ගාල්ල උඩලමත්ත මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් දෙවැනි වාර විභාගය සඳහා අවුරුදු තුන හමාරක් වියැති තම බාල සහෝදරයා සමඟ පැමිණ වාර විභාගයට මුහුණ දීමේ හද සසල කරවන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

ගාල්ල, උඩලමත්ත ප්‍රදේශයේ වතු නිවාස පේළියක පදිංචි එම දියණිය නමින් ජී. මාරි අම්මාය. ඇයට එක් පාදයක් අහිමිය. එහෙත් ඇය ඉගෙනීමට හපන්කම් පෑවාය. එමඟින් පාසලේ අවධානය දිනාගැනීමට ඇය සමත් වූවාය. වාර විභාගය ආසන්න වනවිට ඇයගේ එක් සොහොයුරකු බරපතළ ලෙස රෝගී වූ හෙයින් එම සොහොයුරාට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු විය. දරුවාගේ උපස්ථාන කටයුතුවලට රෝහලේ නතරවීමට මවට සිදුවිය.

මාරි අම්මා දියණියගේ පියා වතු කම්කරුවෙකි. දෛනික වැටුප පවුලේ එකම ආදායම් මාර්ගය වේ. එහෙයින් රෝගී තත්ත්වයකට වුවත් නිවෙසේ නතරවීමට ඒ පියාට වරම් නැත. අවුරුදු තුන හමාරේ බාල සොහොයුරා නිවෙසේ දමා මාරි අම්මා දියණියට වාර විභාගයට යා නොහැකිය. එහෙයින්ම “මට විභාගයට එන්න වෙන්නේ නෑ”යි මැය සිය යෙහෙළියන්ට කීවාය.

අප පුවත්පතට ප්‍රකාශයක් කළ උඩලමත්ත මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පති ඒ.කේ.එච්.එස්. තුෂාර මහතා මෙසේ ප්‍රකාශ කර තිබිණි.

“මේ සිසුවිය ඉගෙනීමට දක්ෂයි. ඇය මෙම පාසලට පැමිණියේ 9 වැනි පන්තියේදී. පිළිකා රෝගී තත්ත්වයක් නිසා ඇයගේ එක් පාදයක් ඉවත් කර තිබෙනවා. පාසල් යන්න බැරි කාලෙත් පෙළපොත් හොයාගෙන පාඩම් කරලා පන්තියේ 8 වැනියා වෙලා තියෙනවා. අපේ පාසලට ආවට පස්සේ මේ සිසුවිය වැටුණේ දක්‍ෂ ළමයි ඉන්න පන්තියට. ඒ පන්තියේදී මේ සිසුවිය 4 වැනියා වුණා.”

අප ප්‍රවෘත්තියට අනුව මාරි අම්මා සිසුවිය වාර විභාගයට නොපැමිණි හෙයින් වැඩ බලන විදුහල්පතිවරයා ත්‍රීරෝද රියකින් ගුරුවරියක මාරි අම්මාගේ නිවෙසට පිටත් කර යැව්වේය. සිය සොහොයුරා සමඟ මාරි අම්මා විභාගයට මුහුණ දීම සඳහා පාසලට පැමිණියේ ඉන් අනතුරුවය.

“නීතිය යනු ශීලයක් නොවේ” යන්න ශිෂ්ට සම්පන්න ජන සමාජය හිස් මුදුනින් පිළිගන්නා මතයකි. නීතියට වහල් වූයේ නම් මාරි අම්මා සිසුවියට වාර විභාගයට මුහුණ දීමට වරම් ලැබෙන්නේ නැත. මන්දයත් විභාග ශාලාවකට පිටස්තරයකුට පැමිණිය නොහැකි හෙයිනි. එහෙත් මනුෂ්‍යත්වය බලවත් වූ හෙයින් මාරි අම්මා සිසුවියට විභාගයට වාඩිවීමට අවස්ථාව ලැබුණි.

