බොරැල්ල කනත්තේ විප්ලවය - 02

ජූලි 14 වැනිදා උදෑසන යාපනය ගුරු නගර් හමුදා කඳවුරට පැමිණි හෙළිකොප්ටරයකි. එහි පැමිණ සිටියේ හමුදාපති ජෙනරාල් තිස්ස වීරතුංග මහතාය. ඔහු පැමිණි වහාම කළේ නින්නවේලි බෝම්බයෙන් දිවි බේරී ඒ වනවිට යාපනය රෝහලට ඇතුළත් කර සිටි සෙබළ උපාලි පෙරේරා සහ සිරිපාල යන දෙදෙනා සැරයන් තනතුරට උසස් කිරීමය. අනතුරුව කළේ මියගොස් සිටි 13 දෙනා ඒ ඒ නිලවල ඉහළ නිලයට නම් කිරීමය. ඉතිහාසයේ සටන් බිමේදී උසස්වීම් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය විය.


මෙසේ උසස්වීම් ලද හමුදා මළසිරුරු 13 වූයේ උප ලුතිනන් වාස් ගුණවර්ධන සැරයන් තිලකරන්න, කෝප්‍රල් පී. ජී. පෙරේරා, කෝප්‍රල් ජී. ජී. පෙරේරා, හමුදා භටයන් වන කේ. ඩී. කරුණාරත්න, බී. රොබට්, එස්. එස්. අමරසිංහ, ඩී. එම්. ඒ. ඩී. මනපිටිය, එම්. බී. සුනිල්, ඒ. ජී. විජේසිරි, එස්. පී. රාජතිලක, ඒ. ජේ. ආර්. ප්‍රනාන්දු සහ එම්. ඒ. මනතුංග යන අයගේය.


මේ මොහොතේ ගුරුනගර් කඳවුරේ සිටියදීම හමුදාපති තිස්ස වීරතුංග මහතාට ලැබුණු දුරකථන ඇමතුමකි. එය නියෝගයකි. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගෙනි.


“තින්නවේලි බෝම්බයෙන් මියගිය 13 දෙනා යාපනයේම භූමදානය කරන්න කටයුතු කරන්න” ඒ හමුදාපතිට ලැබුණු ජනාධිපති නියෝගය විය.


“ඒක කරන්නෙ කොහොමද උතුරේ ඉන්න මුළු හමුදාවම කුපිතවෙලා ඉන්නෙ එය මට හෝ ආණ්ඩුවටවත් පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් නොවෙයි” හමුදාපතිවරයාගේ පිළිතුර විය.


“යාපනයේදී කරන්න බැරිනම් ඔය සිරුරු භූමදානය වවුනියාවේදි කරන්න. කොළඹට ගෙනාවොත් වෙන්නෙ මහ විනාශයක්’ ජනාධිපතිවරයා හමුදාපතිට කීවේය.


ජනාධිපති නියෝගයෙන් හමුදාපතිට හොඳටම කේන්ති ගියේය. ඔහු රිසිවරය තැබුවේ කෝපයෙන් ගැහෙමිනි.


“නෑ මගෙ බල්ලෙක්වත් යාපනයෙ හරි වවුනියාවෙ හරි වළලන්නෙ නෑ” හමුදාපති තනි තීරණයකට එළඹියේය.  මළසිරුරු ඥාතීන්ට බාරදිය යුතු යන දැඩි ස්ථාවරයේ විය. ඒ සඳහා කටයුතු කරන ලෙස උපදෙස් දුන් ඔහු තුවාල ලබා සිටි උපාලිත් සුමතිත් සමඟ මළ සිරුරු 13 කොළඹට  යවන්නට කටයුතු සූදානම් කළේය. හමුදාව ක්‍රියාත්මක හමුදාපතිගේ නියෝගය අනුවය. කොළඹට ගෙන එන මළ සිරුරු බොරැල්ල රේමන් මල්ශාලාවේදී පෙට්ටිවල තැන්පත්කර ඥාතීන්ට බාරදීමට සූදානම් කළේය. සිරුරු බාර ගැනීමට සවස මල්ශාලාවට එන ලෙස ඥාතීන්ට දැනුම් දීමට ද කටයුතු කළේය. 24 වැනිදා සවස සිට දිවයිනේ ඈත ඈත ප්‍රදේශවල සිටි ඥාතීන් මල්ශාලාව ඉදිරිපිට පිරෙන්නට ගත්තේ ඒ නිසාය.


හමුදාපතිගේ හිතුවක්කාර තීරණය ගැන ජනාධිපති පසු වූයේ දැඩි කේන්තියෙනි. හදිසියේ ආරක්‍ෂක මණ්ඩලය කැඳවීය “හමුදාව අපි කියනදේ කරන්නෙ නෑ. රට ගිනි ගත්තම කව්ද වගකියන්න  ඕනෑ. හමුදාව මට විශ්වාස නෑ. මට විස්වාස 100ක් හමුදාවෙ හිටියනම් මම දන්නවා කරන හැටි කොහොම වුණත් දැන් මළ සිරුරු කොළඹට එන එක වළක්වන්න බෑ. හැබැයි ගම්වලට මිනී ගෙනියන්න දෙන්න එපා. බොරැල්ල කනත්තෙදි හමුදා ගෞරව ඇතුව අවමඟුල් උත්සවය පවත්වලා අදම රෑ කීයට හරි අවසන් කටයුතු කරන්න ඕනෑ මමත් එතෙන්ට එනවා” ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා උපදෙස් දුන්නේය.


