1960 මාර්තු 19 වැනි දින පැවැත්වූ සිව්වැනි පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය තුළ විශේෂයෙන් කැපීපෙනේ. එම මැතිවරණයෙන් තේරී පත් වූ ආණ්ඩුව දින තිහකට සීමා විය.


1961 අප්‍රේල් මාසය දක්වා තම පාලනය පවත්වා ගෙන යාමට 1956 දී බලයට පත් වූ ආණ්ඩුවට හැකියාව තිබිණ. එම ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රශ්න නොවිසඳීම හා උග්‍රවීම හේතුවෙන් අගමැති විජයානන්ද දහනායක මහතා 1959 දෙසැම්බර් 04 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ආණ්ඩුකාරවරයාට උපදෙස් දුන්නේය.


වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම මඟින් දිවයිනේ ඡන්ද කොට්ඨාස බෙදා වෙන් කිරීම නිසා කොට්ඨාස සංඛ්‍යාව 145 දක්වා වැඩි විය. බහු මන්ත්‍රී කොට්ඨාස සමග පත්වෙන මන්ත්‍රීන් ගණන 151කි. සුළු ජාතින් නියෝජනය සඳහා පත්කළ මන්ත්‍රීවරු 06 දෙනා සමඟ මැතිසබය මන්ත්‍රීවරුන් 157කින් සමන්විත විය.


මෙම මැතිවරණයට නවාංග කිහිපයක් එක්වීමද විශේෂිතය. දින කිහිපයක් වෙනුවට එක් දිනක් තුළ මැතිවරණය පැවැත්වීම, පිළිගත් සෑම දේශපාලන පක්‍ෂයකටම අනුමත ඡන්ද සලකුණක් හිමිවීම, ඡන්දදායකයින් වෙත තැපැල් ගාස්තු රහිතව තම පක්‍ෂයේ ප්‍රතිපත්ති අඩංගු ලිපියක් යැවීමේ අයිතිය පළමු වරට තැපැල් ඡන්දය ලබාදීමද සිදු විය. ගුවන් විදුලි මාධ්‍යයෙන් ජනතාව ඇමතීමේ අයිතිය පළමු වරට පිළිගත් පක්‍ෂවලට හිමි වූයේද මෙම මැතිවරණයේදීය. ඡන්ද දායකයින් ඡන්ද පොළට ප්‍රවාහනය කිරීම, මාර්ග හරහා සහ රජයේ ආයතනවල දේශපාලන පක්‍ෂ ධජ පතාකවලින් සැරසීම, නියමිත දුර ප්‍රමාණයක් ඇතුළත ඡන්ද පොළ අවට පක්ෂ ආධාරකරුවන් ඒකරාශී කර තබාගැනීම පළමුවරට තහනම් විය.
මෙවැනි සාධාරණය නීති රීති පනවමින් පැවැත්වූ මැතිවරණයට පිළිගත් දේශපාලන පක්‍ෂ 23ක අපේක්‍ෂයෝ නාමයෝජනා භාර දුන්හ. එම කරුණ ද අද දක්වා පැවති මහ මැතිවරණවලදී නොබිඳී, නොකැඩී පවතියි.


1947 සිට වර්තමානය දක්වා රාජ්‍ය බලය ලබාගැනීම සඳහා තරග වැදුණේ ප්‍රධාන පක්‍ෂ දෙකක් හෝ සංධානගත වූ පෙරමුණු දෙකක් පමණි. එහෙත් 1960 මාර්තු මැතිවරණයේ දී රාජ්‍ය බලය දිනාගැනීම සඳහා එවක පැවති ප්‍රධාන දේශපාලන පක්‍ෂ පහක් (05) එකිනෙකා හා තරග වැදුණි. ඒ සඳහා බහුතර අපේක්‍ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් කළහ. කේවල කොට්ඨාස මැතිවරණයකදී එයද නොබිඳිය හැකි වාර්තාවකි.


එක්සත් ජාතික පක්‍ෂය තරග කළ ආසන ගණන 127කි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආසන 109, ලංකා සම සමාජ පක්‍ෂය ආසන 101, ලංකා ප්‍රජාතන්ත්‍රවාදි පක්‍ෂය ආසන 101, මහජන එක්සත් පෙරමුණ ආසන 101 වශයෙනි.