මිනිසුන් ප්‍රායෝගික විය යුතුය. නීති නිර්මාණය වී තිබෙන්නේ මිනිසාට හිරිහැර කිරීමට නොව මිනිසාගේ යහපතටමය. ඒ අනුව උඩලමත්ත මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයාත් ආචාර්ය මණ්ඩලයත් කදිම ආදර්ශයක් රටට සපයා තිබේ. නියමිත වේලාවට නොපැමිණියේ යැයි කියා අපොස සාමාන්‍ය පෙළ විභාගයේත්, උසස් පෙළ විභාගයේත් ප්‍රවේශ පත්‍ර නොදී එම විභාගවලට මුහුණදීමේ අවස්ථාව දරුවන්ට අහිමි කළ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සම්බන්ධ අනුවේදනීය පුවත් පළවන රටක උඩලමත්ත මහා විද්‍යාලයේ ආදර්ශය එයට හිමි නිසි බරින් හඳුනා ගැනීම වැදගත්ය.

“ඇසට පෙනෙන දෙය සත්‍යය නම් ලෝකයට විද්‍යාවක් අවශ්‍ය නැතැයි” කියමනකි. මතුපිටින් බලන කල්හි ලෝකය පුදුමාකාර ලෙස සුන්දරය. මිනිස්සු සැහැල්ලුවෙන් ජීවත් වෙති. එහෙත් ඇත්ත තත්ත්වය එයම නොවේ. මිනිස්සු ජීවත්වීම සඳහා අනවරත අරගලයක යෙදෙති. අකාරුණික හා අකීකරු කොන්දේසි සමඟ පොරබදිති. මාරි අම්මා සිසුවියගේ කතාව එයට කදිම නිදසුනකි.

ඇය ආබාධිතය. ඒ පිළිකා රෝගය නිසාය. පියා දෛනික වැටුපට කඹුරන්නෙකි. දරුවෝ කුඩාය. ඒ කුඩා දරුවකු රෝගී වී රෝහල්ගත කිරීමට සිදු වුවහොත් ඒ අම්මාට රෝහලේ නතරවීමට සිදුවේ. එබඳු අවස්ථාවක නිවෙසේ අම්මාගේ වගකීම බාර ගැනීමට මාරි අම්මා දියණියට සිදුවේ.

මේ අකාරුණික කොන්දේසිවලට යටත්ව ජීවත්වීමේදී අවශ්‍ය වන්නේ කුමක්ද? මෙම පරිසරය තුළත් මාරි අම්මා දියණිය නොසලකාහැරීම්වලට ලක්වන්නේ නම්, අනාදරයට පාත්‍ර වන්නේ නම් එයම ජීවත්වීමට අවැසි ශක්තිය අහිමි කරන්නකි. කඳුළ මත පය ගසා වඩාත් භාග්‍යවත් අනාගතයට සිහින දැකීමට නම් සීමා රහිත මිනිස් ආදරය අවැසි වේ. ඒ ආදරය පිදීම ශිෂ්ට සම්පන්න සමාජයක වගකීම ද වේ. අවුළුවාගත් මහා මිනිස් අනුරාගයකින් කටයුතු කිරීම සාමූහික විචාර බුද්ධියට අයත් අංගයකි.

මාරි අම්මා දියණියට හිමි වූයේ ඒ මිනිසත් බවය. එක් අතකින් ඒ මිනිසත් බව ලැබීමට ඇය පින්වත්ත වූවාය. ඒ මිනිසත් බව පිරිනැමුවේ උඩලමත්ත මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය වේ. ඒ ආදර්ශය බලවත් වන්නේ එය මාරි අම්මාට පමණක් නොව සමස්ත පාසලේ දරු පරම්පරාව තුළම අලුත් ආකල්පයක් ඇති කිරීමට සමත් වන හෙයිනි.

උඩලමත්ත මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පති ඒ.කේ.එච්.එස්. තුෂාර මහතා අප පුවත්පතට මෙසේ කියා තිබිණි. “මේ දරුවාගේ පවුලට කවුරුහරි දානපතියෙක් උදව් කරනවා නම් ඒක ලොකු පිනක්” සැබැවින්ම ඔබ සතුව ඇති මනුෂ්‍යත්වයේ ප්‍රමාණය හඳුනා ගැනීමට ඔබට ද මෙය කදිම අවස්ථාවකි.