(ශාන්ත චන්ද්‍රසිරි)

මධ්‍යම කඳුකරයේ හදවත ලෙස සැලකෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ පරිසර පද්ධතිය සමන්විත  මේ දිනවල ගිනි තැබීම්වලට ලක්වෙමින් පවති.

කැලෑ බිම් මෙලෙස ගිනි තැබීම හේතුවෙන් නුවරඑළියේ සුන්දරත්වයට මෙන්ම මෙරට හෙට දිනයේ අනාගතයද විනාශ වී යාමට පටන් ගෙන ඇතැයි පරිසරවේදීහු පවසති.

මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරය ආශ්‍රීතව පිහිටි අතිසංවේදී පරිසර පද්ධතීන්ගෙන් ගහන රක්ෂිත කැලෑ, ජල පෝෂක බිම්, ලඳු කැලෑ, පතන් බිම්, උස් කඳු මුදුන් ආදී කැලෑ ප්‍රදේශයන් අක්කර සිය ගණනක් ගිනි තබා විනාශ කොට දමා ඇත. ඇතැම් පිරිස් මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්  උඩරට කැලෑවන් ගිනි තබමින්  සිටිති.

සෑම වසරකම ශ්‍රි ලංකාව තුළ වනාන්තර 50 ත් 200 ත් ප්‍රමාණයක් ගිනි තැබීම්වලට ලක්වෙමින් 2016 වසරේ සිට 2019 වසර දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අතිසංවේදි වනාන්තර 71 ක් ගිනි ගැනීම්වලට ලක්ව විනාශව ගිය බව සංඛ්‍යා  ලේඛන කියයි. මෙසේ සිදු කරන ලද ගිනි තැබීම් හේතුවෙන් සුන්දර නුවරඑළියේ වනාන්තර හෙක්ටයාර් 349.7 ක් විනාශ වී තිබේ. පසුගිය ජනවාරි මස global fire watch වෙබ් අඩවිය නිකුත් කරන ලද වාර්තාවක සදහන් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ගිනි ගැනීමේ අවදානම අතින් ඉහළම දිස්ත්‍රික්කය බවයි.

සතුන් දඩයම්කිරීම, දර සපයාගැනීමට, ගවයන්ට තණකොළ සපයා ගැනීමට මෙන්ම ඇතැම්  තරුණ පිරිස් විනෝදය සඳහාද මෙසේ කැලෑවන් ගිනි තබන බවඋඩරට පරිසර සංගම් පවසයි.

2009 අංක 65 දරණ සංශෝධිත කැලෑ ආඥා පනතට අනුව වනාන්තර ගිනි තැබීම දැඩි දඬුවම් ලැබෙන වරදකි. එම වරදට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකිය. ගිනි තැබීමේ චෝදනාවකට වරදකරුවෙකු වුවහොත් රුපියල් 20000 සිට රුපියල් 100000 දක්වා වු දඩ මුදලකයට හෝ වසර පහක සිරදඬුවමකට ලක්විය හැකිය.

ගිනි තැබීම් හේතුවෙන් ජල උල්පත් සිදී යෑම, වන සතුන් විනාශවීම, විවිධ ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තවීම  හා කඳු බෑවුම් වර්ෂා සමයේදි නායයාමේ තර්ජනයන්ට ලක්වීම සිදු

අතිසංවේදී පරිසර කලාපවල මෙරටට ආවේණික හා වෙනත් දුර්ලභ ශාක හා පැළෑටි වර්ග විනාශවීමේ මෙන්ම වඳවී යෑමේ තර්ජනයට ලක්වෙමින් පවතින බවද උඩරට පරිසර සංගම් කියති. මෙම කැලෑ බිම් ආරක්ෂාකර ගැනීමට හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට, වන සංරක්ෂණ නිලධාරීන්ට හා රජයේ නිලධාරීන්ට පමණක් තනිව සිදුකළහැකි කටයුත්තක් නොවන බව ප්‍රකට කරුණකි.

මේ සඳහා ආගමික නායකයින්, මහජනතාවගේ, පරිසරවේදීන්ගේ මෙන්ම පරිසර සංගම්, ස්වේච්ඡා සංවිධානවල සහයෝගය අත්‍යවශ්‍යය. එහෙත් ඔවුන්ගේ සහයෝගය නොලැබී යෑම කණගාටුවට කරුණක් සේම රටේ අවාසනාවකි.