මෙම දේශපාලන පක්‍ෂ පහ රටේ ප්‍රධානම දේශපාලන ප්‍රවාහයේ සිටි අතර, රට පුරා විසිරී ගිය ආධාරකරුවෝ හා කම්කරුවෝ සිය පක්‍ෂ වටා ඒකරාශී කරගෙන සිටියහ. නායකයෝ සහ අනුනායකයෝ රටේ ජනප්‍රිය පුද්ගලයෝ වූහ. දක්‍ෂ කථිකයෝය. දේශපාලනයෙන් පරාජිත වූ පුද්ගලයෝ නොවූහ. රටේ ජනප්‍රිය වූවෝ, විද්වත්හු, තාර්කික කථිකයෝ පක්‍ෂ පහෙන්ම නාම යෝජනා ලැබූහ. මහජන රැස්වීම් සඳහා දහස් ගණනින් ජනතාව ඒකරාශී කර ගැනීමේ හැකියාව ද විය.


එ.ජා.ප. - ඩඞ්ලි සේනානායක, ශ්‍රී.ලං.නි.ප. - සී. පී. ද සිල්වා, ලං.ප්‍ර.ප. - විජයානන්ද දහනායක, ලං.ස.ස.ප. - ඇන්. ඇම්. පෙරේරා, ම.එ.පෙ. - පිලිප් ගුණවර්ධන එම නායකයෝ ය.
ආරම්භයේදීම මැතිවරණ සටනේ ඉදිරියෙන් සිටියේ එක්සත් ජාතික පක්‍ෂය හා මහජන එක්සත් පෙරමුණය. එ.ජා. පක්‍ෂය පවා තමන්ට අභියෝගයක් ලෙස සැලකුවේ ම.එ. පෙරමුණය. එ.ජා.ප වේදිකාවෙන් වැඩි ප්‍රහාරයක් හා විවේචනයක් පවා එල්ල කළේ ම.එ. පෙරමුණටය. නායකත්වයේ ආකර්ෂනයක් නොමැතිවීම ශ්‍රී.ලං.නි.ප. පසුබෑමට හේතුව ලෙස සැලකිණි.


මැතිවරණ සටන එලෙස දිගහැරෙද්දී ශ්‍රී.ලං.නි.පයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වේදිකාවට ගෙනඒමට අවශ්‍ය විය. මැතිනියගේ බලවත් අකමැත්ත පවා නොතකා ඇයව මැතිවරණ සටනට සම්බන්ධ කර ගැනීම ශ්‍රී.ලං.නි.ප. සමත් විය. ඒ සමගම මැතිවරණ සටන කණපිට හැරුණි ම.එ.පෙ. තම ප්‍රතිවාදියා ලෙස සැලකූ එ.ජා.ප.ය මැතිනියගේ ආගමනයත් සමග සටන් මුහුණුවර වෙනස් විය.


මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඡන්ද 908,996ක් ලබාගත් එ.ජා.ප. ය ආසන 50ක්ද, ඡන්ද 648,094 ලබාගත් ශ්‍රී.ලං.නි.ප. ආසන 46ක් ද ලබාගන්නා ලදී. ලං.ස.ස පක්‍ෂය ඡන්ද 322,352ක් ලබාගනිමින් ආසන 10ක්ද, ලං.ප්‍ර.ප. ඡන්ද 125,344ක් ලබාගනිමින් ආසන 04ක් ද හිමිකර ගන්නා ලදී.


ම.එ.පෙ, ලං.ස.ස.ප හා ලං.ප්‍ර.ප. ඡන්ද බැංකුව කඩා වැටුණේ මැතිනියගේ පැමිණිමත්  සමඟ බව පැවසෙයි.


අගමැතිවරයෙකු පරාජයට පත් වූ එකම මැතිවරණයද මෙයයි. ඒ ගාල්ල ආසනයෙන් එ.ජා.ප. අපේක්‍ෂක ඩබ්ලිව්. ඩී. ඇස්. අබේගුණවර්ධනට හිටපු අගමැති විජයානන්ද දහනායක ඡන්ද 483කින් පරාජයට පත් වීමෙනි. ආසන 50ක් දිනා සිටි එ.ජා.ප. නායක ඩඞ්ලි සේනානායක මහතා 1960 මාර්තු 21 දින අගමැති ලෙස දිවුරුම් දුන්නේය. කැබිනට් මණ්ඩලය ඇමතිවරු 08 දෙනෙකුගෙන් සමන්විත විය.


