පසුගිය සති ගණනාව පුරා ශ්‍රී ලංකාවේ පැවති දැවැන්ත දේශපාලන අර්බුදය සමනය වූ සෙයක් දැක් වේ. රටේ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර පැවැති මහා බල අරගලය සාමකාමීව නිරාකරණය කර ගැනීමට හැකි වීම ජනතාවගේ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ සංකල්පයේ ද ජයග්‍රහණයකි. මෙහි ගෞරවය නිසැකවම ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් අතිබහුතරයට හා සන්නද්ධ සේවාවන්ට හිමි වේ. මෙම බල අරගලයට මැදිහත්ව වීදි බැස්සේ අපේ රටේ ජනගහනයෙන් ඉතා සුළුතරයකි. අතිබහුතරය තමාගේ දෛනික දිවියේ කටයුතු කර ගනිමින් සිටිනු දක්නට ලැබුණි. 


එමෙන්ම සන්නද්ධ සේවාවන් හැසිරුණු ආකාරය ද ප්‍රශංසනීය බව බොහෝ දෙනා කීහ. බොර දියේ මාළු බාන්නාක් මෙන් මෙවැනි අවස්ථාවලදී සමහර රට වල ආරක්ෂක හමුදා කටයුතු කරන්නේ මේ අයුරින් නොවේ. එහෙත් විනයගරුකව සහ රාජ්‍ය පාක්ෂිකව ක්‍රියා කළ අපේ හමුදාවෝ නීති ගරුකව තම වගකීම ගැන අවබෝධයෙන් කටයුතු කළහ. අර්බුදයෙන් ඇති වූ තැලීම් පොඩි වීම් සිත් රිදීම් අඩු වැඩි වශයෙන් සමහර පාර්ශව තුළ පවතින බව පෙනෙන්නට තිබුණත් සමස්තයක් ලෙස සලකන විට තත්ත්වය සුබවාදීය. 
ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කරනු ලබන පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය වේ යැයි විද්වත්හු විග්‍රහ කරති. 


ඒ සඳහා බොහෝ රටවල යොදා ගන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නමැති සංකල්පයයි. අපේ රටේ එම තත්ත්වය මූර්තිමත් කරනුයේ උත්තරීතර පාර්ලිමේන්තුවයි. ව්‍යවස්ථාදායකය යැයි හඳුවන්වනු ලබන පාර්ලිමේන්තුවත් විධායකය යැයි කියන ජනාධිපති ධුරයත් අතර පැවති ගැටුම සිවිල් යුද්ධයක් හෝ ලේ වැගිරීමක් බවට පත් නොවීම මෙරට සාමකාමී ජනතාවගේ වාසනාවකි. එහෙත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙදර යැයි ද එහි මුරදේවතාවා යැයි ද විරුදාවලි ලබා සිටින එංගලන්තයේ මෙවැනි අර්බුදයක් විසඳුණේ නෛකශ්‍රීන් චිරාජමාන අත්‍යුත්තම මහ රජ කෙනෙකුගේ ඔටුනු පලඳින හිස ඔහුට අහිමි කරමිනි. වෙනත් වචන වලින් කියනුයේ නම් රජු හිස ගසා මරා දැමීමෙනි. අද අප කියන්නේ එම අනුවේදනීය කතා ප්‍රවෘත්තියයි. පසුගිය සතියේ ලිපියට මෙය අදාළ වූවා වුවත් ඇවිළෙන ගින්නට පිදුරු වැටෙන පූර්වාදර්ශ හඳුන්වාදීම මාධ්‍ය සදාචාරයට නොගැළපෙන බව මම දැන සිටියෙමි. 


