2018.07.15 ඉරුදින ලංකාදීප පත්‍රයේ එල්.ඩබ්ලිව්. පුෂ්ප කුමාර මහතා විසින් ලියා ඉදිරිපත් කරන ලද ජේ. ආර්., රුක්මන් පසුපස පැන්නුවේ මාරාවේශයෙන්ද යන ලිපියට ඌණපූරණයකි. 


ලියුම්කරු පවසන පරිදි ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු දැදිගම ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයට සේනානායකවරයකු ඉදිරිපත් කිරීමට ජේ. ආර්. වැඩි කැමැත්තක් දැක්වූයේ නැති බවය. එම ප්‍රකාශය අසත්‍යයකි. එම්. ඩී. බණ්ඩා මහතා ද, විමලා කන්නන්ගර මහත්මිය ද දැදිගම 1973 අතුරු මැතිවරණයට ඉදිරිපත්වීමට උත්සාහ කළ අයගෙන් දෙදෙනෙකි. එහෙත් ජේ. ආර්. ඊට ඉඩ දුන්නේ නැත. 


දැදිගම අතුරු මැතිවරණය සඳහා රුක්මන් අවශ්‍ය බව දැදිගම ජනතාවගේ ඉල්ලීම වූ බව මම ද පිළිගනිමි. මම ද දැදිගම එජාප බල මණ්ඩලයේ එවකට සිටි උපසභාපති ලෙස රුක්මන්ගේ පැමිණීමට එකඟත්වය පළ කළෙමි. 
මා එවකට ද නීතිඥයකු ලෙස ද ඩඞ්ලි සේනානායක මහතාගේ සමීපතම මිතුරකු ලෙස ද දැදිගම ඇතුළු කෑගලු දිස්ත්‍රික්කයේ එජාප ක්‍රියාකාරයකු ලෙස සිටි අතර ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු දැදිගමට සිටි නියම උරුමකරු රුක්මන් ලෙස හඳුන්වා තිබීම කරුණු නොදැන කරන ලද ප්‍රකාශයක් ලෙස මම සඳහන් කරමි. 


ඩඞ්ලි සේනානායක මහතා රුක්මන් හෝ තම සහෝදර රොබට් සේනානායක මහතාගේ පවුලේ කිසිවකු දැදිගමට තම අනුප්‍රාප්තික ලෙස හඳුන්වාදීමක් නොකළ අතර ඔවුන් කිසිවකු දැදිගම හෝ කෑගලු දිස්ත්‍රික්කය තුළ මොනම අන්දමක හෝ දේශපාලන කටයුතුවල නිරත වී නොසිටි බව සඳහන් කරන්නේ එම පවුලේ තැනැත්තන්ට අහිතකින් රිදවීමට නොව සත්‍යතාව රටටම හෙළිදරව් කිරීමටය. 


පුන පුනා ඒ පිළිබඳව වැඩි විස්තර නොදක්වමින් ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු 1973 සිට 1976 කාලය තුළ සිදුවීම් පමණක් එනම් රුක්මන්. ජේ. ආර්. ගේ නායකත්වය යටතේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ගත කළ කාලය ගැන පමණක් කරුණු ඉදිරිපත් කර සිටිමි. 


මම දැදිගම ජන්මලාභියෙකු වන අතර ගැමි ගෙදරක උපත ලබා කිනිවිට මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා ඉන්පසු ද්විතීය අධ්‍යාපනය කෑගල්ලේ කෑගලු විදුහලෙන් ලබා එහිම ගුරු වෘත්තියේ මඳකලක් ගත කර ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් වර්ෂ 1965 දී නීති විභාගය සමත් නීතිඥයකු ලෙස ප්‍රතිඥා දී කෑගල්ල අධිකරණවල වෘත්තියේ යෙදී සිටින්නෙකු බවත් නීති ශිෂ්‍යයකු ලෙස වර්ෂ 1963 දී ඩඞ්ලි සේනානායක මහතා සමග එකතුව එජාපයේ රැඳී සිටිමින් දේශපාලන කටයුතුවල යෙදුණු බව පවසමි. 


ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවයට අදාළව ලිපි ගණනාවක්ම මා විසින් එවකට ලංකාදීපයේ සහකාර කර්තෘ සමන් තිලකසිරි මහතාගේ උදව්වෙන් ලංකාදීප පුවත්පත්වල පළකරමින් දැදිගම ජනතා ශෝකය එළිදරව් කළ අතර, එතුමාගේ දේහයට අවසන් කටයුතු කිරීමෙන් පසු දින මා කොළඹ කින්සි පාරේ නිවසේදී රොබට් සේනානායක මහතා හමුවීමි. 


මම එතුමා සමග කථා කළේ දැදිගම ආසන පුරප්පාඩුව ගැන බවත්, රුක්මන් දැදිගමට දැදිගම ජනතාව ඉල්ලා සිටින හෙයින් ඔහු ගැන තීරණයක් ගැනීම ගැන සාකච්ඡා කළෙමි. 


එතුමන් මට කියන ලද්දේ එතුමාගේ අදහස දේවින්ද සේනානායක ගැන බවත් ඔහුගේ ජන්ම පත්‍රයට (හඳහනට) අනුවද ඔහුගේ මුල් අකුරු ද ‘ඩී. එස්.’ වන හෙයින්ද, ඔහු වඩාත් සුදුස්සා බවය. එහෙත් මා මගේ හා දැදිගම ජනතා අදහස් එතුමාට දැක්වූ අතර අවශ්‍ය නම් රුක්මන්ගේ ජන්ම පත්‍රය ද (හඳහන) සලකා බලන ලෙස ඉල්ලා සිටියෙමි. 


එතුමා ඊට එකඟත්වය පළකළ අතර, මා ලංකාදීපයේ මගේ මිත්‍ර ඉහත සඳහන් කළ සහකාර කර්තෘවරයා ලවා ලංකාදීප පත්‍රයේ වාර්තාවක් පළකරවා මිරිගම, බෝතලේ වලව්වට දැදිගම ක්‍රියාකාරින් එක්රැස් කළෙමි. එහිදී මා විසින් රුක්මන්ගේ නම දැදිගම එ.ජා.ප. අපේක්ෂක ලෙස තෝරාගන්නා ලෙස පක්ෂයෙන් ඉල්ලා සිටීමට යෝජනා කළ අතර, දයාරත්න නම් තරුණයකු එය ස්ථීර කළෙන් එම යෝජනාව ඒකමතිකව ස්ථීර විය. 
මෙම යෝජනාව පක්ෂ මූලස්ථානයට ඉදිරිපත් වූ අතර පක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන මහතා ද පක්ෂ ලේකම් ඇතුළු පිරිසක් ඉදිරි දිනක දී මීරිගම, බෝතලේ වලව්වට පැමිණ ඒ පිළිබඳ තීරණයකට එළඹෙන බවට අප හට දැනුම් දෙන ලදී. එතුමාගේ එහි පැමිණීමේදී මා විසින් රුක්මන්ගේ නම අතුරු මැතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජනා කළ අතර, එම යෝජනාව ඒකමතිකව ස්ථීර විය. 


එම එකඟත්වයට අනුව පක්ෂ මූලස්ථානය රුක්මන් දැදිගම අතුරු මැතිවරණයට ඉදිරිපත් කරන ලදී. එලෙස ඉදිරිපත් කිරීම ජේ.ආර්. මැතිඳුන්ගේ පූර්ණ එකඟත්වය මත වූ අතර, එවක් පටන් එවකට තිබූ ප්‍රබල රාජ්‍යයක සම්පූර්ණ ශක්තිය යොදා ශ්‍රී.ල.නි.ප. යෙන් දැදිගම අතුරු මැතිවරණයට ඉදිරිපත් කරන ලද ධර්මසිරි සේනානායක මහතා පරාජය කරවමින් දැදිගම ආසනය එජාපයට ලබාදීමේ පූර්ණ ගෞරවය ජේ. ආර්. මැතිඳුන්ට හිමිය. එම ජයග්‍රහණය සඳහා එතුමා අංක එකේ උදව් කරන ලද පුද්ගලයා නම් මම අංක දෙකේ උදව්කරු ලෙස ක්‍රියා කරන ලද බව අතිශයෝක්තියකින් තොරව සඳහන් කරමි. 


