිසක් සාර්ථක අත්හදා බැලීමක නිරතව සිටිති.

මෙම ව්‍යාපෘතියෙන් කසළ ප්‍රශ්නයට විසඳුමක් පමණක් නොව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සත්ව ආහාර සඳහා වන අධික ආනයනික වියදම අඩුකිරීමටත් බලාපොරොත්තු වේ. කසළ යොදා ගනිමින් විද්‍යාත්මක සැකසීම් ක්‍රම යොදා ගනිමින් සත්ව ආහාර නිෂ්පාදනය කිරීම හා එහි අවශේෂ කෘෂි පොහොරක් ලෙස යොදා ගැනීමට හැකි වීම මෙම ව්‍යාපෘතියේ සුවිශේෂත්වයයි.

ලෝක බැංකු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියෙන් කසළ කළමානාකරණය ඇතුළු ගැටලු ගණනාවකට විසඳුම් ලැබීම ජාතික වශයෙන්  වැදගත් වේ. ඒ පිළිබඳව පාඨක ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ.  මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා ව්‍යාපෘතිය පිළිබඳව මෙසේ කීය. 

“ දීර්ඝ කාලයක් තිස්සේ කළ පර්යේෂණ හා නව සොයාගැනීම්වල ප්‍රතිඵල මහජනතාවට භුක්ති විඳීමට මේ ව්‍යාපෘතියෙන් ජනතාවට හැකිවෙනවා. වාණිජකරණ ක්ෂේත්‍රය යටතේ ලෝක බැංකු ව්‍යාපෘතියක් ලෙස  AHEAD/ RIC06 STEM/HEMS (Accelerating higher Education and Development Research Innovation Commercialization/ Research Innovation and Commercialization Project 6)  ව්‍යාපෘතිය යටතේ  ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනා 50 කින්  මෙම  ව්‍යාපෘතියට අවස්ථාව ලැබුණා.  මේ ක්‍රියාවලිය සමෝධානිකයි. කෘෂි විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින්  එක්ව හදපු සාමූහික ව්‍යාපෘතියක්. එම ව්‍යාපෘතිය ලෝක බැංකුවට යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස  එය ක්‍රියාත්මක කිරීමට මිලියන 50 ක් ලැබී  තිබෙනවා. කෘෂි ක්ෂේත්‍රයේ ඇති ප්‍රධාන ගැටලුව වන්නේ සාන්ද්‍ර  සත්ව ආහාරවල මිල අධික වීම. මෙම මිල අධික වීමට හේතුව ප්‍රෝටීන ලෙස එකතු කරනනේ මාළු කුඩු. මේවා සකස් කිරීමට තාක්ෂණික ක්‍රමවේදයක් අපරට තුළ සැකසී නැහැ.  මෙම සත්ව ප්‍රෝටීන් ගෙන්වනු ලබන්නේ මාලදිවයින, පාකිස්ථානය වැනි රටවලින්.  සත්ව ආහාරවලින් 70% ආනයන”

“මාළු කුඩු වෙනුවට ආදේශකයක්  සකසා සත්ව ආහාර වියදමෙන් 50%  අඩු කළ හැකිවීමත්, රටක් වශයෙන් පවතින කසළ කළමනාකරණයට විසඳුමක් ලෙස බ්ලැක් සෝල්ජර් ෆලයි  ( BSF) නම් මැස්සෙකුගේ කීටයින්  භාවිත කරමින්  විද්‍යාත්මකව මෙම සත්ව ආහාරය නිෂ්පාදනය විද්‍යාත්මකව  මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කරනවා.  ප්‍රෝටීන් 42%ක් හා මේදය 34% ක් පමණ පවතින අතර තෙල් අධික වීම මෙම සත්ව ආහාර මුඩුවීමට බලපාන බැවින් තෙල් ඉවත් කරනවා. බ්ලැක් සෝල්ජර් ෆලයි කීටයින් කුණු වියෝජනය කරනවා. ඉන්දියාව, තායිලන්තය, චීනය  වැනි රටවල්වල මෙම කීටයින් ආහාරයට ගන්නවා.