රෝමය එක් දිනකින් ගොඩනැගුණක් නොවේ යන්න ප්‍රකට කියමනකි. එමෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ද දිනකින්, දෙකකින් හෝ ශත වර්ෂයක්, දෙකකින් හෝ හැදී වැඩී පෝෂණය වූවක් නොවේ. එය දිගු කලක් තිස්සේ සිදු වූ ක්‍රියාවලියක් මත ගොඩනැගුණු සම්ප්‍රදායක් හා නීති මාලාවක් ලෙස හඳුනා ගත හැකිය. ඒ ගැන යම්කිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා එංගලන්ත ඉතිහාසය හරහා දුර අඩි තබමින් ගමන් කරමු. එම විෂය ගැන අදහස් දක්වන විද්වත්හු එංගලන්ත ඉතිහාසය යුග ගණනාවකට වෙන්කර දක්වති. ඒ ඇන්ග්ලො සැක්සන් අවධිය, නෝමන් අවධිය, ප්ලැන්ට් ජෙනට් අවධිය, ටියුඩර් අවධිය, ස්ටුවට් අවධිය, හැනෝවර් අවධිය වශයෙනි. පුළුල් ලෙස මෙම කාල වකවානුව ගැන සවිස්තරව කරුණු දැක්වීම ප්‍රායෝගික නොවන බැවින් මා කලින් ද සඳහන් කළ පරිදි අපි දුර අඩි තබමින් ඒ හරහා ගමන් කරමු. එංගලන්තය තුළ මුල්කාලීනව වාසය කරන ලද ප්‍රජාව වූයේ කේල්ට්වරුය. එහෙත් බාහිරින් පැමිණි ඇන්ග්ලො සැක්සන්වරුන් නමින් හැඳින් වූ ආක්‍රමණිකයෝ කේල්ට්වරුන් තම වාස භූමිවලින් එළවා දමා එම බිම් ප්‍රදේශවල පදිංචි වූහ. මේ රටේ රාජ්‍යත්වය බිහි වූවේ මෙම යුගයේදී යැයි කියනු ලැබේ. විශාල වැසි වනාන්තර වලින් සහ වගුරු බිම් වලින් යුත් මෙම වනගත ප්‍රදේශවල දඩයමින් ජීවත් වූ මෙම නොදියුණු ආදි මනුෂ්‍යයෝ ක්‍රමයෙන් තිරඟු ආදී ධාන්‍ය වගා කිරීමටත් ඌරන්, එළුවන්, බැටළුවන් හා ගවයින් ඇති කිරීමටත් පටන් ගත්හ. එංගලන්තයේ දකුණු ප්‍රදේශවල ජලාශ්‍රිත කැලෑ තුළ මෙවැනි සත්ව පාලන ගොවිපොළවල් බොහෝ පැවති බව ඉතිහාසඥයෝ ලියා තැබූහ. මෙසේ කෘෂිකර්මාන්තයට නැඹුරු වූ රටක් වශයෙන් පැවති එංගලන්තය රෝම ආක්‍රමණයට ගොදුරු වූ බව කියනු ලැබේ. ක්ලෝඩියස් සීසර් වැනි පාලකයන් යටතේ කිතු දහමට නැඹුරු වූ ඔව්හු රෝම ආභාෂය මත මහනගර, නව මංමාවත් සහ කොටුපවුරු බැඳීමද ආරම්භ කළහ. එය දියුණු එංගලන්තයක් බිහි කිරීමේ පදනම සකස් කළ මූල සාධකය බවට පත් විය. 


මුලින් ගෝත්‍ර නායකයන් වශයෙන් කටයුතු කළ පාලකයෝ ක්‍රමයෙන් රජවරුන් බවට පත් වූහ. එය ස්ථාවර බවට පත්වීමේදී ඔවුන් තද බල ඒකාධිපතියන් ලෙස කටයුතු කරන ආකාරයක් ප්‍රදර්ශනය වූ බව දැකිය හැකි විය. රජු බලයේ උල්පත යැයි ද ඔහුගේ අදහස නීතිය විය යුතු යැයි ද යුරෝපයේ ඒකාධිපති අත්තනෝමතික රජවරුන්ගේ පාලන ක්‍රමය බවට පත්ව තිබුණි. බදු පැනවීම, රාජ්‍ය වියදම තීරණය කිරීම, යුක්තිය පසිඳලීම, ඒ අනුව මරණීය දණ්ඩනය පැනවීම, අත, පය කපා දැමීමට නියම කිරීම ආදී කෲර වධ බන්ධනවලට රටවැසියා පත් කිරීම ද රජවරුන්ගේ සිරිත විය. මෙම යුගය වන විට ලිඛිත නීති පද්ධතියක් නොතිබුණා වුවද තමන් ලෝකයට දායාද කර ඇත්තේ දෙවියන් විසින් බව ද එසේ තමන් උපත ලබා ඇත්තේ රට පාලනයේ යෙදීමේ දේව වරප්‍රසාදය ඇතිව බවද ඔවුහු තරයේ විශ්වාස කළහ. රජවරුන් මෙවැනි අභිමතානුසාරී බලයක් දරාගෙන කටයුතු කළද ආරම්භක යුගයේ සිටම විමැනගමෝ යනුවෙන් හැඳින්වෙන මණ්ඩලයක් රජුගේ උපදේශක මඩුල්ලක් ලෙස කටයුතු කරනු ලැබීය. ගිහි, පැවිදි, ප්‍රභූ පිරිසගෙන් සමන්විත වූ මෙම කමිටුවේ යෝජනා එංගලන්ත රජු විසින් පිළිගත යුතු විය. එය කඩකරන පුද්ගලයන් රජකමෙන් නෙරපා දමා වෙනත් අය පත්කරගත හැකියැයි සම්මතයක් එකල එංගලන්තයේ පැවති බව කියනු ලැබේ. මෙම සම්මතයන් කිසිවක් නොතැකූ රජවරු ද වූහ. ඒවා රඳාපැවතියේ රජකම දරන්නාගේ ශක්තිය මතය. සමහර කාලවල දී මෙම විමැනගමෝ කමිටුව බලවත් වූ අතර තවත් කාලවලදී රජු බලවත්ව කටයුතු කෙරුණු බව පෙනී ගියේය. මෙම විමැනගමෝ ආයතනය වර්තමාන බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයේ සහ කැබිනට් මණ්ඩලයේ ආරම්භක මූල බීජය ලෙස සලකනු ලැබේ. කලක් ගත වෙද්දී එම විමැනගමෝ මණ්ඩලය ඉවතට දමා මැග්නම් කොන්සිලියුම් නමැති දේශපාලන මණ්ඩලයක් බිහි කර ගැනීම සිදුවිය. එම මණ්ඩලය වසරකට තුන් වරක් පමණක් රැස් වූ අතර එහිදී සකස් කෙරෙන යෝජනා රජුට ඉදිරිපත් කරන ලදී. ඒවා පිළිගැනීම හෝ නොපිළිගැනීමද සිදු වූයේ කලින් මෙන්ම රජුගේ ශක්තිය මතය. හදිසි අවශ්‍යතාවක් සිදුවුවහොත් අඩු පිරිසකගෙන් සමන්විත කියුරියා රෙජිස් නම් වූ කුඩා කණ්ඩායම රැස්වී තීරණ ගැනීම සිදුවිය.


