දින දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවේ සිදුවන දේ විද්‍යුත් මාධ්‍ය මගින් සජීවීව විකාශනය කළේය. නොවැම්බර් 14 වැනිදා පැවැති සැසිවාරය ආරම්භ කිරීමේ සභා රැස්වීමත් 15 වැනිදා සභා වාරයත් (පසු දින) ඝෝෂාකාරී හා කලබලකාරී වූ බව දක්නට ලැබුණි. එමෙන්ම එය මතභේදකාරී වූ බවද නොරහසකි. එම සභා රැස්වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කතානායකතුමා විසින් ජනාධිපතිතුමා වෙත යවන ලද සන්දේශයේ අඩංගු වූ කරුණු ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කර ඇති බවද මාධ්‍ය වාර්තාවල දැක්වුණි. එමෙන්ම කතානායකතුමාගේ නියෝග පිළිපැදීම සමහර මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කළහ. කතානායක තුමා පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ යැයි සමහර ප්‍රබලයෝ චෝදනා කළහ.


කෙසේ වෙතත් කතානායක පදවිය සම්බන්ධයෙන් මට සිහිපත්වූ අතීත සිදුවීම් කීපයක් සඳහන් කිරීම මෙහිලා මගේ අභිලාෂයයි.


රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදීද එම සභාවේ කථානායක ධුරයක් පවත්වාගෙන ගියද අපේ අවධානය යොමුවන්නේ 1947 දී ආරම්භ වූ සෝල්බරි ක්‍රමයේ පාර්ලිමේන්තු යුගය කෙරෙහිය. මෙම යුගයේ කතානායකවරයා සම්පූර්ණයෙන්ම ස්වාධීන පුද්ගලයෙකු විය. යම්කිසි පක්ෂයක් නාමයෝජනා ලැබ මැතිවරණයට තරග කළා වුවද ඔහු එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස පත්වුවද කතානායක පදවියට පත්වීමෙන් පසුව අපක්ෂපාතීව කටයුතු කරනවාක් මෙන්ම කිසිදු පාක්ෂික කටයුත්තකට සහභාගි නොවීම සම්ප්‍රදාය විය. එය කොතෙක් දුරට සිදුවූවේද කියතොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යාමේදී කිසිදු පක්ෂයකින් හිටපු කතානායකවරයාට විරුද්ධව අපේක්ෂකයකු ඉදිරිපත් කළේ නැත. එයින් අපේක්ෂා කරන ලද්දේ කතානායකවරයා නිතරගයෙන්ම නැවත මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කොට කතානායක ධුරය ලබාදීමය. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත.
ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායකවරයා වූ සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා සම්භාවනීය පෙළපතකින් පැවත එන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වූවේය. වෘත්තියෙන් අධි නීතිඥයෙකු වූ එතුමා කලක් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙක්ද විය. 1931 දී මෙරට සර්වජන ඡන්ද බලය ලැබී ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීමේ මැතිවරණය අවස්ථාවේදී දැදිගම ආසනය වෙනුවෙන් තරග කර ජයග්‍රහණය ලැබීය. 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා හෙතෙම තරග කළේ බළන්ගොඩ කොට්ඨාසය වෙනුවෙනි. එම ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රධාන පෙළේ ප්‍රභූවරයෙක් වූ මඩුවන්වල දිසාවගේ කිට්ටුවර ඥාතියෙකු වූ මොලමුරේ මහතාට අක්කර දහස් ගණන් වූ මඩුවන්වල බූදලයේ භාරකාරත්වයද පැවරී තිබුණු අතර දේශ දේශාන්තරවල එකල ප්‍රකටව පැවැති පනාමුරේ ඇත්ගාල පැවැතියේද එකී මඩුවන්වල නින්දගමේය. 1947 මැතිවරණයෙන් පසු කතානායක ධුරයට පත්වූවත් සම්පූර්ණ නිල කාලය එම ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව නොලැබුණි. පාර්ලිමේන්තුවේ මූලාසනය හොබවමින් සිටියදීම එතුමා පරලොව සැපත් විය.


