IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ප්‍රහාරයක්

විපක්ෂයට ගිය ආණ්ඩුව යළි ගැනීමේ ඇමති කිරිඇල්ලගේ මෙහෙයුම-4 

 

මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය නොමැති බව විශ්වාසභංග යෝජනාව අදාළ ඡන්ද විමසීමේදී මනාව පැහැදිලි විය. එහෙත් සාමකාමී ලෙස වේදිකාවෙන් බැසයාමට මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම සූදානම් නොවීය.


මහින්ද රාජපක්‍ෂ කඳවුරේ ඉලක්කය වූයේ පාර්ලිමේන්තුව කල් දැමීමය. තමන්ට අවශ්‍ය බහුතරය හදා ගැනීම සඳහා කාලය ලබාගැනීම එහි අරමුණ විය. එහෙත් සභානායකව සිටි ලක්‍ෂ්මන් කිරිඇල්ල සිටියේ වෙනම ස්ථාවරයකය. ගාලගෝට්ටි මැද විශ්වාසභංග යෝජනාව සම්මතවීමත් සමග නැගී සිටි ලක්‍ෂ්මන් කිරිඇල්ල කතානායක කරු ජයසූරියගෙන් ඉල්ලා සිටියේ ඊට පසුදින දහවල් 10 නැවත පාර්ලිමේන්තුව කැඳවන ලෙසය. ඒ අනුව එම දිනය හා වේලාව සභාවට දැනුම්දුන් කතානායකවරයා එදින සභාව අත්හිටුවීය.


පසුදින පාර්ලිමේන්තුව රැස්විය. එම දිනය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත්ම නින්දා සහගත දිනය වශයෙන් ඉතිහාසයට එක්වනු ඇතැයි කිසිවෙක් හෝ නොසිතූහ. එහෙත් එදින සිදුවූයේ එයමය. කල්වේලාසනින්ම සභාගැබට රැස්වූ මහින්ද කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් සභාවේ පාලනය සියතට ගත්හ. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දිත ප්‍රනාන්දු කතානායක ආසනයේ වාඩි ගත්තේය. සෙසු මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියෝ විවිධ සටන් පාඨ කියමින් පාර්ලිමේන්තුව දෙවනත් කළහ.
එජාපයේ මන්ත්‍රීවරුන්ට සන්සුන්ව සිටින ලෙස ලක්‍ෂ්මන් කිරිඇල්ල කල්ඇතිවම දැනුම් දී තිබුණේය. 


“මෙතැන අපට ප්‍රශ්නයක් නෑ. පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ අපිටයි. මේ අය වියරුවෙන් වගේ දඟලන්නේ. මේ සභාව සජීවීව රූපවාහිනියෙන් විකාශය වෙනවා. මේ ගොල්ලන්ගේ හැසිරීම මුළු රටම දකිනවා. ඒ නිසා අපි විනයගරුකව මේ අවස්ථාවට මුහුණ දෙමු.” ලක්‍ෂ්මන් කිරිඇල්ල සිය පාර්ලිමේන්තු සගයන්ට කීවේය. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලුම මන්ත්‍රීවරු නිශ්ශබ්දව සභාවේ අසුන්ගෙන සිටියහ.


මහින්ද පාර්ශ්වයේ විරෝධතාවේ එක් අරමුණක් වූයේ ඊට පෙර දින පාර්ලිමේන්තු කලබලයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් පිහියක් රැගෙන සභාවට පැමිණි හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් කරන ලෙසය. 


මේ සභාවට මන්ත්‍රීවරු පිහියක් අරගෙන එනවා නම් මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට මොකද වෙන්නේ? ඒ නිසා ඒ ගැන වහාම පියවරක් ගත යුතුයි. මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරු කෑ ගසමින් කීහ.


මේ මොහොතේ පොලිස් භටයන් පිරිවරා ගරු කතානායක කරු ජයසූරිය සභාවට පැමිණියේය. කතානායක ආසනය පෙරැළී ගියේය. වතුර බෝතල් හැන්සාඞ් වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉගිලී ගියේය. කතානායක කරු ජයසූරිය “මෙගා කෙන්තියකින්” සභාව ඇමතුවේය. ඒ සමගම කිසියම් දියර වර්ගයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතානායකවරයාට හා පොලිස් බළඇණියට එල්ලවිය.