මෙයද පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලයේ මුල් අවස්ථාවක් ලෙස සැලකිය හැකි දේශපාලන වර්ධනයක් ලෙස පිළිගත හැක. 


මේ අයුරින් රජකම සහ එයට අනුගත බලය පිළිබඳ මතය වෙනස් වෙමින් තිබියදී 1215 වසර උදාවිය. මේ වන විට එංගලන්තයේ සිහසුන දැරුවේ ජෝන් රජතුමාය. ඔහු අධික බදු පනවමින් තමාම නඩු විමසා පුරවැසියන්ට දඬුවම් පමුණුවමින් අයහපත් පාලනයක් ගෙන යමින් සිටියේය. ජනතාව සිටියේ කලකිරීමෙනි. එහෙත් රජුට එරෙහිව හඬක් ගැනීමට ඔවුන්ට ශක්තියක් තිබුණේ නැත. මේ අතරවාරයේ රජු සමීපව අසුරු කළ බැරන්වරු පිරිසක් සංවිධානය වී පියවරක් ගැනීමට සංවිධානය වූහ. 


දිය කෙළියට දැඩි කැමැත්තක් දැක් වූ ජෝන් රජු ලන්ඩන් නගරය හරහා ගලා යන තේම්ස් නදිය ජල ක්‍රීඩා සඳහා යන රනිමිඞ් නම් ස්ථානය ඔව්හු දැන සිටියහ. 
2015-06-15 වැනිදා රජු නෑම සඳහා එම ස්ථානයට ගිය විට රජු වට කළ බැරන්වරු රජුගේ හිසට ඉහළින් කඩුව එල්ල කර වගන්ති ගණනාවකින් සැඳුම්ලත් ලියවිල්ලකට බලහත්කාරයෙන් අත්සන් ලබා ගත්හ. මෙම ලියවිල්ල මැග්නාකාර්ටා මහාධිකාර පත්‍රය හෙවත් මැග්නාකාර්ටා ප්‍රඥපත්තිය වශයෙන් ලොව පුරා ප්‍රකට වූවේය. මිනිසාගේ පෞද්ගලික නිදහස පිළිබඳවත් මානව අයිතිවාසිකම් සහ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ආරම්භක වස්තුබීජය වශයෙන් අදත් ලෝකයා පිළිගනු ලබන්නේ මෙකී මැග්නාකාර්ටා මහාධිකාර පත්‍රයයි. විධිමත් නඩු විභාගයකින් තොරව යම් කිසි පුද්ගලයෙකු දණ්ඩනයට යටත් නොකළ යුතු බවත්, රජුගේ හිතුවක්කාර නියෝග මත කෲර වධබන්ධනවලට පත් නොකළ යුතු බවත්, පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව බදු පැනවීම නොකළ යුතු බවත් එම ප්‍රකාශනයේ සමහර වගන්ති වලින් කියැවුණි. මෙම මැග්නාකාර්ටා මහා අධිකාර පත්‍රයේ නියමයන් නිසා ලෝකවාසී ජනතාවට මානව අයිතිවාසිකම් පිළිබඳ බොහෝ දේ ලැබුණු බව කියවේ. 