එයින් පසු කතානායක ධුරයට පත්වූයේ එවකට උපකතානායක ධුරය දරමින් සිටි සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතාය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් නාත්තණ්ඩිය ආසනය තරග කොට ජයගත් ඒ මහතා ඉතා යහපත් මානුෂික ගති ඇති මහත්මා දේශපාලකයෙක් වූවේය.


සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතා කතානායක ධුරය දරද්දී ඇතිවූ සුවිශේෂී සිදුවීමක් වන්නේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීමක් මුල්කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට සිදුවීමයි. 1956 වසරේ අති උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිතව තිබූ 2500 බුද්ධ ජයන්ති මහෝත්සවය සඳහා වැය ශීර්ෂය අනුමත කර ගැනීමේ විවාදය පැවැත්වෙමින් තිබුණි. කතානායක අසුනේ සිටියේ ඇල්බට් ඇෆ්. පීරිස් මහතාය. කලින් දිනයේ විවාදය පවත්වා තිබුණු නිසා පිළිතුරු කථාව පවත්වන ලෙස ස්වදේශ කටයුතු ඇමැති ඒ. රත්නායක මහතාට දැනුම් දුන්නේය. ඒ වහාම නැගී සිටි ලංකා සම සමාජ පක්ෂයේ එවකට මොරටුව මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා තම කතාව පටන් ගත්තේය. එයට මැදිහත්වූ කතානායක පීරිස් මහතා විවාදය අවසන් බැවින් ඇමැතිවරයාගේ පිළිතුරු කතාවට ඉඩ දෙන ලෙස චන්ද්‍රසිරි මහතාට දැනුම් දුන්නේය. එයට අවනත නොවූ මොරටුව මන්ත්‍රීවරයා දිගටම තම කතාව කරගෙන ගියේය. නැවතද වරක් අවවාද කළ කතානායකවරයා සභාව කල් තබා සභා ගැබෙන් පිටව ගියේ එවේලෙහි ඇතිවුණු නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට නොහැකිවූ බැවිනි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද සභා ගැබෙන් ඉවත්ව ගියහ.


එහෙත් විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සභාවේ රැඳී සිටිමින් රැස්වීම දිගටම පවත්වාගෙන ගියහ. එවකට සමසමාජ පක්ෂයේ දෙහිඕවිට මන්ත්‍රී එඞ්මන්ඞ් සමරක්කොඩි මහතා මූලාසනයට පත්කර ගත යුතු යැයි ගාල්ල මන්ත්‍රී විජයානන්ද දහනායක මහතා විසින් යෝජනා කරන ලදුව කෝට්ටේ මන්ත්‍රී රොබට් ගුණවර්ධන මහතා ස්ථිර කළේය. මෙම යෝජනාකරු සහ ස්ථිරකරු යන දෙදෙනාම සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරු වූහ. එඞ්මන්ඞ් සමරක්කොඩි මහතා මුලසුන ගැනීමෙන් පසු සෝමවීර චන්ද්‍රසිරි මහතා දිගටම තම කතාව කරගෙන ගිය බව සටහන්ව තිබේ.


මෙය බරපතළ ලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් ලෙස ආණ්ඩුව විසින් සලකනු ලැබීය. ඒ අනුව නීති උපදෙස් පතනු ලැබීය. එවකට සොලිසිටර් ජනරාල් ටී. ඇස්. ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි එඞ්මන්ඞ් සමරක්කොඩි මහතාට සහ විජයානන්ද දහනායක මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ලදී. එහිදී විත්ති පක්ෂයේ ප්‍රධාන නීතිඥයා වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා තර්ක කළේ පාර්ලිමේන්තුවේ ක්‍රියා කලාපය ගැන නඩු විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නෛතික බලයක් නොමැති බවයි. පාර්ලිමේන්තුව විසින්ම තම බලය නොසලකා එය ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී ඇති බවත් එය සිදු නොවිය යුත්තක් බවටත් තර්ක කළේය. මෙම නඩුව විභාග කළ එච්. ඇන්. ජී. ප්‍රනාන්දු විනිසුරු තුමා කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ තර්කය පිළිගනිමින් විත්තිකරුවන් දෙදෙනා නිදහස් කළේය.