එම මැතිවරණයේදී එතුමා සමග සමස්ත එ.ජා.ප. සෙසු නායකයන්ද පේළි ගැසී රුක්මන්ට ජය ගැනීමට උපකාර කළේ ජේ. ආර්. මැතිඳුන්ගේ බලවත් උවමනාව නිසා බව මම දනිමි. ඒ නිසා රුක්මන් දැදිගම ජයගත්තේ අන් හේතුවක් නිසා නොව ජේ.ආර් ගේ බලවත් උවමනාව උනන්දුව හා උත්සාහය නිසා බව නොපැකිළිව මම ප්‍රකාශ කරමි. 


එම ජයග්‍රහණය වූයේ 1973 දී වන අතර රුක්මන් පක්ෂයෙන් නෙරපුවේ 1976 අප්‍රේල් 24 වැනිදා ජේ. ආර්. තනියම නොව වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා ශාලාවේදී 1976.04.24 දින රැස්වූ අප පක්ෂයේ ආසන සංවිධායකයන් සහ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකමතික තීරණයකින් බව මම දනිමි. 


මමද එදින එම රැස්වීම නිරීක්‍ෂණය කරන්නෙකු වීමි. මෙහිදී රුක්මන් පක්ෂයෙන් නෙරපීමට සිදුවූ කරුණු සැකෙවින් පවසමි. රුක්මන් සේනානායක මහතාගේ ජයග්‍රහණයෙන් පසු කොළඹ දී ජයග්‍රහණය සැමරීමක් සිදු කරන ලදී. මා රුක්මන්ගේ දැදිගම ජයග්‍රහණයට හැකි පමණින් උපකාර කළද ඔහුට එම සැමරීමට මා හට ආරාධනයක් කිරීමට අමතක විය. 


ඒ කෙසේ වුවද ඔහු සමග මාගේ කිසිම අමනාපයක් නොවීය. රුක්මන්ගේ ජයග්‍රහණය දැදිගමවාසි මට ද සතුටට හේතු වූයේ ඩඞ්ලි සේනානායක මැතිඳුන්ගෙන් පසු මොහු අපගේ ප්‍රදේශය දියුණු කරන්නා ලෙස සිතූ නිසාය. 
එහෙත් සිදුවූයේ වෙනත් දෙයකි. මොහු ජේ. ආර්. පී. සූරියප්පෙරුම, ජිනදාස නියතපාල, ඕසී අබේගුණසේකර වැන්නවුන් සමග එකතුව ජේ. ආර්. මහතා විවේචනය කරන තත්ත්වයක් උදා විය. ජේ. ආර්. ස්වාමින් වහන්සේ නමකට දානයක්වත් නොදෙන්නෙකු ලෙස ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ඇතුළු පක්ෂ නායකයකුට නොකිය යුතු ප්‍රකාශ ප්‍රසිද්ධ රැස්වීම්වලදී පවා පැවසීමෙන් එකම පක්ෂය තුළ කැලඹීම් ඇති කිරීම අරඹන ලදී. 
එහි නැවැත්මක් නොතිබුණි. දිගින් දිගටම පක්ෂ නායකත්වය දෝෂදර්ශනයට ලක් කිරීම රුක්මන්ගේ දින චර්යාව විය. එලෙස වසර තුනක පමණ කාලයක් සිදුවීමෙන් පසු රුක්මන් සේනානායකගේ පක්ෂ ක්‍රියාකාරිත්වය තහනමට පක්ෂය විසින් ලක් කරන ලදී. 


එලෙස සිදු කළද දේශපාලන ක්‍රියාකාරකම් තවදුරටත් ඉගෙනීම සඳහා 1975 වර්ෂ අග හෝ 1976 මුලදී එංගලන්තය බලා මොහු යවන ලදී. එලෙස ගොස් පැමිණීමෙන් පසු ද නායකත්වය දෝෂ දර්ශනයට ලක් කිරීම සහ විවේචනවල අඩුවක් වූයේ නැත. 