මේ අවධිය වන විටත් කොට්ඨාස ක්‍රමයට මන්ත්‍රීවරුන් පත්කරන විධිමත් පාර්ලිමේන්තු ක්‍රමයක් එංගලන්තයේ ගොඩනැගී තිබුණේ නැත. රටේ රදල පංතිය කොටස් දෙකකට බෙදී මන්ත්‍රීවරුන් ලෙස පත්වූ අතර පූජක පක්ෂය ඉඩම් හිමි ධනවතුන් නයිට්වරුන් සහ බැරන්වරුද එහි නියෝජනය වූහ. 


ලෝකයේ නව දේශපාලන රටාවක් සහ රාජ්‍ය පද්ධතියක් ගොඩනැගීමේ කාර්ය භාරයේදී රෝම අධිරාජයා විසින් ඉටුකරන ලද සේවය අතිමහත්ය. 


එය ඉදිරියට ගියේ ආගමික මුහුණුවරිනි. ශිෂ්ට ලෝකය ලෙස එදා හඳුන්වන ලද සියලුම කලාප රෝම අධිරාජයාට යටත්ව පැවතුණි. ඒ නිසා රෝම අධිරාජයා වූ සීසර්ට හිමිව පැවති බලයට සමාන තත්ත්වයක් ක්‍රිස්තියානි ශාසනය භාරධාරී සුද්ධෝත්තම පියාණන් යැයි සලකනු ලැබූ පාප් වහන්සේට ද හිමිව තිබුණි. රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු සීසර්ගේ බලය අහෝසි වී ගිය ද යුරෝපයේ ක්‍රිස්තියානි රාජ්‍ය පද්ධතියේ කටයුතු කෙරෙහි පාප් වහන්සේගේ බලය කිසිසේත්ම සුළුපටු නොවීය. උන්වහන්සේගේ අනුමැතිය නොලැබූ කිසිම කටයුත්තක් ක්‍රිස්තියානි රටක රජකෙනෙකුට කිරීමේ හැකියාවක් තිබුණේ නැත. 


මෙම සුවිශේෂී තත්ත්වය පවතිද්දී එංගලන්තයේ රජ කළ අට වැනි හෙන්රි රජුගේ ක්‍රියාකලාපය බි්‍රතාන්‍යයේ දේශපාලන හැඩගැස්මට විශාල බලපෑමක් ඇති කළ බව කියනු ලැබේ. හත් වැනි හෙන්රි රජු බි්‍රතාන්‍යය පාලනය කළ අධිරාජ්‍යයා වූ අතර ඔහුගේ අභාවයෙන් පසු රාජ්‍යයේ උරුමක්කාරයා වූවේ එම රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ ආතර් කුමරාය. එහෙත් රජු මියයන විට ආතර් කුමරා ද හදිසියේ මියගොස් සිටි නිසා රජකම භාර වූයේ ළාබාල වයසේ සිටි හෙන්රි කුමරාටය. රාජාභිෂේකය සඳහා විවාපත් වීම අවශ්‍ය වූ නිසා තමාට වඩා වසර ගණනාවකින් වැඩි මහල් ඇරගන්හි කැතරින් බිසව නම් වූ තම වැඩිමහල් සොහොයුරාගේ බිරිඳ විවාහ කර ගත්තේය. ඒ වන විට දහසය වැනි වියේ පසු වූ ගැටවරයකුව සිටි අට වැනි හෙන්රි රජුට මෙය කිසිසේත්ම ගැළපෙන විවාහයක් නොවීය. එකල ඉතා බලසම්පන්න රාජ්‍යයක්ව පැවති ස්පාඤ්ඤයේ ඉසබෙලා රැජිනගේ මැදිහත්වීම මත එකල සිටි පාප් වහන්සේ මෙම නොගැළපෙන විවාහයට අනුමැතිය දුන් බව සඳහන් වේ. වර්ෂ 1509 දී මෙම විවාහය සිදු වූ බව බි්‍රතාන්‍ය ඉතිහාසයේ දැක් වේ. රාජ්‍යයේ ස්ථාවර බව පවත්වාගෙන යාම සඳහා ඔටුන්න හිමි කුමාරයෙකු ලබා ගැනීමට බොහෝ රජවරු පෙලඹෙති. වැඩි වයස නිසා තමාට පුත් කුමරුවකු ලබා දීමට ඇරගන්හි කැතරින් අපොහොසත් බව දුටු අට වැනි හෙන්රි රජු ඇය අතහැර සුරූපී තරුණියක වූ ඈන් බෝලින් සමග විවාහ වීමට තමාගේ අභිමතාර්ථය ප්‍රකාශයට පත් කළේය. එහෙත් සමස්ත කතෝලික ප්‍රජාවම පාප් වහන්සේ ද සමග මෙම තීරණයට විරුද්ධව නැගී සිටියහ. එහෙත් රාජ්‍ය චාරිත්‍ර වාරිත්‍ර පමණක් නොව ව්‍යවස්ථාව ද වෙනස් කරමින් තමාත් තම රාජ්‍යයත් තවදුරටත් වතිකානුවට හෝ පාප් වහන්සේට යටත් නොවන බව ප්‍රකාශ කළ අට වැනි හෙන්රි රජු, බි්‍රතාන්‍යයේ ක්‍රියාත්මක වනුයේ එංගලන්ත සභාව නම් වූ වෙනම ක්‍රිස්තියානි ආගමක් බවත් එහි නායකයා තමාම බවත් නිවේදනය කළේය. මෙයට විරෝධය පෑ රෝවෙස්ටර්හි බිෂොප්වරයා ද බලවත් ඇමතිවරයෙකු වූ සර් තෝමස් මෝර් ද මරා දැමුවේය. කතෝලික දේවස්ථාන කඩාබිඳ ඒවායේ තිබූ වස්තුව පැහැරගෙන රාජ භාණ්ඩාගාරය පුරවා ගැනීමට පියවර ගත් අට වැනි හෙන්රි තම පෙම්තිය වූ ඈන් බෝලින් එංගලන්තයේ රජුගේ බිසව බවට පත්කර ගත්තේය. එම විවාහයෙන් ද රජුට පුත් කුමරෙකු නොලැබුණි. ඒ නිසා කෝපයට පත් රජු තම ප්‍රිය දේවිය වූ ඈන් බෝලින් රැජින 1530 මැයි මස 19 දින කුමන්ත්‍රණ සහ අනාචාර චෝදනා මත මරා දමනු ලැබුවාය. 