“මිරිස් කුඩු ගහනවෝ” මන්ත්‍රීවරු කෑගසන්නට වූහ.


පැයකට ආසන්න කාලයක් මෙම කලබැගෑනිය පැවැත්විණි. එම දිනය සම්බන්ධයෙන් හැන්සාඞ් වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය..


ගරු කථානායකතුමා : Order, Please (ඝෝෂා කිරීම්) කථානායකවරයාගේ නිවේදන. පවතින නොසන්සුන්කාරී තත්ත්වය තුළ සභා ගර්භය තුළට පොලිසිය කැඳවීමට මම අවසර දුන් බව සභාවට දන්වා සිටිමි. අද දවසේ වැඩකටයුතු කරගෙන යාම සඳහා ස්ථාවරව නියෝග පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීම, ගරු සුමන්තිරන් මන්ත්‍රීතුමා (ඝෝෂා කිරීම්) ගරු සුමන්තිරන් මන්ත්‍රීතුමා (ඝෝෂා කිරීම්) ගරු සුමන්තිරන් මන්ත්‍රීතුමා.


ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා :( "In terms of standing order No. 135 that standing Order No. 27 be suspended for the day in order in order to move the No- confidence Motion" (Uproar)

 


ගරු කථානායකතුමා : එම යෝජනාව ස්ථිර කිරීම (ඝෝෂා කිරීම්)


ගරු අජිත් පී. පෙරේරා මහතා : ස්ථිර කරනවා.


ගරු කථානායකතුමා : ඊයේ අතිගරු ජනාධිපතිතුමා එකඟ වූ පරිදි විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කර, එම යෝජනාව සභාවට ඉදිරිපත් කිරීම, ස්ථිර කිරීම (ඝෝෂා කිරීම) ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා.


ගරු අනුර දිසානායක මහතා : ගරු කථානායකතුමනි, මා පහත සඳහන් යෝජනාව ඉදිරිපත් කරනවා.


“ගරු කථානායකවරයා විසින් නිකුත් කරන ලද 2018 නොවැම්බර් මස 15 වන දින දරන නිවේදනය ප්‍රකාරව 2018 නොවැම්බර් මස 14 දින ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවේ අංක 02 දරන යෝජනාව සම්මත වූ හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය විසිරුණු බවට වන නිල ප්‍රකාශය මෙම ගරු සභාව පිළිගන්නා අතර,


මෙම ගරු සභාව 2018 ඔක්තෝම්බර් මස 26 වෙනි දින සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ගරු මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බව යෝජනා කර සිටියි.”


ගරු කථානායකතුමා : ස්ථිර කිරීම (ඝෝෂා කිරීම්)


ගරු කථානායකතුමා : මෙම යෝජනාවට පක්ෂව (ඝෝෂා කිරීම්)


ගරු මන්ත්‍රීවරු : එකඟයි


ගරු කථානායකතුමා : එම යෝජනාවට විරුද්ධව. (සෝෂා කිරීම්) හරි. මේ අවස්ථාවේදී මම කැමැතියි, නම්වලින් ඡන්දය ගන්න. නම් වලින් ඡන්දය ගන්න බැරි නිසා I am ordering that "Ayes" will have 

 


අවසානයේදී කතානායකවරයා ප්‍රකාශයට පත් කළේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ආණ්ඩුවට එරෙහිව සංශෝධන සහිතව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව “කට හඬින්” සම්මත වූ බවය. එමෙන්ම පාර්ලිමේන්තුව නැවත නොවැම්බර් 19 දින තෙක් කල් තබන බවය.


එජාපයේ මන්ත්‍රීවරුන්ට අතින් සංඥාවක් කළ ලක්‍ෂ්මන් කිරිඇල්ල සභාවෙන් එළියට ගියේය.

 

සකස් කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12095 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site