හිටපු විදේශ ඇමැතිවරයා හැටියට මංගල සමරවීර මහතා 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සංක්‍රාන්තික යුක්තිය ගැන යාන්ත්‍රණ හතරක් ඉදිරිපත් කළේය. එහි වැඩි වශයෙන් ආන්දෝලනයට තුඩුදුන්නේ වගවීම සඳහා විශේෂ උසාවියක් පිහිටුවීම ය. කෙසේ වෙතත් එම අධිකරණයට විදේශ විනිසුරන් ඇතුළත් කිරීමට ලංකාව එදා එකඟ විය. සංහිඳියාව ගොඩනැඟීමට අදාළව පත්කෙරුණු ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය හැටියට දිවයින පුරා ජනතා අදහස් ලබාගැනීමට කටයුතු කෙරුණේ ද ඊට සමගාමීව ය. මම එහි ලේකම් හැටියට කටයුතු කළෙමි. එහිදී රට පුරා ජනතා අදහස් විමසමින් යද්දී අපට අත්දකින්නට ලැබුණේ ඔවුන් ඉල්ලා සිටින්නේ සත්‍ය හා යුක්තිය බව ය. ප්‍රශ්නය වූයේ ඒ සත්‍ය දැනගැනීම සඳහා පවතින අධිකරණ පද්ධතිය භාවිත කළ හැකි ද යන්නයි. අපට මෙවැනි සාකච්ඡාවක් ආරම්භ කිරීමට හේතුවන්නේම අධිකරණ පද්ධතියේ දෝෂ ඇති බැවිනි. මෙකී යෝජිත අධිකරණ ක්‍රියාදාමයේ දී විදේශ විනිසුරන් විසින් කරනු ලබන්නේ නිරීක්ෂණ කාර්යභාරයකි. එය නිවැරැදිව සිදුවන්නේ නම් අදාළ ක්‍රියාවලියෙන් ඉවත්වීමට ඔවුන්ට හැකිය. මෙහි ඇත්තේ තනිකරම විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයකි. විදෙස් විනිසුරන් පිළිබඳ සාකච්ඡාව හටගන්නේම ජාතික වැඩපිළිවෙළ පිළිබඳ ඇති අවිශ්වාසය නිසා ය. 

අප වාර්තාවේ එක් නිර්දේශයක් වූයේ විදෙස් විනිසුරකු අන්තර්ගත වන සේ විනිශ්ච මණ්ඩල පත්කරන්නට ය. එවිට අදාළ ක්‍රියාවලිය නිසියාකාරව සිදුවන්නේ ද නැද්ද යන්න ජනතාවට කියන්නට ඔහුට හැකි ය. අනෙක් අතට 2015 දී අපි එම යෝජනාවට සමඅනුග්‍රහය දැක්වීමු. දැන් ඊට වෙනස් අදහසක් දැරීම ප්‍රශ්නයකි. එයින් ගැලවීම පහසු නැත. එසේම එයින් ගැලවෙන්නට ඉදිරිපත් කරන හේතු සාධාරණ ද නැත. ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂය සමඟ ගැටලුවක් තිබේ නම් එය ජාත්‍යන්තරයට ගෙන යා යුතු ද නැත. මා දකින හැටියට නම් ජනාධිපතිවරයා ජිනීවා මානව හිමිකම් සාකච්ඡාවේ දී තම තීරණ ක්‍රියාත්මක කරන්නේ අභ්‍යන්තර දේශපාලන සිදුවීම් පදනම් කරගෙන ය. ඔහු උත්සාහ කරන්නේ මානව හිමිකම් ප්‍රශ්නය තමා විසින් විසඳනු ලැබී යැයි ස්වදේශික ජනයාට කියන්නට ය. එහෙත් එය නිවැරැදි උත්සාහයක් නොවේ. මන්දයත් ජිනීවා සාකච්ඡාව යනු රටෙහි විදෙස් පිළිවෙත පිළිබිඹු කරන කැඩපතක් වන හෙයිනි. එයින් සිදුවන්නේ අපේ අභ්‍යන්තර ආරාවුල් ලෝකය හමුවේ නිරාවරණය වීම පමණි.   