මේ අතර නගරාධිපති සිරිසේන කුරේ මහතාට අගමැති රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ වහාම සුචරිතයට පැමිණ තමා හමුවන ලෙසය. ඒ සැණින් කුරේ මහතා එහි ගියේය. ඒ යද්දී අගමැතිවරයා සිටියේ දුරකථනය සමඟය එය දීර්ඝ ඇමතුමකි. ප්‍රේමදාස මහතා මොහොතකින් දුරකථනය තබා කුරේ මහතාට කතා කළේය.


“කුරේ මේ කතාකළේ ජනාධිපති එයා තීරණය කරලා තියනවා හමුදා මළ සිරුරු 13 බොරැල්ල කනත්තට ගේන්න. එහෙම වුණොත් භයානක ප්‍රතිඵල ඇතිවෙන්න. පුළුවනි. මම මෙච්චර වෙලා උත්සාහ කළේ ජනාධිපතිතුමාගෙ මේ තීරණය වෙනස් කරව ගන්නයි. කෝ මෙයා තමන්ගේ තීරණෙන් පිට කිසිදෙයක් පිළිගන්න මනුස්සයෙක් යැ”අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපතිතුමාට නැවතත් දුරකථන ඇමතුමක් ගත්තේය.
“ජනාධිපතිතුමා මේ අපේ කොළඹ නගරාධිපති තුමාත් මෙතන ඇවිල්ල ඉන්නවා. එතුමාට කතා කරල බලන්නකො” කියමින් අගමැතිතුමා රිසීවරය සිරිසේන කුරේ මහතාට දුන්නේය.


“කුරේ... අපි තීරණය කරලා තියනවා මේ හමුදා සොල්දාදුවන් දහතුන්දෙනාගෙ බොඩිස් ටික බොරැල්ල කනත්තට ගේන්න...” කිසිම කලබලයකින් තොරව ජනාධිපතිවරයා පැවසුවේය.


“ජනාධිපතිතුමනි, ඔය සොල්දාදුවන් කිසිම කෙනෙක් කොළඹ අය නොවෙයි. මේ සිරුරු කොළඹට ගේන්න කිසිම වුවමනාවක් නැහැ. එහෙම ගෙනාවොත් අනිවාර්යයෙන්ම විශාල කලබලයක් ඇති වෙන්න පුළුවනි” කුරේ මහතා ද සිය අදහස පළ කළේය.


අවසානයේ අගමැතිතුමාගෙන් සිරිසේන කුරේ මහතාට උපදෙස් ලැබුණේ ජනාධිපතිවරයාගේ තීරණය ක්‍රියාත්මක කරන ලෙසය. කනත්තට ගොස් අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙසය. ඔහු ඒ සඳහා නාගරික කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.


ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිවේදනයක් ගුවන් විදුලියේ කියැවුණේ සවස ප්‍රවෘත්තිවලටය. එයින් කියැවුණේ හමුදා සොල්දාදුවන්ගේ සිරුරු 13 රාත්‍රි 10 පමණ වන විට කොළඹ බොරැල්ල කනත්තේදී හමුදා ගෞරවය මැද රාජ්‍ය නායකයන්ගේද සහභාගිත්වයෙන් සිදු කෙරෙන බවය. එතෙක් රේමන් මල්සාලව වටකරගෙන සිටි ඥාතීහුද කනත්ත වෙත ඇදෙන්නට වූහ. මොහොතින් මෙහොත සෙනගින් කනත්ත පිරෙන්නට වූහ.


මේ අතර සිරිසේන කුරේ මහතාද එහි ගියේය. එහි උද්ගත වෙමින් තිබූ තත්ත්වය ඔහුට අවදානම් සහිත විය. ඔහු මෙහි පැමිණීම ඉතාමත් අවදානම් බව ජනාධිපතිටත් අගමැතිටත් දැනුම් දී ඔවුන්ගේ පැමිණීමද වැළැක්වීය. අනතුරුව තමා ඇඳුමක් මාරුකරගෙන එන්නම් යැයි නාගරික කොමසාරිස්වරයාට කියා ඔහුද කනත්තෙන් පිටව ගියේය. එය ඔහු පිටව යාමට වඩා ඔහුගේ ආරක්‍ෂකයන් ඔහුව අරන්ගියා වැනි සිදුවීමකි.

 

 


හේම ශ්‍රී අමරසිංහ ලියූ 
“83 ජුලි පොත” ඇසුරෙණි.

 

 


වදාකඩ නවරත්න
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.