 


ඉතා කෙටි කලක් තුළදීම රජු ජේන් සේමර් නම් වූ වංශාධිපති කුල කාන්තාවක් කෙරෙහි පැහැදුණාය. ඇය සමග විවාහ වූ රජුට ඔහුගේ බලාපොරොත්තු ඉටු කරමින් පුත් කුමරෙකු ලබා දීමට ඇය සමත් වූවාය. එහෙත් දෛවයේ අකාරුණික බව හේතුකොට ගෙන දරු ප්‍රසූතියෙන් ඇති වූ අසාදනයක් නිසා ඇය 1537 ඔක්තෝබර් 24 වැනි දින මරණයට පත් වූවාය. 
ඉන් පසු ටික කලක් ශෝකභරිතව කල් ගෙවූ රජු නැවත විවාහයක් ගැන අවධානය යොමු කළේය. එවර සිදු වූයේ යෝජිත විවාහයකි. ඡායාරූප ශිල්පයේ දියුණුවක් නොතිබුණු එම යුගයේ මනාලයාට පෙන්වනු ලැබුවේ අතින් අඳින ලද මනාලියගේ සිතුවමකි. චිත්‍රයකි. එකල ප්‍රකට දේශපාලකයෙකු වූ ක්ලීට්ස්හි ආදිපාදවරයාගේ නැගණිය ගැන විවාහ යෝජනාවක් රජු වෙත ඉදිරිපත් වූයේ අදාළ සිතුවමක් ද සහිතවය. පින්තූරයේ දක්නට ලැබුණු කාන්තා රූපය කෙරෙහි පැහැදුණු රජු ඇය සමග විවාහ වීමට එකඟ විය. එහෙත් රජු කිසි දිනෙක පියවි දෙනෙතින් ඇය දැක තිබුණේ නැත. අට වැනි හෙන්රි රජු තම නව මනාලිය දුටුවේ විවාහ වීමෙන් පසුවය. එහිදී ඔහුට වටහා ගැනීමට හැකි වූයේ චිත්‍රයේ දක්වා තිබුණු ආකාරයේ රූපශ්‍රීයක් තම බිසව කෙරෙත් දක්නා නොලැබෙන බවය. එහි අර්ථය වූයේ රජු රවටා ඇති බවය. මේ ගැන මහත්සේ කෝපයට පත් රජතෙමේ මෙම මඟුලේ කපුවා වූ තෝමස් ක්‍රොම්වෙල් නමැති වංශාධිපතිවරයා හිසගසා මරා දැමීමට කටයුතු කළේය. 