එමෙන්ම අනාගත ලෝකයේ ජනගහණය වැඩිවෙනවා ඉඩ ප්‍රමාණය වැඩිවන්නේ නැහැ. ජීවන චක්‍රය කෙටි, පරිසර හිතකාමී, ඉඩ ප්‍රමාණය අඩුවෙන් භාවිතා කළ හැකි අවුරුද්ද මුළුල්ලේ පවත්වා ගත හැකි  මෙන්ම පරිසරයට වන බලපෑමක් නැති, ගෙමැස්සන් ගහණය අඩුකළ හැකි, බැක්ටීරියා නාශන හැකියාව ඇති සහ වෙනත් මැස්සන් පාලනය හැකියාවැති, කුණු මත පෝෂණය කර එකතු කර ගැනීමෙන් සත්ව ආහාර නිපදවිය හැකියි. උපස්ථරයේ ඉතිරිවන කොටස්  ජීව පොහොර ලෙස පරිසරයට මුදා හැරීමත්  මෙහිදී සිදු කළ හැකි බව අප සනාථ කර තිබෙනවා”

BSF නැතහොත් බ්ලැක් සෝල්ජර් ෆලයි  මැස්සාගේ කීට අවස්ථාව යොදා ගනිමින්  ජෛවීය කැළිකසළ 50%-70% පමණ දිරාපත් කර අඩුකර ගතහැකියි. ලොව දියුණු රටවල දැනටමත් මෙම තාක්ෂණය යොදා ගන්නවා. දැනට ලංකාවේ දිනකට ජනනනය වන කුණු කසළ ටොන් 7500 කින් කසළ කළමනාකරණයට ලක්වන්නේ ටොන් දහසක් පමණවූ අඩු ප්‍රතිශතයක්. ඒ අනුව සාර්ථක හා තිරසාර කසළ කළමනාකරණ ක්‍රමවේදයක් සහ සත්ව ප්‍රෝටීනයක් ලෙස එම ආනයනික වියදම අවම කිරීමත්, ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාබ ගෙන දෙන බ්ලැක් සෝල්ජර් ෆලයි  ව්‍යාපෘතිය රටට හඳුන්වාදීමෙන් පරිසර හිතකාමී බහුවිධ වාසිදායක තත්වයන් ජනනය කර ගතහැකියි.

මෙහිදී ස්වාභාවික පරිසරයේ ජීවත්වන  කෘමියෙක් කෘත්‍රීම පරිසරයේ  මහා පරිමාණයෙන් ගුණනය කිරීමත් එහි අදාළ තත්වයන් පාලනය කිරීම, විවිධ අවස්ථා පිළිබඳව පර්යේෂණය විශ්ලේෂණය කිරීම  මෙම ව්‍යාපෘතියේ ප්‍රධානම හා  වැදගත්ම කාර්ය භාරයක් මෙන්ම අවධානය යොමුකළ යුතු ක්ෂේත්‍රයක්. කීට විද්‍යාව සහ ශාක ආරක්ෂණය පිළිබඳ සුවිශේෂි අධ්‍යනය හා පර්යේෂණවල නිරත කෘෂි විද්‍යා පීඨයේ කථිකාචාර්යවරියක්  වන කථිකාචාර්ය ආර්. එන්. නිර්මලී පෙරේරා මහත්මිය මෙම ව්‍යාපෘතිය පිළිබඳව පැහැදිලි කළේ මෙලෙසය.

 “ බිත්තර, කීටයා, පිලවා සහ සුහුඹුලා  යන  අවස්ථා 04 ක්  සතාගේ ජීවන චක්‍රයේ තියනවා.