 

 


මෙවැනි අර්බුදකාරී සිදුවීම් ඇතිවන නිසා කතානායක ධුරයේ වගකීම් සහ ඒ පිළිබඳ පසුබිම අවබෝධ කර ගැනීම ඉතා උචිතය. කතානායක තනතුර වනාහි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස්ම හා සම්භාවනීය තනතුරක් ලෙස තහවුරු කර තිබේ. රාජ්‍ය ධුරාවලියට අනුව ඔහු ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පමණක් දෙවැනි වී තෙවැනි ස්ථානය දරයි. අලුතෙන් තෝරාගත් පාර්ලිමේන්තුවක පළමුවැනි කාර්ය වන්නේ කතානායකවරයෙකු පත්කර ගැනීමයි. ඉන්පසු නියෝජ්‍ය කතානායකවරයෙකු සහ කාරක සභා උපසභාපතිවරයෙකු පත් කර ගැනීම සිදු කෙරේ. එහිදී කටයුතු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, වරප්‍රසාද පනතෙන් සහ ස්ථාවර නියෝග මගින් බලය පවරා ඇත. මෙම තනතුර ශ්‍රී ලංකාවට උරුම කර ඇත්තේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ඒ හරහාය.


වෙනකක් තබා කතානායකවරයාගේ ආසනය සම්බන්ධයෙන්ද පසුබිම් වූ රසවත් කතාවක් ඇත. ලෝක මහා සංග්‍රාමය අවස්ථාවේදී ජර්මන් බෝම්බ ප්‍රහාර නිසා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ එක් පැත්තක් විනාශ වී ගියේය. එයින් ඉතිරි වූ ලී කොටස් පාවිච්චියට ගෙන අපේ කතානායකතුමාගේ ආසනය තැනූ බව කියවේ. පසුව එම ආසනය සහ සෙංකෝලයක්ද මෙරට පාර්ලිමේන්තුවට පරිත්‍යාග කරන ලද්දේ බි්‍රතාන්‍ය සහ ශ්‍රී ලංකා යන දෙරටේ පාර්ලිමේන්තු අතර සුහදතාව පිළිබඳ සංකේතයක් වශයෙනි.
සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතාගෙන් පසුව මෙම සම්භාවනීය තනතුරට පත්වූවේ පුත්තලම මන්ත්‍රී එච්.ඇස්. ස්මයිල් මහතාය. 1956 දී සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසුව කතානායකවරයා තේරීමේදී බණ්ඩාරනායක අගමැතිවරයා තීරණය කළේ තම පක්ෂයේ මන්ත්‍රීවරයෙකු නොවූවත් එම තනතුර සඳහා එච්. ඇස්. ස්මයිල් මහතා පත්කර ගැනීමටය. නිතරගයෙන්ම ඔහු පත් විය. අපක්ෂපාතව කටයුතු කළ ඒ මහතා මහත් දුෂ්කරතාවයකට මුහුණ දුන් බරපතළ අවස්ථාවක් වූවේ 1956 ජුනි මාසයේදී රාජ්‍ය භාෂා පනත සම්මත කිරීමේදී ඇතිවූ සමහර සිදුවීම්ය. එම වකවානුවේ සම සමාජ පක්ෂය විරුද්ධ පක්ෂ නායකත්වයද දරමින් සිටි බලවත් පක්ෂයක් විය. එයට මන්ත්‍රී ධුර දාහතරක් හිමිව තිබුණි. භාෂාව සම්බන්ධව එම පක්ෂය අනුගමනය කළ ප්‍රතිපත්තිය වූවේ සිංහල, දෙමළ යන භාෂා දෙකටම සමතැන ලබාදිය යුතු බවයි. ශ්‍රීලනිප ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ සන්ධාන රජය සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතු යැයි පිළිගෙන ඒ සඳහා පනතක් ඉදිරිපත් කර තිබුණු අවස්ථාවේ සම සමාජය එයට දැඩි සේ විරෝධතා දැක්වූවේය. බාහිරව දැක්වූ විරෝධතා උද්ඝෝෂණවලට අමතරව මැති සබය තුළද විශාල අරගලයක් ගෙන ගියේය. එය මැඩපවත්වා ගැනීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අපොහොසත් වූයෙන් සබා ගැබට පොලිසිය කැඳවීමට කතානායකවරයාට සිදු විය. සමසමාජ මන්ත්‍රීන්ට සන්සුන්වන ලෙස කළ නියෝග නොතකා කලබල කිරීම නිසා පහත සඳහන් මන්ත්‍රීවරු දාහතර දෙනා පොලිස් නිලධාරීන් විසින් ඔසවාගෙන ගොස් පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටතට දමන ලදී. එම මන්ත්‍රීන් නම් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා (රුවන්වැල්ල), ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා  (වැල්ලවත්ත-ගල්කිස්ස), ලෙස්ලි ගුණවර්ධන (පානදුර), රොබට් ගුණවර්ධන (කෝට්ටේ), චම්ලි ගුණවර්ධන (කළුතර), විවියන් ගුණවර්ධන (උතුරු කොළඹ), බර්නාඞ් සොයිසා (දකුණු කොළඹ), හෙක්ටර් ප්‍රනාන්දු (මීගමුව), මෙරිල් ප්‍රනාන්දු (මොරටුව), අනිල් මුණසිංහ (අගලවත්ත), ඇම්. පී. ජෝතිපාල (බළන්ගොඩ දෙවැනි මන්ත්‍රී) වයි. ජී. ජයසිංහ (බණ්ඩාරවෙල), එඞ්මන්ඞ් සමරක්කොඩි (දෙහිඕවිට), ජේ. සී. ටී. කොතලාවල (බදුල්ල දෙවැනි මන්ත්‍රී) යන මහත්ම මහත්මීන්ය.