තවත් ටික දිනක දී රජු කැතරින් හොවාඞ් නමැති තවත් රදල කාන්තාවක් සමග විවාහ විය. ඇය කතෝලික ලබ්ධිය අදහන්නියක වූ අතර රාජ සභාවේ සමහර නිලධාරීහු ඇයව ප්‍රිය නොකළහ. ඒ නිසා ඔවුහු මෙම බිසවට නොයකුත් චෝදනා එල්ල කළහ. කුමන්ත්‍රණ සහ අනාචාර චෝදනා ද ඒ අතර විය. මෙම පසුබිම හමුවේ කැතරින් හොවාඞ් ආර්යාවට තම රාජකීය අගබිසව තනතුර පමණක් නොව තම හිස ද අහිමි වූවේ ගෙල සිඳ මරා දැමීමට නියම වූ බැවිනි. මේ වන විට අඩු වයසින්ම රෝගී බවට පත් වූ අට වැනි හෙන්රි යළිත් කැතරින් පාර් නමැති උසස් සමාජයේ කාන්තාව සමග විවාහ විය. මෙය සිදු වූයේ 1543 දීය. මෙම කුමාරිය ලැට්මාර් සාමිවරයාගේ වැන්ඳඹු බිරිඳ වූවාය. එය අට වැනි හෙන්රි රජුගේ අවසාන විවාහය වූ බව කියවේ. ඔහු එංගලන්ත ඉතිහාසයේ වඩාත් වැදගත් තැනක් හිමි කරගන්නේ එංගලන්ත සභාව නමැති ආගමික සංවිධානය ස්ථාපිත කර ප්‍රබල සංවිධානයක් ලෙස ගොඩනැංවීම නිසා මෙන්ම ස්පාඤ්ඤයේ ප්‍රබල නාවුක බලයට මුහුණ දී ප්‍රකට ආමේඩා නැව් හමුදාව විනාශ කිරීම නිසාය. 


රජුන්ගේ නොතිත් කාමුක ජීවිතවලට සුවපහසුවෙන් පැවැත්වීම සඳහා එංගන්ත වාසීහු තමන් උපයන මුදල්වලින් අය බදු ගෙවූහ. එහෙත් පාර්ලිමේන්තු ක්‍රමය ටිකෙන් ටික සංවර්ධනය වන ආකාරය ද දැකිය හැකි විය. එහෙත් සමහර රජවරු පාර්ලිමේන්තුවේ නිර්දේශ ගණන් නොගෙන කටයුතු කළහ. එහි වර්ධනීය අවස්ථාව වන්නේ පළමු වැනි චාල්ස් රජුගේ යුගයේදීය. 


එංගලන්තයේ ටියුඩර් රාජ පරම්පරාව අට වැනි හෙන්රිගේ දියණිය වූ පළමු එලිසබෙත් අධිරාජිනියගේ මරණය හේතුකොට ගෙන නිමාවට පත් විය. ඉන් පසු රාජ්‍යත්වයට සුදුස්සා තෝරා ගැනීම පිළිබඳව උග්‍ර මතභේදයක් හටගැනුණු බව කියනු ලැබේ. ඒ වන විට පැවති රාජකීය ඥාති සම්බන්ධකම් අනුව සලකා ස්කොට්ලන්තයේ හය වැනි ජේම්ස් නමින් කිරුළ දරා සිටි කුමාරයා එංගලන්තයට කැඳවා පළමු වැනි ජේම්ස් නමින් එරට රජකමට පත් කර ගන්නා ලදී. ඉතා දැඩි මතධාරී පාලකයෙකු වූ ඔහු තමාගේ මතයම නිවැරදි යැයි සැලකූ අනෙකෙකුට සවන් දීමට අකැමැති පුද්ගලයෙකු වූ බව කියවේ. මෙවැනි මතගැටුම් නිසා එංගලන්ත පාර්ලිමේන්තුව ඇමතීමට පැමිණි අවස්ථාවේදී සාමි මන්ත්‍රී මණ්ඩලය තුළ දී ඩයිනමයිට් සවිකර සාමි මන්ත්‍රී මණ්ඩලය සමග රජු ද පුපුරවා මරා දැමීමට සැලසුමක් ක්‍රියාත්මක වූ බව එංගලන්ත ඉතිහාසයේ දැක්වේ. මෙම හේතුව නිසා ඔහු පාර්ලිමේන්තු විරෝධියෙකු ලෙස කටයුතු කර ඇත. මෙම සැලසුම එක්තරා සාමිවරයෙකු විසින් හෙළිදරව් කිරීම නිසා රජුගේ දිවි බේරුණු බව කියනු ලැබේ.