ඉන් කීටයා ප්‍රයෝජනයට ගෙන ජෛවීය හානි වන අපද්‍රව්‍යවලින් කීටයින් ඒ මත වැඩෙන්නට සලස්වා එම කීටයින්ගෙන් සත්ව ආහාර නිෂ්පාදනයට ලොකු දායකත්වයක් ලබාදීම සහ ජෛව හායනය වන කැළිකසළ එකතුවීම කියන ප්‍රශ්නයට විසඳුමක් දීම  මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වෙනවා. මෙහිදී  බෙලිහුල්ඔය ප්‍රදේශයේ සමීක්ෂණයක් කරනු ලැබුවා. ජනතාවගේ ලොකු කැමැත්තක් තියනවා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට.   ඒ අය කැමතියි  බ්ලැක් සෝල්ජර් ෆලයි කීටයින් හදන්න ඒ අයට බඳුන් දුන්නොත්. ඒ අයගෙ කුණු කසළ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා. මෙහිදී කරන්නේ කුණු කසළ එකතුකර කොම්පෝස්ට් බඳුනේ තබා  මැස්සා බඳුණට  ඇවිත් පිරිසිදු තැනක දිවා කාලයේ ආලෝකය සහිත ස්ථානයක බිත්තර දානවා. දින 3-4 කදී මෙම බිත්තරවලින් බිහිවන කීටයන්   ආහාර ප්‍රතිග්‍රහණය කරමින් කුණුවල ගොස්  ගහණය වැඩි කර ගන්නවා. එය කුණු කසළ එකතුවීමට හොඳ විසඳුමක්. උපස්තරය මත වැඩී ඉවතලන කුණු ප්‍රයෝජනවත් ප්‍රෝටීන් සහ මේද බවට සතාගෙ ඇගේ තැනපත් වෙනවා. කීට අවධිය අවසන් වෙනවා දින 14-18 කින් පමණ. අවසානයේ  පූර්ව පිලා අවධියට පත්වෙනවා. එහිදී කුණුගොඩින්  ඉවත් වී පිරිසිදු තැනකට ගොස් පිලා අවස්ථාව ගතකිරීමට යනවා. කුණුවලින් ඉවත්වීම කියන  තැන අපගේ බඳුනේ සලස්වා තිබෙනවා වෙනත් ස්ථානයකට වැටීමට.  එතැනින් මෙම ලාවේ එකතු කර  විවිධ ප්‍රතිකර්ම කර  කුඩු බවට පත්කරනවා  මෙය සත්ව ආහාරයක් ලෙස යොදා විෂබීජ නාශනය කර විද්‍යාත්මක ක්‍රියාවලියකට ලක්  කරනවා.

සත්ව ආහාරවල විශාලම මුදල් වැය වන කොටස තමයි සත්ව ප්‍රෝටීන්.  මේ ප්‍රෝටීන්වලට හොඳ ආදේශකයක් ලෙස  බ්ලැක් සෝල්ජර් ෆලයි  ලාවේගෙන් හදාගන්නා  ප්‍රෝටීන් වලින්    පිරිවැය අඩුකොට ගුණාත්මක බවින් ඉහළ ප්‍රෝටීනයක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණක්. එය කුකුළු අහාර සහ විසිතුරු මසුන්ගේ ආහාරයටත් මත්ස්‍ය වගාවටත් යොදා ගතහැකියි.

 

මෙහි මූලික තත්වයන්, පරිසර සාධක,  ගහණය අඩුවැඩිවිය හැකි අවස්ථා  අධ්‍යයනය කළා. මූලික අධ්‍යනයන් තුළ කෘත්‍රිමව මෙම කීටයා උපස්තරයේ හදන්නේ කොහොමද? මොන උපස්තරවල වැඩුනොත්ද වැඩි ප්‍රතිඵල ගතහැකි වන්නේ  වැනි තත්වයන් සහ පෝෂණීය අගය  පිළිබඳව මෙන්ම කුකුළු ආහාර, දිරායන පලතුරු , විවිධ උපස්ථරයන් තුළ හදමින් විද්‍යාගාර තුළ විශ්ලේශනය කළා. 

ඒ පිළිබඳව විවිධ පර්යේෂණ පත්‍රිකා මේ වනවිට එළි දක්වා තිබෙනවා. ආචාර්ය විජේරත්න මහතා විසින් නිපදවා පේටන්ට් බලපත්‍රය ලබා ඇති  කුණු කසළ දිරා යන විශේෂ බඳුණ වැඩිදියුණු කර මේ සඳහා අප යොදා ගත්තා. සත්ව ආහාර නිෂ්පාදනයත්, කුණුකසළ ප්‍රශ්නයට විසඳුමක් වගේම  දිරා පත්වන විට ගලා යන අර්ධ ඝණ ද්‍රව කොටස වෙනම වෑස්සීමට කටයුතු කර තිබෙනවා . කීටයින්ගේ හෝමෝන සහ ඇගෙන් පිටවන දෑ සහ පෝෂක  ද්‍රව්‍යත් සමග එකතුවුනු දියරයක්. එය දියර පොහොරක් ලෙස යොදා ගතහැකියි. එහි පර්යේෂණ කටයුතුත් දැන් සිදුවෙනවා කොපමණ පෝෂණයක් පවතිනවාද? කොතෙක් කල් එම ද්‍රාවනය කල් තබා ගතහැකිද? එළියේ ගබඩා කළහැකිද වැනි   කටයුතු පිළිබඳ පර්යේෂණ සිදුවනවා  මෙම ව්‍යාපෘතිය ගමට රටට සෙතක්  වගේම  පවතින විශාල කසළ අර්බුදයට තිරසර විසඳුමක් වෙනවා”

බ්ලැක් සෝල්ජර් ෆලයි  හඳුනාගනිමු.

