​රොනීගේ හපන්කම් - 02

 

ඒ කට්ටියට රෑට නතර වෙන්න හොඳ හොඳ හෝටල් සූදානම් කෙරුවට කමක් නෑ. හැබැයි ෆීල්ඞ් එකේ යන කොට තනිකරම ගමේ ගෙවල්වල තමයි කෑම සූදානම් කරන්න ඕනෑ.
ඇමැතිවරයා කී ඒ කතාව ඇසූ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසට උඩබිම බැලු‍ණේ ඉබේටමය.


ඒ කියන්නේ සර්?


ඒ කියන්නේ අපි ඒ අයට සංග්‍රහ කරන්න ඕනෑ තනිකරම සිංහල කෑමවලින්. ඔය කැවුම් කිරිබත්. කොකිස්, උඩබැලු‍ං, වණ්ඩු ආප්ප, කුරහන් හැලප, දොදොල් වගේ දේශීය රසකැවිලි, ඊළඟට දවල්ට කෑම සූදානම් කරන්නෙත් ඒ විදියටමයි. හොඳ ඇල් හාලේ බත් මයියොක්කා, කොස්, දෙල්, වැව් මාළු....


ඇමැතිවරයා විසින් දෙන ලද එම උපදෙස් අනුව රජරට පළාතේ ගොවි ගෙවල් කීපයක්ම ලහි ලහියේ සූදානම් කෙරුණේය. එහි තිබු විශේෂත්වය වූයේ එම සියලු‍ම ගෙවල් පිදුරු සෙවිලි කළ එහි කටුමැටි ගැසූ ඉතා චාම් නිවාස වීමය. එලෙස තෝරාගත් සියලු‍ම ගොවි පවුල්වලට ඉතා සරුසාර ගොඩමඩ ඉඩම් අක්කර කීපයක් තිබුණු අතර ඒවායේ වගා කටයුතුවලින්ද ඉතා සාර්ථක පලදාවක් ලැබී තිබුණේය.


ලෝක බැංකුවේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ දිනට පෙර දිනයේ තම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් කැඳවූ රොනී ද මැල් මහතා තමන් විසින් දෙන ලද පූර්ව උපදෙස් අනුව සියල්ල සූදානම්දැයි ලේකම්වරයාගෙන් ඇසුවේ ප්‍රශ්නාර්ථය දෙනෙතට නංවා ගනිමිනි.


ඔව් සර්, ඒවා ඔක්කොම හරි. මින්නේරියේ පහේ කොලණියේ ගෙදරක තමයි උදේට තේ සූදානම් කර තිබෙන්නේයි කී ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෝක බැංකු නිලධාරීන් පිරිස කොළම ඉන්ට කොන්ටිනෙන්ටල් හෝටලයේ සිට මින්නේරිය දක්වා කැඳවා ගෙන යාමට ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා දෙකක් උදෑසන 7.30ට ගාලු‍ මුවදොර පිටියට පැමිණෙන බවද වැඩිදුරටත් සඳහන් කළේය.


එතකොට පබ්ලිසිටි?


ඇමැතිවරයා එලෙස විමසන ලද්දේ එහි සිටි මුදල් අමාත්‍යාංශයේ ප්‍රචාරක අධ්‍යක්ෂවරයා වූ ප්‍රභාත් මානවසිංහ දෙස බලමිනි.


හරි සර්, මීඩියා ටීම් එකක් අරගෙන මම අද හවස 2.00ට කොළඹින් පිටත් වෙනවා.


ඔහු එසේ කියද්දී සාකච්ඡා අවසන් කළ රොනී ද මැල් මහතා හුනස්නෙන් නැගිට ගියේ එදින සවස්වරුවේ දිවයිනට පැමිණෙන ලෝක බැංකු ප්‍රධානීන් පිරිස පිළිගැනීමට කාල වේලා ඇතිව කටුනායකට යන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙමිනි.


අන්තිමේදී සියලු‍ම දෑ කලින් කථිකා කරගත් පරිදි සිදුවිය. පසුදින උදෑසන 9.00ට පමණ හෙළිකොප්ටර් යානා දෙකකින් මින්නේරියේ පහේ කොලණිය වෙතගිය ලෝක බැංකු ප්‍රධානීන් පිරිස උදේ කෑම සූදානම් කර තිබු නිවස වෙත යනවිට කඩුල්ල අසලදී එම නිවසේ ගෘහ මූලිකයාවූ ගොවි මහතා විසින් බුලත් හුරුල්ලක් දී සාදරයෙන් පිළිගන්නා ලදී. අනතුරුව ඔවුන් ඉදිරියේදීම ඇස්ස කපා පිළිගන්වන ලද තැඹිලි ගෙඩියකින් සප්පායම් වූ මැක්නමාරාට අවශ්‍ය වූයේ ඔවුන් වගාකරන ගොඩමඩ ඉඩම් දැක බලා ගැනීමටය.
මෙහෙන් එන්න මහත්තයෝ, හැබැයි සපත්තුවල මඩ ගෑවෙයිද කියන්න බෑ යි කී එම ගොවි මහතා අක්කර හතරහමාරක් පමණවූ තම සරුසාර ගොඩමඩ ඉඩම් ප්‍රමාණය පෙන්වූයේ තමන්ගේ බස සුද්දන්ට පැහැදිළි කළ තෝල්කයා වශයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා යොදවා ගනිමිනි.


