සර් ජෝන්ගේ නොපළ කතා

 

 

ජෝන් කොතලාවල මහතා පවසන්නේ තමන්ට විරුද්ධ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබූ තර්ක වඩාත් රසවත් බවයි. 


“ප්‍රජාතන්ත්‍රවාදී දියුණුවක් ලබා ඇති රටවල් ඉදිරිපත් කරන දේශපාලන තර්ක හා ප්‍රතිපත්ති අනුව සසඳා බලතොත් මේ තර්ක ගම්බද ගැහැනුන් උනුනුන්ට බැණවැදීමේ දී කියා ගන්නා කුලමලවලට දෙවැනි නැත.”‍ යැයි ශ්‍රීමත් ජෝන් කොතලාවල තමන් විසින්ම ලියන ලද සටහනක පවසා තිබේ. 
ඔහු පවසන්නේ මෙවැනි කරුණු වැඩි ප්‍රමාණයක් සඳහන් කර තිබුණේ නිර්නාමික පත්‍රිකාවල බවයි. ඉතා කෙටි කාලයකින් කඩාකප්පල් වී ගිය තම කනගාටුදායක විවාහ ජීවිතය ගැන ද මේ පත්‍රිකාවල සඳහන්ව තිබූ බව ඔහු පසුකලෙක සඳහන් කර ඇත. 


“ඒ පත්‍රිකා මට අද වගේ මතකය. එකක තිබුණේ මගේ වයසින් වැඩි කාලයක් ගත වූයේ පැරිසියේ නෘත්‍ය ශාලාවල බවයි. එමෙන්ම මට හිමිව තිබූ ධනයෙන් සැලකිය යුතු කොටසක් තිස්විය ගෙවෙන්නටත් පෙර මා විනාශ කර දැමූ බව ද ඒවායේ සඳහන්ව තිබිණි. මෝඩයන් නැතිවාට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙන යා හැකි උගත් බුද්ධිමත් අය සිටිනවා යැයි එක් පත්‍රිකාවක දක්වා තිබුණේ මා මෝඩයකු යැයි උපහාසයට ලක්කරමිනි. එදා ඔවුන් මා මැනගත් ආකාරය ගැන සිහිපත් කරන විට මට අද කොතෙකුත් සිනාසීමට පුළුවන.”‍
කොතලාවල මහතා පවසන්නේ තමන්ට විරුද්ධව පත්‍රිකා බෙදාහැරිය ආකාරයෙන් ම තම ප්‍රතිවාදියාට තම සහායකයකු ද පත්‍රිකා මුද්‍රණය කර බෙදාහැරිය බවයි. එවැනි පත්‍රිකාවක ඡන්ද දායකයා නොකළ යුතු දේ යනුවෙන් කරුණු රැසක් සඳහන් කර තිබූ බව ද කොතලාවල මහතා පවසා ඇත. තම ප්‍රතිවාදියා ගොඩ පෙරකදෝරුවකු බවත් පරංගින්ගේ කාලයේ අදහස් දරණ කෝපි කඩේ දේශපාලකයකු ලෙසත් හඳුන්වා දී තිබුණේ යැයි ඔහු සිහිපත් කර ඇත. 


“ඒ කාලේ අපහාස නීතිරීති උල්ලංඝනය නොකර පළ කළ හැකි සෑම පෞද්ගලික දුර්වලකමක් ම ඡන්ද පිටියේ දී හෙළි වුණා. මුලින්ම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අත්හදා බැලීමට සැරසෙන මේ අවධිය සාමාන්‍ය මහජනතාවගෙන් වැඩි කොටසක් දේශපාලනය ගැන තබා ලෝකයේ එදිනෙදා සිදුවීම් ගැනවත් කිසිම හැඟීමක් නැති නූගත් තත්ත්වයකින් ජීවත් වූ කාලයක්. ඉතින් මේ වගේ අපාහාසාත්මක ඇනුම් බැණුම් ඇතිවීම පුදුමයක් නොවෙයි.”‍ ඔහු තම ස්වයං ලිඛිත චරිතාපදානයේ සඳහන් කර තිබේ. 


ජෝන් කොතලාවල මහතා සඳහන් කරන්නේ අපේ සමාජයේ අදටත් වඩා එදා පැතිර තිබූ ප්‍රධානතම දුර්වල ලක්ෂණයක් වන්නේ කුල භේදය බවයි. 