ගෙමැස්සන්ගේ ගෝත්‍රයට අයත් මැස්සන් විශේෂයක් වන අතර බොහෝවිට බඹරුන් සමාන පෙනුමක් ගනියි. මැසි විශේෂය බහුතරය කළු පැහැයක් හා තදනිල්/ කොළ පැහැ ආකාරයෙන්ද දැකිය හැකිය. වැඩුණු මැස්සෙක් සෙන්ටිමීටර් 2 ක් පමණ දිගකින් යුක්ත වේ. පාදය අවසානයේ සුදුපැහැ ප්‍රදේශයක් දැකිය හැකිය.

බ්ලැක් සෝල්ජර් ෆලයි   ජීවන චක්‍රය   

සුහුඹුල් ගැහැණු සතුන් තෙත කසළ ආශ්‍රිතව බිත්තර දමන අතර වරකට ඉතා විශාල බිත්තර ප්‍රමාණයක් තැන්පත් කරයි. දින හතරකින් පමණ බිත්තරවලින් බිහිවුණු කීටයන් කසළ වෙත ඇදී යන අතර ඉතා වේගයෙන් එම උපස්ථර මත වැඩේ. කීට අවස්ථා හයක් දක්නට ලැබෙන අතර වැඩුණු කීටයෙකු සෙන්ටි මීටර් 2.7 ක් පමණ ප්‍රමාණයකට දැකිය හැකිය. කීටයන්ගේ වර්ධනය සඳහා ජෛව අපද්‍රව්‍ය වියෝජනය කරන අතර ඉතා කාර්යක්ෂමව කසළ ප්‍රමාණය අඩු කිරීමට BSF කීටයින් සමත්වේ. අවසාන කීට අවධිය පූර්ව පිලා අවධිය ලෙස හඳුන්වන අතර මොවුන් පිලා අවධිය ගතකිරීමට තෙත් පරිසරයෙන් ඉවත් ව වියළි ස්ථාන වෙත ඇදීයයි.  

සම්පූර්ණ කීට අවධිය සඳහා දින 18ක් පමණ ගතවන අතර පාරිසරික හේතු මත මෙය වෙනස්විය හැකිය. පිලා අවධිය දින දාහතරක් පමණ ගත කිරීමෙන් පසුව සුහුඹුල් මැස්සන් බිහිවේ. මැස්සන්ට කිසිදු ආහාරයක් නොගෙන දින 5 සිට 8 දක්වා ජීවත් විය හැකි අතර ඔවුන් ගෙන් කිසිදු හානියක් මිනිසාට හා සතුන්ටට ඇති නොවීම වාසිදායකය. 

ජෛව කසළ වියෝජනය සඳහාBSF  කීටයා යොදා ගැනීමේ ඇති වාසි

  •  දේශීය පාරිසරික තත්ත්ව මත BSF ස්වාභාවිකව වසර මුළුල්ලේම පැවතීම.
  • BSFමිනිසාට හා සතුනට හානිකර නොවීම.
  • සුලබ කෘෂිකාර්මික අපද්‍රව්‍ය තිබීම.
  •  සාපේක්ෂ්ව පිරිවැය අඩු ක්‍රමයක් වීම.
  • පරිසරය දූෂණය අවම වීම.
  • ගෙමැස්සන් ගහණය අවම වීම.
  •  ඉතා කෙටි කාලයකින් වැඩි කසළ ප්‍රමාණයක්  වියෝජනය කළ හැකි වීම.
  • BSF කීටයින් (පූර්ව පිලා අවධිය) සත්ව ආහාරයක් ලෙස භාවිතා කළහැකි හැකි වීම.( කුකුළු, මාළු ආහාර ගුණාත්මක ප්‍රෝටීන් සහිතව සත්ව ආහාරයක් වීම.)
  • කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමේදී ඉවත්වන අර්ධ ඝණ ද්‍රව කොටස (slurry) සහ කීටයින්ගේ මළ ද්‍රව්‍ය අවසානයේ ජෛව පොහොර ලෙස භාවිතා කළ හැකි වීම.

