IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මෛත්‍රීගෙන් තිස්සට ඇමතුමක්

තිස්සගේ මතක වත-100

ජනාධිපතිවරණ සූදානම උණුසුම් වෙද්දීම මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් ඉතාමත් ආකර්ෂණීය සටන් පාඨයක් කරළියට ආවා. ඒ තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් ගේනව කියන කතාව. මේක බොහෝ දෙනා ආකර්ෂනය කරගන්න පුළුවන් සටන් පාඨයක් බවට පත් වුණා.


රනිල් වික්‍රමසිංහ මේ ගැන කල්පනා කළේ වෙනත් විදියකට. ඔහු කල්පනා කළේ සෝභිත හාමුදුරුවෝ මතු කරපු මේ සටන් පාඨය අප අතට ගන්න ඕනෑ කියලා ඔහු හිතුවා. ඒ සඳහා උපක්‍රමශීලීව කටයුතු කරන්න උනන්දු වුණා. ඒ සඳහා හැකියාව තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයටය කියන මතය තහවුරු කරන්නයි ඔහු උත්සාහ ගත්තේ. මේ සඳහා විජේදාස රාජපක්‍ෂගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කළා. ජෝශප් මයිකල් පෙරේරා ඇතුළු කීප දෙනෙක් මේ ව්‍යවස්ථා සම්පාදක කමිටුවෙ හිටියා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහිතව නව පරිපාලන ව්‍යුහයක් සකස් කිරීම සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කිරීම සහ කේවල ක්‍රමය නැවත ගෙන ඒම ස්වාධීන කොමිසන් සභා ශක්තිමත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් කරලා විජේදාස රාජපක්‍ෂ ප්‍රධාන පිරිස අලුත් ව්‍යවස්ථාවක් සකස් කළා. ඒ අතරේ අපි එළියෙ කියන්න පටන් ගත්තා අපි නව ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඒක සෝභිත හාමුරුවන්ගේ සටන් පාඨයට සමගාමීවම තමයි ගියේ. එක්තරා දුරකට මේක දේශපාලන උපක්‍රමයක් විදියට හඳුන්වන්නත් පුළුවන්.


ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළාට පස්සේ අපි ඒ ගැන නැවතත් සාකච්ඡා කළා. ඒකෙදි රනිල් වික්‍රමසිංහ මට කිව්වා මේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පත සියලුම දේශපාලන පක්ෂවලට සියලුම දේශපාලන නායකයින්ට සෝභිත හාමුදුරුවො ඇතුළු සිවිල් ව්‍යාපෘතිවලට නීතිඥ සංගමය ඇතුළු වෘත්තීයවේදින්ගේ සංවිධානවලට ආදී විවිධ පාර්ශවලට මේක නිල මට්ටමෙන් භාර දෙන්න කියලා. මේ සඳහා අපි මුලින්ම මුණගැහුණේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. අපි මේ ව්‍යවස්ථා පිටපත සෝභිත හාමුදුරුවන්ට බාරදෙන්න යනකොට උන්වහන්සේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ පිරිසක් නාග විහාරයට කැඳවලා තිබුණා. මේ ගමනට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහත් සහභාගි වුණා. අපි අපේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පත සෝභිත හාමුදුරුවන්ට බාරදුන්නා. හාමුදුරුවෝ මේ ගැන කිසිදු මතයක් ප්‍රකාශ කරන්න ඉක්මන් වුණේ නෑ. උන්වහන්සේ මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙන නිසා දෙක සමපාත වෙනවනම් එක පාරක යමු කියලා කිව්වා. හාමුදුරුවො කිව්වෙ සාධාරණ සමාජයේ සාමාජිකයෝ එක්ක සාකච්ඡා කරලා වෙනත් දවසක මේ ගැන වැඩිදුරටත් කතාබහ කරමු කියලා.


සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය වෙනුවෙන් අලුත් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරලා තිබුණේ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න ඇතුළු පිරිස. අපේ ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුවේ පාර්ශ්වයටත් දෙන්න කියලා නායකතුමා මට දැනුම් දුන්නා. ඒ අනුව මම මෛත්‍රීපාල සිරිසේනගෙන් වෙලාවක් ඉල්ලා ලියුමක් යැව්වා. මුණ ගැහිලා මේ ව්‍යවස්ථාව කෙටුම්පත බාර දෙන්න. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හැටියට කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන නිසා තමයි ඔහුට මේ ලියුම යැව්වේ සතියකට විතර පස්සේ මෛත්‍රී දුරකථන ඇමතුමක් දීලා කිව්වා ඩාර්ලි පාරේ පක්ෂ කාර්යාලයට එන්න කියලා. ඒ අනුව මමයි, රවී කරුණානායකයි, විජේදාස රාජපක්‍ෂයි ගියා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාර්යාලයට. අපි මේ කෙටුම්පත ඔහුට දුන්නම මුල් පිටුව දිහා බලලා පැත්තකින් තියලා කිව්වා ‘මේවා ඉතිං කවදාවත් කෙරෙන වැඩ නම් නොවෙයි ඒත් හොඳ උත්සාහය කියලා. ඒ ගැන ඊට වඩා දෙයක් කතා කළේ නෑ. වෙන වෙන දේවල් කතා කර කර ඉඳලා තේ එහෙමත් බීලා අපි ආවා.


අප තුන්වැනියට මේ ව්‍යවස්ථා කෙටුම්පත බාර දෙන්න මුණගැහුණෙ චන්ද්‍රිකා කුමාරතුංග. ඒ ගමනටත් එකතු වුණේ රවියි විජේදාසයි මමයි. මට මතක හැටියට මංගල සමරවීරත් ආවා. මුලින් අවස්ථා දෙකටම වඩා වෙනස් ප්‍රතිචාරයක් තමයි චන්ද්‍රිකාගෙන් ලැබුණේ. චන්ද්‍රිකා අපි මුණගැහෙන්න කලින් මේ කෙටුම්පතේ පිටපතත් කියවන්න ඕන කියලා ගෙන්නගෙන තිබුණා. අපි යනකොට ඒක කියවලා ඒ ගැන හොඳ අවබෝධයක් චන්ද්‍රිකාට තිබුණා. ඒකෙ කරුණු එකින් එක අපිත් එක්ක සාකච්ඡා කළා. අන්තිමට චන්ද්‍රිකා කිව්වේ රාජපක්ෂලා පන්නන්න ගේන ඕනෑම යෝජනාවකට එතුමිය එකඟ වෙනවා කියලා.


ඊට පස්සේ සම සමාජ  කාර්යාලයට ගිහින් තිස්ස විතාරණටත් මේ පිටපතත් බාර දුන්නා. ඔහුත් මේ ගැන සාකච්ඡා කරන්න පූර්ව සූදානමක හිටියේ. පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයොත් එකතු කරගෙන තමයි තිස්ස විතාරණ මේ ගැන අපිත් එක්ක කතාබහ කළේ.


ඊළඟ හමුව යොදාගෙන තිබුණෙ සරත් ෆොන්සේකා මුණගැහිලා, ඔවුන් එක්ක මේ ව්‍යවස්ථා කෙටුම්පත ගැන සාකච්ඡා කිරීම සරත් ෆොන්සේකා මුණගැහෙන්න යාම මම ප්‍රතික්ෂේප කළා. මොකද ඒ වෙද්දි අපි දෙන්නා අතර යම් යම් මතභේද ඇතිවෙලා තිබුණා. මම රවීට කිව්වා සරත් ෆොන්සේකා හම්බවෙලා කතා කරන වැඬේ එයාට කරන්න කියලා.


නීතිඥ සංගමය ඇතුළු කණ්ඩායම්වලටත් මේ කෙටුම්පත බාර දුන්නා. මේ කොතරම් දේවල් කළත් අවසානයේ මේ ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රායෝගික වැඩපිළිවෙළක් ලෙස ජයග්‍රාහී අවසානයකට ගමන් කළේ නෑ. ජනාධිපතිවරණ උණුසුම වැඩිවීමත් එක්කම වගේ මේ ව්‍යවස්ථා කෙටුම්පත ගැන අවධානය යටපත්වෙලා ගියා.

 


තව කොටසක් ලබන සතියට.


ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

මෛත්‍රීගෙන් තිස්සට ඇමතුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site