ඩඞ්ලි සේනානායක - අගමැති, විදේශ කටයුතු හා ආරක්‍ෂක, ජේ. ආර්. ජයවර්ධන - මුදල් පළාත් පාලන හා නිවාස, එම්. ඩී. බණ්ඩා කෘෂිකර්ම ඉඩම් ආහාර හා වෙළඳ, මොන්ටේගු ජයවික්‍රම - ජනසතු සේවා, තැපැල්, නාවුක, ගමනාගමන හා විදුලිබල, එම්. සී. එම්. කලීල් - ස්වදේශිය කටයුතු හා ග්‍රාම සංවර්ධන, උත්තර මන්ත්‍රී එම්. වී. පී. පීරිස් - සෞඛ්‍ය හා සමාජ සේවා. බර්නාඞ් අළුවිහාරේ - අධ්‍යාපන, කම්කරු, ධීවර හා සංස්කෘතික. උත්තර මන්ත්‍රී එඞ්මන්ඞ් ජේ. කුරේ අධිකරණ.


සුළු ජාතින් නියෝජනය සඳහා අගමැතිගේ උපදෙස් මත අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඇන්. සී. ඇල්කොන්, ටී. වී. කේ. කැරන්, ඇස්. අයි. ජැපර්ජි, ටී. බී. ජයා, ආර්. ඇස්. වී. පෝලියර්, ආර්. සිංගල්ටන් සැමන් පත් කරන ලදී.


සුළුතර ආණ්ඩුව පරාජය කිරීම විපක්‍ෂයේ එකම අරමුණ විය. ශ්‍රී.ලං.නි.ප. හා වමේ පක්‍ෂ ඒ සඳහා කතිකාවක යෙදුණි. කතානායකවරයා තෝරාගැනීමේ අවස්ථාව හොඳ පෙරහුරුවක් ලෙස සැලකිණි.


කතානායක ලෙස ශ්‍රී.ලං.නි. පක්‍ෂයේ ටී. බී. සුබසිංහ මහතා වැඩි ඡන්ද 33කින් ආණ්ඩු පක්‍ෂයේ ඇල්බට් ඇෆ්. පීරිස් මහතා පරදවා තේරී පත් විය. නියෝජ්‍ය කතානායක ලෙස විපක්‍ෂයේ ශ්‍රී.ලං.නි.ප නියෝජනය කළ ආර්. ඇස්. පැල්පොල මහතාද, කාරක සභා උප සභාපති ලෙස හියු ප්‍රනාන්දු මහතාද පත් වූහ.


1960 අප්‍රේල් 06 වැනි දින සිව්වෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය විවෘත කර, ඉදිරිපත් කළ රාජාසන කතාවට සම්බන්ධ විවාදය අප්‍රේල් 22 අවසන් කර පැවැත් වූ ඡන්ද විමසීමේදී විපක්‍ෂයට ඡන්ද 86ක්ද, ආණ්ඩුවට ඡන්ද 61ක්ද ලැබිණි. ආණ්ඩුව වැඩි ඡන්ද 25න් පරාජයට පත් විය. දින 30න් පාර්ලිමේන්තු කාලය අවසන් වූයේ එලෙසිනි.


කාල සීමාව අවසන් වීමත් සමග එම මැතිවරණයට තරග වැදුණ දේශපාලන පක්‍ෂ 23න් 14ක්ම ක්‍රමානුකූලව අවසන් ගමන ගියහ. ම.එ.පෙ- ලං.ස.ස.ප. හා ලං.ප්‍ර.ප. පෙන්වූ ප්‍රධාන පෙළේ භූමිකාව පිළිබඳව ජනතාව කිහිප වරක් සිතූහ. ඒ අනුව එම පක්ෂ පසුකාලීනව නිතරග ගිවිසුම් හෝ සභාග දේශපාලනයට යොමු වීමට සිදුවූයේ ද මාර්තු ප්‍රතිඵල අනුව බව දේශපාලන නිරීක්‍ෂකයෝ පවසති.


එමෙන්ම මාර්තු මැතිවරණය, මැතිවරණ සටන හා තිස් දවසේ ආණ්ඩුව ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්තා කිහිපයක් තැබූ සුවිශේෂි වූවක් විය.

 

 

ගණේමුල්ල - බුද්ධි බොල්ලත
ඡායාරූපය : අන්තර්ජාලයෙනි