තුන්වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මැතිවරණය පැවැත්වූයේ 1960 මාර්තු 19 වැනිදාය. එම මැතිවරණයේදී රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලයක් කිසිදු පක්ෂයකට ලැබී තිබුණේ නැත. එහෙත් වැඩිම ආසන ගණනක් දිනා සිටි පක්ෂයේ නායකයා වශයෙන් ඩඞ්ලි සේනානායක මහතා අගමැතිධුරයට පත්වූ අතර සිරිත් පරිදි ප්‍රථම සභාවාරයේදී කතානායකවරයා පත් කර ගැනීම සිදු කළ යුතු විය. මෙහිදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නාත්තන්ඩිය මන්ත්‍රී සහ හිටපු කතානායකවරයෙකුද වූ සර් ඇල්බට් ඇෆ්. පීරිස් මහතාගේ නම යෝජනා වුණු අතර විපක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණේ කටුගම්පල ආසනයේ මන්ත්‍රී ටී. බී. සුබසිංහ මහතාය. මෙහිදී රජයේ අනාගත ඉරණම පෙන්නුම් කරමින් විපක්ෂයේ නියෝජිත සුබසිංහ මහතා ජයග්‍රහණය කළේය. එම තරගයේදී තවත් අපූරු සිදුවීමක් වාර්තාවී තිබුණි. බලය දරන පක්ෂයේ බහුතරය නොමැති බව හොඳින් වැටහෙන නිසා මෙම රජය පෙරළා දැමීමට සූදානමින් සිටි විපක්ෂයට පාර්ලිමේන්තුවේ එක ඡන්දයකුත් වැදගත් විය. බහුතරය නැති රජය වෙනුවට වමේ සහයෝගය ඇතිව රජයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක සී. පී. ද සිල්වා මහතා අපේක්ෂාවෙන් සිටි නිසාය.