ශ්‍රී ලංකා  සබරගමු විශ්ව විද්‍යාලයේ ලෝක බැංකු ආධාර යටතේ BSFLමගින්  ඝණ අපද්‍රව්‍ය දිරාපත් කරමින් සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය  ආරම්භ කර ඇති අතර මෙම ව්‍යාපෘතිය මගින් මූලිකව ම වාණිජ වශයෙන් BSF කීටයන් නිෂ්පාදනය කිරීම , BSF කීටයන්  මගින් කුකුළු හා  මිරිදිය මසුන් සඳහා ආහාර නිපදවීම, රත්නපුර දිස්ත්‍රික්කය සඳහා කසළ කළමනාකරණයට ක්‍රමවේදයක්  ලෙස ඒකාබද්ධ කෘෂිකාර්මික ක්‍රමවේදයක් ලෙස හඳුන්වාදීම සහ ව්‍යාපෘතිය මගින් සමාජයීය ආර්ථික බලපෑම විශ්ලේෂණය කිරීම අරමුණු කෙරේ. පරිසර හිතකාමී මෙම ව්‍යාපෘතිය මගින් කැළිකසළ කළමනාකරණය  සඳහා වඩාත් තිරසාර  විසඳුමක් ලබාදෙනු ඇත.

(ආචාර්ය ඒ .ඩබ්. විජයරත්න මහතාගේ  පේටන්ට් ලබා ඇති කසල බඳුන)

ව්‍යාපෘතිය ප්‍රධාන අංශ පහකින් සමන්විත වේ.

1 BSFකීටයන් වාණිජ වශයෙන් නිෂ්පාදනය  කිරීම්ට නව කසල බඳුනක් නිර්මාණය කිරීම. (මෙහි පේටන්ට් අයිතිය ආචාර්ය ඩබ්ලිව් විජේරත්න මහතා සතුය)  

2  සෞඛ්‍යදායක මට්ටමින් BSFL කුකුළු ආහාරයක් ලෙස නිෂ්පාදනය කිරීම.

3 මිරිදිය මසුන් සඳහා ආහාර ද්‍රව්‍යයක් BSFL හඳුන්වා දීම.

4 BSFL වියෝජනය ක්‍රියාවලිය තුළින්   ජෛව පොහොර  නිෂ්පාදනය කිරීම.හා ඒකාබද්ධ කෘෂි කෘෂිකාර්මික ක්‍රම දිරිමත් කිරීම.

 5 සමස්ත ව්‍යාපෘතිය මගින් ඇතිවන සමාජයීය හා ආර්ථික බලපෑම් විශ්ලේෂණය කිරීම.

මෙම එක් එක් අංශයන් සඳහා  කෘෂි විද්‍යා  පීඨයේ හා සමාජ විද්‍යා හා භාෂා පීඨයේ  මහාචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන් රැසකගේ දායකත්වය ලබාදෙන අතර මෙම ව්‍යාපෘතියේ මෙහෙයවීමේ කටයුතු කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මංජුල සුමිත්‍ මාගමගේ මහතා ප්‍රමුඛත්වයෙන් සිදුවේ. මෙම ව්‍යාපෘතියට ආචාර්ය ඒ.ඩබ්ලිව් විජේරත්න, ආචාර්ය චමින්ද වල්පිට,  ආචාර්ය දිමුතු වික්‍රමනායක, ආචාර්ය රුවිනි මුතුකුමාරණ ,ආචාර්ය ජගත් මුණසිංහ, පෝෂණ උපදේශක ලෙස ජී. වීරක්කොඩි මහතා, මහාචාර්ය ජී.අයි යාපා, වෛද්‍ය සංජීව ප්‍රසාද් ජයවීර,  වෛද්‍ය දර්ශනී රුවන් දීපිකා, කථිකාචාර්ය සරත් කුමාර, කථිකාචාර්ය ආර්. එන්. නිර්මලී පෙරේරා සහ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයනි විජේසිංහ, ව්‍යාපෘති පර්යේෂණ සහකාර   දුමේෂි ඇල්ලෙවිදාන, කසුන් ප්‍රියදර්ශන ව්‍යාපෘති සහකාර පී.කේ. ලක්මිණි යන මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය 2019 වසරේ සිට 2022 දක්වා ක්‍රියාත්මක ය.

ප්‍රින්ස් රත්නායක