ඉහත සඳහන් පක්ෂ ක්‍රියාකාරිත්වය තහනම් කිරීමෙන් පසු රුක්මන් විසින් එ.ජා.ප. දැදිගම බල මණ්ඩලය කැඳවීමට දින නියම කර මට ද විදුලි පුවතකින් ඒ බව දන්වන ලදුව එවැනි බල මණ්ඩල කැඳවීම පක්ෂ නියෝගය කඩ කිරීමක් ලෙස මා සැලකු නිසා එම විදුලි පුවත ද ගෙන පක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන මැතිදුන් වෝඞ් පෙදෙසේ එතුමන්ගේ නිවසේ දී හමුවුණෙමි. මාගෙන් විස්තර අසා සිටි එතුමන් රුක්මන්ට ඒ වන විට දැදිගම පක්ෂ බල මණ්ඩලය කැඳවීම පක්ෂ නියෝගය කඩ කිරීමක් ලෙස මා හට දන්වන ලදී. 


එහිදී මා නායක තුමාගෙන් අසන ලද්දේ රුක්මන්ගේ පක්ෂ හා නායක විරෝධී ක්‍රියාවන් නවත්වන්නේ නම් ඔහුට සමාවක් ලබා දී පක්ෂයේ අසමඟිය වැළැක්වීමට එතුමාගේ කැමැත්තය. එහිදී එතුමා පවසන ලද්දේ මෙසේය. ‘ජයසිංහ මේ ඔක්කොම කරන්නේ රොබට්. ඒවා වළක්වා ගැනීමට හැකිනම් රුක්මන්ට සමාවක් ලබා දී ඔහුට පක්ෂයේ නිසි තැන ලබා දී ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති බවය.’ 


එවිටම මා ඇසුවේ රුක්මන් හමුවී නායකතුමා විසින් කරන ලද ප්‍රකාශය අනුව සමථයක් ඇති කර ගැනීමට නායකතුමා කැමතිද? යන්නය. ඒ අවස්ථාවේ එතුමා කීවේ “ජයසිංහ මගේ විරුද්ධත්වයක් නෑ. ඔබ ඔහු හමුවී මෙය සැලකරන්න” යනුවෙනි. ඉන් පසු මම කින්සි පාරේ රුක්මන් සේනානායක මහතාගේ නිවසට ගොස්  ඔහු හමුවීමි. තේ කෝප්පයක් ද මට ලැබුණි. මම නායක තුමා කරන ලද ප්‍රකාශය ඔහුට කීවෙමි. ඔහු මට කීවේ “නෑ ජයසිංහ මහත්තයා මට ජේ. ආර්. ඊයෙත් කථා කළා. අපේ අමනාපයක් නැහැ” යනුවෙනි. මම ඔහුට කරුණු පැහැදිලි කර දී පැමිණ දින තුනකට පමණ පසු පුවත්පත්වල දුටුවේ. රුක්මන් මහතා නායක තුමාට නැවතත් අපහාස කිරීමය. එය දිගටම රුක්මන් කරගෙන ගියේය. 


මම ද ඉන් පසු නිශ්ශබ්දතාව රැක්කෙමි. එහි අවසන් ජවනිකාව වූයේ 1976.04.24 දින රුක්මන් එ.ජා.ප කෘත්‍යාධිකාරි සභාව සහ ආසන සංවිධායකයන්ගේ ඒකමතික ඡන්දයෙන් පක්ෂයෙන් නෙරපා දැමීමය. එදිනට දින හතකට පසු පැවති මැයි දිනය දැදිගම ආසනය වෙනුවෙන් සංවිධාන කර කොළඹ මැයි පෙළපාළියට සහභාගිවීමට පක්ෂයෙන් නියම වූයේ මටය. 


දින හතක් තුළදී දැදිගම ආසනයේ 1976 මැයි රැලියට නායකත්වය දුන්නේ මම වූ අතර එය ඉතා සාර්ථකව මම ඉටු කළෙමි. එම රැලියට මගේ සහභාගිත්වය නැවැත්වීම සඳහා මාගේ වාහන දැදිගම තුංතොට දී හරස් කර ක්‍රියාකළවුන්ගේ නායකයා වූයේ ඔසී අබේගුණසේකර වූ අතර, දැදිගම සමරකෝන් ද එම පිරිස අතර විය.

 

 


නීතිඥ ධර්මදේව ජයසිංහ
ස්වදේශ කටයුතු හා 
පළාත් සභා හිටපු රාජ්‍ය ඇමති