මෙම ගිනි තැබීම් නිසා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වන වළි කුකුළන්ද, විවිධ කුරුලු වර්ගද, උරග වර්ගද, මී මින්නන්, කොළ දිවියන්, හාවුන්, මුගටින්, ඉත්තෑවන් වැනි කුඩා සතුන්ගේ ජීවිතද විනාශ වීමේ තර්ජනයකට ලක්ව ඇත. එමෙන්ම කුරුළු බිත්තර හා අනෙකුත් සතුන්ගේ බිත්තර විනාශවී යමින් පවති.

ජලාශ වලට ජලය ලැබෙන ජල මුලාශ්‍ර හා පානීය ජල උල්පත් සිඳී යෑමේ අවදානමක්ද මතුව තිබේ. වසරින් වසර මේ පිළිබඳව මනා අධ්‍යයනයක් සිදු කරන්නේ නම් එම ප්‍රදේශයන්ගේ ජල උල්පත් සිඳී යෑම කෙතරම් වේගවත්ව සිදුවන බව වටහා ගන්නට හැකිය.

උඩරට මධ්‍යම කඳුකරයේ වසරින් වසර ඉවක් බවක් නොමැතිව සිදු කරනු ලබන මෙකී කැලෑවන් ගිනි තැබීමේන් පරිසරයේ සමතුලිත බව බිඳී ජෛවවිවිධත්වයටද හානි ගෙන දෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

උඩරට කඳුකරය යනු මෙරටට ජලය සපයන හදවතයි. කඳුකරයේ අතිසංවේදී ජල පෝෂිත වනාන්තරයන් ගිනි තැබීම තමාගේ අතින් තමාගේම ගෙල සිරකර ගන්නවා වැනි දෙයකි. එහෙත් ගිනි තබන්නන්ට එවැනි දෙයක් තේරුම් ගැනීමට නොහැකි වී තිබීම මුළුමහත් මෙරටේම අවාසනාවකි. මස්කෙළිය, බගවන්තලාව, වටවල, නෝවුඩ්, හැටන්, දිඹුල- පතන, නාවලපිටිය, නානුඔය, තලවකැලේ, කොත්මලේ, පුඬළුඔය, ලිඳුල, ආගරපතන, ඩයගම ආදී නුවරඑළියේ උඩරට වතුකරය ආශ්‍රීත පොලිස් බලප්‍රදේශයන්තුළ බහුලව මේ දිනවල කැලෑ ගිනි තැබීම් සිදු වී හා සිදු වෙමින් පවතී.

කඳුකරයේ අතිසංවේදී පරිසර පද්ධතිය ගිනි තබා විනාශ නොකරන ලෙස හා එසේ ගිනි තැබීම නිසා සිදුවන හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් රජය හා පෞද්ගලික ආයතනයන් එකතුව සිදු කරන්නේ නම් ගිනි තැබීම් යම්තාක් දුරට හෝ පාලනය කරගත හැකිය. කුමණ මාර්ගයකින් හෝ මෙම ජාතික විනාශය සිදු කරන්නා වු අපරාධකරුවන් අල්ලා නීතියෙන් උපරිම දඬුවම්වලට යටත් කරන්නේනම් බොහෝ පිරිස් කැළෑ ගිනි තැබීම් පිළිබඳව දෙවරක් සිතනු ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ  අතිසංවේදී පරිසර කලාප විනාශ කිරීමේ ප්‍රතිවිපාකවලට අපට මුහුණපෑමට සිදුවන්නේ අදට වඩා හෙට දිනයේදීය. එයද නුවරඑළිය දිස්ත්‍රික්කයට පමණක් නොව මුළු මහත් ශ්‍රී  ලංකාවටමය. මක්නිසාදයත් ඒ මුළු රට පුරාම දිවයන ගංගාවන්ගේ උප්පත්තීන් සිදුව ඇත්තේ නුවරඑළිය  උස් කඳු මුදුන් තුළ බැවිනි.

කැලෑ ගිනි තැබීම් දුටු සැණින් ඒ ඒ ප්‍රදේශයන්ගේ ග්‍රාම නිලධාරීවරුන්ට,  හමුදා නිලධාරීන්ට, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හෝ පොලිසියට දැනුම්දිය හැක. එසේත් නොමැතිනම් 117 හෝ 119 යන පොලිස් හදිසි ඇමතුම් අංකයන්ට දැනුම්දිය හැකිය.