ඉන් අනතුරුව ඔවුන් කැඳවා ගෙන ගියේ කටුමැටි ගසා පිදුරු සෙවිලි කළ තම කුඩා නිවසේ සූදානම් කර තිබූ ​​තේ ​මේසය වෙතය. ගෙහිමියාගේ ඇඹෙණිය ඇතුළු ගැමි ගැහැනුන් විසින් පිළියෙළ කර තිබූ කැවුම්, කිරිබත් සහ කෝලිකුට්ටු ඇතුළු දේශීය කැවිලි වර්ග රාශියකින් සමන්විත එම කෑම මේසය වටා හිඳගත් සුද්දන්ගේ වැඩි අවධානයක් යොමුවී තිබුණේ කිතුල් පැණි යොදා සාදා තිබූ වණ්ඩු ආප්ප සහ කුරහන් හැලප කෙරෙහිය. විශේෂයෙන්ම එහි සිටි රොබට් මැක්නමාරාට එම දේශීය කැවිලි වර්ග කොතරම් රස වැටුණාදැයි කිවහොත් ඒවා මෙතරම් රසට සාදන ලද්දේ කවුරුන් විසින්දැයි දැන ගැනීමට පවා අවශ්‍ය විය.


ඉන් අනතුරුව ලෝක බැංකු ප්‍රධානීන් පිරිස කැඳවාගෙන යන ලද්දේ පොළොන්නරුවේ වැවක් අසල වෙල් යායක පැවැති ගොයම් කයියකටය. ගොවි ළඳුන් ගොයම් කවි සීපද ගායනා කරමින් වී ඇස්වැන්න නෙළන අයුරු විස්මයෙන් යුතුව අසා සිටි ලෝක බැංකු ප්‍රධානීන් පිරිසට ඒ පිළිබඳ කදිමට විස්තර කරදෙන ලද්දේ ඒ වෙනුවෙන්ම කැඳවා ගෙන තිබූ ප්‍රදේශයේ විශ්‍රාමලත් විදුහල්පතිවරයකු විසිනි.


එම පිරිස වෙනුවෙන් දිවා ආහාරය සූදානම් කර තිබුණේද ඒ අසල පිහිටි ගොවි ගෙදරකය. නෙළුම් කොළයකට බෙදා කුඩා පන්කොළ වට්ටියක් මත තබා පිළිගන්වන ලද හීනටි හාලේ බත් සහ ගමේ එළවළුවලින් සමන්විත දිවා ආහාරය සුද්දන් පිරිස රස කරමින් බුක්ති විඳ තිබුණේ ඊට යොදා තිබු මිරිස් සැර ගැනද තැකීමක් නොකැරය. මී කිරි, කිතුල් හකුරු, කිතුල් පැණි යොදා සැකසූ කිරල කිරි, දිවුල් කිරි වැනි දේශීය අතුරුපස වර්ග ලෝක බැංකු නියෝජිතයන්ගේ විශේෂ අවධානයට ලක්වී තිබුණේය.


එලෙස රටේ දුරබැහැර පිටිසර බද පෙදෙස්වල දින දෙකක් තිස්සේ සංචාරය කළ රොබට් මැක්නමාරා ඇතුළු ලෝක බැංකු ප්‍රධානීහූ පිරිස එම ක්ෂේත්‍ර සංචාරය අවසන් කර කොළඹට පැමිණීමෙන් පසු මුදල් අමාත්‍ය රොනී ද මැල් එවකට මෙරට අග්‍රාමාත්‍ය ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන, මහ බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍රම් යන මහත්වරුන් ද හමුවී සාකච්ඡා කළහ. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ සිදු කිරීමට යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය රුපියල් ට්‍රිලියනකටත් වඩා වැඩි ආධාර මුදලක් ලබාදීමට ලෝක බැංකුව තීරණය කිරීමය.


ලෝක බැංකුවේ ප්‍රධානීන් ශ්‍රී ලංකාව පිළිබඳව කොතරම් පැහැදී සිටියාදැයි කිවහොත් එදා ලැබුණු ආධාරවලින් සියයට 40ක්ම ආපසු නොගෙවන ප්‍රදානයන්, ඊළඟ සියයට 40ට පොලිය නැතිව මුදල විතරයි ගෙවන්න නියමිතව තිබුණේ. ඒකත් අවුරුදු 40කින් පස්සේ. ඉතිරි සියයට 20 සඳහා පමණයි සියයට 1ක් වැනි ඉතාමත් අඩු පොලියක් ගෙවන්න සිද්ධ වුණේයි මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා ඒ දිනවල මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේය. ඔහු එසේ කියා තිබුණේ තමන් විසින් යොදන ලද සැලැස්ම අකුරටම ඉෂ්ට සිද්ධවීම ගැන නිහතමානී සතුටක් විඳිමිණි.

 

 

නිහාල් ජගත්චන්ද්‍ර
සංරක්‍ෂිත ඡායාරූපකි