ආණ්ඩුව පොරොන්දු වූ පරිදි අතුරුදන් වූවන්ගේ කාර්යාලය විවෘත කළේය. වන්දිගෙවීමේ කටයුතුවලට අදාළව පත්කෙරෙන කාර්ය මණ්ඩලය නම් කිරීම ව්‍යවස්ථා සභාවට පැවැරී තිබේ.  තෙවැන්න නම් සත්‍ය හා සංහිඳියා කොමිසමයි. අගමැතිවරයා එය කැබිනට්ටුවට ඉදිරිපත් කර තිබුණ ද ජනාධිපතිවරයා හා තවත් දේශපාලන නියෝජිතයන් කීප දෙනෙකු ඒ සඳහා තවත් කාලය ගෙන අධ්‍යයනය කළ යුතු යැයි පවසා තිබිණ. ඒ අනුව සත්‍ය හා සංහිඳියා කොමිසම සම්බන්ධයෙන් රාජ්‍යමය එකඟතාවකට පැමිණෙන්නට තවත් යම්කිසි කාලයක් ගත වනු ඇත. දැනට ලොකුම ප්‍රශ්නය ඇත්තේ වගවීම සම්බන්ධයෙනි. එහිදී විදෙස් විනිසුරන් සම්බන්ධ කරගන්නේ නැතිනම් දේශීය විනිසුරන් හෝ සම්බන්ධ කරගැනීමට රජයට හැකියාව ඇත. 

කෙසේ වෙතත් විදෙස් විනිසුරන් පත්කිරීම පිළිබඳ නිර්දේශය හෝ වෙනත් හේතුවක් නිසා ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද අදාළ වාර්තාව නිල වශයෙන් බාරගත්තේ නැත. එය බාරදුන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියටය. එහෙත් වගකිව යුතු අංශ හා ආයතන මෙම වාර්තාව පදනම් ලියැවිල්ලක් සේ සලකන බව පැහැදිලිය. යුද්ධයේ සිදුවීම් සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනස් අදහසක් ඉදිරිපත් කරන අයුරු පසුගිය කාලයේ දී අපි දුටුවෙමු. එහෙත් දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්ධන් මහතා එය පිළිගත්තේ නැත. ඔහු කීවේ දෙමළ ජනතාවට අවශ්‍ය අනුකම්පාව නොව යුක්තිය බවය. සැබැවින්ම රනිල් වික්‍රමසිංහ මහතා එසේ පළ කළේ අගමැති හැටියට තම අදහස නම් අපට එය සැලකීමට සිදුවන්නේ 2015 ජනාධිපතිවරණයේ දී ඔහු දැරූ අදහසේ සිට දේශපාලනික වශයෙන් වූ පසුබැසීමක් හැටියටය. ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයක දී සුළු ජාතික ඡන්ද යනු තීරණාත්මක කඩඉමයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට එය නොතකා කටයුතු කරන්නට බැරිය. විශේෂයෙන්ම යුක්තිය පිළිබඳව වූ දෙමළ ජනතා ඉල්ලීම අත්හරින්නැයි කියන්නට එක්සත් ජාතික පක්ෂයට බැරිය. එ.ජා.පය එසේ කීව ද දෙමළ ජනතාව එය කිසිදා පිළිගන්නේ ද නැත. 