 

 

 

 

කතානායක තේරීමේ තරගයේදී ලැබීමට නියමිත ඡන්ද සංඛ්‍යාවෙන් එකක් අඩුවෙන් සුබසිංහ මහතාට ලැබී තිබුණි. මෙසේ ඡන්දය නොදී මගහැරිය මන්ත්‍රීවරයා කව්දැයි පක්ෂය ඉතා සුපරික්ෂාවෙන් සොයා බැලුවේය. එහිදී දැන ගත හැකි වූවේ තම පිලේ කතානායකධුර අපේක්ෂකයා වූ ටී. බී. සුබසිංහ මහතාම ඡන්දය පාවිච්චි කර නැති බවයි. මෙම පරීක්ෂණය කිරීමට පක්ෂ නායකත්වය විසින් බාර කරනු ලැබූ මිනුවන්ගොඩ මන්ත්‍රී (පසුව ජනසතු සේවා හා කම්කරු ඇමැති සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක) මයිකල් සිරිවර්ධන මහතා මා සමග පැවසුවේ ඒ ගැන සුබසිංහ මහතා දුන් පිළිතුර වී ඇත්තේ “මගේ ඡන්දෙ මටම දමා ගැනීම මොන ලජ්ජා නැති වැඩක්ද” කියාය. අතීතයේ සිටි මහත්මා දේශපාලකයන්ගේ හැටි එහෙමය.


මයිකල් සිරිවර්ධන මහතා අපේ කොට්ඨාසයේ මන්ත්‍රීවරයා වශයෙන් වසර දහහතක් කටයුතු කළේය. පාසල් අවධියේ සිටම මම ඔහු සමීපව ඇසුරු කළෙමි. දේශපාලන බිමේ නොයෙක් රහස් එතුමා මා සමග පවසා ඇත. සඳලංකාවේ සුබසිංහ පරපුරේ සාමාජිකයෝ ආදර්ශවත් සමාජ සේවකයන් ලෙස නමක් දිනාගෙන සිටියහ. ටී. බී. ගේ වැඩිමහල් සොහොයුරා වූ වින්සන්ට් සුබසිංහ මහතා කලක් ස.තො.ස. ආයතනයේ සහ මහජන බැංකුවේ ද සභාපති ලෙස කටයුතු කළේය. ශත පහක්වත් දීමනාවක් වශයෙන් නොගත් ඒ මහතාද ආදර්ශමත් පුද්ගලයෙක් වූවේය. කාලයාගේ ඇවෑමෙන් තනතුරු මුදල් උපයා ගැනීමේ මෙවලම් බවට පත්වුවද සුබසිංහවරු රටට වැඩ කළා මිස මුදල් පොදි පසුපස හඹාගියේ නැත. එම පවුලේ මද්දුම සහෝදරයා වූ ටී. බී. බි්‍රතාන්‍යය ලන්ඩන් සරසවියේදී මහාචාර්ය ලැස්කි යටතේ ආර්ථික විද්‍යාව හදාරා ලංකාවට පැමිණියේ ට්‍රොස්කිවාදියෙකු වශයෙනි. 1947 මහා මැතිවරණයේදී ලංකා සම සමාජ පක්ෂයෙන් බිංගිරිය ආසනය තරග කර ජය ගත්තේ ප්‍රතිවාදීන් සියලු දෙනාගේම ඇප රාජසන්තක කරමිනි. 1956 රජයේ අගමැතිවරයාගේ උපඇමැතිවරයා ලෙසද කටයුතු කළ ඒ මහතාට කතානායක ධුරයේ කටයුතු කිරීමට ලැබුණේ මාසයකටත් අඩු කාලයකි. අනතුරුව 1960 ජුලි මැතිවරණයේදී වෙනත් පක්ෂ, අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර ඔහුට සහය දුන් නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සාමාජිකයෙකු වූ ස්වාධීනව තරග කළ ලීලානන්ද වීරසිංහ මහතා අතින් ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකින් පරාජය විය. පසුව සෝවියට් රුසියාවේ ලංකා තානාපතිවරයා ලෙස පත් කරනු ලැබූ ටී. බී. සුබසිංහ මහතා කලක් එක්සත් ජාතීන්ගේ ලංකා නියෝජිතයා ලෙසද රටට මහඟු සේවාවක් සැලසීය.

 


ඉතිරි කොටස ලබන සතියේ....

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : ලහිරු හර්ෂණ