පළමුවැනි ජේම්ස් රජුගේ මරණයෙන් පසු එංගලන්ත කිරුළ දැරීමේ භාග්‍යය උරුම කර ගත්තේ ඔහුගේ පුත් පළමු වැනි චාල්ස් රජුමය. පියාගෙන් උරුම වූ ප්‍රචණ්ඩකාරී ගතිපැවතුම් මෙන්ම පාර්ලිමේන්තු විරෝධය ද ඔහුගේ ලෙයට කා වැදී තිබුණාක් මෙන් විය. 


පෙර ද සඳහන් කර ඇති පරිදි මධ්‍යතන යුගයේ යුරෝපීය රජවරුන් තුළ මුල්බැසගෙන පැවති තමන් මෙලොව ඉපදී ඇත්තේ දෙවියන්ගෙන් ලද වරප්‍රසාදයක් අනුව බවත් ඒ නිසා බාධා විරහිතව රට පාලනය කිරීමට තමන්ට දෙවියන්ගෙන් ලද අයිතියක් ඇතැයි ද ඔවුහු තරයේ විශ්වාස කළහ. ඒ නිසා චාල්ස් රජු ද පාර්ලිමේන්තුව සමග බල තුලනයක් අනුව කටයුතු කරගෙන යාම තරයේ ප්‍රතික්ෂේප කළේය. එය මහා ගැටුමක ආරම්භය වූවේය. මේ වන විට යාබද ප්‍රංශයේ දේශපාලන ආරවුලක් නිර්මාණය වෙමින් තිබුණි. එරට රජුගේ දේශපාලන උපදේශකයා වූ රිචලියුගේ අණ පරිදි ලා රොචෙල් නම් ප්‍රදේශය ප්‍රංශ හමුදා විසින් වටලනු ලැබ තිබුණි. එයට මුල් වූ කාරණය පැවතියේ එකල උග්‍රලෙස මතුව තිබුණු ක්‍රිස්තියානි නිකාය භේදයයි. මෙයින් එක් පාර්ශ්වයකට උදව් කිරීමට චාර්ල්ස් රජුට අවශ්‍ය විය. එහෙත් පාර්ලිමේන්තුව එම ක්‍රියාව අනුමත නොකළේය.


ගැටුමේ ආරම්භක නිමිත්ත වූයේ එයයි. මෙම මතවාදී ගැටුම දුරදිග යාම නිසා තම අදහස ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ තම මතයට අනුව හිතුවක්කාර කමිනි. රජු යුද්ධායුධ සහිත විශාල හමුදාවක් ප්‍රංශය බලා පිටත් කර හැරිය නමුදු අවාසනාවකට මෙන් එම පාර්ශ්වය පරාජයට පත් විය. මෙයින් කෝපයට පත් එංගලන්තයේ පාර්ලිමේන්තුව රජුට විරුද්ධව ඉංග්‍රීසීන්ගේ අයිතිවාසිකම් ගැන සකස් කළ චෝදනා පත්‍රයක් පිළිගන්නා ලෙස රජුට බලකළේය. මෙම ප්‍රකාශය “අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම” වශයෙන් එංගලන්ත ඉතිහාසයේ දැක් වේ. තවදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තුව කියා සිටියේ තම අනුමැතියකින් තොරව රටේ ජනතාවගෙන් බදු අය කළ නොහැකි බවත් එම මුදල් පරිහරණය කළ නොහැකි බව සහ විධිමත් නඩු විභාගයකින් තොරව කිසිදු වැසියෙකු අත්අඩංගුවට ගත නොහැකි බවත්ය. මෙය පෙර කාලයේ ජෝන් රජුගේ හිසට කඩුව තබා අත්සන ලබා ගත් මැග්නා කාර්ටා මහාධිකාර පත්‍රයේ ප්‍රතිපාදන පළමු චාල්ස් රජුට සිහිගැන් වූ අවස්ථාවක් බඳු විය. 


එහෙත් පාර්ලිමේන්තුවේ යෝජනා සහ චෝදනා ද රජු එකහෙළාම ප්‍රතික්ෂේප කළේය. පිටස්තර මාර්ගවලින් අවශ්‍ය මුදල් සපයා ගැනීමට ඔහු උනන්දුවක් දැක් වූවේය. එ අනුව ලෝ ප්‍රකට නැව් බද්ද පැන වීමට චාල්ස් රජු ක්‍රියා කළේය. හදිසි ජාතික ආපදාවකදී (යුද්ධයක් වැනි) රටට නැව් අවශ්‍ය වූ මොහොතක ඒවා තනා ගැනීම සඳහා රටවැසියන් බද්දක් ගෙවිය යුතු යැයි රජු නියම කළේය. ඒ අතර ආගමික ග්‍රන්ථයක් පිළිබඳ ආරාවුලක් පැනනැංගේය. ඒ යාච්ඤා පොතක් පිළිබඳවය. 