මානව හිමිකම් සම්බන්ධයෙන් සිවිල් සමාජ අදහස්වලට පහර ගසන ඇතැම් දේශපාලන කණ්ඩායම්වල එක් තර්කයක් වන්නේ ඒවා රාජ්‍ය නොවන සංවිධාන යන්නයි. එහෙත් රාජ්‍ය නොවන සංවිධාන වීම නිසාම මිනිසුන්ගේ අදහස් ප්‍රතික්ෂේප කළ හැකි ද යන්න ද ප්‍රශ්නාර්ථයකි. රාජ්‍ය නොවන සංවිධාන විදේශයන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කරන්නේ යැයි ද එනිසා ඔවුන්ගේ යෝජනා අදහස් සැලකිල්ලට ගැනීම නොවටින්නේ යැයි ද විවේචකයෝ කියති. එහෙත් මේ විවේචකයෝ එකම වතාවක්වත් මෙය කරුණු සහිතව ඔප්පු කර නැත. උදාහරණයකට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ද රාජ්‍ය නොවන සංවිධානයකි. රටේ පාලන කටයුතුවලට අදාළ සැලසුම් සකස් කර ඒවා යථාර්ථයක් කරගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට ඉන් අනතුරුව කෙරෙන්නේ අදාළ යෝජනා පරිත්‍යාගශීලීන්ට ඉදිරිපත් කිරීමය. සංවිධානයට මුදල් ලැබෙන්නේ එය පිළිගත්තොත් පමණි. මුදල් ලබා දුන්නේ යැයි කියා පරිත්‍යාගශීලීන් අපට යෝජනාවලියට ඔවුන්ගේ දේවල් රිංගවන්නට උත්සාහ කර නැත. 

එනිසා මේ නඟන චෝදනා හුදු හිතළු පමණි. අනෙක් අතට රාජ්‍ය නොවන සංවිධාන විදේශයන්ගෙන් මුදල් ඉල්ලා සිටින්නේ ඇයි? දේශීය වශයෙන් මුදල් පරිත්‍යාග කළ හැකි මූලාශ්‍ර නොමැති නිසාය. 

දේශීය ව්‍යාපාරිකයෝ දේශපාලන පක්ෂවලට මුදල් පරිත්‍යාග කළ ද රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වූ ව්‍යාපාරවලට මුදල් පරිත්‍යාග කිරීමට පැකිළෙති.

 එසේ නොපැකිළ මුදල් දෙන්නට පරිත්‍යාගශීලීහු වෙත් නම් අපට විදේශ මූලාශ්‍ර අවශ්‍යම නැත. සරලව බැලුවොත් මෙහි ඇත්තේ රුපියල් හා ඩොලර් සම්බන්ධ මුදල් ඒකක ප්‍රශ්නයකි. රුපියල් නම් දේශප්‍රේමීය. ඩොලර් නම් දේශද්‍රෝහීය. එනිසා මේ එන්.ජී.ඕ. සටන් පාඨය කිසිදු සාධාරණ පදනමක් නැති හුදු මන්ත්‍රයක් පමණි. රාජ්‍ය නොවන සංවිධාන යන නාමකරණයෙන් හැඳින් වුව ද ඒවාට ද රාජ්‍ය සමඟ සම්බන්ධයක් තිබේ. සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සෑම වසරකම විගණන වාර්තා සකස් කළ යුතුවේ. ඇතැම් සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙහි ලියාපදිංචි කර ඇත. ජාතික සංහිඳියා අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය මගින් මෙම සංවිධාන නියාමනය වේ. එම සංවිධාන ද වාර්ෂිකව මූල්‍ය හා විගණන වාර්තා සකස් කළ යුතු වේ. රාජ්‍ය නොවන සංවිධානවල යම් වංචාවක් දූෂණයක් ගැන තොරතුරු වේ නම් විෂය භාර ඇමැතිවරයාටම සෘජුව මැදිහත් වී ඒ ගැන සෙවිය හැකිය. 

යුද්ධයෙන් පසු උතුර සංවර්ධනයේ දී උතුරු පළාත් සභාව පිහිටුවීම සැලකිය යුත්තේ වැදගත් අවස්ථාවක් හැටියටය. එහෙත් උතුරු පළාත් සභාවට පළාතේ සංවර්ධනය සඳහා ලැබුණු මුදල්වලින් අඩකට ආසන්න මුදලක් ආපසු හරවා යවන තැනට වැඩකටයුතු සිදු වී යැයි පසුගිය කාලයේ වාර්තා විය. එසේම පළාත් සභාවෙහි සම්මත කළ හාරසීයකට අධික යෝජනාවල බහුතරයක අන්තර්ගත වී තිබී ඇත්තේ බලය බෙදීම හා ස්වයංපාලනය ආදී කරුණු ගැනය. ඒ අනුව දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරේ දේශපාලන නියෝජිතයන්ට මෙම කාරණා ආමන්ත්‍රණය කිරීමට නිශ්චිත සැලැස්මක් තිබීම අත්‍යවශ්‍ය බව පෙනේ. මන්දයත් උතුරු නැගෙනහිර දේශපාලන ප්‍රශ්න මෙන්ම ආර්ථික ප්‍රශ්න ද නොසලකා හැරිය නොහැකි බැවිනි. කාන්තා ගෘහ මූලිකයන් සිටින උතුරේ පවුල් ගණන හතළිස් දාහකට අධිකය. මේවා දැවෙන සමාජ ප්‍රශ්නය. රැකියාවක් කර පවුල පෝෂණය කරමින් දරුවන් ද ආරක්ෂා කරගනිමින් නිවසක් ඉදිකිරීම මේ බොහෝ දෙනාගේ මූලික කාර්යභාරයයි. මේ සමාජ තත්ත්වය සංවර්ධනයට විශාල ආර්ථික වැඩපිළිවෙළක් අවශ්‍යය. උතුරු පළාත් සභාව තමන්ට ලැබෙන මුදලත් හරියට පාවිච්චි නොකර ආපසු හරවා යවන්නේ මෙවැනි සමාජ වටපිටාවක බව අවධාරණ කටයුතුය. ජනතාව සිටින්නේ මේ දේශපාලනය ගැන හොඳ සංවේදීතාවෙනි. ආණ්ඩුව මෙන්ම උතුරේ දේශපාලකයන් ද මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතුය. තම මූලික සමාජ ප්‍රශ්නවලට දුන් සහන මොනවාදැයි ඒ ජනතාව මැතිවරණ කාලයක දී ඇසුවහොත් ඊට පුදුම විය යුතු නැත. ඇත්තෙන්ම එසේ බැලුවොත් උතුරු පළාත් සභාව එම ජනතාවගේ ආර්ථික ජීවිතවල සංවර්ධනයට කළ දෙයක් නැත. අනෙක් අතට ලංකා දේශපාලනයෙහි නැවත වරක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධාන නායකයාට ලැබීම ද ධ්‍රැවීකරණය වූ දේශපාලන සිතියමෙහි නව ලකුණක් විය. සම්බන්ධන් මහතා ජාතික ගැටලුවේ දී යම් මධ්‍යස්ථ මතයක් සමග මැදිහත්වීම් කළ ද විපක්ෂයේ ජාතිකවාදී දේශපාලන කණ්ඩායම් ඊට දැක්වූයේ හුදු විරෝධී ප්‍රතිචාරයක් පමණි. එය අවාසනාවකි. අනෙක් අතට රටේ සෙසු ජාතික ප්‍රශ්නවල දී ප්‍රබල මැදිහත්වීමක් කිරීමට විපක්ෂනායක ධුරය භාවිත වී දැයි පසුකාලීනව බොහෝ දෙනා නැගූ ප්‍රශ්නයකි. මට සිතෙන්නේ ඒ ප්‍රශ්න කිරීම ද සාධාරණ බවය. 

මැතිවරණ පැවැත්වීම මෙන්ම නිසි කලට මැතිවරණ පැවැත්වීම ද ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍යය. පළාත් සභා මැතිවරණ පමාවෙන් ජනතාවගේ මූලික අයිතියක් උල්ලංඝනය වී තිබෙන්නේ එහෙයිනි. එයට දේශපාලන තන්ත්‍රයෙන් සාධාරණයක් නොවේ නම් ඊළඟට යන්නට ඇත්තේ අධිකරණයටය. පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් අධිකරණමය පියවර ගැනීමට 1998 ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පියවර ගත්තේය. මෙවර ප්‍රශ්නයේ දී කිසියම් නිරීක්ෂණ පියවරක අප සිටියේ නව මැතිවරණ ක්‍රමය නිසාය. එහෙත් උදා වී ඇති තත්ත්වය විසින් පළාත් සභා මැතිවරණ පමාවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අපට බලකරනු ලැබ ඇත. ඒ අනුව තවත් දෙසතියකින් පමණ පළාත් සභා මැතිවරණ පමාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩු පැවරීමට අපි කටයුතු කරමු. විධායක ජනාධිපති ධුරය අහෝසි කර බලය බෙදීම ශක්තිමත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය මේ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දුවකි. සැබැවින්ම රටේ පවතින මූලික ප්‍රශ්න විසඳාගැනීමට නම් අපට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යය. එසේ නැතිව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් සංශෝධනය කිරීමෙන් පලක් නැත. ආසනයට වගකියන මන්ත්‍රී කෙනෙකු සිටින නව මැතිවරණ ක්‍රමය යනු ජනතාව ඉල්ලා සිටි දෙයකි. මේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමග ආණ්ඩුව කළ යුත්තේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට ද ප්‍රමුඛත්වය දීමය. නිදසුනකට ගතහොත් 2019 යනු වැඩිම විදේශ ණය ගෙවීම් කරන්නට සිදුවන වසරකි. තවත් තෙවසරකින් එළඹෙන්නේ ද මෙවැනිම වසරකි. ප්‍රශ්නය නම් මේ මුදල් ගෙවන්නට රජයට මුදල් කොහෙන්ද කියාය. ආර්ථික උත්පාදනයෙහි ආණ්ඩුව අපේක්ෂා කළ ආයෝජන එපරිද්දෙන් සිදුව නැත. උපායමාර්ගයක් කරගත් සංචාරක කර්මාන්තයෙහි ද සැලකිය යුතු වර්ධනයක් නැත. අනෙක් අතට රට තුළ සිදුකෙරෙන මහා පරිමාණ විදේශ ව්‍යාපෘතිවල ස්වදේශික ජනයාට හිමි වරප්‍රසාද හා අවස්ථා ද දුලබය. ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුත්තේ මේ කාරණාවලටය.    

ආර්ථික ප්‍රශ්න හා දේශපාලන ප්‍රශ්න යැයි කියා සමාජ ප්‍රශ්න ව්‍යවච්ඡේද කරන්නට බැරිය. එහෙත් දැන් ඇතැමුන් යෝජනා කරන්නේ දේශපාලන නිදහස පසුවට තබා ආර්ථික නිදහස පළමුව උදා කරගත යුතු බවය. මෙය මිථ්‍යාවකි. මිනිසුන්ට නිදහසක් නොමැතිව ආර්ථික නිදහසක් උදාකර ගත නොහැකිය. හිට්ලර්ගේ සිට පෙර අපර දෙදිග බිහි වූ නායකයන් විසින් කරන ලද මහා සංහාරයන්ගෙන් සපථ කරනු ලැබුවේ එම යථාර්ථයයි. අප යා යුත්තේ පළාත්වල ප්‍රශ්න පළාතේ ජනයාම විසින් විසඳාගත හැකි රාජ්‍ය සේවයට ආවේණික දුර්ගුණ මැකිය හැකි පාලනයකටය. එය කළයුත්තේ සාමූහික සාකච්ඡාවකින් විනා ඒකපුද්ගල රංගනයකින් නොවේ. එහෙත් උදා වී ඇත්තේ සාමූහික සාකච්ඡාවකට ඉඩක් නැති දේශපාලන වටපිටාවකි. එය රටට යහපත් නැත. තමන්ගේ ද සහායෙන් කළ යහපත් දේශපාලන ප්‍රතිසංස්කරණ පවා ප්‍රශ්න කරන තැනට නායකයන් පත්වීමෙන් පෙනෙන්නේ එයයි. ඒ අර්ථයෙන් බලද්දී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අරමුණෙන් කෙරෙන 20 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාව සාධනීයය. ඒකාධිපතින් බිහි නොකරන පාර්ලිමේන්තු ක්‍රමයකට යා හැකි නම් රටේ යහපත් දේශපාලන පරිවර්තනයකට එය නිසැකවම තුඩු දෙනු ඇත. 

සටහන - බිඟුන් මේනක ගමගේ

ඡායාරූපය - චතුර එස්. කොඩිකාර