“කුල භේදය ගැන තමන්ගේ පුද්ගලික අදහස කුමක් වුවත් ඡන්ද විමසීමේ කාලයේ දී ඒ සියල්ල සඟවා ගැනීමට සිදුවෙනවා. උසස් යයි සම්මත කුලවල අයගේ මෙන් ම පහත් යැයි සම්මත කුලවල අයගේ ද ඡන්දය අපේක්ෂකයාට අවශ්‍යයි. කුල භේදයට විරුද්ධව තම හැඟීම් ප්‍රකාශ කළොත් ගතානුගතික සිරිත් විරිත් හා අදහස් උසස් කොට සලකන ජනතාව අමනාප වෙනවා. කුල භේදයට පක්ෂපාත තැනැත්තෙකු වශයෙන් හැසුරුණහොත් පහත් යැයි සම්මත කුලවල අයගේ ඡන්දය නොලැබී යනවා. ඒ නිසා මේ කාරණයේ දී අපි දක්ෂ තානාපතිවරයකු ලෙස හැසිරිය යුතුව තිබුණා.”‍


කොතලාවල මහතා පවසන්නේ තමන්ගේ අදහස් උදහස් අවංකව කියා පෑමෙන් භේදය තවත් උග්‍රවී ඡන්දයෙන් පැරදීමට ද සිදුවන බවයි. ඒ නිසා උගුරට හොරා බෙහෙත් බොන්නා සේ එක අවස්ථාවක කුල භේදයට හිස නමමින් ද තවත් විටෙක ඊට විරුද්ධව පෙනී සිටිමින් ද කටයුතු කිරීමට සිදුවන බව හෙතෙම පවසා ඇත. 


කොතලාවල මහතා තැබූ සටහන් අතර තවත් රසවත් කතාවක් වෙයි. 


එහි දැක්වෙන්නේ එක්තරා කුලයක පිරිසකගේ ආධාර උපකාර ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් අගනුවර පදිංචි එම කුලයට අයත් ප්‍රසිද්ධ ධනවත් ව්‍යාපාරිකයකු කුරුණෑගලට ගෙන්වා ගත් අවස්ථාවකි. රාජකීය උත්සවයකට සමාන ආකාරයෙන් උත්සවයක් සංවිධානය කර තිබී ඇත. රාජකීය අමුත්තකු විලසින් ම කබායකින් සැරසී පැමිණි මේ තැනැත්තා පිළිගැනීමට පෙරහැරක් ද සංවිධානය කර තිබිණි. මේ ​ෙපරහැරේ ජෝන් කොතලාවල අසලින්ම අසුන් ගෙන විවෘත මෝටර් රථයක හෙතෙම ගමන් ගත්තේය. උත්සවයේ කටයුතු හේතුවෙන් ඔහු පීඩාවට පත්ව අලසව සිටි නමුත් එකවිටම ජනතාව අතරින් නැගී ආවේ “කවුද රජා! අපේ රජා!”‍ යන ඝෝෂාවයි. ඒ රජා යැයි සඳහන් කළේ තමන්ට දැයි අමුත්තාම නොදන්නාබව කොතලාවල මහතාම පවසයි. 


කෙසේ වෙතත් මේ කෑ ගැසීමත් සමග මෙතෙක් අලසව සිටි අමුත්තා නව ප්‍රාණයක් ලැබූවෙකු සේ ප්‍රබෝධමත් වූයේය. රථයේ නැගිට ගත් ඔහු රැස්ව සිටි ජනතාව අමතා කතා කරන්නට වූයේය. 


“තොපි මේ ළමයාට උදව් කරන්නට ඕනෑ. මේ ළමයා කුඩා කාලයේ මගේ දෑතින් වඩාගෙන ඉන්නවාත් මට මතකයි.”‍ රජකු තම යටත් රට වැසියන් අමතන ප්‍රතාපවත් ලීලාවෙන් හෙතෙම අණ දුන්නේය. 


කොතලාවල පසුව මේ ගැන සටහන් කරමින් පවසා ඇත්තේ එකල තමා ළමයකුට වඩා ලොකු බවයි. එමෙන්ම ඔහු තමා වඩාගෙන හැදූ බවක් කිසිදා අසා නැතැයි ද කොතලාවල ම කියයි. එනමුත් රජා රට වැසියාට අණ දී අවසන්ය. එදා රැස්ව සිටි පිරිසෙන් අතිවිශාල ප්‍රමාණයකගේ සහයෝගය කොතලාවලට ලැබිණි.

 

 

සජීව විජේවීර
ඡායාරූපය අන්තර්ජාලයෙනි