එංගලන්තයේ පැවති ආගමික ගැටුමට අනුරූපව මෙම යාච්ඤා පොත රටට හඳුන්වා දෙන්නට රජුට අවශ්‍ය විය. එහෙත් බලවත් බිෂොප්වරු එයට විරුද්ධ වූහ. මෙයින් බරපතළ යුද්ධයක් හට ගත්තේය. එය කරගෙන යාමට අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුවෙන් අනුමත නොවුනි. ඒ නිසාම මෙම බිෂොප්වරුන්ගේ යුද්ධයෙන් රජු පරාජයට පත් විය. එය චාල්ස් ගේ රාජාභිමානයට පමණක් නොව කීර්තියට ද බලවත් පහරක් වූවේය. මෙම යුද්ධය දීර්ඝ කාලයක් පැවති අතර පාර්ලිමේන්තුව කැඳවුණේ වසර එකොළොහකට පසුවය. 1640 දී මෙසේ පාර්ලිමේන්තුව කැඳවන ලද්දේ රජුට ගතහැකි වෙනත් පියවරක් නොතිබුණු නිසාය. එය රැස් වූවේ රජුගේ පුද්ගලික අභිමතය පරාජය කිරීමේ අරමුණ ඇතිවය. මේ අතර අයර්ලන්තයේ ඇති වූ කැරැල්ලක් සහ රජු එහි පාර්ශ්වයක් සමග කුමන්ත්‍රණකාරීව සම්බන්ධකම් ඇතිව සිටියේ යැයි කියන තොරතුරු ලැබීමත් සමග පාර්ලිමේන්තුව කෝපයට පත් විය. සටන ඇවිළුණි. 


රජුගේ පක්ෂය ගෙන සටන් වැදුණේ උතුරු සහ බටහිර එංගලන්තයේ වාසීහුත් රදල පෙළත්, එංගලන්තයේ ගොවියෝත්ය. පාර්ලිමේන්තු පක්ෂය ගත්තේ ලන්ඩනය වැනි ප්‍රධාන නගරවලද එංගලන්තයේ දකුණ සහ නැගෙනහිර ප්‍රදේශවල ජනතාවත්ය. මුලදී රජුට සහාය දුන් ගොවි හමුදාවෝ දිගින් දිගටම ජයගත්හ. 


එහෙත් පසුව තත්ත්වය වෙනස්ව ගියේය. පාර්ලිමේන්තුවට සහාය පළ කළ හමුදාවන්හි නායකත්වය ගත්තේ කේම්බි්‍රජ් ආසනයේ මන්ත්‍රීවරයා ද වූ ඔලිවර් ක්‍රොම්වෙල්ය. ඔහුට සහාය දුන් තමන් ප්‍රබලයෙක් වූයේ ෆෙයාර් ෆැක්ස්ය. මේ අයුරින් සටන කරගෙන යාමේදී ජයග්‍රහණය දෙපස වෙනම දෝලනය වෙමින් තිබුණි. පාර්ලිමේන්තුව විසුරුවා හැරුණි. නෙස්බි නම් සටන් බිමේදී ලද මහා පරජයෙන් පසු පළමු වැනි චාල්ස් රජතුමා පාර්ලිමේන්තුවාදී සටන්කරුවන්ගේ අත්අඩංගුවට පත් විය. 


කෙසේ වුවත් සමස්ත සටනේ ජය ඔලිවර් ක්‍රොම්වෙල් ප්‍රමුඛ පාර්ලිමේන්තු හිතවාදීන්ට අත්විය. එහිදී නඩු විභාගයක් පවත්වන ලද අතර එම විභාගයේ තීන්දුව අනුව චාල්ස් රජුට මරණීය දණ්ඩනය නියම වුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ප්‍රසිද්ධියේ හිස ගසා මරා දැමූ බව කිය වේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය සම්පූර්ණයෙන්ම පාහේ ශ්‍රී ලංකාවට ලැබුණේ බි්‍රතාන්‍යයෙනි. ඒ නිසා බි්‍රතාන්‍යයේ පාර්ලිමේන්තු ක්‍රමයේ සියලු කටයුතුවල අනුප්‍රාප්තිකයන් වශයෙන් අඩු වැඩි වශයෙන් අපද උරුමක්කරුවන් බව නොඅනුමානය. ඒ නිසා මෙවැනි ක්‍රියාවන් තුළින් පෝෂණය වූ පාර්ලිමේන්තුවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ දී නොයෙක් කටුක අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවනු නොඅනුමානයයි අපට සිතේ.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි